සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේ දී කෙනෙකුට මිනිසත් බවක් ලැබෙන්නේ කලාතුරකිනි. එම කලාතුරකින් ලැබුණ මිනිසත් බව තුළ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ජීවිතයට මුණගැසී එම කල්‍යාණ මිතුරන් ඇසුරින් නිර්මල ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබෙන පිරිස ද ඉතා අල්ප වේ. තමන්ගේ දුර්වලතා බැහැර කොට ධර්මයට අනුව ජීවිතය පැවැත්වීමට උත්සාහ ගන්නා විට ද ඒ සඳහා නොයෙක් ආකාරයේ බාධාවන්ට මුහුණ දීමට එම ශ්‍රාවකයාට සිදුවේ. එසේ නිවන් මග ආවරණය කරන, වළකාලන නීවරණ ධර්මයක් ලෙස ථීනමිද්ධය හැඳින්විය හැකි ය. සසරේ පුරන ලද පාරමී බලය සම්පූර්ණ කොට ගුරු උපදේශ රහිත ව චතුරාර්ය සත්‍යය අවබෝධ කොට වදාළ අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිවන් මගට බාධා පමුණුවන සියලු කෙලෙස් හඳුනාගෙන එම කෙලෙස් තමන් වහන්සේගේ සිතින් යළි නූපදින ආකාරයට මුලින් ම උපුටා දැමූ සේක. තම ශ්‍රාවකයන් හට ද මහා කරුණාවෙන් යුතුව එම කෙලෙස්වලින් මිදෙන ආකාරය පෙන්වා දුන් අයුරු විස්මයජනක ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යම් දෙයකින් නූපන් ථීනමිද්ධය (නිදිමත හා අලස බව) උපදිනවා නම්, උපන් ථීනමිද්ධය බොහෝ සෙයින් වඩා වැඩිවෙනවා නම්, පින්වත් මහණෙනි, මේ කුසල් දහම්වල සිත නොඇලීමත් (අරතිය), අලසකමත් (තන්දි), ඈණුම් අරිමින් ඇඟමැලි කැඩීමත් (විජම්භිකා), බත් මතයත් (භත්තසම්මදෝ), සිතේ හැකිළුණු බවත් (චේතසෝ ච ලීනත්තං) තරම් එයට හේතුවෙන වෙන එක ම දෙයක්වත් මා දකින්නේ නෑ කියා ය. වරෙක එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට කියා සිටියේ නිදා ගැනීමත්, කම්මැලිකමත්, ඇඟමැලි කැඩීමත්, බණ භාවනාවට නොඇලීමත්, බත් මතයත් යන මේ දේවල් නිසා මේ ලෝකයේ සත්වයන්ට නිවන් මඟ ප්‍රකට නොවන බවයි. ඒ මොහොතේ අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ නිදා ගැනීම, කම්මැලිකම, ඇඟමැලි කැඩීම, බණ භාවනාවට නොඇලීම, බත් මතය කියන මේ සෑම දෙයක් ම වීරියෙන් දුරුකළා ම නිවන් මඟ ප්‍රකට වන බවයි.

(නින්දානන්දි සූත්‍රය : සං. නි – 01)

නිවන් මඟට බාධා පමුණුවන නිදිමත හා අලස බව වීරිය උපදවා ගැනීම තුළින් දුරු කළ හැකි ය. අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ උපන් ථීනමිද්ධය ප්‍රහාණය වීම පිණිසත්, නූපන් ථීනමිද්ධය නූපදවීම පිණිසත් මේ වීර්ය පටන් ගැනීමත් (ආරම්භ ධාතු), වීරිය දිගට ම පවත්වා ගැනීමත් (නික්ඛම ධාතු), වීරිය දැඩි ලෙස දියුණු කර ගැනීමත් (පරක්කම ධාතු) යන කරුණු උපකාරී වන බවයි.

සියල්ල දක්නා සියල්ල දන්නා අපගේ ශාස්තෘන් වහන්සේ එක්තරා අවස්ථාවක සංගාරව බ්‍රාහ්මණයා හට නීවරණ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳ පෙන්වා දුන්හ. එහි දී ථීනමිද්ධය නම් නීවරණය පිළිබඳ ව මනරම් උපමාවක් දේශනා කළ සේක. එනම්, දිය සෙවල හා පාසි පිරීගිය දිය බඳුනක් ඇද්ද එය තුළින් ඇස් ඇති පුරුෂයෙක් සිය මුව සටහන පරීක්ෂා කර බලද්දී ඔහුට තම මුහුණේ සටහන නියම ආකාරයෙන් නො පෙනේ. එලෙස ම නිදිමත හා අලස බවින් පෙරලී ගිය සිත් ඇති, එයට ම යටවූ සිතින් වාසය කරන, එයින් නිදහස් වීමට ඒ අයුරින් ම නො දත් තැනැත්තා තමාගේ යහපත නො දනී. අනුන්ගේ යහපත ද ඒ අයුරින් ම නො දනී. තමාගේ හා අනුන්ගේ යහපත ඒ අයුරින් ම නො දනී.

වරෙක බුදුරජාණන් වහන්සේ වදාළේ මෙම නීවරණ තනිකර ම අකුසල් රාශියක් බවයි. අකුසල් ගොඩක් බවයි. එසේ නම් මේ නිදිමත හා අලස බව පැවැත්වීමෙන් අප හට කිසිදු යහපත් උදා නො වේ.

