මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ ඔබට අතිශයින් වැදගත් දහම් අවවාදයක් ගැනයි. නිතර ධර්මය කියන – ධර්මය අහන, දහම් පොතපත බලන ඔබව ගොඩක් බුද්ධිමත් කරවන අවවාදයක්. ඒ වගේම ගොඩක් අය අන් අයව දහමට ගන්න ආසයි. ඒ අයට නොයෙක් උපදෙස් ලබා දෙයි. නමුත් එහි ප්‍රතිඵල හිස් වනකොට දුකට පත් වෙයි. මේ ලිපියෙන් ලියැවෙන දහම් අවවාදය ඒ අයටත් උපකාරයි. ධර්ම සාකච්ඡා ආරම්භ කොට සිත්තැවුලෙන් අවසන් වන අයටත් වැරදුණ තැන පෙන්වා දෙන මනා උපදේශයක්.

අංගුත්තර නිකායේ තික නිපාතයේ කථාවත්ථු දහම් පරියාය තමයි මේ ලිපියෙන් විස්තර වන්නේ.

මනාව විමසුවොත් අපි අහන, කතා කරන, ඉගෙන ගන්න ධර්මය එක්කෝ අතීතයේ සිදු වූ දෙයක්. නැත්නම් අනාගතයේ සිදුවිය හැකි දෙයක්. නොඑසේ නම් වර්තමානයේ සිදුවෙමින් පවතින දෙයක්. මේ තුන් කාලයෙන් තොරව අපට කතා කරන්න විදිහක් නැහැ. ඒ නිසා කුමන කාලයක් අරභයා ද මේ දහම් කතාව තියෙන්නේ කියන කාරණාව තේරුම්ගත යුතුයි. ඉතින් මේ විදිහේ කතාබහ ඇති වෙද්දී අප සමඟ කතාකරන කෙනා දහම් කතාවට සුදුසු ද? නැද්ද? කියලා දැනගන්න ක්‍රමයක් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මේක දැනගන්න තියෙන්නේ දහම් කතාව කරද්දීම තමයි. එය දැන ගන්නේ කෙසේ ද?

“පින්වත් මහණෙනි, දහම් කතාවක දී ප්‍රශ්නයක් අහද්දී කෙටියෙන් පිළිතුරු දිය යුතු දේට කෙටියෙන් පිළිතුරු නොදේ නම්, විස්තර කොට පිළිතුරු දිය යුතු දේට විස්තර වශයෙන් පිළිතුරු නොදේ නම්, නැවත අසා කතා කළ යුතු තැන නැවත නොඅසයි නම්, නිහඬ විය යුතු තැන නිහඬ නොවේ නම් මෙවැනි අය සමඟ දහම් කතාව සුදුසු නැත.

ඒ වගේම අදාළ දහම් කතාවෙන් පිට පනී නම්, හිතල මතල කතා කතාකිරීම් පිළිතුරු දීම් සිදු නොකරයි නම්, තමා දැන සිටි – දන්න දේ තුළ නොපිහිටා ප්‍රතිපත්තියක් නැතුව කතා කෙරේ නම් මෙවැනි අය දහම් කතාවට සුදුසු නැත.

එසේම යමක් ඇසූ කල්හි වෙන කතාවකින් එය වසා දමයි නම්, බාහිර කතාවල් ඇද ගනී නම්, තරහ අමනාපය නොසතුට පළ කරනවා නම්, මොහු සමඟ දහම් කතාව යෝග්‍ය නොවේ.

දහම් කතා කරන අතරතුර එහෙන් මෙහෙන් වෙනත් කතාවක් ඇද ගනී නම්, දහම් කතාව තමාගේම වචනයෙන් මැඩ පවත්වයි නම්, විහිළුවට ලක්කරනවා නම්, පුංචි වචන කෑලි ඇදගෙන ලොකුවට කතා කරයි නම් මෙවැනි අය සමඟත් දහම් කතාව යෝග්‍ය නොවේ.”

මේ විස්තරය අනුව කොයිතරම් දහම් ගෞරවයෙන් සිහිබුද්ධියෙන් අපි තවත් අය සමඟ කතා කළ යුතු ද? ඒ වගේම දහම් අසන අපේ වගකීම තවත් පසෙකින් ප්‍රකට වන අවස්ථාවක්.

සත්පුරුෂයන් සමඟ දහම් කතාවට තමන් සුදුස්සෙක් ද යන වග පහත ලක්ෂණ අනුව තේරුම්ගත යුතුයි.

දහම් කතාවක දී ප්‍රශ්නයක් ඇසුවොත්,

1. එක එල්ලේම විසඳිය යුතු ප්‍රශ්නය එක එල්ලේම විසඳනවා.

2. බෙදා විසඳිය යුතු ප්‍රශ්න බෙදා විසඳීම.

3. ප්‍රතිප්‍රශ්න ඇසීමෙන් විසඳිය යුතු ප්‍රශ්න ප්‍රතිප්‍රශ්න ඇසීමෙන් විසඳනවා.

4. තැබිය යුතු, නිහඬ විය යුතු තැන නිහඬ වීම.

