එක් සමයක වේරඤ්ජාවෙහි නලේරු නම් කොහොඹ රුක් සෙවණෙහි වැඩවසන භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ බ්‍රාහ්මණයා හට තමන් වහන්සේගේ ජ්‍යේෂ්ඨත්වය පිළිබඳව උපමාවක් ඇසුරින් පහදා දුන්නේ මේ අයුරිනි.

“බ්‍රාහ්මණය, එය මෙබඳු දෙයකි. කිකිළියකට බිත්තර අටක් හෝ දහයක් හෝ දොළොසක් හෝ තිබෙයි. ඒ කිකිළිය විසින් බිජුවට මැනැවින් රකියි නම්, මැනැවින් උණුසුම් කරයි නම්, ඒ කුකුළු පැටව් අතුරෙහි යමෙක් පළමුවෙන් තම පා නියතුඩින් හෝ මුවතුඩින් හෝ ඒ බිත්තර කටුව පළාගෙන සුවසේ නික්මෙයි ද ඔහුට ජ්‍යේෂ්ඨ යැයි කියා හෝ කණිෂ්ඨ යැයි කියා හෝ යන මෙයින් කුමක් කිව යුතු වන්නේ ද?”

“භවත් ගෞතමයෙනි, ඔහුට ජ්‍යේෂ්ඨ යැයි කිව යුත්තේ ය. ඒ පිරිස අතර ඔහු ම ජ්‍යේෂ්ඨයා ය.”

“එසෙයින් ම බ්‍රාහ්මණය, මම අවිද්‍යාවෙහි සිටින, අවිද්‍යාව නම් වූ බිත්තරයෙහි උපන්, අවිද්‍යාවෙන් වෙලී ගිය සත්ව ප්‍රජාව අතුරෙහි අවිද්‍යාව නම් වූ බිත්තර කටුව පළාගෙන තනිවම ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධියට පත් වුණෙමි. බ්‍රාහ්මණය, මම වනාහී ලෝකයෙහි ජ්‍යේෂ්ඨ වෙමි. ශ්‍රේෂ්ඨ වෙමි.”

(වේරඤ්ජ සූත්‍රය – අං. නි. 5)

තවද අප භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා කපිලවස්තු නුවර මහාවීදියෙහි පිඬු සිඟා වැඩි අවස්ථාවේ දී රහල් පුතු හට සිය පියාණන් පෙන්වමින් රාහුලමාතාවන් ගැයූ නරසීහ ගාථාවන්හි සඳහන් උපමා කිහිපයක් මෙසේ ය.

“පුන් සඳ සේ බබළන මුව පැහැ ඇති, දෙව් මිනිසුන් හට ප්‍රිය වූ, මිනිසුන් අතර උත්තම වූ, මහා ඇත්රජෙකුගේ බඳු ගමන් විලාස ඇති මුන්වහන්සේ වනාහී නරසීහ වූ තොප පියාණෝ ය.

තරු සමූහය පිරිවරා නිල් අහසෙහි ගමන් කරන චන්ද්‍රයා සෙයින් ශ්‍රාවකයන් මැද සුදිලෙන මහා සමණිඳු වූ මුන්වහන්සේ වනාහී නරසීහ වූ තොප පියාණෝ ය.”

(ජාතකට්ඨ කථා)

කොසඹෑ නුවර දී මාගන්දියා රජ බිසොව විසින් අල්ලස් දී මෙහෙයවන ලද නගරවැසියන් තම දැසි දස් සේවකාදීන් සමග භාග්‍යවතුන් වහන්සේට ඉතාම පහත් ආකාරයේ නින්දා අපහාස සිදු කරද්දී ආනන්දයන් වහන්සේ වෙනත් නගරයකට යමු යැයි භාග්‍යවතුන් වහන්සේට යෝජනා කළ අවස්ථාවේ දී අප භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ අරභයා පැවසූ ගාථාවෙහි අර්ථය මෙසේ ය.

“යුද බිමට බැසගත් හස්ති රාජයෙකු හට, තමන්ට වදින ඊතල පහරවල් මනාකොට ඉවසාගෙන ඉන්ට පුළුවනි. මමත් එබඳු කෙනෙක්මි. අනුන්ගෙන් ලැබෙන කර්කශ වචන මම ඉවසමි. මේ ලෝකයේ බොහෝ දෙනා දුස්සීලයහ.”

