භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් වූ උපාසක – උපාසිකා මව්පියවරුන්ට දරු සම්පත් ලැබීම ධර්මයේ හැසිරීමට ආශිර්වාදයක් මිසක බාධාවක් නොවේ. ගෞතම බුදු සසුනේ අග්‍ර දායිකාව වූ ද සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් වූ ද විශාඛාවන් පුතුන් දසදෙනෙකුගේ ද, දියණිවරුන් දස දෙනෙකුගේ ද ආදරණීය මව්තුමිය වූවාය. බන්දුල මල්ලිකාව ද දහසය වතාවකදී නිවුන් දරුවන් ලැබ පුතුන් තිස්දෙදෙනෙකුගේ සෙනෙහෙබර මවක් වූවාය. ලක්දිව සැදැහැති ධාර්මික රජකෙනෙකු වූ බුද්ධදාස රජතුමාට පුත් කුමාරවරුන් 80 දෙනෙකු සිටි අතර ඔවුන්ට තබන ලද්දේ ද අසූ මහා ශ්‍රාවකයන්ගේ නම් ය. ගෞතම සසුන ලක්දිව බැබළුණු, බතින් බුලතින් සමෘද්ධිමත් වූ අනුරාධපුර – පොළොන්නරු යුගවලදී හෙළ- බොදු පවුලක දරුවන් දහ-පහළොස් දෙනා බැගින් සිටියහ. ඒ අතීත මව්පියවරු දරුවෙකු දෙදෙනෙකු සසුන් ගතකොට ශාසනික උරුමය ද ලැබූහ. අනිත් දරුවන් ඔවුන්ගේ දක්ෂතා සහ සිතැඟි අනුව වෙදමහතෙකු, ගුරුමහතෙකු, ගොවිමහතෙකු රාජපුරුෂයෙකු බවට පත්කළහ. එනම් සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, රාජ්‍ය ආරක්ෂාව ආදී ක්ෂේත්‍ර ගණනාවකට මානව සම්පත් තනිපවුලක් තුලින් දායාද කෙරිණි. එසේ තම දරුවන් රටට, දැයට, සමයට ප්‍රයෝජනවත් පුරවැසියන් බවට පත්කළේ මානව දයාවෙන් පිරි සමාජ පසුබිමක මිස අද මෙන් නවීන පහසුකම්, සෞඛ්‍ය සේවා, යාන – වාහන ඇතිව නොවේ.
අභිමානවත් ජාතියක අනාගත ඉරණමේ ශෝකාන්තය…
එනමුත් අද සිංහල-බෞද්ධ පවුල් ඒකකය බොහෝවිට දරුවන් දෙදෙනෙකුට සීමා වී තිබේ. සමහර පවුල්වල සිටින්නේ එකම දරුවෙකු වන අතර සමහර අඹු සැමියන්ට දරුවන් ඇත්තේ ම නැත. මෙය ඉතා සංවේගජනක තත්වයක් වන අතර සිංහල ජාතියේත් – සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතියට බරපතල හානිකර තත්වයකි. මේ තුලින් ඇතිකරදෙන ආදීනව රාශියකි.
1. එකම දරුවා හෝ දෙදෙනා විදේශගත වීම, බන්ධනාගාරගත වීම, හදිසියේ මියයෑම වැනි අවස්ථාවලදී දෙමාපියන් තනිවීම, රැකබලාගැනීමට කෙනෙකු නොමැතිව අසරණ වීම.
2. දරුවන් නොමැති කමින් පාරම්පරික දේපල වස්තුවට හිමිකරුවන් නොමැති වී අන්සතුවීම සහ නැති නාස්ති වීම.
3. රාජ්‍ය සහ පෞද්ගලික අංශවල වැදගත් ඉහළ තනතුරු සිංහල බෞද්ධයන්ට අහිමි වීම.
4. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආධිපත්‍යය සිංහල-බෞද්ධයන්ගෙන් ගිළිහී ආර්ථික ශක්තිමත් බව බිඳවැටීම.
5. ශාසනික උරුමය ඉදිරියට ගෙනයෑම පිණිස පැවිදි වීමට දරුවන් නොමැති වීම.
6. ක්‍රමක්‍රමයෙන් සිංහල-බෞද්ධ ජනගහනය අඩුවෙමින් දේශපාලනික, ආර්ථිකමය, සමාජමය වශයෙන් අනාදිමත් කලක සිට පැවති සිංහල බෞද්ධ පදනම බිඳවැටීම.