5. කරුණු කාරණාවල පිහිටා කතා කිරීම.

6. අදහස් කරන කරුණ තේරුම් ගැනීම.

7. දැනගෙන සිටි දෙය තුළ පිහිටීම.

8. ප්‍රතිපත්තිගරුක වීම.

9. වෙනත් කතාවකින් දහම් කතාව නොවැසීම.

10. බාහිර කතා ඇද නොගැනීම.

11. කෝපය, ද්වේෂය, නොසතුට පළ නොකිරීම.

12. අදාළ නැති දේ ඇදගෙන දහම් කතාවට බාධා නොකිරීම.

13. බැණුම් මඟින් දහම් කථාව යටපත් නොකිරීම.

14. විහිළුවට ලක් නොකිරීම.

15. අනවශ්‍ය දේ අල්ලාගෙන වැරදි විදිහට නොගැනීම.

ඒ අපි කතා කළේ මොහු සමඟ දහම් කතාව දිගටම කරගෙන යන්න පුළුවන් ද කියල සම්මුඛව පෙනෙන කරුණු අනුව තේරුම් ගන්නා හැටියි. දහම් උපදෙස් දෙන්න යන දේශකයන්ට හරිම වටිනා උපදේශයක්. ඒ වගේම තමන් ධර්මය අහන කෙනෙක් නම් දේශකයන් වහන්සේට වෙහෙසක් ඇති නොකිරීමට හා හොඳ දහම් කථාවක් දිගටම පවත්වා ගැනීමට මේ කරුණු කවුරුත් තේරුම් ගැනීම කොයිතරම් උපකාරී ද?

මීළඟට භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා,

“කථාසම්පයෝගේන භික්ඛවේ, පුග්ගලෝ වේදිතබ්බෝ යදි වා සඋපනිසෝ යදි වා අනුපනිසෝති” – “පින්වත් මහණෙනි, පුද්ගලයා හේතු සම්පත්වලින් යුක්තයි ද හේතු සම්පත් නැද්ද කියා දැනගන්න තියෙන්නේ කතාවේ යෙදිලාමයි.” මෙහිදී ‘හේතු සම්පත් ඇති බව’ කියා හඳුන්වන්නේ මේ දහම් කතාවෙන් මොහු ප්‍රයෝජනයක් ගනීවි ද කියන කාරණයයි.

“අනොහිතසෝතෝ භික්ඛවේ, අනුපනිසෝ හෝති, ඕහිතසෝතෝ සඋපනිසෝ හෝති” – “පින්වත් මහණෙනි, ධර්මශ්‍රවණය පිණිස අවධානයෙන් යුතුව සවන් යොමු නොකරන කෙනා හේතු සම්පත් රහිතයි. ධර්මශ්‍රවණය පිණිස අවධානයෙන් යුතුව සවන් යොමු කරන කෙනා හේතු සම්පත් සහිතයි.”

මේ අනුව පැහැදිලි වන්නේ ධර්මය ඉගෙන ගනිද්දී සවන් යොමු කිරීමම ඒ දහම් කතාවෙන් ප්‍රයෝජන ලැබීම පිණිස මූලික සුදුසුකම බවයි. ඕනෑවට එපාවට අහන ධර්මයෙන් ඔහුට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති බවයි. මේ දේශනාවේ තිබෙනවා සවන් යොමා දහම අසන කෙනා චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න සුදුසුයි, ඔහු නිවන ස්පර්ශ කරන්න යෝග්‍යයි. ඒකයි බොහෝ දේශනාවල තියෙන්නේ, “තං සුණාථ සාධුකං මනසි කරෝථ” – “මෙය අහන්න. හොඳින් නුවණින් මෙනෙහි කරන්න” කියලා.

ඒක තමයි ධර්මාවබෝධයට මූලික සුදුසුකම වෙන්නේ. ඊළඟට විස්තර වෙනවා දහම් කතාවේ යෙදිය යුත්තේ, බණ ඇසිය යුත්තේ, දහම ඉගෙන ගත යුත්තේ, දහම් පොතපත කියවිය යුත්තේ කුමක් සඳහා ද? යන වග.

“ඒතදත්ථා භික්ඛවේ, කථා, ඒතදත්ථා මන්තනා, ඒතදත්ථා උපනිසා, ඒතදත්ථං සෝතාවධානං, යදිදං අනුපාදා චිත්තස්ස විමොක්ඛෝති” – “පින්වත් මහණෙනි, උපාදාන රහිතව ඇතිවෙන සිතේ යම් මේ අරහත්ඵල විමුක්තියක් ඇද්ද, කථාව තිබෙන්නේ ඔය අර්ථයටමය. සාකච්ඡාව තිබෙන්නේ ඔය අර්ථයටමය. හේතු සම්පත් තිබෙන්නේ ඔය අර්ථයටමය. ධර්ම ශ්‍රවණයට සවන් යොමු කිරීම තිබෙන්නේ ඔය අර්ථයටමය.”

අපි මෙතෙක් ඉගෙනගත් කරුණු, ඒ කියන්නේ දහම් කතාවට මෙයා සුදුසුද නැද්ද ඒ කෙනා මේ දහම් කතාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් ද හේතු සම්පත් සහිතයි ද
නැද්ද මේ සියල්ල තේරුම් අරන් දහම් කතාව කරන්න ඕනි “කිසිවකට නොඇලී නිදහස් වීම පිණිසයි.” දහම් කතාවෙන් බැඳීමක් හෝ අසතුටු වීමක්, අමනාපකමක් හට ගත්තේ නම් ඒ දහම් කතාව ඉලක්කය කරා පැමිණ නැති බව මෙයින් පැහැදිලියි. භාග්‍යවතුන් වහන්සේ මෙහි අර්ථය හකුළුවා ගාථාවලින් මෙසේ වදාළ සේක. එහි සිංහල අර්ථය මෙසේයි.

“යම් කෙනෙක් ද්වේෂයෙන් යුක්තව, අධික මාන්නයෙහි බැසගෙන, විරුද්ධව කතා කරයි නම්, එකිනෙකාගේ සිදුරු සොය සොයා ගුණ නසමින් අනාර්ය වූ කථාව කරයි නම්, එබඳු පුද්ගලයා එකිනෙකාගේ දුර්භාෂිතයන්, අසභ්‍ය කථා, අඩුපාඩු, පරාජය ආදිය හුවා දක්වමින් සතුටු වෙනවා. නමුත් ආර්ය පුද්ගලයා එවැනි දේ කියන්න යන්නේ නෑ.

ඉදින් නුවණැති පුද්ගලයා කථාබස් කරන්න කැමැති වන්නේ නම්, එයට කල් දන්නවා. ධර්මයෙහි පිහිටි, ධර්මානුකූල බවෙන් යුතු වූ, ආර්ය වූ යම් කථා මාර්ගයක් ඇද්ද ඒ ප්‍රඥාවන්තයා කරන්නේ අන්න එවැනි කථාවෙහි යෙදීමයි. එහි විරුද්ධ දේවල් නැහැ. හුවාදැක්වීම් නැහැ. කෙලෙස්වලට බැඳීමුත් නෑ. හෙළා දැකීම් නෑ. එකට එක කීම් නෑ.
ඒ නුවණැති සත්පුරුෂයන් ඊර්ෂ්‍යා රහිත වූ සිතින් ඉතා හොඳ අවබෝධයකින් යුක්තවමයි කථා කරන්නේ. සුභාෂිත අනුමෝදන් වෙනවා. දුර්භාෂිත බැසගන්නේ නෑ. ඇද සොයමින් කථා කිරීමට නොපුරුදු විය යුතුයි. අඩුපාඩු අල්ල ගන්නේ නෑ. අදාළ නැති දේ ඇදගන්නේ නෑ. බාහිර දේ කියමින් මඬින්නේ නෑ. ඇත්ත නැත්ත පටලවලා කියන්නේ නෑ.”

“අඤ්ඤාතත්ථං පසාදත්ථං සතං වේ හෝති මන්තනා,
ඒවං ඛෝ අරියා මන්තන්ති ඒසා අරියාන මන්තනා,
ඒතදඤ්ඤාය මේධාවී න සමුස්සෙය්‍ය මන්තයෙති.”

“සත්පුරුෂයින්ගේ සාකච්ඡාව අවබෝධය පිණිසත්, ප්‍රසාදය පිණිසත් ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ආර්යයන් වහන්සේලා ඒ විදිහටයි සාකච්ඡා කරන්නේ. මෙය තමයි ආර්යයන් වහන්සේලාගේ සාකච්ඡාව. ඒ ප්‍රඥාවන්ත සත්පුරුෂයන් මේ අර්ථය දැනගෙන අවබෝධයෙන්ම සාකච්ඡා කරද්දී තමන්ව හුවාදක්වන්නේ නෑ.”

සත්පුරුෂයන්ගේ සාකච්ඡාව

මේ අවසන් ගාථාවේ අපූරු බුදු වදනක් තියෙනවා. සත්පුරුෂයන්ගේ දහම් කතාව කාරණා දෙකක් පිණිස පවතිනවා. ඒ තමයි අවබෝධයත්, ප්‍රසාදයත් පිණිස. ඒ නිසා ඔබත් ධර්මය ඉගෙන ගැනීම කළ යුත්තේ අවබෝධය පිණිස වෙන්න ඕන. නැත්නම් තුනුරුවන් ගැන පැහැදීම පිණිස වෙන්න ඕනි.

දැන් ඔබම හිතන්න ඔබ ධර්මය ඉගෙන ගන්න විදිය හරි ද කියල. අද කාලේ අවබෝධ කරන අය විරල නිසා අඩුම තරමේ චිත්තප්‍රසාදයවත් රැක ගන්න ඕනේ. එතකොට ඔබේ ඉලක්කය හරි. මහමෙව්නාවෙන් සිදු කරන මේ ධර්ම ප්‍රචාරණය මුළුමනින්ම මේ කාරණා දෙක පිණිසයි. ඒ ඔබට ජීවිතාවබෝධය ලබා දීමත්, තෙරුවන් ගැන පැහැදීම පිණිසත්ය.

පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ.