highlights of the week
Home » NEW ARTICLES » නොසන්සුන්තාවය බැහැර වූ සුවපත් සිතක්

නොසන්සුන්තාවය බැහැර වූ සුවපත් සිතක්

ආදරණීය දුවේ, පුතේ,

ලස්සනට ඉන්න වගේ ම ඔයාලා හැමෝම ගොඩාක් කැමතියිනෙ සතුටින් ඉන්නත්. සිතේ සතුට නැතිවෙන කරුණු අතර එකක් තමයි නොසන්සුන්කම. සිත නොසන්සුන් වෙන්න හේතුවත්, ඒ නොසන්සුන්කම දුරුකරලා සිත උපේක්ෂාවට ගන්න ආකාරයත් ගැන අපි අද කතා කරමු.

අපි ආසයි අපි ඇසුරෙ ඉන්න පිරිස අතර අපි ලස්සන ම කෙනා වෙන්න. ඒ වුණාට වෙන අය ලස්සනයි. ඔබ එතරම් ලස්සන නෑ. ඒ ගැන හිතනකොට හිත නොසන්සුන් වෙනවා. එතකොට හිතේ සතුට නැහැ. ඒ සතුට නැති වුණේ ඔබ ලස්සන අඩු නිසා නො වෙයි. හිතපු ක්‍රමයේ තියන වරදිනුයි. එවිට හිත නොසන්සුන් නොවන විදියට හිතන්න ක්‍රමයක් තියනවා. ඒ නිසා අපි මෙහෙම හිතමු. ‘මගේ ලස්සන නැති වුණේ වෙන කෙනෙක් හින්ද නෙමෙයි. පෙර ජීවිතේ මගෙන් සිදු වුණ අඩුපාඩුවක් නිසා. මම තරහ අරන් තියනවා. ඒ නිසයි මම මේ ලස්සන අඩු. මේ අනිත් අය ලස්සනට ඉන්නේ ඒ අය කලින් ජීවිතවල තරහා අරන් නෑ .එහෙනම් මේ තරහා කියන එක මට හානියක් කරන එකක්. මෙත් සිත කියන දෙය මට යහපත කරන දෙයක්.’ කියලා එයා තරහා සිතට ගරහලා මෙත් සිතට ප්‍රශංසා කරනවා. එතකොට ලස්සන අය දිහා බලලා එයා සතුටු වෙනවා. එයා තුළ මුදිතාව වැඩෙනවා. එතකොට එයා තමන් ලස්සන නෑ කියන එකට ගැටෙන්නෙ නෑ. රූපය ලස්සන නම් ඒ රූපයට ඇලෙන්නෙ නෑ. එයා ලස්සන වෙන්න හේතු වුණ උපකාරයට පහදිනවා. ඒ දෙක ම නැතිව එයාගෙ සිත උපේක්ෂාවට පත්වෙන්න පටන් ගන්නවා.

