“මේ බලාපල්ලාකෝ මේ විකාරය…. මට නං දැන් ඇහිලා ම ඇති වෙලා…. දෙවිවරුන්ගේ කටෙත් මේක ම යි… බඹුන්නේ කටෙත් මේක ම යි…. අපේ පියාණනුත් පිරිවරත් නැසුණා ය කිය කියා….” රගා අමනාපයෙන් පැවසුවා ය.

“මං දැන් කී වරක් පැවසුවා ද රගා… ඕකුන්ට ඔල්මාදේ…. ඔය වගේ නා නා විදියේ දැහැන් වඩන ශ්‍රමණවරු කොච්චර උන්නා ද මීට පෙරත්, ඒ කවුරුවත් අපේ පියාණන්ගේ ගැටවලින් මිදුණේ නෑ… ඔය රැවටිල්ල තව ටික දවසයි… අනේ… ඕවා ගණන් ගන්න එපා රගා…” අරතී සැහැල්ලුවෙන් එසේ පැවසුවත්, තණ්හා ඊට කිසි ප්‍රතිචාරයක් නො දැක්වුවා ය. මොහොතක් නිහඬ ව ම සිටි ඇය දිගු සුසුමක් හෙළමින් හීන් සීරුවේ කතාව ඇරඹුවා ය.

“හ්ම්…. මීට පෙර ශ්‍රමණවරු හිටියා තමයි… ඒක ඇත්ත… ඒත් මේ වගේ අසිරියක් මා මීට පෙර දැක නෑ…. බලන්න දැන් දින කීයක් ද… තාමත් දේව සැණකෙළි… බඹුන්ගේ ප්‍රීතිඝෝෂා… උන් නං රැවටිලා කියා හිතුවෑකි… ඒත් එදා මේ මහපොළොව නටපු නැටිල්ල අරතීට මතක ද? අකණිටාව තෙක් එක ම මල් දමක් වගේ මල් පිපුණු හැටි මතක ද… මහා සමුදුරු දියෙත් පියුම් පිපුණා මතක ද… දෙව් බෙර පැලී ගියා මතක ද?… මේක මහා අසිරියක්… මගේ නං හිතට භයයි… අපේ පියා….” එය අවසන් කරන්නට ඇයට නො හැකි විය.

“ඔය කීවේ… මේකිලා දෙන්නා ම උමතු වෙලා… අපේ පියා පරදන්නට පුළුවන් ජගතෙක් මේ ලෝකෙ ඉන්නවා ද… හ්ම්… මනස්ගාත නැතිව අපි යමු අපේ පියාණන් ඉන්න තැනට. මේ දෙව්බඹුන්ගේ රැවටිලි දකිමින් මේ වෙනකොටත් අපේ පියාණන් සොම්නස් වෙනවා ඇති. මා කියන්නම් පියාණන්ට… මේ දෙව්බඹුන් දැන් සීමාව ඉක්මවලා තියෙන්නෙ.. මේකුන්ට ඔබේ තේජස පෙන්නන්ට කියලා.” එසේ පැවසූ ඈ නොරිස්සුම් ලෙස තණ්හා සහ රතී දෙස බලා සිට කලු දුමාරයක් නඟමින් නො පෙනී ගියා ය. ඒ මොහොතේ ම ඈලා දෙදෙනාත් නො පෙනී ගියා ය.

සහෝදරියන් තිදෙනාට ම අදහා ගත නො හැකි විය. තම පියාණන් වසන මේ භවන අද වෙනදා මෙන් නො වේ. සියල් ලෝ සතුනට අණසක පතුරන රජුගේ සේනාව අද මහා භීතියකින් මුළු ගැන්වී සිටී. ‘හිතුවාට වඩා තත්ත්වය බරපතළ හැඩයි’ වචනයෙන් නොදෙඩුවාට තිදෙනාට ම ඇති වූයේ ඒ හිතුවිල්ල යි. ඈලා වහා පියරජාණන් වෙත පිය නැඟුවා ය.