ජාතිය රන් විමනක් වේ – ආගම මිණි පහනක් වේ
එය රැක ගැන්මට මෙලොවේ – සමත් වෙතොත් පුද නුඹ වේ
මේ තත්වය වෙනස් කිරීමට ඇති තිරසාර දූරදර්ශී විසඳුම අතීතයේ මෙන් සිංහල – බෞද්ධ පවුල්වල දරුවන් බොහෝ සෙයින් බිහිකරගැනීමයි. ඒ සඳහා පවුලේ ආර්ථික පසුබිම ගැටළුවක් කරගත නොගත යුතු අතර ම, එම දරුවන්ගේ අනාගත සාර්ථකත්වය පිළිබඳව අනවශ්‍ය බියක් ද ඇතිනොකරගත යුතුය. මිනිස් ලොව උපතක් කරා කෙනෙක් පැමිණෙන්නේ දිවිමග ගොඩනගා ගැනීමේ කර්ම ශක්තියක් ද, සහජ දක්ෂතා ද සමඟින් ය. ව්‍යාපාරික, සෞඛ්‍ය, අධ්‍යාපන, පරිපාලන ආදී ක්ෂේත්‍රවල අද ඉහළින් වැජඹෙන බොහෝ දෙනෙකු උපත ලබා ඇත්තේ අඩු ආදායම්ලාභී සාමාන්‍ය පවුල්වල ය. එමෙන්ම ඔවුන් තම ක්ෂේත්‍රයේ කුඩා තැන්වලින් පටන්ගෙන පියවරෙන් පියවර ඉහළට පැමිණි අය වෙති.
අප දන්නා පිටිසරබද එක් පවුලක පිරිමි දරුවන් පස්දෙනෙකු ද ගැහැණු දරුවන් තිදෙනෙකු ද සිටියහ. ඔවුන්ගේ පියා කුඹුරු ගොවිතැන් කළ දුප්පත් ගොවියෙකු වූ අතර මව රැකියාවක් නොකළ ගෘහණියක් වූවාය. එනමුත් මෙත් කරුණා ගුණැති එම දෙමව්පියන් දහමට ලැදිව එම දරුවන් ගුණ – නැණින් පෝෂණය කළහ.
එම දරුවන් ද උත්සාහයෙන් වීර්යයෙන් අධ්‍යාපනය ලබමින් යහපත් ගුණධර්මයන්ගෙන් ද සමන්විතව හැදී වැඩුනහ. ඉන් පිරිමි දරුවන් තුන්දෙනෙකුත්, ගැහැණු දරුවෙකුත් දැයේ සිසුදරුවන්ගේ ගුණ – නැණ ඔප් නංවන ගුරුවරුන් බවට පත්වූහ. අනිත් පිරිමි දරුවන් සාර්ථක වෙළඳ ව්‍යාපාරිකයෙකු සහ වරායේ විධායක නිලධාරියෙකු වූ අතර ගැහැණු ළමයි දෙදෙනා ද විවාහ වී යහපත් ජීවිත ගොඩනගාගත්හ. ඔවුන්ගේ සාර්ථකත්වයට පවුල් පසුබිම, ආර්ථිකය, පවුලේ සාමාජික සංඛ්‍යාව කිසිසේත් බාධාවක් නොවීය.
අප හොඳින් හඳුනන තවත් පවුලක පිරිමි දරුවන් තිදෙනෙකු ද, ගැහැණු දරුවන් තිදෙනෙකු ද වූහ. පියාගේ රැකියාව කුලියට ආහාර පිසීම වූ අතර මව සුළු ආහාර වර්ග සාදා විකුණුවාය. එම දෙමව්පියන් ද සිය දරුවන්ට හොඳින් ඉගැන්වූ අතර යහගුණදම් පුරුදු කළහ. දියණිවරුන් තිදෙනා ම ගුරුවරියන් වූ අතර, පිරිමි දරුවන් තිදෙනා විදුලිබල මණ්ඩලයේ, ජාතික ප්‍රවාහන සේවාවේ සහ පෞද්ගලික ආයතනයක විධායක තනතුරු ලබාගත්හ. ආර්ථිකය සහ අනාගතය ගැන අනියත බියක් ඇතිනොකරගැනීම පිණිස මෙම නිදසුන් දෙක ප්‍රමාණවත් වේ යැයි සිතමු.
දරුවන් උදෙසා සැබෑ ලෙසින් ම යුතුකම් ඉටුකරන්නට නම්…..
‘ගිහි විනය’ නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන, සිඟාලෝවාද සූත්‍ර දේශනාවේදී, භාග්‍යවතුන් වහන්සේ දෙමව්පියන් විසින් දරුවන්ට ඉටුකළ යුතු යුතුකම් පහක් පෙන්වා දී තිබේ.
1. පාපා නිවාරෙන්ති – අයහපත් පුද්ගලයන්ගෙන්, අයහපත් දේවලින්, අයහපත් පුරුදුවලින් දරුවන් වළක්වා ගත යුතුය.
2. කල්‍යාණේ නිවේසෙන්ති – කල්‍යාණ මිත්‍ර ඇසුරෙහි, යහපත් ගුණධර්මවල, යහපත් දේවල් තුළ දරුවන් සමාදන් කළ යුතුය.
3. සිප්පං සික්ඛාපෙන්ති – ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම හෙවත් හොඳ අධ්‍යාපනයක් ලබාදිය යුතුයි.
4. පතිරූපේන දාරේන සංයෝජෙන්ති – සුදුසු පවුලකින් ආවාහ – විවාහ කටයුතු සිදුකරදිය යුතුයි.