ඒ වගේ ම යි අපිට ලැබෙන පිළිගැනීම. යම් පිරිසක් එක්ක ඉන්නකොට අපිට පිළිගැනීමක් තියනවා නම් ඒකට අපි කැමතියිනෙ. නමුත් යම් හේතුවකින් ඒ පිළිගැනීම,ගෞරවය නැති වුණොත් එවිට අපේ සිත නොසන්සුන් වෙනවා. ඒ කාරණේට හේතුවක් තියෙනවා. මේ ලෝකේ ගෞරව කළ යුතු අය ඉන්නවා. ස්වාමීන් වහන්සේලා ගෞරව කළ යුතු පිරිසක්, අම්මයි තාත්තයි කියන්නෙ ගෞරව කළ යුතු පිරිසක්, පවුලේ වැඩිහිටියන් කියන්නේ ගෞරව කළයුතු පිරිසක්, ගුරුවරු කියන්නෙ ගෞරව කළ යුතු පිරිසක්. අපි පෙර ජීවිතවල ගෞරව කළ යුත්තන්ට නිසි ගෞරව කරලා නැත්තම්, අපිට මේ ජීවිතයේ දී ආනුභාවය නෑ, ගෞරව පිළිගැනීම් ලැබෙන්නෙ නෑ. එයා ඒ දෙය තමන්ගෙන් සිදු වුණ පෙර වරදක් විදියට දැකලා, ‘දැන් පිළිගැනීම් ලැබුණෙ නෑ.’ කියලා ඒකට ගැටෙන්නෙ නෑ. එතකොට අපි දැනගන්න ඕනේ මේ ලෝකේ යමෙක්ට පිළිගැනීමක් ලැබෙනවා නම් ඒ පිළිගැනීම ලැබෙන්න හේතුව ඒ අය පෙර ජීවිතවල දී ගෞරව කළ යුතු අයට හොඳට ගෞරව දක්වල තියනවා. එතකොට අපිට ඒ පිළිගැනීම නොලැබෙන්නේ අපි ගෞරව දැක්විය යුතු අයට ගෞරව නොදැක්වුව නිසා. ඒ නිසා එයා වරදට කලකිරෙනවා. ගුණයට පහදිනවා. එහෙම පැහැදිලා හිත උපේක්ෂාවට ගත්තාම නොසන්සුන්තාවය සන්සිඳෙනවා.

ඊ ළඟ කාරණය තමයි, මේ ආකාරයෙනුත් අපිට හිතෙනවා. යම් කිසි කෙනෙක් අපි කියන වචනයක් පිළිගන්නවානම් අපි ඒකට කැමතියිනෙ. යම් කෙනෙක් අපි කියන වචනයක් පිළිගන්නෙ නැති නම් එතනදි අපි අපහසුතාවයට පත්වෙනවා. ඒකෙන් අපේ හිත නොසන්සුන්තාවයට පත් වෙනවා. ඇතැම් විට සමහර අයට තමන්ගේ වචන අන් අය පිළිනොගන්න නිසා ඒක තහවුරු කරන්න දිවුරන්නත් වෙනවා. යම් ජීවිතයක කෙනෙක් හිස් කතාව කරලා තියෙනවා නම්, නිසරු කතාව කරලා තියෙනවා නම් ඒ කෙනාගේ වචන අන් අය පිළිගන්නෙ නෑ. නමුත් ඇතැම් අයගේ වචන සමහර අය අදහා ගන්නවා. ඒකට හේතුව ඒ අය සසරේ හිස් කතාවෙන් වාසය කරලා නෑ. එවිට මෙයා හිස් කතාව කියන එකට අපහදිනවා. එහෙම කියලා එයා දස කතාවට කැමති වෙනවා. එතකොට එයා තමන්ටත් අනුන්ටත් යහපත පිණිස, අර්ථය පිණිස පවතින දේවල් තමයි කතා තමයි කරන්නේ. එයා වරදට ගරහනවා. ගුණයට ප්‍රශංසා කරලා හිත උපේක්ෂාවට ගන්නවා. හිතේ කලකිරීම උපදවා ගන්නෙ නෑ.

