අප භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ කවර හෝ පරිභවයක් ලැබුවද එය නොසලකමින් අනුනට වන ප්‍රයෝජනය ම සලකන බව මාර දූවරු තුන්දෙනාගේ කථා වස්තුව දැනගැනීමෙන් අපට මනාව තේරුම් ගත හැකිය. කුරු රට මාගන්දිය නමැති බමුණාගේ රූමත් දියණිය මාගන්දියා නම් වූවාය. ඇගේ අත පතා බොහෝ බ්‍රාහ්මණවරුත්, රජ දරුවෝත් “තමන්ගේ දුවණියන් අපට සරණ කර දුන මැනවයි” යි මාගන්දිය බමුණාට කියා යවති. නමුත් බමුණු තෙමේ “නුඹලාට සියලු සම්පත් තිබුණත් රූපයෙන් මාගේ දියණිය හා නොගැළපෙන්නේය” යි ඔවුන්ට බාධා කොට කියා යවයි.

එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ අලුයම් වේලෙහි බුදු නුවණින් ලොව බලන සේක්, ඒ බමුණාත් ඔහුගේ බැමිණියත් අනාගාමී වන බව දුටු සේක. ඒ බමුණා ද නිරන්තරයෙන් ම ගමින් පිටතට පැමිණ ගිනි දෙවි පුදන්නේය. භාග්‍යවතුන් වහන්සේ එදින උදෑසන ම සඟල සිවුර පොරවා, පාත්‍රය ගෙන බමුණු තෙමේ ගිනි දෙවියන් පුදන තැනට වැඩමවා වදාළහ. බමුණා ද ලොව කිසිවෙකුට සම නොවන බුදුරජුන්ගේ රූප ශෝභාව දැක ‘මේ ලොව රූපයෙන් මෙතුමා හා සමාන වන කෙනෙක් නැත. මොහු අපගේ දුවණියන්ට සුදුසු වන්නේය. මොහු ඇයට පාවා දෙමි’යි සිතා බුදුරජාණන් වහන්සේට “මහණ, මාගේ ඉතා රූමත් වූ දියණියක් සිටියි. මම ඇයට ගැළපෙන කෙනෙක් සොයන්නෙමි. අද වන තෙක් ගැළපෙන කෙනෙක් නොලද නිසා කිසි කෙනෙකුට පාවා නොදුන්නෙමි. ඔබ ඇයට ගැළපෙයි. මම දුවණිය ඔබට සරණ පාවා දෙමි. මා ඇයව කැඳවා ගෙන එනතුරු වෙනතක නොගොස් මෙතැන ම රැඳෙව”යි කීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ කතාව අසා යහපතැයි කියාත්, නොකැමතියි කියාත් නොවදාළ සේක. බමුණා ද ගෙට ගොස් තම බැමිණියට, “සොඳුර අද ගිනි දෙවි පුදන්ට ගිය ගමනේ දී දුවට සුදුසු කෙනෙකු දුටුවෙමි. ඔහුට මැය පාවා දෙමි.” යි දියණිය සරසා කැඳවාගෙන බැමිණිය ද සමඟ එතැනට ගියහ.

භාග්‍යවතුන් වහන්සේ ද බමුණා කිව් තැන වැඩ නොසිට, මිහිකතගේ නළලත තිලකයක් තබන්නාක් මෙන් බුදු ශ්‍රී පාද සටහන පොළවෙහි දක්වාලා වෙනත් තැනක වැඩ සිටි සේක. බුදුරජුන්ගේ සිරිපා සටහන අසවල් අයට ම දකින්ට ලැබේවායි සිතූ ලෙසට ම පෙනෙයි. වෙනත් කෙනෙකුට නොපෙනෙයි. බමුණා හා යන බැමිණිය “ඔහු දැන් කොහෙද?” ඇසුවාය. “මෙතැන සිටින්නට කීවෙමි.” කියා බලන්නේ ශ්‍රී පාද සටහන දැක “මේ තිබෙන්නේ ඔහුගේ පියවර සටහන”යි කීය. බැමිණිය ද ශරීර ලක්ෂණ ශාස්ත්‍රය හොඳින් හදාරා දන්නා නිසා “පින්වත, මේ පතුල හිමි කෙනා ගිහි ව සිටින කෙනෙකු නොවෙයි” යැයි කීවාය. “තී පැන් කළයේ කිඹුලන් දකින කෙනෙකු වැනිය. මම ඔහුට දුව දෙමියි කීවෙමි. ඔහුත් ඊට නිහඬ ව සිටියේ, නොකැමතියි නම් ඒ බව කියනවා නොවේද?”යි බමුණු තෙම පැවසීය.

