අපි කාගෙ කාගෙත් ජීවිතවලට දැන් අවුරුදු ගාණක් වයසයි. මේ අවුරුදු ගාණ ඇතුළෙ අපි කවුරුත් ජීවත් වුණේ, ජීවිතයට වඩා මරණයට බොහෝ අවස්ථා අප අවට විවෘත ව තියෙද්දි…

පුදුමයකි, අප තවම ජීවතුන් අතර ය…

යන එන ගමන බිමනේ පවා බිය සැක රැන්දවූ කුරිරු ත්‍රස්තවාදී යුද්ධය… මුහුදු රළ මීටර් ගණනාවක් ඉහළට එසැවෙමින් ගොඩබිම මොහොතකින් අත්පත් කර ගත්ත සුනාමි ව්‍යසනය… ලොව පුරා මිලියන ගණනක මිනිස් ජීවිත උදුරා ගත් කොවිඩ් වසංගතය… මේ මාරාන්තික සන්සිද්ධිවලින් බේරිලත් අපි තවම ජීවත් වෙනවා…!

ඒ විතරක් නෙමෙයි… හිටිහැටියේ නාය ගියපු පස් කඳු එක මොහොතින් ජීවිත උදුරා ගනිද්දි… විනෝදයට නාන්න ගිය දිය පහරේ ම ගිලී ඇතැම් අය මිය යද්දි… වාහනවල හැපිලා, ලයිට් කණු කඩන් වැටිලා, අකුණු පහරට ලක් වෙලා, සත්තු සර්පයන්ගෙන් කරදර වෙලා, සොර සතුරන්ගෙන් උපද්‍රව වෙලා, ලෙඩරෝග හැදිලා… මේ විදිහෙ නොයෙක් ආකාරයන්ගෙන් දවස ගාණේ මිනිස්සු මියැදෙද්දීත් අපි තවම ජීවත් වෙනවා…! මරණයට මේ සා ඉඩකඩ තියෙද්දී අපි තවම ජීවතුන් අතර ඉන්නවා කියන එක ඇත්තටම ලොකු පුදුමයක්…!

ජීවත් වෙද්දි ම අසරණ වෙනව ද…?

ඔව්… මේ ජීවිතය මරණයෙන් අවසන් වෙනවා. එහෙම ජීවිතයකටයි අපි නොයෙක් වටිනාකම් උපද්දවන්න මහන්සි වෙන්නේ. ඒ වටිනාකම් වෙනුවෙන් උපයා ගත යුතුයි කියලා අපි හිතන හැම දෙයක් ම වගේ සම්බන්ධ මේ ගෙවී යන ජීවිත කාලයට විතරයි. ඔව්… දැනුම, රූපවත් බව, ධන ධාන්‍යය, දේපළ, යානවාහන, අඹුදරුවො… හරිහම්බ කරන හැමදේම සම්බන්ධ මේ ගෙවී යන ජීවිත කාලයට.

ඔය විදිහට ජීවිතයට සම්බන්ධ කරලා ගොඩනගා ගත් යම්තාක් වටිනාකම් තියෙනවා ද ඒ කිසිම දෙයකට, යම් සීමාවකට යටත් නොවී පරිපූර්ණ ව රැකවල් හදන්න බැරි තැන් අපේ ජීවිතවලට එළඹෙනවා. මේ කථා කරන්නේ ‘මරණය’ ගැන නෙමෙයි. මොකද, ලෝකය අවබෝධ කරපු – ලෝකයෙන් නිදහස් වුණු, පිනෙන් නුවණින් ගුණෙන් ඉතිරුණු බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ජීවිතත් මරණය විසින් මොහොතකින් නසා වනසා දැමුවා නම් අපි මොන වගේ දේකින් නම් ඒ මරණය වළක්වන්න ද…! මරණයට පෙරාතුව ම ජීවිත අසරණ වන තැන් ගැනයි මේ කථාව.

උපයන දේ නොවටින තැන්…

තමන්ගේ ම කියන ගෙයක් ඇතුළේ විවේකයෙන් පාඩුවේ යම් කෙනෙක් ඉද්දි පාරේ යන වාහනයක් අධික වේගය නිසා හරි, තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා හරි ඒ තැනට කඩා වැදිලා අර පාඩුවේ උන්නු කෙනා ව සදාකාලික ආබාධිතයෙක් කරන්න පුළුවන්. එහෙම දේවල් අපට අහන්න දකින්නත් ලැබිලා තියෙනවා. ඊටපස්සේ මුළු ජීවිත කාලයක් තියපු තැනක තියපු විදිහට ඉන්න එක තමයි ඒ කෙනාගේ ඉරණම. ඔය වගේ තැනකදි අපි හරිහම්බ කරපු දේවලින් ලොකු ඵලක් නැහැ.

සමහර රෝගාබාධ තියෙනවා, ඒ දේවල් යම් කයක හටගෙන කියන එක දැනගන්න ලැබෙන්නේ පිළියම් යෙදිය නොහැකි තරමට ඔඬු දිව්වට පස්සේ. හොඳම බෙහෙත්හේත්වලටවත්, දක්ෂතම වෛද්‍යවරුන්ටවත් පිහිට වෙන්න පුළුවන්කමක් නැති ඒ වගේ තැනකදි හරිහම්බ කරපු දේවලින් ඇති ඵලක් නැහැ.

අපට අප ව අහිමි වීම…

ඔය වගේ මාරාන්තික, පූර්ණ ආබාධිත බවට පත් කරවන ලෙඩ රෝග ඉදිරියේ විතරක් නෙමෙයි අපි අසරණ වෙන්නේ. තරුණ වයසේ දී ම සමහර උදවියට ඇස්වල පෙනීම අහිමි වෙනවා.

ඇතැම් වෙලාවට කිසිදු ප්‍රතිකර්මයකින් යථා තත්ත්වයට පත් කරන්නට බැරි විදිහට ඇස්වලට හානි වෙනවා. එදාට මේ ඇස්වලින් අපට ප්‍රයෝජනයක් නැතිව යනවා.

කන් දෙකත් එහෙම තමයි. සමහර රෝග තත්ත්වවලදි කනේ නොයෙකුත් ශබ්ද ඇසෙන්නට පටන් ගන්නවා. කනේ කෘත්‍යය බාහිර ශබ්ද ඇසෙන්නට සැලැස්වීම තමයි. හැබැයි, මේ ඇහෙන්නෙ අන් අයට නෑසෙන විදිහේ ශබ්ද… බාහිර ශබ්ද නැති වෙලාවට තමන්ගෙම කන ඇතුළ ඝෝෂාකාරී වීම ලොකු පීඩාවක්. සමහර අවස්ථාවලදි එයටත් කිසිදු වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකර්මයක් යොදන්නට ලැබෙන්නේ නැහැ. හුරු වීම හැර අන් පිළියමක් එයට නැහැ. අපට මේ විදිහට යම් යම් දේ අහිමි වෙන එක හරිහම්බ කළ දේවලින් නවත්තන්න බෑ…

ඔය වගේ දේකට මුහුණපාන්න සිද්ධ වුණොත්…?

අද කරන මේ වැඩ කොටස ඔබට ඒ දවසට කරන්න ලැබෙන්නේ නෑ. අද නොකියවන ත්‍රිපිටක පොත් වහන්සේ ව කිසිම දවසක කියවන්න ඉඩක් නො දී ඔබේ ඇස නොපෙනී යන්න පුළුවන්. අද හුදෙකලාවේ විවේකයෙන් කළ යුතු බණ භාවනාවට ඔබේ සිත නොනැමුනාට, එයට උත්සාහ කරන සෑම මොහොතක ම ඔබේ කන සද්ද කරන – නිහඬ බවට බාධා කරන දවසක් ළඟ ළඟ ම එළඹෙන්න පුළුවන්. අතපය නවාගෙන, කොන්ද ඍජු කරගෙන වාඩි වෙලා මිනිත්තු කිහිපයක්වත් ඉන්න බැරි තරම් කායික පීඩා උපදවන දවස ඈතක නොවෙන්න පුළුවන්…

මේ වගේ උපද්‍රව හාත්පස තියාගෙන සිනහ මුහුණකින් ඉන්නවා කියන එක දුක සැප මිශ්‍ර මෙවන් කාම ලෝකවල ස්වභාවයට අයිතියි. හැබැයි, හරිහම්බ කරපු දේවලින් උපකාරයක් ලබන්නත් බැරි – අන් කෙනෙකුට උපකාරෙට එන්නත් බැරි අසරණකම්වලට පිළිසරණක් සලසා ගැනීම කල් දමන්න තරම් ඒ පුංචි ආස්වාදය හේතුවක් කරගන්නවා නම් ඒකට කිව යුත්තේ ‘ප්‍රමාදය’ කියලයි.

කුසලයට ප්‍රමාද වන්න එපා…!