ඊ ළඟ කාරණය අපිට සමහර වෙලාවට අභූතයෙන් චෝදනා අහන්න ලැබෙනවා. අපි වැරදි කරලා නෑ. ඒත් අපිට නිකරුනේ ගැරහුම් ලැබෙනවා. ඒ වෙලාවට අපි දුක් වෙනවා ‘අනේ ඇයි මෙහෙම නිකරුනේ ගරහන්නේ…’ කියලා. සමහර වෙලාවට අපි ඒවට බොහෝ විට හිතින් මානසික ව විඳවනවා. විඳව විඳවා අපි නොසන්සුන් වෙනවා. නමුත් යම් ආකාරයෙන් අපි කෙනෙක්ට පරුෂ වචනයෙන් බැණලා තියනවා නම්, සිල්වත් ගුණවත් අයට නින්දා කරලා තියනවා නම්, අපහාස කරලා තියනවා නම්, අන් අයට අභූතයෙන් චෝදනා කරලා තියනවා නම් ඒ වගේ පරුෂ වචන කතා කරල තියන කෙනෙකුට ලැබෙන්න ඕන දෙයක් තමයි ඒ ලැබෙන්නේ අපිට. ඒ අප්‍රිය අමනාප ශබ්ද අහන්න වෙන්නෙ ඒ කාරණය නිසා. ඒ විතරක් නෙමෙයි, එයා ඊ ළඟ ජීවිතේදිත් මේ දේවල් ලබන්න අකමැති නම් ගුණවත් අයගේ ගුණය කතා කරන්න ඕනේ. ‘මම සිල්වත් ගුණවත් අයට අපහාස නො කළ යුතුයි.’ කියලා එයා තමා විසින් ම තමා ව හික්මවන වැඩපිළිවෙළකට එනවා. මේ හැම කාරණේකදි ම වෙන්නෙ මුලින් ම එයාගේ හිත උපේක්ෂාවට එනවා. එතකොට එයා තමන්ට ගරහන අය කෙරෙහි ගැටෙන්නෙත් නෑ. යම් කෙනෙක් තමන්ට හොඳට ප්‍රශංසා කළොත් එයා ඒකට ඇලෙන්නෙත් නෑ. මොකද හේතුව මම යම් දවසක මේ ආකාරයේ දෙයක් කළා ද ඒකේ පින තමයි මේ ලැබෙන්නේ කියලා එයා කුසලයේ විපාකය හැටියට ලැබෙන සැපය දකිනවා. අකුසලයේ විපාක හැටියට ලැබෙන දුක් විපාක දකිද්දී එයාට ලැබෙන නින්දාවට ගැටෙන්නෙත් නෑ. ප්‍රශංසාවට ඇලෙන්නෙත් නෑ. එතකොට හිත උපේක්ෂාවට පත්වෙනවා.ඒ උපේක්ෂාවට හිත පත් වුණ ගමන් එයාගේ නොසන්සුන්තාවය නැතිවෙලා යනවා.

ඊ ළඟ කාරණය අපිට හොඳ යාළුවෝ ඉන්නවා. ඒ යාළු මිත්‍රාදීන් සමහර විට අපි සමඟ අමනාප වෙනවා. සමහර විට අපි මේ දේ කීවා ය හිතාගෙන ඒ අය අමනාප වෙනවා. අපෙන් බැහැර වෙනවා. ඒ හොඳට ඉන්න හිත මිතුරන් බැහැර වුණා ම ඒ සැණින් ම හිත නොසන්සුන් වෙනවා. බොහෝ සේ ගැටෙනවා. එතකොට අපි හිතවත් ව සිටි කෙනාට නින්දා කරනවා. තමන් නිවැරදියි කියල පෙන්නන්න කරුණු කියනවා. එහිදිත් එයා නුවණින් කල්පනා කරනවා “යමෙක් කේළාම් කියලා තියෙනවා ද, ඒ කේළාම් කියන කෙනාට මනුස්ස ලෝකෙ ලැබෙන ඉතා අඩු කර්ම විපාකයක් තමයි හිතවතුන් අතර බිඳීම.” එහෙනම් ඒ වරදට දඬුවමක් ලැබෙන්න ඕන දෙයක් ම යි. ‘මේ මං පෙර කළ වරදක ප්‍රතිඵලයක් තමයි විඳින්නේ.’ කියලා එයා අර අමනාප වුණ යාළුවන්ගේ අගුණ කියන්න යන්නෙ නෑ. තමා නිදොස් බව පෙන්නන්න උත්සාහ කරන්නෙත් නෑ. එයා වරද තේරුම් අරගෙන ඉවසනවා. එතකොට එයාට ලැබෙන වාසිය තමයි, අර අමනාප වුණ කෙනා කෙරෙහි ගැටෙන්නෙ නෑ. මනාප වෙලා ඉන්න කෙනා කෙරෙහි ඇලෙන්නෙත් නෑ. හිත ඒ දෙකෙන් ම නිදහස්වෙලා උපේක්ෂාවට පත්වෙනවා.

සමහර වෙලාවට අපිට ගොඩාක් හතුරෝ ඇතිවෙනවා. අල්ලපු ගෙදර අයත් හතුරුකම් කරනවා. පාරේ බස් එකෙන් බහින තැන කඬේ මනුස්සයත් හතුරුකම් කරනවා. නෑයොත් හතුරුකම් කරනවා. වැඩ කරන ස්ථානයේ ඉන්න අයත් හතුරුකම් කරනවා. ඉතිං මේ හැමෝම හතුරුකම් කරද්දි අපට ඒක ටිකක් දරාගන්න අමාරු කාරණයක්. නමුත් යම් කිසි කෙනෙක් පෙර ජීවිතවල වැරදි කාමසේවනය කළා නම්, ඒ කෙනාට මේ ජීවිතේ ලැබෙන අඩු විපාකයක් තමයි වෛර සතුරුකම් කරන අය ලැබීම. එයා දකිනවා එහෙනම් මම මීට පෙර ජීවිතවල වැරදි කාමසේවනය කරලා ඇති. ඒ නිසා වෙන්න ඇති මගේ හිතවත් අය බිඳිලා මට හතුරෝ නිර්මාණය වෙන්නේ. මේ තරම් වෛර කරන පිරිසක් ඉන්නේ මේ කාරණාව නිසා කියලා ඒ හැම කාරණයක දී ම එයාට කුසලයයි අකුසලයයි දෙක තේරෙද්දී හිත උපේක්ෂාවට පත්වෙනවා. නැත්නම් අපි අනිවාර්යයෙන්ම අර දෙපැත්තෙන් එකකට යනවා. නැති නම් අපේ හිතවත් කෙනත් එක්ක අපි ඇලෙනවා, තරහ වුණ කෙනෙක් එක්ක අපි ගැටෙනවා. පුළුවන් තරම් එයාගේ අඩුපාඩු පෙන්නන්න හදනවා. එයාගෙයි වැරැද්ද කියලා ඔප්පු කරන්න හදනවා.

ඊ ළඟ කාරණය ඒ වගේ ම තමයි අපිට මේ මනුස්ස ලෝකේ සමහර යාළුවෝ ඉන්නවා, පොඩි ලෙඩක්වත් නෑ එයාලට. නමුත් අපිට හැමදාම අසනීප. මොකක්හරි ලෙඩක් තියනවා. ඒ කියන්නේ සමහර අයට අල්ප ආබාධ, සමහර අයට බොහෝ ආබාධ. ඉතිං එහෙම ඉද්දී අපිටත් ආශාවක් උපදිනවා ‘අනේ මටත් මේ ලෙඩ අඩුව ඉන්න ඇත්නම් හොඳයිනේ…’ කියලා. නමුත් ඒක හිතුවට ඒක ලැබෙන්නෙ නෑ. ගොඩාක් අය නීරෝගීකම හේතුවෙන් සතුටින් ඉද්දී, තමන් ලෙඩ වෙද්දී තමන් ගැන මහා දුකක් එනවා. එතකොට තේරුම් ගන්න තියෙන්නේ ඒ කාරණයෙ දී පෙර ජීවිතයේ දී අන් අයට වද දීලා නැත්නම්, හිංසා පීඩා දීලා නැත්නම් එහි විපාක හැටියටයි නිරෝගීකම යමෙකුට ලැබෙන්නේ. යම් ජීවිතයක අපි බොහෝ අයව පෙළලා තියෙනවා නම්, හිංසා පීඩා ගෙනත් දීලා තියනවා නම් අපිට ඒකේ විපාක හැටියට ආබාධ බහුල ජීවිතයක් ලැබෙනවා. එතකොට අපිට නිරෝගී ව ඉන්න අය දැක්කම සතුට උපදවාගන්න පුළුවන් ‘අනේ මේ අය අල්ප ආබාධවලින් යුක්තයි. ඒකාන්තයෙන් ම මේ අය අන් අයට පීඩා දීලා නෑ. මේ අයගේ පෙර ජීවිත බොහෝ ප්‍රණීතයි. මා යම්කිසි දැනුවත්ව හෝ නොදැනුවත්ව කරපු වරදක ඵලය මම දැන් අනුභව කරනවා.’ එහෙම කල්පනා කරද්දී හිතේ නොසන්සුන්තාවය සන්සිඳෙනවා. ඒ නොසන්සුන්තාවය සන්සිඳුන ගමන් ම එයාගේ හිත උපේක්ෂාවට පත්වෙනවා. ඒ උපේක්ෂාව තුළ හිත වැඩෙනවා.

අපිට පේනවා අපි බොහෝ සේ ඇළුම් කරන අපේ ඥාති දරුවෝ ඉන්නවා. ඒ සමහර අය අඩු වයසින් මැරෙනවා. මොනයම් හෝ ලෙඩක් හැදිලා මැරෙනවා. නැති නම් යම් ආකාරයේ සාහසික අපරාධයකින් මැරෙනවා. අඩු වයසේ ඉන්න මල් කැකුළු වගේ අය මැරෙනවා. ඉතිං අපිට ගොඩාක් දුක හිතෙනවා. අපි දැකලා තියනවා බැනර්වලත් ගහලා එල්ලලා තියනවා “මේ වගේ අකල් මරණයක් ආයෙ උපනූපන් ආත්මෙකවත් මුණ නොගැසේවා!” කියලා. නමුත් ඒ අකල් මරණය ලැබෙන්නේ එයාට පෙර ජීවිතයේ ප්‍රාණඝාතයේ විපාකයක් හැටියට. එතකොට අපිට පේනවා සමහර අය ඉන්නවා බොහෝ කාලයක් ජීවත් වෙනවා. එහෙනම් මේ බොහෝ කාලයක් ජීවත් ව ඉන්න හේතුවෙනවා ප්‍රාණඝාතය අත්හැර වාසය කිරීම. අල්ප ආයුෂ ලබන්න හේතුවක් වෙන්නේ ප්‍රාණඝාතය බහුලව කිරීමයි. ප්‍රාණඝාතය කරන කෙනාට මනුස්ස ලෝකයේ දී විඳින්න වෙන සුළු විපාකයක් තමයි අඩු ආයුෂ.

සාමාන්‍යයෙන් මව්පියන් කැමතියි, තමන්ගේ දරුවෝ හොඳට කියන දේ අහනව නම්. ඒ වගේ ම තමන් වැඩකරන යම්කිසි ආයතනයක ඒ වැඩකරන අය හොඳට කියන දේ අහනව නම් කැමතියි. නමුත් ඒ තුළින් දුකට පත්වන ආකාරය සිදුවෙන අයුරු ඒ ආකාරයෙන් ම දැකගත්තේ දුක් නැති කළ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ම යි. කෙනෙක් දන් දෙනවා. හැබැයි එයා දන් දෙන්නේ මනා කොට සකසා නෙමෙයි. දන් දීම හේතුවෙන් එයා මහත් භෝග සම්පත් ලබනවා. බොහෝ ධනවත් ව උපදිනවා. නමුත් සකසා දන් නො දුන් හේතුවෙන් එයාගේ බිරිඳ, දරුවන්, සේවකයන් මෙයා කියන දේ අවධානයෙන් අහගෙන ඉන්නේ නෑ. එයා කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ නෑ. ඒ හේතුවෙන් මෙයාට පීඩාව උපදිනවා. එවිට එයා එම පීඩාව උපදින්න හේතුවන කාරණය දැනගත් විට එයා දන්නවා ‘දරුවෝ කියන දේ අහන්නේ නැත්තේ දරුවන්ගේ දෝෂයක් නිසා ම නො වෙයි. මා අතින් සිදු වූ වරදකුත් තිබෙනවා.’ එසේ දැනගත් විට එයා දරුවන් සමඟ අමනප වෙන්නේ නෑ. දරුවන්ට චෝදනා කරන්න යන්නේ නෑ. ගැටෙන්නේ නෑ. ගැටෙන්නේ නැති නිසා මෙයාට තියෙන්නේ පහසුවක්. එවිට එයා කලකිරෙන්නේ තමන්ගේ දරුවන් ගැන නෙමෙයි. තමන්ගෙන් සිදු වූ අතපසුවීම ගැනයි.