එවිට ඈ “බමුණ, තොප දන්නේ ගිනි මොළවන්ට පමණයි. වෙනකක් නොදනියි. මේ පතුල නම් බඹලොව ස්ත්‍රීන් නැතිවාක් මෙන්, සන්තානය නිකෙලෙස් උත්තමයකුගේ පතුල් සටහනක් බවට නිසැකයි” යි කීවාය. “සොඳුර, තී නොදොඩා නිහඬ ව මා හා සමඟ එව” යි කියමින් යන අතර භාග්‍යවතුන් වහන්සේ දැක, “මා කිවූ තැනැත්තෝ සිටිති” යි කියමින් බුදුරජුන් වෙත ගොස් “දුව තොපට සරණ කර දෙන්ට ගෙනාවෙමි. ඇය පාවා ගනුව”යි කීවේය. භාග්‍යවතුන් වහන්සේ ද “තොපගේ දුවණියන් අපට නොකැමති බව වදාරා, එක් කාරණයක් තොපට කියමි. එය අසන්නේ ද?” යි වදාළ විට “අසමි” කී කල්හි මහබිනික්මන පටන් කෙටියෙන් ගාථාවක් දක්වා වදාළ සේක.

“එම්බා බමුණ, මම විසි නව වන වියේදී රජ සැපත් හැර දමා කන්ථක නම් අස් රජෙකු පිට නැගී ඡන්න ඇමති සමඟ මහණ වන්ට නික්මුණු ගමනේ නුවර වාසලින් පිටත සිටි වසවත් මාරයා, ‘සිද්ධාර්ථ කුමරුනි, නවතිනු. මෙයින් සත්වන දවස සත් රුවන් පහළ වෙයි’ කී විට ‘මාරය, මම දනිමි. නමුත් නොනවතිමි.‘ කී කල්හි ‘නොනවතින්නේ කුමක් නිසාද?’යි ඇසීය. ‘බුදු වන නිසා’ යැයි කී විට ‘එසේ වී නම් අද පටන් නපුරු සිතක් නොසිතව. නපුරු සිතක් සිතුවොත් මම එය දනිමි’ යි කියා එතැන් පටන් මාගේ දෝෂයක් දකින්නට සත් අවුරුද්දක් උත්සාහ කළේය. මම ද සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට බුදු වී පස්වන සතියේ අජපල් නුගරුක මුල වැඩ සිටියෙමි. ඒ වෙලාවේ මාරයා පැමිණියේය. ‘මම මෙතෙක් කාලයක් මුළුල්ලේ තොරතුරක් සොයා ඇවිද්දත් කිසිම දෝෂයක් නොදැක්කෙමි. ඔබ මාගේ විෂය ඉක්මවීය’ කියා කලකිරී නිහඬව මූණ හකුළුවාගෙන සිටියේය.

ඒ වෙලාවෙහි ඔහුගේ තණ්හා, අරතී, රගා යන දූවරු තිදෙනා අපගේ පියාණන් නොපෙනෙන්නේය. දැන් කොහේ සිටින්නේදැයි බලන්නේ, ඔහු මාවත අද්දර කලකිරීමෙන් මුහුණ හකුළුවාගෙන සිටිනු දැක, ඔහු වෙතට ගියාහුය. ‘පියාණන් වහන්ස, කලකිරීමෙන් සිටින්නේ මක් නිසාද?’යි ඇසූහ. මාර තෙමේ තම සිතේ පැවති කනස්සල්ල දූවරු තිදෙනාට පැවසූ විට ඒ අසා ‘පියාණන් වහන්ස, කනස්සලු නොවනු මැනව. අප විසින් ඒ ශ්‍රමණයන් වහන්සේ අප කෙරෙහි පොළඹවාගෙන අපට වසඟ කොට ගෙන එන්නෙමු’යි කීවාහුය. ‘කිසි කෙනෙකුටවත් ඔහු වසඟ වන කෙනෙකු නොවෙයි. දරුවනී, තොපට එය කළ නොහැකියි’යැයි මාර තෙමේ කීවේය. ‘පියාණෙනි, අපි වනාහී ගෑනුන් වෙමු. යෞවන පුරුෂයන් බැඳ ගන්නට තිබෙන අපගේ කෙලෙස් නමැති ආහාරයෙන් ම ඔහු බැඳගෙන එන්නෙමු. නුඹ වහන්සේ දුක් නොවනු මැනව’යි කියා බුදුරජුන් කරා ගියාහුය. ‘මහණ, ඔබට අප අඹුවන් වන්නෙමු’යි කියමින් අනේකප්‍රකාර ස්ත්‍රී විලාස දැක්වූහ. අපගේ භාග්‍යවතුන් වහන්සේ උන්ගේ බස් කැනහිල් දෙනුන්ගේ හඬ තරමටවත් නොතැකූ සේක. පිලිස්සී ගිය වඳුරු මැහැල්ලන් තරමටවත් නොතැකූ සේක. දෙනෙත් දල්වා උන් දෙසවත් බලා වදාළේ නැත. ශාන්ත විහරණයෙන් නිසලව වැඩහුන් සේක.

ඉන්පසු මාර දූවරු තිදෙනා ‘පිරිමින්ගේ අදහස් නම් නොයෙක් අයුරින් වෙයි. සමහරු බාල වියේ ස්ත්‍රීන්ට ඇලුම් කරති. සමහරු මධ්‍යම වියේ ස්ත්‍රීන්ට ද සමහරු මහලු ස්ත්‍රීන්ට ද ඇලුම් කරති. එසේ නොයෙක් අයුරින් හැසිරී පොළඹවා ගනිමු’යි සිතූහ. නැවත දරුවෙකු ලැබුණ ස්ත්‍රියක්, දරුවන් දෙදෙනෙකු ලැබුණ ස්ත්‍රියක් ආදී නොයෙක් නොයෙක් ස්ත්‍රී විලාසයන් සිය ගණනක් මවා බුදුරජුන් වෙත ගොස් ‘මහණ, අපි තුන් දෙනා ම ඔබට අඹුවන් වන්නෙමු’යි කීවාහුය. මෙතෙක් වේලා එකදු බැල්මක් හෝ නොහෙලූ අපගේ භාග්‍යවතුන් වහන්සේ, ‘පාපී කෙල්ලනි, පලා යව. ඔවැනි ආයාසයක් ගන්නේ කුමක් නිසාද? ඔවැනි හැසිරීම් කෙලෙස් ඇති අයට නම් අගනේ ය. සර්වඥයන් වහන්සේලාට රාගාදී කෙලෙස් හට ගැනීමක් නොමැත. සර්වඥයන් වහන්සේලා ආයතනයන් ආදී මාර්ගයන්ගෙන් ඇතුල් වන සියලු ම කෙලෙස් නැවත නොඑන ලෙසට ම නසාලූහ. අනන්ත වූ විෂය ඇති සර්වඥතා ඥානය ලබා ගත්තා වූ රාගාදී කෙලෙස් නසා සිටින ඒ බුදුරජාණන් වහන්සේ කවර ලෙසකින් තොපට නම්මා ගත හැකිද? සර්වඥයන් වහන්සේ කවර තැනකටවත් පමුණුවන්නට නොහැකි ලෙසින් තෘෂ්ණාව සියලු ආකාරයෙන් ම නසා සිටින බැවින් තොපට කවර ක්‍රමයකට හෝ නම්මා ගත නොහැකි ය’ යි වදාළ සේක. මේ දේශනාව කෙළවර බොහෝ දෙවියෝ නිවන් දුටුවාහුය. මාර දූවරු තිදෙනා එසැණින් සැඟවී පලා ගියාහ.

බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ගෙන හැර වදාරා “බ්‍රාහ්මණය, මේ ශරීරයෙහි තචපංචකය පමණක් ප්‍රකටව දිස්වන, අනිත් කුණප කොටස් විසි හත ම ප්‍රකටව නොපෙනෙන, රන් කඳන් වැනි මාර දූවරුන් තිදෙනා දැක දැකත් මා තුළ උන් කෙරෙහි ඇල්මක් හට නොගත්තේ ගිනි ගොඩක පැළයක් හට නොගන්නාක් මෙනි. තොපගේ දුවණියගේ ශරීරය ඇයටත්, තොපටත් යහපත් සේ වැටහුණ ද එය දෙතිස් කුණපයන්ගෙන් ගැවසීගෙන තිබෙයි. අසූචි පුරවාලූ කළයක් පිටතින් සිතුවම් කළා වැනිය. ඉතින් මාගේ පයෙහි අපවිත්‍ර යමක් ගෑවුනි නම් මැය පාපිස්නාවක් මෙන් සිටියත් මෑගේ ශරීරයෙහි මාගේ අපවිත්‍ර වූ පය පමණවත් නොපිසමි.” යි වදාරා,

“දිස්වාන තණ්හං අරතිං රගං ච
නාහෝසි ඡන්දෝ අපි මේථුනස්මිං
කිමේවිදං මුත්තකරීසපුණ්ණං
පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡේ”

යන ගාථාව වදාළ සේක. ගාථාව කෙළවර බමුණා හා බැමිණිය යන දෙදෙනා ම අනාගාමී වූවාහ. සමහරුන්ට අමෘතය වුවත් සමහරුන්ට එය වස වන්නා සේ ඒ බණ මාගන්දියා නම් කුඩා බැමිණියට විස විය. වෙනත් අයවලුන්ට ම ප්‍රයෝජනවත් විය. මෙසේ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවතුන් වහන්සේ මාගන්දියා බමුණු දියණිය මේ බණ අසා තමන් වහන්සේ කෙරෙහි වෛර බැඳ ගන්නා බව දන්නා නමුත් එය නොසලකා, දෙමහල්ලන්ට වන ප්‍රයෝජනය පමණක් සැලකුවා සේ මෙලොව විඳින්නට වන අපහසුතා නොසලකා මතු ලබන නිවන් සුව සලකා නොපමා ව කටයුතු කරන්නට සියලු සත්වයෝ සිතට ගත යුතුය.

සද්ධර්මරත්නාවලිය ඇසුරෙනි.

සටහන මානෙල් පොඩිමැණිකේ.