අහෝ! මේ කුමක් ද තම පියාණන්ට සිදු වී තිබෙන්නේ. වෙන දා සිහසුනට වී මහා තේජසින් වැජඹෙන ඔහු… අද නොදරුවෙක් මෙනි. වැටහීම් රහිත වූවෙක් මෙනි. මන්දබුද්ධිකයෙක් මෙනි. බිම වාඩි වී… කෝටු කෑල්ලකින් ඉරි අඳිමින් සිටී. ඒ දුටු අරතීට “පියාණනී…” යි කෑ ගැසුණා ය. සහෝදරියන් තිදෙනා ම තම පියාණන් ඉදිරියේ ඇද වැටුණහ.

“පියාණනි… මේ මොක ද මේ… නොදරුවෙක් වගේ, මේ තරම් දුකින් ඔබ… ඔබ වැනි පුරුෂයෙක් මේ විදියට ශෝක කරන්නේ… ඇයි මේ, කුමක් සිදු වී ද ඔබට…” අරතී මහ හඬින් මැසිවිලි නැගුවා ය.

“නිහඬ ව හිටපියව් බොලව්! තීලාවත් මට පාඩුවේ ඉන්ට දීපියව්!…. ගෞතමයාණෝ මහා බලවත්… ඒ සිහිය, ඒ ඤාණය, ඒ බල පරාක්‍රමය… මං පැරදුණා බොලව්! මං පැරදුණා… මං පැරදුණා… අඩු කැඩිච්ච කකුළුවෙක් වගේ වුණා..”

ලොව වසවර්තී වූ තම පියාණන් මෙසේ පවසද්දී තණ්හාගේ සිතට දුකක් ඇති විය. ඒ සමඟ ම ඇයට ඇති වූයේ ඒ ගෞතම ශ්‍රමණයන් ගැන කෝපයකි. ඈ කෝපයෙන් මෙසේ පැවසුවා ය. “පියාණෙනි… ඔබ කණගාටු වෙන්ට එපා! අප වැනි දූවරු තිදෙනෙක් සිටිද්දී ඔබ කුමට ද දුක් වෙන්නේ? පුරුෂයෙක් ව රාග තොණ්ඩුවෙන් වෙළිය හැකි අපේ රූපය ඔබ…” ඇයට පවසන්ට හැකි වූයේ එපමණකි. තම අත තිබූ කෝටුව බිම ගසමින් වසවත් මාරයා මොර දෙන්ට පටන් ගත්තේ ය.

“ලෝකයේ සුගතයන් වහන්සේ අරහත්… මෝඩියේ… උන්වහන්සේ ව රාගයෙන් බඳින එක ලේසි දෙයක් නෙවේ. හ්ම්… මස් කෑල්ලක් කියලා තෙල් පාට ගලකට රැවටුණ කපුටෙක් වගේ මාත් ගියානේ උන්වහන්සේත් එක්ක හැප්පෙන්ට… තොපිට බෑ උන්නාන්සේට මොකුත් කරන්ට. උන්නාන්සේ මගේ විෂය ක්ෂේත්‍රයෙන් පැන ගත්තා. අන්න ඒ නිසයි මං ගොඩක් ම ශෝක වෙන්නෙ.”

“පියාණනි… එසේ සිතන්ට එපා! වනාන්තරේ ඉන්න හස්ති රාජයෙක් ව අල්ලාගෙන එනවා වගේ අපි ඔහු ව රාග තොණ්ඩුවෙන් බැඳලා ඔබේ දෙපා මුළට ඇදගෙන එන සැටි බලන්න…” යි මෙතෙක් නිහඬ ව සිටි රතී එසේ පවසද්දී සහෝදරියන් දෙදෙනා ද “එසේ ය පියාණනි..” කියමින් ඊට හවුල් වූවා ය. කට කොණින් සිනාසෙමින් මූනිච්චාවට මෙන් ඈලා දෙස බලා සිටියා මිසක් මාරයා කිසිත් නො පැවසී ය. එසේ සිනාසුණත් ‘මේකිලාට නම් ඒක බැරි වෙන එකකුත් නෑ’ කියා අදහසක් ඔහුට යාන්තම් ඇති විය. සහෝදරියන් තිදෙනා කාලදුමාර නගමින් නොපෙනී ගියහ.

