‘බුදුගුණ අලංකාරය’ නම් මේ කාව්‍යය වීදාගම විහාරාධිපති මහා නේත්‍ර ප්‍රසාදමූළ මෛත්‍රිය මහා ස්වාමීන් වහන්සේ විසින් බුවනෙකබාහු රජු රජ වූ පසු බු.ව. 2015 දී රචනා කරන ලදැයි මේ කෘතියේ අවසාන පද්‍ය තුනෙන් පෙනී යයි.

උදා: සමතැස් මුනිඳු පිරිනිවි වස පටන් ලද
දෙදහස් පසළොසක් හවුරුදු පිරුණු සඳ
දියගොස් පැතිරි බුවනෙක බුජ නිරිඳු සඳ
පිරිවස් තුනෙහි සිරිලක රජබිසෙව් ලද

ව්‍ය. ව. 1470 දී පමණ, ඉතිහාසයෙහි හැඳින්වෙන පරිදි ඪෂ වන බුවනෙකබාහු යන නාමයෙන් මෙසේ රජ පැමිණියේ සයවන පරාක්‍රමබාහු රජුගේ පුත්‍රයෙකු ලෙස යාපා පටුන ජයගත් සපුමල් කුමාරයා ය. පරාක්‍රමබාහු රජතුමා විසින් සියලු ලක්දිව එක්සේසත් කොට ආගම හා සාහිත්‍යය දියුණුවට අවශ්‍ය වාතාවරණය සලසා දී සෑම අනුග්‍රහයක් ම ලබා දෙන ලදී. පරාක්‍රමබාහු රජතුමාගේ ඇවෑමෙන් සපුමල් කුමාරයා රජ වන්නට පෙර රටේ අවුල් වියවුල් සහිත කාල පරිච්ඡේදයක් වූයේ රටේ කැරලි ඇති වූ බැවිනි. රටේ ඇතැම් පෙදෙස් ඔහුට අහිමි වූ අතර සවන පරාක්‍රමබාහු රජු මිය ගොස් දස අවුරුද්දක් ඉකුත් වන්නට පෙර රාජ්‍ය තුනකට රට බෙදී ගියේ ය.

පරාක්‍රමබාහු රජුගේ කාලයෙහි ඇරඹුණු සාහිත්‍ය උන්නතිය බුවනෙකබාහු රජුගේ කාලයේ ද පැවතියේ ය. මේ කාලයෙහි මුල් තැන ලැබුණේ ගද්‍ය සාහිත්‍යයට වඩා පද්‍ය සාහිත්‍යයට යි. සැළලිහිණි සන්දේශය, කාව්‍යශේඛරය වැනි උසස් කාව්‍ය රචනා කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ජීවත් වූයේ ද මේ අවදියේ ය. ග්‍රාමවාසී නිකායට අයත් වූ රහල් හිමියන් තම පාණ්ඩිත්‍යය විදහා දක්වමින් මහා කාව්‍යයන් රචනා කොට රාජසභා වර්ණාදිය සඳහා මහත් රුචියක් දැක්වූවත් වනවාසී නිකායට අයත් තෙරනමක් වූ වීදාගම හිමියෝ ඊට වඩා වෙනස් වූ මගක ගමන් ගත්හ.

වීදාගම මෛත්‍රිය හිමියන් විසින් රචිත පද්‍ය කාව්‍ය තුනකි. මුලින් ම කරන ලද කෘතිය ලෙස සැලකෙන ‘ලෝවැඩ සඟරාව’ කෘතිය උපදේශාත්මක කාව්‍ය ගණයෙහි ලා ගැනේ. කාව්‍ය බන්ධනයෙහි යම් යම් උපදෙස් ඇතුළත් ‘කිවි ලකුණු මිණි මල’ නම් කුඩා පොත ද වීදාගම හිමියන් විසින් කරන ලද්දකි. උන්වහන්සේගේ කවීත්වය විදහා දක්වන උසස් ම කෘතිය බුදුගුණ අලංකාරය යැයි සැලකිය හැකි ය.

බුද්ධාගම විෂයෙහි ලා වීදාගම හිමියන්ගේ නිර්මල ථේරවාදී අදහස් උදහස් ද මේ කෘතියෙන් මනාව විදහා දක්වයි.

වීදාගම හිමියන් සිය කාව්‍යය සඳහා වස්තු කොට ගන්නේ විසාලා පුරයට පැමිණි තුන්බියත්, එම තුන්බිය සන්සිඳවනු සඳහා බුදුරජුන් වැඩම කරවාගෙන රතන සූත්‍රය දේශනා කොට පිරිත් කියා සියලු දුක් නිවාරණය කරමින් සෙත් පැතීමත් ය. මෙහි දී උන්වහන්සේ එවකට ඉන්දියාවෙහි පැවති හින්දු ආගමික ඇදහිලි හා නොයෙක් මිථ්‍යාදෘෂ්ටීන් ද හෙළා දකිමින් බුදුරජුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා නව අරහාදී බුදු ගුණ ද වර්ණනා කරයි. හින්දු ආගම හා බ්‍රාහ්මණ වත් පිළිවෙත් නිර්දය ලෙස විවේචනය කළ විචාරකයෙකු ලෙස වීදාගම හිමියෝ සිංහල සාහිත්‍යයෙහි අද්විතීය තැනක් හිමි කර ගනිති.

උදා: පව් පින් නැතැයි යන
නිවටෝ ය මු හැම දෙන
ලොවට මුන්ගෙන් වන
සෙතැ’ත සිසිලස ලැබෙයි ගින්නෙන

අදහස: පින් පව් දෙක නැතැයි පවසා සිටින මේ නිගණ්ඨයෝ ය. ලෝකයට මේ තැනැත්තන්ගෙන් වන ශාන්තියක් ඇත්නම් ගින්නෙන් සිසිලස ද ලැබෙනු ඇත.

උදා: මුන්ගෙන් වෙතියි සෙත
කරන පුද මේ ලෙව් සත
වැලි මලු ලා සතත
මඩන වැනි තෙල් පතා තෙලියත

අදහස: මෙබඳු පුද්ගයලන්ගෙන් ශාන්තියක් අත් වේයැයි සිතා ලෝකවාසී සත්වයන් කරන පූජා නිරන්තරයෙන් වැලි ගෝනි සෙක්කුවට දමා තෙල් ලැබීමේ අදහසින් මිරිකන්නා මෙනි.

බුදුගුණ අලංකාරයෙහි එන විසාලා පුරයෙහි දුර්භික්ෂය පිළිබඳ වර්ණනාව සිත් කා වදින ලෙස සරල බසින් කරන ලද මනහර වර්ණනයකි. බුදුන් වහන්සේ විසාලා නුවරට වඩින කල්හි මහා මාර්ගය සරසන ආකාරය දක්වන වර්ණනාව ගතානුගතික ව උපමා රූපක යොදාගෙන කරන ලද්දක් වුවත් මටසිලිටි ලිහිල් බසින් රචනා කරන ලද නිසා ආශාවෙන් කියවිය හැකි ය.

උදා: කණු කටු මුල් ඉවත්
වීමෙන් සිනිඳු ගුණ ගත්
මුනි වඩන මඟ වත්
දෙරණ බෙර ඇස සේ ම සමවත්

අදහස: කණු කටු මුල් ඉවත් වී බුදු රදුන් වඩනා මඟ පිහිටි පොළොව බෙර ඇසක් සේ සම ව ගිය කල්හි,

උදා: බුදු සිරුරෙන් නිකුත්
රිවි රැස් මකා දිව ගත්
බුදුරැස් දැක දිමුත්
බලා සිටි සෙනඟ වැද හෙත්

අදහස: සූර්ය රශ්මිය මැඩගෙන බුදුරජුන්ගේ ශරීරයෙන් නික්මුණු දීප්තිමත් බුදු රැස් දැක බලා සිටි සෙනඟ වැඳ වැටෙන කල්හි…

මෙහි හින්දු දෙවි දේවතාවුන් හෙළා දකින පැදි පෙළ සිංහල සාහිත්‍යයේ ඉතාම කර්කශ උපහාසය රැගත් කවි පෙළ ලෙස මහා සාහිත්‍යකරුවකු වන මාර්ටින් වික්‍රමසිංහ මහතා කල්පනා කරයි.

උදා: නරලොව දෙන පුදට
රිසිවන දොරින් දොර සිට
සුරතැයි යනු කුමට
දුගී යාචකයන්ට එනිවට

අදහස: මිනිස් ලෝකයේ දී දෙන්නා වූ පූජාවන් උදෙසා දොරකඩක් පාසා සිට ඊට ආශා කරන එබඳු පහත් දුප්පත් සිඟනුන්ට දෙවියන් යැයි කුමක් සඳහා කියන්නේ ද?

වීදාගම හිමියන්ගේ භාෂාව ඉතා සරල ය. කනට මිහිරි ය. සිංහල සාහිත්‍යයෙහි මුල් බැස ගත් ගතානුගතික උපමා රූපක යොදන තන්හි දී පවා ආශාවෙන් කියවිය හැකි අන්දමින් රසයෙන් අනූන කොට වීදාගම හිමියන් පද්‍ය රචනා කරයි.

සාමාන්‍ය ව්‍යවහාරයෙහි එන ගැමි වහර, ගැමි උපමා රූපක යොදාගනියි. දුෂ්කර කාව්‍ය බන්ධන ආදියට ඇල්මක් නොදැක්වූ උන්වහන්සේ සෑම විට ම කන පිනවන සුගම ශෛලියක් යොදාගෙන ඇත. තමන් වර්ණනා කරන විෂයට උචිත විරිතක් තෝරා ගැනීමෙන් උන්වහන්සේ කාව්‍යයෙහි ඒකාකාර බව බිඳීමට ද සමත් වී ඇත.

උදා: කෙසරුන් ගෙන හැර දුන් නිය පඳුරෙන්
ගිජිඳුන් සනහාලූ රස ගොදුරෙන්
ගිජිඳුන් ගෙන වත්කළ කර පොකුරෙන්
කෙසරුන් ගිම් දුරලූ දිය දහරෙන්

අදහස: කේශර සිංහයන් විසින් නිය පඳුරින් ගෙනවුත් දෙන ලද රසවත් ගොදුරින් ඇතුන් සනසාලූ සේක. හස්තිරාජයන් විසින් සොඬින් ගෙන ඉසින ලද දිය දහරෙන් කේශර සිංහයන්ගේ ග්‍රීෂ්මය දුරු කළ සේක.

පැරණි සිංහල සාහිත්‍ය කෘති පාසල්වල භාවිතය සඳහා නියම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් බුදුගුණ අලංකාරය සංස්කරණය කොට ඇත. මෙවැනි සම්භාව්‍ය කෘති පරිශීලනය සිසුන්ගේ භාෂා ඥානය දියුණු කරලීමටත්, පැරණි සිංහල සාහිත්‍යයේ විශිෂ්ට කෘති ගැන යම් කිසි අවබෝධයක් සිසුන්ට ලබා දීමටත් හේතු වේවා’යි පතමු.

සටහන : ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