5. දායජ්ජං නිය්‍යානෙන්ති – භව-භෝග සම්පත් ආදී දායාද පවරා දිය යුතුය.
අවාසනාවකට මෙන් වර්තමානයේ බොහෝ දෙමාපියන් පළමු සහ වැදගත්ම යුතුකම් දෙක අමතක කොට තරඟකාරී අධ්‍යාපන රටාවට පමණක් දරුවන් යොමු කරති. ඒ තුලින් සෑම දරුවෙකු ම වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු, නීතීඥයෙකු, සුපිරි ක්‍රීඩකයෙකු කිරීමට වෙර දරති. නමුත් එය ප්‍රායෝගිකව සාර්ථක ක්‍රමවේදයක් නොවේ. සැබැවින්ම සිදුකළ යුතු වන්නේ දරුවන්ගේ සහජ දක්ෂතා, චරිතානුකූල කුසලතා ආදිය හඳුනාගෙන අනාගත සාර්ථකත්වයට මඟ පෙන්වීමයි. ඒ සඳහා අවශ්‍ය උපකාර සැලසීමයි. එවිට පවුලේ දරුවන් ප්‍රමාණය කොතරම් වැඩිවුවත් ඔවුන් තම තමන්ගේ දක්ෂතා අනුව ඒ ඒ ක්ෂේත්‍රයන්හී රැකියාවල නියැලෙමින් දිවිමඟ සාර්ථකව ගොඩනගාගනු ඇත. රට – දැය – සමයට ප්‍රයෝජනවත් පුරවැසියන් බවට පත්වනු ඇත. වඩාත්ම වැදගත් වන්නේ ධාර්මික බව ගුණධර්ම මත පදනම් වූ ජීවිතයක් දරුවන්ට දායාද කිරීමයි. ඒ සඳහා දෙමාපියන් යහපත් ආදර්ශමත් ජීවිත ගතකිරීම අත්‍යාවශ්‍ය වේ.
අවවාදයට වඩා උතුම් වන්නේ ආදර්ශයයි…..
විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේ සම්බුදු නුවණින් පසක් කොට දේශනා කළ ආකාරයට, ධාතු ස්වභාවයක් හෙවත් යහපත් දේ යහපත් දේ සමගත්, අයහපත් දේ අයහපත් දේ සමඟත් එකතුවෙන ධර්මතාවයක් ලොව පවතී. එබැවින්, දෙමාපියන් තිසරණ පන්සිල් රකිමින්, දන් පැන් පුදමින්, ධර්මයේ හැසිරෙන ජීවිතයක් ගතකරන්නේ නම් ඔවුන්ට ලැබෙන්නේ ද පින්වන්ත දරුවන් ය. ආයුෂ අවසන් වී දෙව්ලොවින්, බඹලොවින්, මිනිස් ලොවින් චුතවන යහපත් අය එවිට එවැනි පවුල්වල පිළිසිඳ ගනිති. එවැනි පින්වන්ත දරුඋපත් දෙමාපියන්ටත්, ඤාතිහිතමිත්‍රාදීන්ටත්, සමාජයටත් මහත් වූ යහපතක් උදාකර දෙයි. එනමුත් දෙමාපියන් තෙරුවන් කෙරෙහි පැහැදීමක් නොමැතිව, දුශ්ශීලව, ගුණධර්මවලින් තොර ජීවිත ගත කරන්නේ නම් එවැනි පවුල්වල උපදින්නේ ද පින් මඳ අවාසනාවන්ත දරුවන් ය. ඔවුන් නිරයෙන්, ප්‍රේතලෝකයෙන්, තිරිසන් ලෝකයෙන් හෝ අසුර ලෝකයෙන් චුතවන අයවීමට ඇති අවස්ථාව වැඩිය. එවිට සිදුවන්නේ කරදරකාරී පීඩා සහිත ජීවිතයක් ගතකිරීමට සිදුවීමයි. එවන් දරුවන් සමාජයට ද බරකි. එම නිසා යහපත් පින්වන්ත දරුවන් ලැබීමට දෙමාපියන් ආදර්ශමත්, ගුණසම්පන්න ජීවිතයක් ගතකිරීම අතිශයින්ම වැදගත්ය.
ධාර්මික පිළිවෙතින් සුජාත දරු උපත් ලබමු…
මෙහි සඳහන් කරුණු හොඳින් කියවා බලා, අභිමානවත් ජාතියක්, ගුණදහමින් පිරිපුන් සමාජ සංස්කෘතියක් ඇතිව සිටි ඒ ප්‍රෞඪ ඉතිහාසය, යළි ජීවමාන කරන්නට ඔබත් සිය උපරිම දායකත්වය ලබාදෙන්න. ඒ පිණිස උත්තම තිසරණයේ ආශිර්වාදයත්, පිනැති දෙවියන්ගේ උපකාරයත් සියලු දෙනාට ම සැලසේවා! සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස චිරාත් කාලයක් ලොව පවතීවා!
මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.