ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපගේ බුදුරජාණන් වහන්සේ සාකේත නුවර වැඩවසන කාලයේ එක දවසක් හරිම ලස්සන සිදුවීමක් සිදු වුණා. එදා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින විට, එක්තරා වයසක ප්‍රභූ බ්‍රාහ්මණයෙකුට බුදුරජාණන් වහන්සේව දැකගන්න ලැබුණා. ඒ පළමු දර්ශනයෙන්ම බ්‍රාහ්මණයාට තමා සිටි තැන පවා අමතක වී බුදුරජාණන් වහන්සේ ළඟට හඬ හඬා දුවන්නට පටන් ගත්තා. “අනේ මගේ රත්තරන් පුතේ මෙච්චර කල් කොහෙද ගියේ?” යි කියමින් බුදුරජාණන් වහන්සේව වැළඳගන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේව ඒ නිවස තුළට කැඳවාගෙන යන විට ඒ බ්‍රාහ්මණයාගේ මහලු බිරිඳ ද හඬමින් “අනේ බොහෝ කලකින් මට මගේ පුතු දැකගන්නට ලැබුණා.” කිය කියා හඬන්ට පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ දෙපලට ධර්මය දේශනා කරන විට දෙදෙනාම සෝතාපන්න ඵලයට පත් වුණා.

ඔවුන් ජීවිත පන්සියයක් බෝසතුන්ගේ මව්පියන් ලෙසත්, ජීවිත පන්සියයක් ලොකු අම්මා සහ ලොකු තාත්තා ලෙසත්, ජීවිත පන්සියයක් පුංචි අම්මා සහ බාප්පා ලෙසත් සිටි නිසා ඔවුන්ගේ මේ දරු සෙනෙහස ඇති වූ බව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පෙන්වා දුන්නා. ටික කලකින් ඒ දෙදෙනා උතුම් අරහත්වයට පත්වෙලා පිරිනිවන් පෑවා. ඒ මුනිවරු දෙපලගේ ආදාහන කටයුතු සිදු වුණ තැනට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් වැඩම කළා.
හඬමින් වැළපෙමින් සසර සැරිසරමින් ආ ඒ බ්‍රාහ්මණ මව්පියන්ට සොඳුරු දහම මුණගැසීම නිසා හඬන වැළපෙන ලෝකයෙන් නිදහස් වී ශ්‍රේෂ්ඨ මුනිවරුන් බවට පත්වූ බව පසක් කරමින්, සාමාන්‍ය ලෝකයේ ජීවත් වන – කාමයන්ට ඇළුණු මනුස්සයා සෝක වැළපීම් දුක් දොම්නස් විඳින ආකාරයත්, කාමයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන කාමයන්ගෙන් වෙන් වුණ මුනිවරයා සෝක වැළපීම් දුක් දොම්නස් දුරු කරමින් සදාතනික සැනසිල්ලක් ලබමින් ධර්මයට ම ඇලී වාසය කරන ආකාරයත් පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට ලස්සන ධර්මයක් දේශනා කළා.

‘අප්පං වත ජීවිතං ඉදං’

බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය බොහොම ටික කලයි තිබෙන්නේ කියලා. ඒක හරියට තණ කොළයක අග්ගිස්සේ තියෙන පිනි බිංදුවක් වගෙයි. පිනි බිඳ ඉක්මනට සිඳී යනවා වගේ මේ ජීවිතයත් ඉක්මනට අවසන් වෙලා යනවා.

‘ඕරං වස්සසතාපි මීයති’

ජීවත් වුණත් ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු සියයකටත් වඩා අඩු කාලයක්. අවුරුදු සියයකටත් අඩුවෙන් බොහෝ සත්වයෝ මැරිලා යනවා. සමහරු මවුකුසේදී ම මිය යනවා. තවත් සමහරු මවුකුසෙන් බිහි වන විට මැරිලා යනවා. තවත් අය ළමා කාලයේ දී මැරිලා යනවා. තවත් අය තරුණ කාලයේදී මැරිලා යනවා. තවත් අය මැදි වයසෙදි මැරිලා යනවා. පොල් ගසක කුරුම්බැට්ටි වැටෙනවා. කලටි වැටෙනවා. කුරුම්බා වැටෙනවා, පැහිච්ච ගෙඩිත් වැටෙනවා. වේළිච්ච ගෙඩිත් වැටෙනවා. ඒ වගේ මනුස්ස ලෝකයට ආපු බොහෝ දෙනා අවුරුදු සියයක් ගත වෙන්න කලින් වයස් භේදයකින් තොරවම ජීවිතය අතහැර දානවා.