(ධම්මපදය – නාග වර්ගය)

එක් සමයක විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි නිල්, කහ, රතු, සුදු යන පැහැයන්ගෙන් වෙන් වෙන් වශයෙන් අලංකාර වූ පන්සියයක් පමණ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ ව පිරිවරා සිටියහ. ඔවුන් අතර වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ශරීර පැහැයෙනුත්, යසසිනුත් ඔවුන් හැම ඉක්මවා බැබළුණු සේක.

එකල්හී පිංගියානි බ්‍රාහ්මණ තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ ප්‍රණාම කොට පැවසූ ගාථාවෙහි අර්ථය මෙය ය.

“උදයෙ පිපී සුවඳ හමන රතු පියුමක් වැන්නේ
සරත් කලට අහසෙ දිලෙන හිරු මඬලක් වැන්නේ
සිල් සමාධි ගුණ නුවණින් හැම විට බබළන්නේ
අන්න බලන් අංගීරස සමිඳු ය වැඩ ඉන්නේ”

(පිංගියානි සූත්‍රය – අං. නි. 3)

වරක් අප භාග්‍යවතුන් වහන්සේ වස් පවාරණය කළ පුන් පොහෝ දවසක සියලුදෙනාම අරහත්වයට පත් වූ භික්ෂූන් පන්සියනමක් සමඟ පූර්වාරාමයේ එළිමහනෙහි වැඩසිටි සේක. එවේලෙහි වංගීස තෙරණුවන් විසින් භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කරනු පිණිස පැවසූ ගාථාවන්හි සඳහන් වන උපමාවක් මෙසේ ය.

“සයුරු සීමා ඇති මේ මහා පොළොව සිසාරා ඇමැතිවරු පිරිවරා ගමන් කරන සක්විති රජු යම් සේ ද ඒ අයුරින් ම මාර යුද්ධය ජය ගත්, මරණය නසා දැමූ, ත්‍රිවිද්‍යාවෙන් යුක්ත වූ, අනුත්තර වූ ගැල්කරුවාණන් වූ බුදුරජාණෝ ශ්‍රාවක ජනයා ඇසුරු කරත්.”

(පවාරණ සූත්‍රය – සං. නි. 1)

එසේ ම බුදුරජුන්ගෙන් දහම් අසා පැහැදුනවුන්, බුදුරජුන්ට උපමා කිහිපයකින් පසසමින් ශ්‍රාවකත්වය පිළින කරන පහත සඳහන් ප්‍රකාශය අපට බොහෝ සූත්‍ර දේශනාවන්ගේ අවසානයෙහි හමුවෙයි.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දර ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දර ය. යටට හරවා තිබූ දෙයක් උඩු අතට හරවා තබන්නේ යම් සේ ද වැසී තිබූ දෙයක් විවෘත කොට පෙන්වන්නේ යම් සේ ද මංමුළා වූවන්ට නියම මග පෙන්වා දෙන්නේ යම් සේ ද ඇස් ඇත්තෝ රූප දකිත්වා යි අඳුරෙහි තෙල් පහනක් දරා සිටින්නේ යම් සේ ද ඒ අයුරින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය පවසන ලද්දේ ය. මේ මම ද භවත් ගෞතමයන් වහන්සේ ව සරණ යමි. ශ්‍රී සද්ධර්මයත් භික්ෂු සංඝයාත් සරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ මා ගැන අද පටන් දිවි තිබෙන තුරාවට ම තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස සලකන සේක්වා!”

වරක් නාලන්දාවෙහි පාවාරික අඹ වනයෙහි වැඩවසන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹි අග්‍රශ්‍රාවක සාරිපුත්තයන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, එය මෙබඳු දෙයකි. රජෙකු හට පිටතින් බඳින ලද ශක්තිමත් බැමි ඇති, දැඩි ප්‍රාකාර තොරණක් සහිත වූ, ඈත පිහිටි නගරයක් තිබෙයි. එය එක් දොරටුවකින් යුක්ත ය. ඒ දොරටුව ළඟ නුවණැති, ව්‍යක්ත, යහපත් නුවණ ඇති, නොදන්නවුන් ඇතුළු වීම වළක්වන, දන්නවුන් ඇතුල් කරන දොරටුපාලයෙක් සිටියි. ඔහු ඒ නගර ප්‍රාකාර මාර්ගය වටා ඇවිදගෙන යන්නේ යටත් පිරිසෙයින් බළලෙකුටවත් නික්ම යා හැකි ප්‍රාකාර සන්ධියක් හෝ ප්‍රාකාර සිදුරක් හෝ නොදකින්නේ ය. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘යම්කිසි ගොරෝසු ප්‍රාණීහු මේ නගරයට පිවිසෙත් ද නික්ම යත් ද ඒ සියල්ලෝ මේ දොරටුවෙන් පමණක් ම පිවිසෙති. නික්මෙති’ යනුවෙනි.

එසෙයින් ම ස්වාමීනී, මා විසින් ධර්ම න්‍යායට අනුව නිගමනයකට පැමිණිය හැකි බව දන්නා ලද්දේ ය. ස්වාමීනී, අතීතයේ වැඩසිටි….. අනාගතයේ පහළ වන….. මෙකල්හී අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ පවා සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන, පංච නීවරණ ප්‍රහාණය කොට සතර සතිපට්ඨානය තුළ මැනැවින් පිහිටුවා ගත් සිතින් යුතුව, සප්ත බොජ්ඣංගයන් ඒ වූ සැටියෙන් ම දියුණු කොට අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක.”

(සම්පසාදනීය සූත්‍රය – දී. නි. 3)

තවත් වරෙක එක්තරා නියම්ගමක පිහිටි නිල් වනපියසෙක වැඩහුන් අප භාග්‍යවතුන් වහන්සේ කරා තුන්සියයක් වූ තම ශිෂ්‍ය බ්‍රාහ්මණ තරුණයන් සමග එළැඹි මහා දැන උගත් ප්‍රභූ ආචාර්යවරයෙක් වූ සේල බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පැවසූ ගාථාවන් අතර මෙසේ සඳහන් වෙයි.

“භවත්නි, සදහම් ඇස් ඇති බුදුරජුන් මේ වදාරන සුන්දර වචන හොඳට අසා ගනිව්. උන්වහන්සේ සත්වයින්ගේ සිත්වලින් කෙලෙස් හුල් උදුරා දමන ශල්‍ය වෛද්‍යවරයෙකි. මහා වීරියවන්තයෙකි. වනාන්තරයෙහි හැම සතුන්ගේ හඬ පරදවා නද දෙන සිංහ රාජයෙකු බඳු වෙති.”

(සේල සූත්‍රය – ම. නි. 2)

එසේ ම අප භාග්‍යවතුන් වහන්සේගේ සිංහනාදයක් බඳු වූ දහම් දෙසීම පිළිබඳව බුදු මුවින් ම වදාළ උපමාවකි මෙය.

“මහණෙනි, මෘගරාජ වූ සිංහරාජ තෙමේ සවස් වරුවෙහි ලැග සිටි තැනින් පිටතට අවුත් ඇඟ සොලවා කෙසරු සලයි. ඇඟ සොලවා කෙසරු සලා සිව් දිශාව හාත්පස බලයි. සිව්දිශාව හාත්පස බලා තුන් විටක් සිංහනාද කරයි. තුන්විටක් සිංහනාද කොට ගොදුරු සෙවීම පිණිස නික්ම යයි. එයට හේතුව කුමක් ද? වැරදි තැනට ගිය කුඩා ප්‍රාණීන්ට විනාශයක් නොවේවා යන අදහසිනි.

මහණෙනි, සිංහරාජයා යනු තථාගත අර්හත් සම්මා සම්බුදුරජුන්ට කියන නමකි. මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පිරිස මැද ධර්මය දේශනා කරයි ද මෙය වනාහී තථාගතයන්ගේ සිංහනාදය යි.”

(සීහනාද සූත්‍රය – අං. නි. 6)

ඔබත් සූත්‍ර දේශනාවන් කියවන විට ඔබට හමුවන සම්බුදුරජුන් ගැන සඳහන් මෙවැනි උපමා එකතු කරගන්න. දහම් දිනපොතේ ලියාගන්න. නැවත නැවත කියවන්න. නැවත නැවත සිහි කරන්න. එය ඔබේ බුද්ධානුස්සති භාවනා අරමුණටත්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහන් සිතින් දිවා රෑ ප්‍රීතියෙන් වාසය කිරීමටත් බොහෝ උපකාරී වනු ඇත.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.