උරුවේලාවේ මිනිසුන් අජපාල නමින් හඳුන්වන සුවිසල් නුග රුක අසලටයි සොහොයුරියන් පැමිණියේ. මනස්කාන්ත දේහ විලාසිත ඈලාගේ සුන්දරත්වය එහි දී පුළුස්සා දැමුවාක් මෙන් විය. ඒ නුග රුක් මූලයේ සමවත් සුවයෙන් වැඩහිඳිනා අභීත ශ්‍රමණයන් වහන්සේගේ රූපකාය හමුවේ ඈලාට තමන් වැඳිරියන් සේ හැඟිණි. මොහොතක් ඒ මහා පුරුෂයන් දෙස බලා සිටි ඔවුන් අතරින් තණ්හා මෙසේ පැවසුවා ය.

“බලාපංකෝ රතී… ඒ රන්වන් පුරුෂ දේහයේ කාන්තිය…. මේ වගේ පුරුෂයෙකුගේ හිත යන්ට නම් අපි මේ සක්වළේ ඇති සුන්දර ම ස්ත්‍රී රූප මවාගන්ට වෙනවා. හොඳට ම සරාගී විදියට හැසිරෙන්ටත් වෙනවා. හ්ම්… පමා වෙන්ට කාලයක් නෑ.. අන්න, අන්න ඒ ශ්‍රමණයා දෑස් විවර කළා…” ක්ෂණයකින් සහෝදරියන්ගේ රූපශ්‍රී වෙනස් විය. එකියකට සියය බැඟින් පිරිවර ලලනාවෝ තුන්සියයක් විය. අරුමය නම් ඒ එක රූපයක්වත් එකිනෙකට සමාන නොවීම යි. එසේ ම ඒ ස්ත්‍රී රූප සුන්දරත්වයෙන් හෝ සරාගී ලීලාවෙන් හෝ එකකට එකක් පරදින්නේ ද නො වී ය.

නූපුර හඬ නඟමින්, මිණි කිකිණි සිනා නඟමින් අජපල් නුග රුක වෙත පැමිණි මේ සොඳුරු කන්‍යාවෝ එහි වැඩසිටින මහා පුරුෂයන් දැක වසඟ වූවා සේ මොහොතක් බලා සිටියෝ ය. තුන්සිය දෙනා ම උන්වහන්සේ දෙස නා නා බැලුම් නඟමින්, තොල් සපමින්, අගපසඟ ලෙලවමින් පුරුෂයෙකු උමතු වන තරමේ රැඟුම් පෑහ. එහෙත්… ඒ මහා පුරුෂයාගෙන් කිසි ප්‍රතිචාරයක් නැත. කෙලෙස් නැසූ, අනුත්තර විමුක්තියට පත් උන්වහන්සේ නිසොල්මන්ව වැඩ සිටියහ. එවිට සහෝදරියන් තිදෙනා උන්වහන්සේ අසලට සමීප වී මෙසේ තෙපලන්ට වූහ.

“අභිනීල නෙත් ඇති, මහා පුරුෂයාණෙනි, අප වැනි සොඳුරු රූ ඇත්තියෝ පුරුෂයන්ට දුර්ලභ ය. අපි ඔබට ඇලුම් කරන්නෙමු. අප තිදෙනාත්, මේ තුන්සිය දෙනාත් ඔබේ පාදපරිචාරිකාවන් වෙන්ට ආසාවෙන් ඉන්නෙ.” මිහිරි කොවුල් නාදයක් සේ ප්‍රිය ස්වරයෙන් එසේ පවසද්දීත් උන්වහන්සේ ඊට අවදානයක් යොමු නො කළහ. එයින් විඩාවට පත් වූයේ ඈලා ම පමණි. බොහෝ වේලාවක් බලා සිටි ඒ කාන්තාවෝ නික්ම ගියහ.

නුග රුක් සෙවණින් තරමක් දුරට ගිය වහා අරතී මෙසේ පැවසුවා ය. “ඕක හරියන්නේ නෑ… පුරුෂයන්ගේ අදහස් විවිධයි. ඇතැම් පුරුෂයෝ කන්‍යාවන්ට කැමති නෑ. විවාහක කාන්තාවන්ට යි ප්‍රිය. ඇතැම් ඈයෝ තරබාරු අයට යි ප්‍රිය…. ඒ නිසා අපි විවිධාකාර ස්ත්‍රී ස්වරූප මවාගෙනයි යන්ට ඕන.”

“ඒක හරි අරතී… මේ ශ්‍රමණයා පහසු කෙනෙක් නොවන හැඩයි. අපි ගැලවෙන්ට පොටක් නැති විදියට යමු. සියලු ස්ත්‍රී මායා දාලා හරි අපි මේ ශ්‍රමණයා ව අවුස්සලා ගන්න ඕනි” යි රතී ද එයට එකඟ වූවා ය. යළිත් සොහොයුරියන් තිදෙනා නොයෙක් ස්වරූපයේ ස්ත්‍රී රූ මවාගෙන සූදානම් වූහ. ඒ ස්ත්‍රීන් අතරේ කුමාරිකාවෝ ද විය. දරුවන් නොවැදූ විවාහක කාන්තාවෝ ද විය. එක් වතාවක් දරුවන් වැදූ කාන්තාවෝ ද විය. දෙවරක් දරුවන් වැදූ කාන්තාවෝ ද විය. විවාහ වන වයස ඉක්ම ගිය අවිවාහක කාන්තාවෝ ද විය. සිහින් සිරුරු ඇත්තියෝ ද විය. මනා ව වැඩුණු අඟපසඟ ඇති මධ්‍යම ප්‍රමාණ සිරුරු ඇති තැනැත්තියන් ද විය. මහා තරබාරු තැනැත්තියන් ද විය. චාම් ගති ඇති තැනැත්තියෝ ද විය. සරාගී තැනැත්තියෝ ද විය. කලු පැහැ තැනැත්තියෝ ද විය.

මේ ආකාරයෙන් ඕනෑම පුරුෂයෙකුගේ සිත වෙළිය හැකි අයුරින් රූප මවාගෙන ඒ මහා වීර මුනිඳුන් ඉදිරියේ නොයෙක් රැඟුමන් කරන්ට පටන් ගත්හ. නොයෙක් ආකාරයෙන් බොළඳ බස් තෙපලන්ට පටන් ගත්හ. උස් හඬිනුත්, සිහින් හඬිනුත් හිනැහෙන්ට පටන් ගත්හ. ඇතැම් කාන්තාවෝ කය පෙනෙන අයුරින් සළු මෑත් කළහ. ඇතැමුන් සළුපිළි උනා දැමූහ. මේ අයුරින් නොයෙක් විප්‍රකාර කරද්දීත් ඒ මහා මුනිඳුන් එයට අවධානයක් යොමු නොකොට නිසොල්මන් ව වැඩ සිටි සේක. හා! විරාගී සිතක අසිරිය.

රැඟුමන්ගෙන් හොඳට ම හෙම්බත් වූ අරතී “හ්ම්…. අපේ පියාණන් කිව්වේ ඇත්තක්… මේ ශ්‍රමණයන් වහන්සේ අරහත්. රාගයෙන් ඔහුව බඳින්ට බෑ. අපි මේ හෝරා ගාණක් දැක්වූ සිය ගණන් රැඟුමන්ගෙන් එකක් රාගය සහිත ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දැක ගන්ට ලැබුණා නම් ඔහුගේ හදවත පැලෙනවා ඒකාන්තයි. කටින් උණු ලේ නැඟේවි. ළා උණ බට අව්වේ දැම්මා වගේ වේළිලා යාවි. උමතු වේවි. මේ ශ්‍රමණයන් වහන්සේට ඒකේ වගක්වත් නෑනේ. මේ ශ්‍රමණයා ව රාගයෙන් වෙළන්ට අපට බෑ…”

ඒ මාර දුහිතෘ වූ තණ්හාත්, අරතීත්, රගාත් මේ මහා භද්‍ර කල්පයේ සතර වන සම්බුදුරජ බවට පත් භාග්‍යවත් අරහත් ගෞතම බුදු සමිඳාණන් අභිමුඛයේ පැරදී යළි අසුර පුරයේ වසවත් මරුගේ භවන වෙත හකුළුවා ගත් මුහුණු ඇතිව ඇදෙමින් සිටියහ. දුරින් ම තම දියණිවරු තේජස් රහිත ලීලාවෙන් එනු මාරයා දුටුවේ ය. තමනුත් පරාද විය. රාග තොණ්ඩුවෙන් ගැටලන්නට ගිය දියණිවරු ද පරාද විය. ‘අහෝ! මාර විජිතය සිඳී ගියේ ය. තුන්ලෝකාග්‍ර මහාවීර මුනිවරයෙක් පහළ වී ඇත. උන්වහන්සේ ඉදිරියේදී දහම් දෙසනු ඇත. මාගේ ග්‍රහණයෙන් තව බොහෝ දෙනා මිදී යනු ඇත.’

මෙසේ සිතෙත් ම වසවත් මරුගේ ගත වෙව්ලා ගියේ ය. මහා ශෝකයක් හටගත්තේ ය. එය ම කෝපයක් බවට පෙරළී උස් හඬින් දියණිවරුන්ට ඵරුෂ ලෙස බැණ වදින්ට විය.

“මෝඩියෝ ගියා මහා උජාරුවට… අපි කොරඤ්ඤං කියලා. තොපි හිතුවා ද බොලව් මානෙල් දඬුවලින් පර්වතයක් ඇදගෙන එන්ට. හා!… නියපොතුවලින් ගල් කන්දක් සූරන්ට හිතුව ද?… හහ්! දත්වලින් යකඩ හපන්නට හිතුව මේකිලා…. හොඳටෝ ම වැනසුණා නේ ද? ගල් පර්වතයක් ඔළුවේ තියාගෙන දියට බැස්සා වගේ වුණා නේ ද? දැං ඉතින් ගෞතමයන් එක්ක යුද වදින්ට ගොහිං…. මේ මෝඩ කපුටියෝ හොට තලාගෙන… හිටපියව් දැන් පපුවේ හුලක් ඇණුනා වගේ… හූල්ල හූල්ලා හිටපියව්!…”

……………………………………………..

මෙය සිදු වී වසර හතළිස් පහක් ඉක්ම ගියේ ය. ඒ මහාවීර මුනිරජුන් පිරිනිවී තෙමසක් ද ඉක්ම ගියේ ය. රමණීය වූ රජගහ නගරයේ වේභාර පර්වත පාමුල සප්තපර්ණී සංගායනා මණ්ඩපයේ රැස් වූ ශාසනභාරධාරී වූ මහා කස්සප අර්හත් තෙරිඳුන් ප්‍රමුඛ පන්සියනමක් රහතුන් එක්ව මේ සිදුවීම ඇතුළත් සංයුත් සඟියේ සගාථ වර්ගයේ මාරධීතු දෙසුම පිවිතුරු මාගධී (පාළි) බසින් සංගායනා කොට අවසන් වෙමින් තිබිණ.

ඒ අවසන ධර්ම ප්‍රීතියෙන් යුතු ඒ මහරහතුන් මේ සිදුවීම ගැන මෙසේ උදන් වැකියක් වදාළ සේක.

“තණ්හා, අරතී, රගා යන ඒ මාර දූවරු දිලිසි දිලිසී එතනට ආවේ. එහිදී අපගේ ශාස්තෘන් වහන්සේ ඔවුන් ව පළවා හැරියා. ගිලිහී වැටෙන පුලුන් රොදක් වීසි කරනවා වගේ.”

සාදු! සාදු!! සාදු!!!

(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි)