අපගේ ශාස්තෘන් වහන්සේ වනාහී කෙලෙස් රහිත උතුමන් වහන්සේනමකි. එමෙන් ම උන්වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කොට වදාළේ ස්වයංභූ ඤාණයෙනි. එනම් තමන් වහන්සේගේ ම උත්සාහයෙන්, යෝනිසෝ මනසිකාරය තුළින් උපදවා ගත් ඤාණයකි. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය පිරී පැවතුනේ ශාන්ත සන්සිඳුනුභාවයත්, නිරාමිස ප්‍රීතියත්, මධ්‍යස්තභාවයත්, අකම්පිත බවත්, බලවත් අධිෂ්ඨානයත්, පිවිතුරු හුදෙකලාවේ රසයත්, විස්මිත බුද්ධියත් ආදී සොඳුරු ගුණදම් තුළිනි. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසුවේ ද විස්මිත ප්‍රඥාවත්, මහා කරුණාවත් පෙරදැරි කරගෙන ය.

දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුළ සුවිශේෂී වූ ඤාණ බල සතරක් පිහිටා තිබූ අතර ඒවා හැඳින්වූයේ විශාරද ඤාණ යනුවෙනි.

අභීත තැන වැඩසිටිනා භාග්‍යවතුන් වහන්සේ

“පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ හට විශාරද ඤාණ සතරක් ඇත. ඒ විශාරද ඤාණයෙන් යුක්ත වූ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා දෙයි. පිරිස් මැද සිහනද පතුරයි. ශ්‍රේෂ්ඨ වූ චක්‍රය වන ධර්ම චක්‍රය කරකවයි”.

(චත්තාරිමානි භික්ඛවේ තථාගතස්ස වේසාරජ්ජානි. යේහි වේසාරජ්ජේහි සමන්නාගතෝ තථාගතෝ ආසභං ඨානං පටිජානාති. පරිසංසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කං පවත්තේති.)

ඒ සුවිශේෂී වූ අසිරිමත් ඤාණ සතරේ පළමු ඤාණය ශාස්තෘන් වහන්සේ වදාළේ මෙලෙසිනි.

“ගුරු උපදේශ රහිතව සම්මා සම්බුද්ධත්වයට පත් වූ බවට ප්‍රතිඥා දෙන නමුත් ඔබ විසින් මේ මේ ධර්මයෝ අවබෝධ නොකරන ලද්දාහුය’ වශයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙකු හෝ කරුණු සහිතව මා හට චෝදනා කරන්නේය යන කරුණ පිළිබඳව නිමිත්තක්වත් මම නොදකිමි. එබඳු නිමිත්තක්වත් මම නොදකින්නේ භය නැති තැනට පත් වී සිටිමි. නිර්භයව සිටිමි. විශාරද බවට පත්වී වාසය කරමි.”

(සම්මා සම්බුද්ධස්ස තේ පටිජානතෝ ඉමේ ධම්මා අනභිසම්බුද්ධා’ති තත්‍ර වත මං සමණෝවා බ්‍රාහ්මණෝ වා දේවෝ වා මාරෝ බ්‍රහ්මා වා කෝචි වා ලෝකස්මිං සහධම්මේන පටිචෝදෙස්සතීති නිමිත්තමේතං භික්ඛවේ න සමනුපස්සාමි. ඒතංපහං භික්ඛවේ නිමිත්තං අසමනුස්සග්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි)

බුදුරජාණන් වහන්සේගේ ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කළ බව පළමු විශාරද ඤාණයයි. සේල සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ සේල බ්‍රාහ්මණයාට මෙසේ වදාළ සේක. අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කළෙමි. (අභිඤ්ඤයියං අභිඤ්ඤාතං) අත්හළ යුතු සියල්ල අත්හළෙමි. (පහාතබ්බංච පහීනං) වැඩිය යුතු සියල්ල ම වැඩුවෙමි. (භාවේතබ්බංච භාවිතං)

දිනක් සිංසපා නම් ඇට්ටේරියා වනයේදී, ඇට්ටේරියා කොළ අහුරක් අතට ගෙන භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාගෙන් මෙසේ විමසා වදාළ සේක. “මහණෙනි, මේ මාගේ අතේ තිබෙන කොළ ද වැඩි? වනාන්තරයේ තිබෙන කොළ ද වැඩි?” “ස්වාමීනි, අතේ තිබෙන කොළ ස්වල්පයයි. වනාන්තරයේ තිබෙන කොළ ප්‍රමාණය ඉතා විශාලයි.” කියා පිළිතුරු ලැබුණි. “පින්වත් මහණෙනි, තථාගතයාණන් වහන්සේගේ අවබෝධය මේ වනාන්තරයේ කොළ මෙන් ඉතා විශාලයි. මම අවබෝධ කළ දෙයින් ඔබට දේශනා කරන්නේ අතට ගත්තු කොළ ප්‍රමාණය මෙන් ස්වල්පයයි. එය ඔබට ධර්මාවබෝධය පිණිස ප්‍රමාණවත්.” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය එතරම් පරිපූර්ණ වූවක් නිසා “සම්මා සම්බුදු වුණත් ඔබ වහන්සේ මේ මේ දේවල් අවබෝධ කර නැහැ.” කියා කිසිවෙකුටත් හේතු සහිතව අභියෝග කළ නොහැකිය. එය භාග්‍යවතුන් වහන්සේගේ පළමු විශාරද ඤාණයයි.

තමන් වහන්සේගේ ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳව උන්වහන්සේට අභියෝග නැත.

“මහණෙනි, මම ආශ්‍රවයන් ක්ෂය කළ කෙනෙක්මි’යි ලොවට ප්‍රතිඥා දෙමි. මෙහිලා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි අන් කවරෙක් හෝ සත්‍ය කරුණු පදනම් කොට ‘තොප විසින් මේ මේ ආශ්‍රවයෝ ක්ෂය කොට නැත්තාහ.’ කියා මට චෝදනා කරන්නේය යන්න පිළිබඳව නිමිත්තක්වත් ඒකාන්තයෙන් මම නොදකිමි. මහණෙනි, මෙබඳු නිමිත්තක්වත් නොදක්නා මම අභීත බවට පත්ව සිටිමි. බිය රහිත ව සිටිමි. විශාරද ව සිටිමි.”

(ඛීණාසවස්ස තේ පටිජානතෝ ඉමේ ආසවා අපරික්ඛීණාති තත්‍ර වතමං සමණෝ වා බ්‍රාහ්මණෝ වා දේවෝ වා මාරෝ බ්‍රහ්මා වා කෝචි වා ලෝකස්මිං සහධම්මේන පටිචෝදෙස්සතීති නිමිත්තමේතං භික්ඛවේ න සමනුපස්සාමි. ඒතංපහං භික්ඛවේ අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහාරාමි)

මෙසේ රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කොට සියලු ආශ්‍රවයන් නසා ගුරු උපදේශ රහිතව රහතන් වහන්සේනමක් බවට පත් වීම භාග්‍යවතුන් වහන්සේගේ දෙවැනි විශාරද ඤාණයයි.

බුදුරජාණන් වහන්සේගෙන් පසු සියලුදෙනා අරහත්වයට පත් වූයේ ගුරු උපදේශ සහිතවයි. නමුත් බුදුරජාණන් වහන්සේ සියලු ආශ්‍රවයන් දුරු කළේ තමන් වහන්සේ තුළින් ම උපදවාගත් ස්වයංභූ ඤාණයෙන් ම ය.

භාග්‍යවතුන් වහන්සේ සියලු දුකින්, සියලු බන්ධනයන්ගෙන්, සියලු කෙලෙසුන්ගෙන් නිදහස් උතුමෙකි. බුද්ධගයා බෝධි මූලයේ දී වෙසක් පුන් පොහෝදා සම්බුද්ධත්වය ලබන මොහොතේ දී උන්වහන්සේගේ සිත කිසිවක් අල්ලා නොගෙන සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වී ගියේය. ලෝකයට අයිති නැති, ලෝකයෙන් නිදහස් වූ භාග්‍යවතුන් වහන්සේ ඒ නික්ලේශී බව ගැන ප්‍රථම වරට දෙව්මිනිස් ලෝකය හමුවේ උදම් ඇනුයේ මෙසේය.

“අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි
පුන ගේහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං
තණ්හා නං ඛයමජ්ඣගා”

“අක්මුල් නොපෙනෙන මේ සසරේ
නොයෙක් ජන්ම ලබමින් සැරිසරා
ජීවිත ගෘහය තනන වඩුවා
කව්දැයි සොයා ඇවිද ගියෙමි මම්
දුකකි යළි යළි ඉපදීම නම්

ජීවිත ගෘහය තනනා – -තෘෂ්ණාවමය ඒ වඩුවා
සර්වඥතා ඥාණයෙන්
-නුඹව දුටුවෙමි මම්
තා යළිත් මට කිසිදා
-ජීවිත ගෘහය නැත තනන්නේ

ස්කන්ධ ධාතු ආයතන නම්
-තගේ ගෘහයේ හැම පරාලම
සිඳ බිඳ දැමුවෙමි මම්
-අවිද්‍යා කැණිමඩල
විසුරුවා දැමුවෙමි මම්

සිත සංස්කාර රහිත විය
තෘෂ්ණාව ක්ෂය විය
-රහත් ඵලය පසක් විය.”

නිවන් මඟට අනතුරු පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ දෙයට අභියෝග නැත්තේය.

“මහණෙනි, නිවන් මඟට අන්තරායකර වූ යම් යම් මේ අකුසල ධර්මයෝ තිබෙති’යි මා විසින් වදාරණ ලද්දේ ය. මෙහිලා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි අන් කවරෙක් හෝ සත්‍ය කරුණු පදනම් කොට, ඒ අන්තරායකර අකුසල ධර්මයන් සේවනය කරන්නාට නිවන් අවබෝධයට බාධාවක් නැත්තේය කියා මට චෝදනා කරන්නේ ය යන්න පිළිබඳව නිමිත්තක්වත් ඒනාන්තයෙන්ම මම නොදකිමි. මහණෙනි, මෙබඳු නිමිත්තකුදු නොදන්නා මම් අභීත බවට පත්ව සිටිමි. බිය රහිතව සිටිමි. විශාරදව සිටිමි.”

(ඛීණාසවස්ස තේ පටිජානතෝ ඉමේ ආසවා අපරික්ඛීණාති තත්‍ර වතමං සමණෝ වා බ්‍රාහ්මණෝ වා දේවෝ වා මාරෝ බ්‍රහ්මා වා කෝචි වා ලෝකස්මිං සහධම්මේන පටිචෝදෙස්සතීති නිමිත්තමේතං භික්ඛවේ න සමනුපස්සාමි. ඒතංපහං භික්ඛවේ නිමිත්තං අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි)

බුදුරජාණන් වහන්සේ සංසාරගත සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් තමා අනුදැන වදාළ ධර්මය තුළින් අනතුරුදායක දේවලින් වැළකී සිටින ලෙස අනතුරු අඟවා තිබේ. සතර අපායන්හි දුක් විඳින කෝටි ප්‍රකෝටි සත්ත්ව ජීවිත දැක උපන් මහා කරුණාවෙන් උන්වහන්සේ එසේ ඉවත් වී සිටිය යුතු අකුසල් ලෙස පෙන්වූ සියල්ල කිසිම දිනක කරුණු සහිතව අනතුරක් නැතැයි කියා ඔප්පු කළ නොහැකි වීම තුන්වන විශාරද ඤාණයයි. භාග්‍යවතුන් වහන්සේ ලෝභය, ද්වේෂ, මෝහය, මිථ්‍යාදෘෂ්ටිය, ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම, මත්පැන් පානය, වංචාව, පළිගැනීම, ඉරිසියාව ආදිය බැහැර කළ යුතු බවත්, අනතුරුදායක බවත් පෙන්වා වදාළ සේක. ඒවා අනතුරුදායක නැත කියා කරුණු සහිතව පෙන්වා දීමට සමත් කිසිවෙක් සමස්ත ලෝක ධාතුවේම නැත. එය භාග්‍යවතුන් වහන්සේගේ තෙවැනි විශාරද ඤාණයයි.

තමන් වහන්සේ විසින් කෙලෙස් නැසුමට වදාළ ධර්මය පිළිබඳව උන්වහන්සේට අභියෝග නැත්තේය.

“මහණෙනි, නිවන් මඟට අන්තරායකර වූ යම් යම් අකුසල ධර්මයෝ තිබෙති’ යි කියන ලදී.

“මහණෙනි, රාගාදී කෙළෙස් ප්‍රහාණය පිණිස මා විසින් යම් ධර්මයක් දේශනා කොට ඇත්ද, මෙහිලා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි අන් කවරෙක් හෝ සත්‍ය කරුණු පදනම් කොට, ඒ ධර්මයෙහි හැසිරෙන්නෙකුට මනාව කෙලෙස් ප්‍රහාණය පිණිස හේතු නොවන්නේ ය කියා මට චෝදනා කරන්නේය යන්න පිළිබඳව නිමිත්තක්වත් ඒකාන්තයෙන් මම නොදකිමි. මහණෙනි, මෙබඳු නිමිත්තකුදු නොදක්නා මම අභීත බවට පත්ව සිටිමි. බිය රහිතව සිටිමි. විශාරදව සිටිමි.

(යස්ස ඛෝ පන අත්ථාය ධම්මෝ දේසිතෝ සෝ න නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාති” තත්‍ර වත මං ඛීණාසවස්ස තේ පටිජානතෝ ඉමේ ආසවා අපරික්ඛීණාති තත්‍ර වතමං සමණෝ වා බ්‍රාහ්මණෝ වා දේවෝ වා මාරෝ වා බ්‍රහ්මා වා කෝචි වා ලෝකස්මිං සහධම්මේන පටිචෝදෙස්සතීති නිමිත්තමේතං භික්ඛවේ න සමනුපස්සාමි. ඒතංපහං භික්ඛවේ නිමිත්තං අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි)

බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසරක් පුරාවට මිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ කුමන ඉලක්කයක් පිණිසද කියා උන්වහන්සේ විසින් ම මෙසේ පෙන්වා වදාළ සේක.

“බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති”

“චතුරාර්ය සත්‍යය පරිපූර්ණ ලෙස අවබෝධ කොට වදාළ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ද අවබෝධය පිණිස ධර්මය දේශනා කරන සේක.”

“දන්තෝ සෝ භගවා දමතාය ධම්මං දේසේති”

“පරිපූර්ණ වශයෙන් දමනය වූ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට ද දමනය වීම පිණිස ධර්මය දේශනා කරන සේක.”

“තිණ්ණෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති”

“සසර කතරින් එතෙර වුණු භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයින්ට ද සසරින් එතෙර වීම පිණිස ධර්මය දේශනා කරන සේක.”

“පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති”

“කෙලෙස් ප්‍රහාණයෙන් පිරිනිවියා වූ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට ද පිරිනිවීම පිණිස ධර්මය දේශනා කරන සේක.”

එසේ නම් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළේ දුක් කෙළවර කිරීම පිණිසයි.

උතුම් ධර්මාවබෝධය පිණිසයි. එම නිසා කිසි දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ලොවේ කිසිවෙකුටත් එය එසේ නොවේ යැයි කරුණු සහිතව ප්‍රකාශ කළ නොහැකිය.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙතරම් පරිපූර්ණ ද යන වග, විශාරද ඤාණ සතර කෙතරම් පරිපූර්ණ ඤාණ සතරක් ද වග මේ අනුව අපට පෙනී යයි. මානව ඉතිහාසයේ වෙනත් කිසිදු ශාස්තෘවරයෙක් මෙසේ තම විශාරදත්වය පිළිබඳ ප්‍රතිඥා දී නැත. අපගේ ශාස්තෘන් වහන්සේගේ පරිපූර්ණ වූ විශාරදත්වය අප ශ්‍රාවකයන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට විශාල ශක්තියකි. අවබෝධයෙන් ම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙකු ලද වාසනාව වචනවලින් ප්‍රකාශ කොට අවසන් කළ නොහැක. ආර්ය මාර්ගය කෙනෙකු ශ්‍රේෂ්ඨත්වයට පත් කරවයි. මෙලෙස වෙනත් කිසිම ධර්මයක් ජීවිතයට මෙවන් වටිනාකමක් ලබා දෙන්නේ ද නැත. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මිනිස් දිවියට පරිපූර්ණ අත්වැලක් සපයයි. දිවියට නව අරුතක්, ආලෝකයක් උදා කරවයි. ඒ සියල්ල ලබා ගත හැකි වන්නේ භාග්‍යවතුන් වහන්සේ විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කොටගත් චතුරාර්ය සත්‍යය අපගේ ජීවිතවලට ගලපා ගතහොත් පමණයි. අපට ද ඒ උතුම් නිවන් මගේ පා ඔසවන්නට විශාරද ඤාණ සතරකින් හෙබි අපගේ ශාස්තෘන් වහන්සේගේ උත්තම ශාස්තෘත්වය ආශීර්වාදයක් ම
වේවා!

නැසූ සේක හැම කෙලෙස් පීඩා
-යළි සකස් නොවේය ඒවා
සිහිල් සිත් ඇතියාණනි!
-දැමුණු සිත් ඇතියාණෙනි!
සත්‍යය වෙතට සපැමිණි
-උත්තම නැණවතාණෙනි!

බුදුරජාණන් ඔබමය
-ශාස්තෘ ලොවට ඔබමය
මර සෙනඟ තෙද බිඳ හළ
-මුනිඳාණන් ද ඔබමය
හැම කෙලෙස් මුල් නසන
-පරතෙරටම වැඩි සේක
අනෙක් ලෝ සතුන්ව ද
-එතෙර කරවන සේක

ශ්‍රේෂ්ඨ පුරුෂයාණෙනි
-නමස්කාර වේවා! ඔබ හට
උත්තම පුරුෂයාණෙනි
-නමස්කාර වේවා! ඔබ හට
දෙව් මිනිස් ලොව තුළ
-ඔබට සම වූ කෙනෙක් නැත්මය

(සභිය සූත්‍රය)

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.