මිළිඳු රජු මෙසේ විමසයි.
“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, මේ දායකයෝ දන් දෙති. මියගිය ඥාතීන්ට ‘මේ පින ඔවුන්ට ලැබේවා’ යි පතා පින් දෙති. ඔවුන් කිසිවෙක් ඒ හේතු කොට ගෙන විපාක ලබත් ද?”
“මහරජාණෙනි, කිසිවෙක් විපාක ලබති. කිසිවෙක් නොලබති.”
“ස්වාමීනී, විපාක ලබන්නෝ කවරහුද? නොලබන්නෝ කවරහුද?”
“මහරජාණෙනි, මියගිය යම් කෙනෙක් නිරයෙහි ඉපිද සිටිත් නම්, ඔවුන්ට පින් නොලැබෙයි. එමෙන් ම දෙවියන් අතර ඉපිද සිටිත් නම් ඔවුන්ට ද පින් නොලැබෙයි. තිරිසන් අපායෙහි ඉපිද සිටිත් නම් ඔවුන්ට ද පින් නොලැබෙයි. මහරජාණෙනි, ප්‍රේත කොට්ඨාශ සතරක් තිබෙයි. එනම්, අවුරුදු දහස් ගණන් ඉතා දුක සේ වමන, සෙම්, සොටු ආදිය අනුභව කරන ‘වන්තාසිකා’ ප්‍රේතයෝ ය. කල්ප ගණන් සා පිපාසාවෙන් දුක් විඳින ‘ඛුප්පිපාසික’ ප්‍රේතයෝ ය. කල්ප ගණන් ගිනි ඇවිළුණු සිරුරෙන් යුතුව බැගෑ හඬ නගමින් යන්නා වූ ‘නිජ්ඣාමතණ්හික’ ප්‍රේතයෝ ය. ඥාති මිත්‍රාදීහු විසින් දන් පැන් දී අනුමෝදන් කරන පිනෙන් යැපෙන ‘පරදත්තූපජීවී’ ප්‍රේතයෝ ය වශයෙනි. මෙයින් ‘වන්තාසික, ඛුප්පිපාසික, නිජ්ඣාමතණ්හික’ ප්‍රේතයෝ පින් නොලබති. ‘පරදත්තූපජීවී’ ප්‍රේතයෝ පමණක් පින් ලබති. ”
“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, එසේ නම් දායකයන්ගේ දානය මියගිය ඥාතීන්ට නිසි පරිදි නොලැබෙන හෙයින් එයින් වැඩක් නැත්තේ ය. යමෙක් උදෙසා දෙන ලද දානයෙහි ඵලය නොලැබුණා නොවැ.”
“නැත මහරජාණෙනි, දානය විපාක රහිත, ඵල රහිත දෙයක් නොවේ. දායකයෝ ත් දානයේ ඵලය අනුභව කරති.”
“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ඒ පිළිබඳ කාරණයකින් මාව දැනුවත් කළ මැනව.”
“මහරජාණෙනි, මේ ලෝකයේ යම් මිනිස්සු මස්, මාළු, සුරා, කැවිලි, සහිත වූ බතක් පිළියෙල කොට නෑදෑ ගෙදරකට යති. ඉදින් ඒ ඥාතීහු ඔවුන්ගේ මේ ත්‍යාගය ලබන්නට නොපැමිණෙත් නම්, ඔවුන් පිළියෙල කරගත් දෙය ඵලක් නැති වෙයි ද? නැසෙයි ද? වැනසෙයි ද?”
“නැහැ ස්වාමීනී. ඒ ආහාර පාන සැකසූ ඔවුන්ට අයිති වේ.”
“එසෙයින් ම මහරජාණෙනි, දායකයෝ ම දානයේ ඵලය අනුභව කරති.
මහරජාණෙනි, පුරුෂයෙක් නිවසකට පිවිසෙයි ද, නමුත් එයින් බාහිරට නික්මෙන්නට පෙරදිගින් දොරටුවක් නැත්නම්, ඔහු නික්මෙන්නේ කොහෙන් ද?”
“ස්වාමීනී, පිවිසුනු තැනින් ම ය.”
“එසෙයින් ම මහරජාණෙනි, දායකයෝ දුන් දානයෙහි ඵලය අනුභව කරති.”
උපුටා ගැනීම – මිළිඳු රාජ ප්‍රශ්නය