අතපය සවිමත් ව තියෙන කාලේ, ඇස් කන් හොඳින් තියෙන කාලේ කල් නොදමා ම පින් දහම් රැස් කරන්න ඕනේ ඒ රැකවරණය වෙනුවෙනුයි. දන් දීම කියන්නේ, සිල් රැකීම කියන්නේ, බණ භාවනාව කියන්නේ වයසට ගිහින් කරන දේවල් නෙමෙයි; පුහුණු නොකළොත් වයසට යන්න යන්න අමාරු වෙන, දැනුම් තේරුම් ඇති කාලේ පටන් ම පුරුදු පුහුණු කර ගත යුතු දේවල්. ඒවා කල් දමන්න එපා. ජීවිත වටා වෙලී පවතින අසීමාන්තික අනතුරු සහගත බව තේරුම් අරගන්න. පිනෙහි කුසලයෙහි අප්‍රමාදී වෙන්න.

ඒ විදිහට රැස් කරන පිනෙන් උපකාර ලබමින් ජීවිතයේ ඇත්ත ස්වභාවය දකින්න නුවණ මෙහෙයවන්න. මේ ඇස් කන් නාසාදී ආයතනයන්ගේ පහළ වීමෙන් සිදු වන උපතක සෑමවිට ම ගැබ් වී තිබෙන අනිත්‍ය ස්වභාවය, දුක් සහගත ස්වභාවය, ස්වකීය වසඟයේ පැවැත්විය නොහැකි ස්වභාවය නිතර සිහි කරන්න. ඔය මනසිකාරයන් බහුල වශයෙන් පුරුදු පුහුණු කරලා තිබුණොත් තමයි ඒ ඇත්තට අපි මුහුණ දෙද්දී ධර්මය තුළින් ඒ දිහා බලන්න අපට අවස්ථාව සැලසෙන්නේ. මේ පූර්ව සූදානම තිබුණොත් කිසිවෙකුට රකින්න බැරි කය බිඳි බිඳී යද්දී පවා සිත රැකගන්න, සිත සන්සිඳුවා ගන්න ඔබට බැරි වෙන්නේ නැහැ. දමනයට පත් වූ, සන්සිඳුනු සිත තමයි සැප සදන්නේ…

ශ්‍රේෂ්ඨත්වයේ නොනැසෙන වටිනාකම

කාය බලය ගැන විශ්වාසය තබන්නට එපා. සිඳී බිඳී යන පෙණ බුබුළකයි, මේ රූපයෙයි වෙනසක් නැහැ. ඒ දෙකෙහි ම හරයක් නැහැ. ඡද්දන්ත හස්තිරාජයන් දස දෙනෙකුගේ කාය බලය ඉක්මවාලන යෝධ කාය බලයකින් යුතු වූ දසබලයන් වහන්සේ මේ කය ගැන දැක්කේ දිරාපත් වන, පිළිසකර කිරීම්වලින් පවත්වා ගත යුතු ගැලක් වගේ කියලයි. එහෙම දෙයක් ගැන මොන පුරසාරම් ද…!

මේ කයත් අයිති අවබෝධ කළ යුතු වූ දුක නම් වන ආර්ය සත්‍යයට. ඒ සත්‍යාවබෝධය උපදවා දෙන්න ලෞකික වූ කිසිම වස්තුවකට බෑ. මේ ජීවිතයට පවා සීමා සහිතව පිහිට වන ලෞකික කාරණාවලින් සාංසාරික දුක් කථාවලට කවර නම් පිහිටක් ද! ඒ නිසයි, මේ ආර්ය සත්‍යයන් පිළිබඳ සත්‍ය ඤාණය උපදවාගෙන සෝතාපන්න ඵලයට එළඹීම චක්‍රවර්තී රජ කෙනෙකු වනවාටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ. කිසිකලෙක සතර අපායට නොවැටෙනා පරිදි රැකවරණය සලසන ඒ ශ්‍රේෂ්ඨත්වය තුළ යම් කෙනෙකු පිහිටනවා නම් ජීවිතයට ලැබෙන ඒ වටිනාකම මෙලොවටත්, පරලොවටත් නොනැසෙන මහානර්ඝ දෙයක්.

අතිශයින් කලාතුරකින් ලෝකයේ පහළ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විශිෂ්ට ඤාණයෙන් යුතුව, ප්‍රාතිහාර්යය සහිත ව වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙනුයි දෙව් මිනිස් ජීවිත තුළ මේ වටිනාකම් ඉපදෙන්නේ… නැසී වැනසීම ම ඉරණම කොට ගත්ත ජීවිතය තුළ අපට නොනැසෙන පිහිටක් උපදවන මේ ධර්මයට දිවි පුදන්න. ඒ දහමින් ලොව සැනසූ දසබලයාණන් වහන්සේ ව දිවිහිමියෙන් සරණ යන්න. ජීවිතයේදීවත්, මරණයේදීවත් ඔබ අසරණ නොවන ශ්‍රේෂ්ඨත්වය උපදින්නේ ඒ ‘සරණ’ තුළයි…!

සටහන – සසංක නයනජිත්