වරෙක අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අරහත්වයට පත්වීමට පෙර කල්ලවාලමුත්ත නම් ගමෙහි හුදෙකලා ව භාවනාවේ යෙදී සිටින අවස්ථාවක ථීනමිද්ධයෙන් යට කරන ලද සිතින් වැඩ සිටිනු දුටු භාග්‍යවතුන් වහන්සේ එතැනට ඉර්ධියෙන් වැඩම කළ සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් මොග්ගල්ලානයන් වහන්සේට නිදිමත ප්‍රහාණය කර ගන්නා අයුරු මෙසේ මැනවින් පෙන්වා දුන් සේක.

01. මොග්ගල්ලාන, යම් සඤ්ඤාවකින් (භාවනාවකින්) වාසය කරන කල්හී ඔබ තුළ ඒ නිදිමත බැසගන්නේ නම්, එම සඤ්ඤාව මෙනෙහි නො කරන්න. එවිට නිදිමත ප්‍රහාණය වන්නේ නම් එකරුණ විය හැකි දෙයකි.

02. එසේ වසද්දී ඒ නිදිමත ප්‍රහාණය නො වෙයි නම්, එකල්හි මොග්ගල්ලාන, ඔබ ඇසූ පරිදි, ඉගෙන ගෙන ඇති පරිදි ධර්මය මෙනෙහි කරන්න. නැවත නැවත මෙනෙහි කරන්න. එවිට නිදිමත ප්‍රහාණය වන්නේ නම් එකරුණ විය හැකි දෙයකි.

03. එසේත් ප්‍රහාණය නො වන්නේ නම් එකල්හි ඔබ අසා ඇති ආකාරයට, ඉගෙනගෙන ඇති ආකාරයට ධර්මය හඬ නඟා විස්තර වශයෙන් සජ්ඣායනා කරන්න. එවිට නිදිමත ප්‍රහාණය වන්නේ නම් එකරුණ විය හැකි දෙයකි.

04. එසේ වසද්දීත් ඒ නිදිමත ප්‍රහාණය නො වන්නේ නම්, එකල්හි මොග්ගල්ලාන ඔබ දෙකන්, අත්පා, අත්ලෙන් හොඳින් පිරිමදින්න.

05. එසේත් එම නිදිමත ප්‍රහාණය නො වන්නේ නම්, මොග්ගල්ලාන, ඔබ හුනස්නෙන් නැගිට සිහිල් දියෙන් දෑස් තෙමා වට පිට හොඳින් බලන්න. අහසේ ඇති තරු ආදිය හොඳින් බලන්න.

06. ඉදින් එසේ වසද්දීත් නිදිමත ප්‍රහාණය නො වන්නේ නම්, එකල්හී ඔබ ආලෝක සංඥාව මෙනෙහි කරන්න. දහවල් යන සංඥාව අධිෂ්ඨාන කරන්න. එනම් දහවල යම් සේ ද රැයත් එසේ ය. රැය යම් සේ ද දහවලත් එසේ ය යනුවෙනි. මෙසේ විවෘත වූ ප්‍රභාෂ්වර සිත වඩන්න.

07. එසේ වාසය කරද්දීත් නිදිමත ප්‍රහාණය නො වන්නේ නම්, හොඳින් තමා තුළට සිහිය පිහිටුවාගෙන සක්මනෙහි යෙදෙන්න. එසේ වාසය කරන ඔබ හට නිදිමත ප්‍රහාණය වන්නේ නම් එකරුණ විය හැකි දෙයකි.

ඉදින් මෙසේ වසද්දීත් නිදිමත ප්‍රහාණය නො වෙයි නම්, එකල්හී ඔබ දකුණු පාදයෙන් වම් පාදය මඳක් ඇලට තබා සිහියෙන් යුතුව, නුවණින් යුතුව, නැගිටිමි යි යන සංඥාව මෙනෙහි කොට, දකුණු පසින් ඇලව සිංහ සෙය්‍යාවෙන් සැතපෙන්න. මොග්ගල්ලාන, ඔබ අවදි වූ සැණින් වහා නැගිටිය යුත්තේ ය. නින්දෙන් ලැබෙන සැපයෙන්, යහනෙන් ලැබෙන සැපයෙන් නැවත නැවත යෙදෙමින් වාසය නො කරන්නෙමියි හික්මිය යුත්තේ ය.”

(පචලායන සූත්‍රය – අං. නි. 04)

මෙසේ බලන කල නිදිමත හා අලස බව ඉතා දුෂ්කර ව, ඉතා වීරියෙන් ප්‍රහාණය කළ යුතු නීවරණයකි. බුදු කෙනෙකුගේ පහළ වීමෙන් පමණක් අපට දැනගත හැකි මෙම නීවරණයන් පිළිබඳ ව හොඳින් වටහාගෙන, එය ප්‍රහාණය කිරීමට අප ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ ක්‍රමෝපායයන් ඉගෙනගෙන, ඒවා මතකයේ දරාගෙන වීරියෙන් අප කටයුතු කළහොත් ඉන් මිදිය හැක. අපගේ මොග්ගල්ලානයන් වහන්සේ මෙම අවවාද හිස් මුදුනෙන් පිළිගෙන ථීනමිද්ධය මුළුමනින් ම ප්‍රහාණය කොට චිත්ත සමාධිය උපදවා ඒ තුළින් විදර්ශනාව වඩා උතුම් අරහත්වයට පත් වූහ. මේ උතුම් දුර්ලභ මිනිසත් බවත්, උතුම් බුද්ධ ශාසනයත් මුණගැසුනු මේ විරල මොහොතේ දී මෙම නිදිමත හා අලස බව දුරු කොට සමාධිමත් සිතක් උපදවාගෙන අප සියලු දෙනාට ද මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධකර ගැනීමේ වාසනාව උදාවේවා!

(මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි)