බුදුරජාණන් වහන්සේ විසින් දස දහසක් ලෝක ධාතූන් කම්පා කරවමින් වදාරන ලද බ්‍රහ්මජාල සූත්‍රයෙහි ඇතුළත් එක් කුඩා දහම් කොටසක් ඇසුරෙන් සම්පාදිත ලිපියකි.

බොහෝ වසර ගණනාවකට පෙර ඉන්දියාවේ එක්තරා බ්‍රාහ්මණ අඹුසැමි යුවළකට දාව පින්වන්ත දරුවෙක් මෙලොව එළිය දුටුවේ ය. බඹලොවින් චුත ව මනුලොව උපන් නිසාදෝ කුඩා කල සිට ඔහුගේ සිත කාමයෙහි නොඇලුණේ ය. ඔහු තරුණ වියට පැමිණි පසු ගිහිගෙය අත්හැර හිමාලයට ගොස් තවුස්දම් පුරන්නට පටන් ගත්තේය. දැඩි අධිෂ්ඨානයෙන් යුක්ත ව, නොනවත්වා කරන වීරියෙන් යුක්ත ව, නීවරණ මඬිමින්, නොපමා ව භාවනා කොට ගැඹුරු චිත්ත සමාධියක් ඇතිකර ගන්නට ඔහුට හැකි විය. ඒ චිත්ත සමාධිය තුළින් ඔහුට සිය පෙර ජීවිතය පමණක් දැකිය හැකි විය. ඉන් එහාට දැකගත නොහැකි විය.

පෙර අත්බවේ ඔහු සිටියේ බඹලොවය. ඒ බඹලොව එක් බ්‍රහ්මයෙක් අන් සියලු බඹපිරිසගේ බුහුමන් ලබමින්, වැඳුම් ලබමින්, ගෞරව ලබමින් සිටියේය. ඔහුය මහබඹු. සැබැවින් ම ඔහු අන් සියලු බ්‍රහ්මයන්ට වඩා දීර්ඝ ආයුෂයෙන් ද වර්ණවත් බවින් ද මහා ආනුභාවයකින් ද යුතු විය. ඔහු පිළිබඳව සියලු බඹ පිරිස තුළ තිබුණේ මෙවැනි එක හා සමාන අදහසකි. එනම් ‘මේ පින්වත් බ්‍රහ්මරාජයා ය අපගේ මහබඹු. අප සැමගේ ආනුභාවය මැඬගෙන සිටිනා මොහුව අභිභවායා හැකි අන් කෙනෙක් නැත්තේය. සියලු දේ දකිනා මොහු සමස්ත ලෝකයම තම වසඟයෙහි පවත්වයි. ලෝක සත්වයාව මැවූ ශ්‍රේෂ්ඨ ඊශ්වරයා මොහුය. ලොව උපන් හා උපදින්නා වූ සියලු සත්වයන්ගේ දෙව්පියාණෝ මොහු ය. අපි මවන ලද්දාහු මේ භවත් මහබඹු විසිනි. මේ බඹලොවෙහි පළමුව උපන් තැනැත්තා ලෙස අප දන්නේ මොහු ය. අපි සැම ඔහුට පසුව උපන්නෝ වෙමු’ යනුවෙනි.

මෙසේ දකිනා ඒ තාපසයා තුළ පෙර බඹලොව සිටියදී තිබුණු අදහසම නැවත මුල්බැස ගනියි. ඒ; මහබඹු සදාකාලික සත්වයෙකු ලෙසත්, මහබඹු විසින් මවන ලද තමා ඇතුළු අන් සත්වයන් අස්ථිර ජීවිත ඇති සත්වයන් ලෙසත් දකිනා මොහු මරණින් මතු නැවතත් ඒ මහබඹු හා එක්වනු පිණිස නොයෙක් අයුරින් ඔහුව පුදන්ට පටන් ගනියි. තමා සමාධියෙන් දුටු දෙය තමා වෙත පැමිණෙන අන් අයට ද පවසයි.

‘මහබඹු විසින් ලෝ සත මවන ලද්දේ ය’ යන බඹලොවෙහි වෙසෙන සෙසු බ්‍රහ්මයන් තුළ පැවති දෘෂ්ටිය මනුලොව මිනිසුන් අතරට පැමිණියේ ඔය අයුරිනි.

එනමුත්, කිසිවකිනුත් ආවරණය නොවූ ඥානයකින් හෙබි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ඒ තාපසයා ද නොදුටු, සෙසු බඹපිරිසද නොදුටු, කොටින් ම ඒ මහබඹු පවා නොදුටු පැතිකඩ ගැන වදාරන ලද්දේ මේ අයුරිනි.

ඉතා දීර්ඝ කාලයකට පෙර මේ ලෝකය මුළුමනින් ම විනාශ වී යන්ට පටන් ගත්තේ ය. එවිට බොහෝ සත්වයෝ මියගොස් ආභස්සර නම් ලොවක උපන්හ. ඔවුහු එහි මනෝමය සිරුරු ඇතිව, ප්‍රීතිය ආහාරය කොටගෙන, ආලෝකය විහිදෙන සිරුරු ඇතිව, අහසෙහි සැරිසරමින් බොහෝ දිගු කලක් වාසය කළහ.

තවත් දිගු කලකට පසු නැවත මේ ලෝකය සැකසෙන්නට පටන් ගත්තේය. ලෝකය සකස්වන විට හිස් බ්‍රහ්ම විමානයක් ද පහළ විය. ආභස්සර ලොව සිටි එක්තරා සත්වයෙක් ආයුෂ අවසන් වීමෙන් හෝ පින අවසන් වීමෙන් හෝ ආභස්සර ලොවින් චුත වී එම හිස් බ්‍රහ්ම විමානයෙහි උපන්නේය. ඒ බඹවිමනෙහි උපන් පළමු සත්වයා ඔහු ය. ඔහු එහි මනෝමය සිරුරක් ඇතිව, ප්‍රීතිය ආහාරය කොටගෙන, ආලෝකය විහිදෙන සිරුරක් ඇතිව, අහසෙහි සැරිසරමින් බොහෝ දිගු කලක් වාසය කළේ ය.

බොහෝ කලක් තනිව සිටින්ට සිදු වීම නිසා ඇති වූ කණස්සල්ලෙන් හා තැවීමෙන් ‘අනේ තවත් සත්වයෝ මෙහි උපදිත් නම් කොතරම් හොඳද!’ කියා ඔහු කල්පනා කළේය. ටික කලකින් පසු තවත් සත්වයෝ ආයුෂ අවසන් වීමෙන් හෝ පින අවසන් වීමෙන් හෝ ආභස්සර ලොවින් චුත වී එම බ්‍රහ්මයාගේ බඹවිමනෙහි උපන්නෝ ය. ඔවුහු ද එහි මනෝමය සිරුරු ඇතිව, ප්‍රීතිය ආහාරය කොටගෙන, ආලෝකය විහිදෙන සිරුරු ඇතිව, අහසෙහි සැරිසරමින් බොහෝ දිගු කලක් වාසය කළෝ ය.

එවිට බඹලොවෙහි පළමුව උපන් බ්‍රහ්මයා හට මේ අදහස ඇති විය. ‘මම ය මහබඹු. සියල්ල මැඬපවත්වා, අන් කිසිවෙකුට නොමැඬලිය හැකි අයුරින් වසමි. ඒකාන්තයෙන් ම සියල්ල දක්නා වූ මම් අන් සියල්ලන් මාගේ වසඟයට ගෙන සිටිමි. සියලු සත්වයන්ට අධිපතිව, ශ්‍රේෂ්ඨ ව සිටිමි. ලෝකය මවා, සිය අභිමතය පරිදි ලොව පාලනය කරමි. උපන්නා වූත්, උපදින්නා වූත් සත්වයන්ගේ දෙව්පියාණන් වෙමි. මේ සත්වයෝ මවන ලද්දාහු මා විසිනි. ඒ කෙසේ ද යත්; ‘අහෝ… මෙහි තවත් සත්වයෝ උපදින්නාහු නම් මැනවැ’ යි මා සිතෙහි ඇති වූ පැතුම අනුව ය මේ සත්වයෝ මේ ලොවට පැමිණියේ’ කියා ය.

එම බඹලොවෙහි පසුව උපන් සත්වයන් වූ බ්‍රහ්මයන් තුළ ද තිබුණේ මේ අදහස ම ය. එනම්; ‘මේ පින්වත් බ්‍රහ්මයා ය මහබඹු. ඔහු සියල්ල මැඬපවත්වා, අන් කිසිවෙකුට නොමැඬලිය හැකි අයුරින් වසයි. ඒකාන්තයෙන් ම සියල්ල දක්නා වූ ඔහු අන් සියල්ලන් තමාගේ වසඟයට ගෙන සිටියි. සියලු සත්වයන්ට අධිපතිව, ශ්‍රේෂ්ඨ ව සිටියි. ලෝකය මවා, සිය අභිමතය පරිදි ලොව පාලනය කරයි. උපන්නා වූත්, උපදින්නා වූත් සත්වයන්ගේ දෙව්පියාණෝ ඔහු ය. අපි මවන ලද්දාහු මේ පින්වත් මහබඹු විසිනි. ඒ කෙසේ ද යත්; මෙහි පළමුව උපන් සත්වයා ලෙස අප දුටුවේ මොහු ය. අපි සැම මෙහි ඔහුට පසුව උපන්නෝ වෙමු’ කියා ය.

සැබැවින් ම එහි පළමුව උපන් බ්‍රහ්මයා අන් බ්‍රහ්මයන්ට වඩා දීර්ඝායුෂයෙන් යුක්ත විය. ඔහුගේ ශරීර වර්ණය ද අන්‍යයන්ට වඩා පැහැපත්ය. ආනුභාවයෙන් ද ඔහු අන් බ්‍රහ්මයන් අභිභවා සිටියේ ය. පසුව උපන් බ්‍රහ්මයෝ ඔහුට වඩා ආයුෂයෙන්, වර්ණයෙන් හා ආනුභාවයෙන් ඉතා අඩු ව සිටියෝ ය.

එසේ සිටි සත්වයෙක් ඒ බඹලොවින් චුත ව මනුලොව ඉපදී, මුලින් කී පරිදි භාවනායෝගියෙකු බවට පත්ව, සිත දියුණු කොට, තමාගේ ඒ පෙර ජීවිතය පමණක් දකියි නම්, ඉන් එහාට නොදකියි නම්, අන් සත්වයන්ගේ චුතිය හා උපත ගැනත් නොදකියි නම්, එවන් යෝගියෙකු තුළ මහබඹු විසින් ලොව මවන ලද්දේ ය යන දෘෂ්ටිය ඇති වීම සිදුවන දෙයක් ම ය.

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත අවබෝධය නම් අතිශයින් ම ආශ්චර්ය ය! අද්භූත ය! බුදුරජාණන් වහන්සේ පහළ වූ අවදියේ පමණක් නොව මෙකල පවා ඉන්දියානු සමාජය තුළ මුල් බැසගෙන ඇති මෙම දෘෂ්ටිය හටගත් අයුරු මෙලෙස විග්‍රහ කරන්නට සමත් වෙන කවුරු නම් ලොව සිටී ද? සීමා රහිත අවබෝධ ඤාණයකින් හෙබි, නා නා විධ දෘෂ්ටිජාලයන් අතර සිර වී සිටි ලෝසතුන් හට සත්‍යයේ හා ප්‍රඥාවේ ආලෝකය ලබා දී ඒ දෘෂ්ටිජාලයන්ගෙන් මුදවාලූ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.