‘යෝ චේපි අතිච්ච ජීවති
අථ ඛෝ සෝ ජරසාපි මීයති’

‘කවුරු හරි කෙනෙක් අවුරුදු සියයකට වඩා කල් ජීවත් වුණොත් එයා ජරාවෙන් ජරාවට පත් වෙලා දුකට පත් වෙලා තමයි මැරිල යන්නෙ.’ ඒ කෙනාගෙ ඒ කෙස් පැහිලා ගැලවිලා යනවා, දත් කැඩිලා වැටිලා යනවා, අතපය වාරු නැති වී යනවා, කොන්ද කුදු වී යනවා, දෑස් නොපෙනී යනවා, දෙසවන් නෑසී යනවා, අතට ගත් දෙය කටේ දාගන්න බැරුව යනවා, කටට ගත් දේ ගිලින්න බැරුව යනවා, වැසිකිළි කැසිකිළි පවා කරගන්න බැරුව යනවා, මලමූත්‍ර ගොඩේ වැතිරිලා ඉන්න වෙනවා, අවුරුදු සියයකට වඩා වැඩියෙන් හිටියත් අවසානයේ විකාර තත්ත්වයට පත් වෙලා ඔත්පල වෙලා දුක් විඳලා තමයි මැරිල යන්න වෙන්නෙ.

ඉතින් මෙන්න මේ වගේ ජීවිතයක් තමයි අපි හැමෝටම තියෙන්නෙ. මේ අවාසනාවන්ත ඉරණමට අපි හැමෝටම මුහුණ දෙන්න වෙන බව නිතර නිතර සිහි කරන්න ඕනේ. එතකොට තමයි සිහිය උපදින්නේ. සිහිය ඉපදුණා ම තමයි කුසල් වඩන්න, අකුසල් දුරු කරන්න වීරිය කරන්නේ.

‘සෝචන්ති ජනා මමායිතේ
න හි සන්තා නිච්චා පරිග්ගහා’

මේ ඉන්න ටික කාලය තුළත් මිනිස්සු මගේ මගේ කියලා හැම දෙයක් ම අල්ලා ගන්නවා. හැම දෙයක්ම තමාගේ වසඟයේ පවත්වන්න උත්සාහ කරනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංච කාම අරමුණු ඔස්සේ ගොඩනගා ගත්තු ලෝකයක් තමයි හැම කෙනාම අල්ලගන්නෙ. ඒ ඔස්සේ අඹුදරුවන්, මිල මුදල්, ගෙදර, ඉඩකඩම්, යාන වාහන යන සියලු දේ තමාගේ කරගන්න උත්සාහ කරනවා. තමාගේ වසඟයේ පවත්වා ගන්න උත්සාහ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කිසි දෙයක් නිත්‍ය නෑ කියල. සදාකල් පවතින්නෙ නෑ කියලා. එනිසාම සත්වයන් අල්ලගත්තු දේ වෙනස් වෙනකොට, නැසී වැනසී යනකොට ශෝක කරනවා. හඬනවා, වැළපෙනවා, “අනේ මගේ දේ නැති වුණා. මට අයිති දේ නැති වුණා” කියා.

‘විනාභාවං සන්තමේවිදං
ඉති දිස්වා නාගාරමාවසේ’

හැමතැනම තියෙන්නේ වෙනස් වන ලෝ දහම යි. මේ වෙනස් වන ස්වභාවය දකිමිනුයි ගිහි ජීවිතයේ ජීවත් විය යුත්තේ. හැමදේකම තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක් නම් කෙසේ නම් එය තමාගේ කරගන්න ද? කෙසේ නම් එය තමන්ට අවශ්‍ය පරිදි පවත්වන්නට ද? තමාවවත් තමාගේ කරගන්න බැරි සත්වයන් කෙසේනම් බාහිර දෙයක් තමාගේ කරගන්න ද? මේ ස්වභාවය තේරුම් අරන් අල්ලාගත් දේ අත්හරින්න ඕන. නැතිනම් ඔහුට හැමදාම ශෝක කර කර ඉන්ට සිද්ධ වෙනවා. ඒ සඳහා තියෙන හොඳම විසඳුම ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ පළමු කොට ගිහි බැදීම් අතහැරීම. බුදුරජාණන් වහන්සේ එය අපට ක්‍රියාවෙන් ම පෙන්වා දුන්නා. බුදුරජාණන් වහන්සේ අවුරුදු විසිනවයේ දී ගිහි ජීවිතය අතහැරියා. රම්‍ය, සුරම්‍ය, සුභ කියන මාලිගාවල් අතහැරියා. අඹුදරුවන් අතහැරියා. මහා රාජ්‍යය අතහැරියා. එය තමයි බුදුරජාණන් වහන්සේගේ පළමු අතහැරීම. අවසානයේ දී බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් සියල්ලම අතහැරලා ශෝක වැළපීම් නැති නිවනින් සැනසීමට පත් වුණා.

‘මරණේන’පි තං පහීයති
යං පුරිසෝ මමිදන්ති මඤ්ඤති’

කෙනෙක් මම මගේ යයි කියා සිතා සිටියත් මරණයෙදි ඒ කෙනා ඒ මම මගේ යයි සිතන සියල්ල දාලා යනවා. මට අම්මා තාත්තා ඉන්නවා, මට දරුවො ඉන්නවා, මට ස්වාමියා ඉන්නවා, මට බිරිඳ ඉන්නවා, මට ඥාතීන් ඉන්නවා කියලා හිතාගෙන හිටියත් මරණයත් සමඟ ඒ සියල්ල ම එයාට දාලා යන්න වෙනවා. ඒ සියල්ල ම අහිමි වෙලා යනවා. මරණයේ දී දෙමව්පියන්ට දරුවෝ දාලා යන්න වෙනවා. දරුවන්ට දෙමවුපියන් දාලා යන්න වෙනවා. සහෝදරයාට සහෝදරිය දාලා යන්න වෙනවා. සහෝදරියට සහෝදරයන් දාලා යන්න වෙනවා. බිරිඳට ස්වාමියාව දාල යන්න වෙනවා. ස්වාමියාට බිරිඳ දාලා යන්න වෙනවා. ඥාතීන්ට ඥාතීන් දාලා යන්න වෙනවා. ජීවිතය පුරා ම අල්ලගත්තු දේවල් අත හරින්නට සිදුවීමක් ම යි බලාපොරොත්තු විය යුත්තේ.

‘ඒතං දිස්වාන පණ්ඩිතෝ
න මමත්තාය නමේථ මාමකෝ’

නුවණ තියෙන කෙනා මේ කාරණය හොඳින් තේරුම් ගන්නවා. මම මාගේ කියලා අල්ලගන්න හැම දෙයක්ම තාවකාලිකයි කියලා තේරුම් ගන්නවා. කිසි දෙයක් සදාකාලික නෑ කියලා වටහා ගන්නවා. ඒ කෙනා කවදාවත් කිසිම දේකට ඇලෙන්නෙ නෑ. තමාගේ වසඟයේ පැවැත්විය හැකි කිසි දෙයක් මේ ලෝකේ තුළ නෑ කියලා තේරුම් ගන්නවා.

‘සුපිනේන යථාපි සංගතං
පටිබුද්ධෝ පුරිසෝ න පස්සති’

රාත්‍රී කාලයේ දී අපි සිහින දකිනවා. ලස්සන මල් වතුවල ඉන්නවා, මිහිරි ශබ්ද ඇහෙනවා, රසවත් කෑම බීම කනවා, සොඳුරු දේවල් පිරිවරාගෙන ඉන්නවා වගේ දේවල්. නමුත්, සිහිනයෙන් අවදි වුණාට පස්සෙ අපි ඒ දැකපු අහපු කියපු කරපු කිසි දෙයක් නෑ. ආපහු හැරිලා බලද්දි අපි හිටපු තැනමයි. කොපමණ උත්සාහ කළත් ඒ සිහිනයට ආයෙ යන්න බෑ. ඒ දේ ඇත්තක් බවට පත් කරවන්න බෑ.

‘ඒවම්පි පියායිතං ජනං
පේතං කාලකතං න පස්සති’

සිහිනයක් දැකලා අවසන් වුණා වගේ එකට හිටපු ප්‍රියමනාප දෙමව්පියෝ, දරු මුණුපුරෝ ආදී හිතෛෂීන් මරණයට පත් වුණාට පස්සෙ ආයෙ කවදාවත් ඒ අයත් එක්ක එකතුවෙලා සිනාසෙන්න, කතා කරන්න, විනෝද වෙන්න හා ගමන් බිමන් යන්න, දුක සැප බෙදා ගන්න නැවත අවස්ථාවක් ලැබෙන්නේ නෑ. හරියට සිහිනයක් දැකලා අවසන් වුණා වගේ ආයෙ ඒ අවස්ථාව කවදාවත් ගන්න බෑ. කොපමණ හඬා වැටුණත් ඒ ගිය අයව ආය කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.

‘දිට්ඨාපි සුතාපි තේ ජනා
– යේසං නාමමිදං පවුච්චති
නාමමේවාවසිස්සති
– අක්ඛෙය්‍යං පේතස්ස ජන්තුනෝ’

ජීවත්ව ඉඳලා කෙනෙක් මැරුණට පස්සේ එයා ජීවත්ව හිටපු කාලේ කරපු කියපුවා ඇරෙන්න එයා වර්තමානයේ මොනවද කරන්නේ, අනාගතයේ එයා මොනවද කරන්නේ කියලා කියන්න කිසි දෙයක් ඉතිරි වෙන්නේ නෑ. කොටින්ම කිව්වොත් ඒ මැරුණ කෙනාගේ නම කියා සිහිකරනවා ඇරෙන්න වර්තමානය තුළ හෝ අනාගතය තුළ ඒ කෙනා පෙර හිටපු ආකාරයෙන්ම ජීවමාන කරවන්න ලෝකෙ කිසි කෙනෙකුට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ.

‘සෝකපරිදේව මච්ඡරං
න ජහන්ති ගිද්ධා මමායිතේ’

මේ ආකාරයට මරණයෙන් අවසන් වන ජීවිතයක් තියෙන සත්වයින් මරණය අබියස ජීවත් වෙද්දි මගේ මගේ කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කාමයන්ට ඇලී වාසය කිරීම නිසා එයාට කවදාවත් ශෝකය වැළපීම දුරු කරලා සංසිඳීමෙන් වාසය කරන්නට බැහැ. මසුරුකම බැහැර නොයන තාක් එයා කිසි දෙයක් අතහරින්නේ නෑ.

‘තස්මා මුනයෝ පරිග්ගහං
හිත්වා අචරිංසු ඛේමදස්සිනෝ’

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාමයන්ට ගිජු වෙලා මසුරුකමින් ජීවත්වන තාක් ශෝක වැළපීම් දුක් දොම්නස් ඉක්මවා යන්නට බැරි බව තේරුම් ගත්ත සදහම් දකින මුනිවරු ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින් හැම බැඳීමක් ම දුරු කරලා දානවා. බිය තැතිගැනීම් රහිත වූ ඒ අමා නිවන අවබෝධ කරන ඒ මුනිවරු සංසිඳුණු සිතින්, නොකැළඹුණු සිතින්, ශාන්ත සිතෙන් ජීවත් වෙනවා.

‘පතිලීනවරස්ස භික්ඛුනෝ
භජමානස්ස විවිත්තමාසනං’

උතුම් නිවන අවබෝධ කරගත් උතුම් මුනිවරු උතුම් ජීවිතයක් ගත කරමින්, හුදෙකලා ව, නිහඬ වන ගුහා ඇසුරු කරමින්, විවේක සෙනසුන් ඇසුරු කරමින්, නිවන් සුවය විඳිමින් වාසය කරනවා.

‘සාමග්ගියමාහු තස්ස තං
යෝ අත්තානං භවනේ න දස්සයේ’

තමන් තුළ පෙර පරිදි කාමයන් නිසා හටගත්තු ශෝක වැළපීම් දුක් දොම්නස් යළි කිසිදු විටක හට නොගන්නා බව අවබෝධයෙන් ම දකින ඒ උතුම් මුනිවරුන් තමන්ව නිවී සැනසීමට පත් කළ ඒ සොඳුරු දහම සමඟින් ම ඇලී වාසය කරනවා.

‘සබ්බත්ථ මුනී අනිස්සිතෝ
න පියං කුබ්බති නෝපි අප්පියං’

ඒ උතුම් මුනිවරුන්ගේ ජීවිත තුළ කිසිම ආකාරයකින් යළි තණ්හාව හටගන්නේ නෑ. මුනිවරුන්ට ‘මම මේ දේට කැමතියි’ කියලා දෙයක් නෑ. ‘මම මේ දේට කැමති නෑ.’ කියලා දෙයක් නෑ. කැමති අකමැති දෙක ම දුරු කරලා ඉවරයි.

‘තස්මිං පරිදේව මච්ඡරං
පණ්ණේ වාරි යථා න ලිප්පති’

මුනිවරුන්ට ‘මගේ අම්මා නැති වුණා, මගේ තාත්තා නැති වුණා, මගේ සහෝදරයා නැති වුණා, මගේ සහෝදරිය නැති වුණා, මගේ ස්වාමියා නැති වුණා, මගේ දරුවන් නැති වුණා, මගේ ඥාතීන් නැති වුණා, මගේ යහළුවන් නැති වුණා’ කියලා හඬන්නට වැළපෙන්නට දෙයක් නෑ. ‘මේකත් මගේ, අරකත් මගේ’ කියලා මසුරුකමින් ළඟ තියා ගන්න දෙයක් නෑ. කිසිම දේකට ඇලෙන්නෙත් නෑ. ගැටෙන්නෙත් නෑ. නෙළුම් කොළයේ නොරැඳෙන දිය බිඳුව වගේ ඒ මුනිවරු මේ ලෝකයට ඇලෙන්නෙ නෑ. ගැටෙන්නේ නෑ.

‘උදබින්දු යථාපි පොක්ඛරේ
පදුමේ වාරි යථා න ලිප්පති
ඒවං මුනි නෝ පලිප්පති
යදිදං දිට්ඨසුතං මුතේසු වා’

නෙළුම් කොළයේ නොඇලී වැටෙන දිය බින්දුවක් වගේ, පියුම් මත නොරැඳී වැටෙන පැන් පොදක් වගේ මේ ලෝකෙ දකින්ට තියෙන කිසිම දෙයකට හෝ අසන්න ලැබෙන කිසිම ශබ්දයකට හෝ ආඝ්‍රාණය කරන්ට තිබෙන කිසිම සුවඳකට හෝ රස විඳින්ට තිබෙන කිසිම රසයකට හෝ පහස ලබන්ට තිබෙන කිසිම ස්පර්ශයකට හෝ නොඇලී වාසය කරන මුනිවරයා ඒකාන්තයෙන් ම රහතන් වහන්සේ නමක් ම යි.

‘ධෝනෝ න හි තේන මඤ්ඤති
යදිදං දිට්ඨසුතං මුතේසු වා
නාඤ්ඤේන විසුද්ධිමිච්ඡති
න හි සෝ රජ්ජති නෝ විරජ්ජතීති’

ඒ රහතන් වහන්සේ කවදාවත් දකින දේට ඇලෙන්නෙත් නෑ. අහන දේට ඇලෙන්නෙත් නෑ. සුවඳ, රස, පහස ගැන ඇලීමකුත් නෑ. රාගයට ඇලෙන්නෙත් නෑ. විරාගයට ඇලෙන්නෙත් නෑ. කවදාවත් නොමගින් සැනසීමක් ලබන්න සිතන්නේ නෑ.

මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් බ්‍රහ්ම ස්වර විහිදුවමින් ධර්මය දේශනා කරද්දි රැස්ව සිටි පිරිසෙන් බොහෝ දෙනෙක් උතුම් ධර්මය අවබෝධ කළා. බොහෝ පිරිසක් කාමයන්ගෙන් වෙන් වුණ උතුම් මුනිවරයෙක් වීමේ අදහසින් ම පැවිදි වුණා. බොහොම ටික කලෙකින් අවසන් වන මනුස්ස ජීවිතයට කල්ප කෝටි ගණනකින් සමීප කරගන්න නොලැබුණු උතුම් ධර්මය සමීප කර ගත්තා. ශෝක වැළපීම් දුක් දොම්නස්වලින් සදහට ම නිදහස් වුණා. අමා මහ නිවන සාක්ෂාත් කළා. අපට ද ඒ සොඳුරු දහම ශෝක වැළපීම් දුක් දොම්නස් දුරු කර ගැනීම පිණිසමත්, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසමත් හේතු වාසනා වේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.