ශ්‍රී ලංකාවේ වත්මන් ජනගහනයෙන් සියයට හැත්තෑවක් පමණ වන ගැමි ජනකායගේ දිවි පෙවෙත වූ කලී එකිනෙකා කෙරෙහි බැඳුණ අන්‍යෝන්‍ය මානව සබඳතාවලින් වෙලී ගත් අති සුන්දර ජීවන අත්දැකීම් පොදියක සාර අස්වැන්න වෙයි. බුදු දහමේ ඉගැන්වෙන අපිස් ජීවන පැවැත්මට අනුව සිය ජීවිකාව හැඩගසාගත් ගැමි ජනතාව පරහිතකාමිත්වය අගයමින් ගමට රටට බරක් නොවී සැහැල්ලුවෙන් යුතුව ජීවත් වූ යුගයක මතක සුවඳ දැනුදු අපට ආස්වාදනය කළ හැකි ය.

නාගරීකකරණය හේතුවෙන් නූතන යුගය වන විට පැරණි ගැමි සමාජ පදනම තරමක විපර්යාසයකට බඳුන්ව ඇතත් හුදෙකලා පිටිසර ගම්මානවල එදවස පැවති ගැමි ජීවන සංහිඳියාව තවමත් මඳ වශයෙන් වුව ද දක්නට ලැබෙයි. සමාජයේ ප්‍රාථමික ඒකකය වන ගැමි පවුලක එදිනෙදා ඇවතුම් පැවතුම් මෙහෙයවෙන ආකාරය විමසා බැලීමේ දී ගැමි අත්දැකීමක සුන්දරත්වය, ස්වභාවික පරිසරයේ කවර ම බලපෑමක දී වුව විඳගත හැකිවන බව පෙනී යයි. එබඳු අත්දැකීමක් දකින අසන නෙතක සිතක දැවටෙනුයේ මානව බන්ධූත්වය පිළිබඳ සුන්දර හැඟීමක් මෙන් ම ජීවන ආස්වාදයකි. ගැමි ජනකායගේ අත්දැකීම් අපගේ නෑයන් හා සුහද මිතුරන් මෙන් අපගේ ඇඟේ හැපෙමින් ජීවත් වන්නේ යයි මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සිය ‘සාහිත්‍ය කලාව’ කෘතියෙහි ලා පෙන්වා දුන්නේ දුක් කම්කටොලු ද ජීවිතාස්වාදයක් ලෙස සැලකූ ගැමියන්ගේ ඇසුර ඔහු කුඩා වියේ සිට තරුණ විය ඉක්මෙන තුරු ම වින්දනය කළ බැවිනි.

පූර්වෝක්ත පුරෝකථනය සිහිපත් කරවන අති සොඳුරු පද සරණියක රසභාව විමසුමකට මෙවර සුභාවිත ගීත රසාස්වාදනයේ ඉඩ හසර වෙන්කර ගැනීමට අපේක්ෂා කරමි. සිංහල දේශයේ රුව ගුණ වරුණ ලොවට අඟවන ජාතික ගීය මෙන් ම ගැමි ජීවන පුවත් අලලා ‘පොඩිමල් එතනෝ’, ‘විලේ මලක් පිපිලා’, ‘එන්ඩ ද මැණිකේ’ ආදී ගැමි සුවඳ වහනය වන ගීත රැසක් ජාතියට දායාද කළ ආනන්ද සමරකෝන් නම් වූ පුරෝගාමී සංගීතවේදියාණෝ එම සොඳුරු ගී පද සරණියේ නිර්මාතෘවරයා වෙති. ගීතය ආරම්භ වන්නේ ‘අක්කෙ අක්කෙ අර බලන්නකෝ වැස්සක් නොවැ එන්නේ’ යන ස්ථායි ගී ඛණ්ඩයෙනි.

මහා මේඝයක පෙරනිමිති විසින් ගැමි දරු පවුලක එකමුතුව, කාර්යක්ෂමතාව, සුරක්ෂිත භාවය මෙන් ම අභියෝගයන්ට මුහුණ දීමේ චිත්ත ධෛර්යය ද පිඬු කොට නිරූපණය කරනු ලැබීම මෙම සොඳුරු ගීතයේ විද්‍යාමාන වෙසෙස් ගුණාංග වෙයි. අභියෝගයන්ට මුහුණදීම පිළිබඳ අවස්ථාවෝචිත ක්‍රියාදාමයන් මෙන්ම සමස්ත ගැමි ජීවිතයේ අහුපැවත ද හකුළා දක්වන ප්‍රස්තුත ගී පද සංකල්පනාව මගින් සොබාදහමේ ක්‍රියාකාරීත්වය, මිනිස් ජීවිතයට බලපාන එක් අවස්ථාවක් පිළිබඳ සිදුවීම් පෙළක් නිරූපණය වෙයි. එමෙන්ම ඉන් විශද වන අත්දැකීම ගැමි දිවි පෙවෙත විෂයෙහි අතිශය පුළුල් වන්නක් බව ගීතයේ පද සරණියත්, ඉන් හැඟෙන ධ්වනිතාර්ථත් විමසන විට හැඟී යන්නේ ය. ළමා ගීතයක් වශයෙන් මෙන් ම ප්‍රබුද්ධ ගීතයක් ලෙස ද සැලකිය හැකි එහි පද මාලාව මෙසේ වෙයි:

“අක්කෙ අක්කෙ අර බලන්නකෝ
වැස්සක් නොවැ එන්නේ
හෝ හෝ හෝ ගාගෙන එන්නේ
ගස් ගල් පෙරළෙන්නේ
සුළං තදයි විදුලිය ද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ
අක්කේ වී පැදුරත් මිදුලේ –
අකුලා ගෙට ගනිමු
අම්මත් අර නාගෙන එන්නේ – මල්ලී තවම කුඹුරේ
සුළං තදයි විදුලිය ද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ
නංගි සුදෝ මගෙ අඬන්නෙපා
අම්ම හණික දැන් එයි
බිල්ලො නොවෙයි ඔය ගොරවන්නේ
අහසේ හෙණ නාදේ
සුළං තදයි විදුලිය ද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ
අක්කේ දර ගෙට ගනිමු
වැහිපොද වැටෙනවනේ
වතුරත් ඉවරයි කළගෙඩියේ
හණික ළිඳට යමුකෝ
සුළං තදයි විදුලිය ද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ”

ගීතය ආරම්භයේ සිට අවසානය දක්වා විහිද යන සරල වදන් කැටි නගන රිද්ම රටා තුළින් අව්‍යාජ සිංහල ගැමි සංස්කෘතියක මහිමය මතු කරන අපූරුව සිත් ගන්නා සුලු ය. ළං ළංව ඇද හැළෙන මහා වැස්සක පෙරනිමිති පහළ කෙරෙන පරිසරයක පිහිටි නිවහනක වෙසෙන පියා අහිමි දරු පවුලක් සිය ජීවනය උදෙසා වෙහෙසෙන අයුරු පළ කෙරෙන වෘත්තාන්තයක් එම අපූර්ව ගීතය තුළ චිත්‍රණය වී තිබෙයි. මව සමඟ දිවි ගෙවන දරුවන් සිව් දෙනාගේ එක් එක් චරිත ස්වභාව පිළිබඳව ද අවස්ථාවෝචිත ව ඔවුන් හැසිරෙන ආකාරය ද ගීතයේ අවසානය දක්වා ම විකාශනය වන්නේ දරු පවුලේ දෙවැන්නී වන දියණිය සිය වැඩිමහල් සොහොයුරිය අමතන ස්වරූපයෙනි. ගොවිපළේ සිට වෙහෙස වී පැමිණි අම්මා දිය නෑමට ගොසිනි. මල්ලී තවමත් කුඹුරේ අස්වැද්දුම් කටයුතුවල යෙදී සිටියි. කුඩා නැගණිය නිදි යහනේ ය. ඒ මොහොතේ කෙමෙන් අහස කළු කරගෙන මහා වරුසාවක් ඇදහැළීමේ ලකුණු පහළ වීගෙන එනු දකින නැගණිය අක්කා අමතමින් එකී කාලගුණ විපර්යාසයට මුහුණ දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරන ආකාරය ගීතය ඔස්සේ ඉදිරිපත් කෙරෙන්නේ නාටකයක පූරකගේ භූමිකාව සිහිගන්වමිනි.

“අක්කෙ අක්කෙ අර බලන්නකෝ වැස්සක් නොවැ එන්නේ
හෝ හෝ ගාගෙන එන්නේ ගස් ගල් පෙරළෙන්නේ”

පරිසරයේ ක්ෂණික ව ඇති වුණ විපර්යාසය ‘අර බලන්නකෝ’, ‘හෝ හෝ හෝ ගාගෙන’, ‘ගස් ගල් පෙරළෙන්නේ’ ආදී යෙදුම්වලින් ප්‍රබලව මතුවී එයි. අනතුරුව ඇසෙන, ‘සුළං හමයි විදුලිය ද කොටයි හෙණ හඬ පැතිරෙයි’ යන වදන් කැටි, එකී පරිසර විපර්යාසයේ බිහිසුණු ස්වරූපය අඟවයි. අක්කා හා නැගෙණිය එක්ව මිදුලේ වනා තිබූ වී පැදුර හණික අකුලා ගෙතුළට රැගෙන යන අතරතුර, දිය නෑම සඳහා ගිය අම්මා ද ගෙදර බලා පැමිණෙන අයුරු දකිති. ඇය මල්ලී ද සමඟ කුඹුරේ වැඩපළෙහි යෙදී වෙහෙස වී පැමිණි බව හැඟෙනුයේ ‘මල්ලි තවම කුඹුරේ’ යන යෙදුම නිසා ය.

‘සුළං තදයි විදුලිය ද කොටයි හෙණ හඬ පැතිරෙයි’ ආදී වශයෙන් ගැයෙන අන්තර් ගායන ඛණ්ඩය, සෑම සංසිද්ධියකට ම පසුව ඇසෙන්ට සැලැස්වීම මඟින් කාලගුණ විපර්යාසයේ බිහිසුණු ස්වභාවය ගීතයට සවන් දෙන්නන් හද තුළ ද කම්පනයක් ඇති කරවීමට සමත් වෙයි. ‘මල්ලී තවම කුඹුරේ’ යන ගී ඛණ්ඩය තුළ ගැබ්ව පවත්නේ බිය මුසු සැක සංකාවකි. හෙණ පුපුරන වැස්සේ කුඹුරේ වැඩවල නිරත වෙමින් එළිමහනේ සිටීම අනතුරුදායක ය. මල්ලී වහා නිවසට කැඳවා ගැනීම පිළිබඳ වුවමනාව ද ඒ යෙදුම තුළ ගැබ්ව පවතියි. අකුණු පුපුරන හඬින් අවදි වී බියට පත්ව හඬන ළදරු නැගණිය අස්වැසීමට ද අක්කා ඉදිරිපත් වෙයි:

‘නංගි සුදෝ නුඹ අඬන්නෙපා අම්ම හණික දැන් එයි
බිල්ලො නොවෙයි ඔය ගොරවන්නේ
අහසේ හෙණ නාදේ…’

හිටිහැටියේ කාලගුණය වෙනස් වී ගෙරවිලි සහිත කළු වලා අහස වසා පැතිර යාම නිසා වැසි වැටීමට පෙර නිවස අවට පරිසරයේ සියලු කිස නිමා කළ යුතු වෙයි. වැස්ස ළඟ ළඟ ම පැමිණෙන බව ගීතයේ සන්නිවේදිකාවට පමණක් නොව එය අසන රස විඳින්නාට ද දැනෙයි.

“අක්කේ දර ටික ගෙට ගනිමු – වැහි පොද වැටෙනවනේ
වතුරත් ඉවරයි කළගෙඩියේ – හණික ළිඳට යමුකෝ”

නිවස අවට එළිමහනේ පැවති සියලු දේ ගෙය තුළට ගත් නමුදු වතුර කළය හිස්ව ඇති බව නැගණිය දකියි. වැසි පොද ඇද හැළෙන අතරතුර, අහස ගිගුරුම්, විදුලි කෙටිලි හා අකුණු ගසන හඬ මැද දිය රැගෙන ඒම සඳහා තනිව ළිඳ වෙත යා නොහැකි ය. එහෙයින් නැගණිය අක්කා අමතා ළිඳ වෙත ගොස් ඒමට තමාගේ තනියට පැමිණෙන ලෙස අක්කාට යෝජනා කිරීමත් සමග ම ගීතය නිමාවට පත් වෙයි.

දහදිය මහන්සියෙන් උපයා සපයාගෙන සිය ජීවනය සරිකර ගන්නා ධෛර්යසම්පන්න ගැමි දරු පවුලක ජීවිත කතාවක් අපූරු ගී පදවැල් අතර තරංග මාලා විහිදුවමින් පැතිර යන ආකාරය මනස්කාන්ත ය. පියකු පිළිබඳ කිසිදු ඇඟවීමක් ගීතයේ නොමැති හෙයින් ඔහු මිය ගොස් හෝ දුර බැහැර ප්‍රදේශයක රැකියාවක නිරත වී හෝ සිටිනු ඇතැයි සිතිය හැකි ය. කෙසේ වුව ද ගොවිතැන් වැඩවල යෙදෙමින් පවුලේ සියලු බර උසුලන මවත් පුතාත්, ගෙදරදොරේ වැඩ කටයුතු මෙන් ම කුඩා බිළිඳු නැගණිය බලා කියාගන්නා වැඩිමහල් දූවරුන් දෙදෙනාත් පිළිබඳව ගී පද වැල් අතරින් මතුව එන ජීවන පරිශ්‍රමය පිළිබඳ පුවත සාරවත් නව ප්‍රබන්ධ ආඛ්‍යානයක සම්පිණ්ඩනයක් ලෙස ද හඳුන්වා දිය හැකි ය. ආනන්ද සමරකෝනුන්ගේ මේ වස්සාන ගීතය සිංහල ගීත සාහිත්‍යයේ ප්‍රාතිහාර්යයක් වැන්න.

සටහන – දයාපාල ජයනෙත්ති.