2017 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වන දා නිකුත්කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයන් ප්‍රකාරව පොලිතීන් හා ඒ ආශ්‍රිත භාණ්ඩ නිපදවීම හා විකිණීම තහනම් කරමින් ගැසට් නිවේදන 06ක් නිකුත්කර තිබෙනවා. එම ගැසට් නිවේදන 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 23 වගන්තිය යටතේ හා 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 51 වගන්තියෙන් බලගැන්වෙන පරිදි ජනාධිපතිතුමන්ගේ බලතල ප්‍රකාරව නිකුත් කර තිබෙනවා.

අංක 2034න් 33 දරණ ගැසට් නිවේදනය.

දේශීය භාවිතය සඳහා ඝනකම මයික්‍රෝන 20 හෝ ඊට අඩුවන පොලිතීන් නිෂ්පාදන නිපදවීම, විකිණීම, විකිණීම සඳහා අර්පනය, ප්‍රදර්ශනය, නොමිලේ ලබාදීම හා භාවිතය තහනම් වේ.

අංක 2034න් 34 දරණ ගැසට් නිවේදනය.

පොලිතීන් අමුද්‍රව්‍යයක් වන ආහාර දවටන නොහොත් ලන්ච් සීට් රටතුල නිපදවීම, විකිණීම, ප්‍රවර්ධනය, නොමිලේ ලබාදීම, ප්‍රදර්ශනය හෝ භාවිතය තහනම් වේ. මෙයට පොලිතීන් ඝනත්වය අදාල නොවන අතර පොලිප්‍රොපිලීන් ද ඇතුලත් වේ.

අංක 2034න් 35 දරණ ගැසට් නිවේදනය.

වැඩි ඝනත්වයෙන් යුතු පොලිඑතිලින් වලින් මලු නිෂ්පාදනය, එම මලු විකිණීම, ප්‍රවර්ධනය, නොමිලේ ලබාදීම, ප්‍රදර්ශනය සහ භාවිතය තහනම් වේ. මෙම මලු යනුවෙන් සිලි සිලි බෑග් සහ භාණ්ඩ රැගෙන යාමට භාවිතා කරන ඕනෑම වර්ගයක පොලිඑතිලින් මලු හැඳින්වේ.

අංක 2034න් 36 දරණ ගැසට් නිවේදනය.

කිසිදු පුද්ගලයෙක් ප්ලාස්ටික් අඩංගු කසල හෝ පහසුවෙන් දැවෙන වෙනත් ද්‍රව්‍ය එළිමහනේ පිළිස්සීම තහනම් වේ.

අංක 2034න් 37 දරණ ගැසට් නිවේදනය.

සියලු ආකාරයේ පොලිඑතිලින් පොලිප්‍රොපිලින් හෝ අමුද්‍රව්‍ය කොටගත් නිෂ්පාදන දේශපාලන, සමාජීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙන යම් උත්සව සැරසිලි සඳහා භාවිතා කිරීම තහනම් වේ.

අංක 2034න් 38 දරණ ගැසට් නිවේදනය.

ප්‍රසාරිත පොලිස්ටයරින් වලින් නිෂ්පාදිත ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන්, කෝප්ප සහ හැඳි නිෂ්පාදනය, විකිණීම, ප්‍රවර්ධනය, නොමිලේ ලබාදීම, ප්‍රදර්ශනය හා භාවිතය තහනම් වේ.

උපුටා ගැනීම – සොයුරු.lk වෙබ් අඩවියෙනි