දැන් මේ ජීවිතයේදී උපන්න සියලු දෙනාට ඔය දෙපැත්ත ම තමයි ලැබෙන්නේ. අපි කැමති පැත්තක් තියනවා. අකමැති පැත්තක් තියනවා. කැමති පැත්ත ලැබෙනකොට අපි ඒකට ඇලෙනවා. අකමැති පැත්ත ලැබෙද්දී අපි ඒකට ගැටෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ ලෙස පිළිගත්ත කෙනෙක්, ඒ සුගතයන් වහන්සේගේ අනුශාසනාව පිළිපදින කෙනෙක් දකින්න ඕනෙ මේ දේ. යම් කිසි අපි කැමති පැත්තක් තියනවා ද ඒ කැමති පැත්ත ලැබෙද්දී හිතන්න ඕන මේක ඒකාන්තයෙන් පුණ්‍ය විපාකයක ඵලයක්. එය පුණ්‍ය විපාකයක ඵලයක් කියලා තේරුණොත් ඒ තමන්ට ලැබෙන දේවල් මුල් කරගෙන එයා තමන් හුවා දක්වන්නෙ නෑ. අනිත් අය පහත් කරන්නෙත් නෑ. හේතුව එයා එය පෙර කළ පුණ්‍ය කර්මයක ඵලයක් බව දන්න හින්දා. එතකොට ඒකේ අනිත් පැත්ත වශයෙන් අපිට ලැබෙන්නේ දුක් විපාකයක්නේ. අපි කැමති පැත්ත නොලැබී යනකොට අපිට දැනෙනවා දුකක්. ඒ අර පුණ්‍ය කර්මය පෙර නොකිරීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක තේරුම් ගත්තම ඒකට අපි ගැටෙන්නෙ නෑ. තරහ ගන්නෙ නැතුව ඉන්නවා. එයා ඒ දෙපැත්ත දකිද්දී එයාට ඇලීමත් නෑ. ගැටීමත් නෑ. එයාගේ හිත උපේක්ෂාවට ගන්න පුළුවන් වෙනවා.

අටලෝ දහම කියන්නේ ඔය දේ තමයි. කාලෙකට ලාභ ලැබෙනවා. කාලෙකට අලාභ එනවා. කාලෙකට නින්දාව එනවා. කාලෙකට ප්‍රශංසාව එනවා. කාලෙකට යාළුමිත්‍රයෝ නෑදෑයෝ ළං වෙලා ඉන්නවා. යසස තියනවා. කාලෙකට ඒ සියල්ල නැතිවෙලා යනවා. ඒ අටලෝ දහම එන විට සුගතයන් වහන්සේ තම ශ්‍රාවකයන්ට මෙයයි හිතන්ට අනුශාසනා කළ ආකාරය. අපිට යම් ජීවිතයක යම් කාලයක ලාභය උපදිද්දී හොඳට ලාභය ලැබෙද්දී, ධන ධාන්‍යය ලැබෙද්දී, සැප සම්පත් ලැබෙද්දී කල්පනා කරන්න ඕනේ ‘මේ ඒකාන්තයෙන් ම මම පෙර කරපු පුණ්‍ය කර්මයක සැප විපාකයක්. අපි යම් ආකාරයකින් දන් දීලා තියනවා නම් සංඝරත්නය උදෙසා, ඒ දානයේ විපාක හැටියට බොහෝ ධන ධාන්‍ය ලැබෙනවා. නමුත් යම් කාලෙක අපි දන් දීලා නැත්නම් අපිට දුප්පත් වෙන්න වෙනවා.’ ඒ වගේ ම අපි පොහොසත් වෙලා ඉන්න කාලෙක අපිට දකින්න පුළුවන් ‘අපිට මේ ධන ධාන්‍යය මිල මුදල් ලැබීම ඒකාන්තයෙන් ම පෙර ජීවිතේ දී පුරුදු කළ දානයක ආනිශංසයක්. අපි යම් ආකාරයකට බොහෝ දුප්පත් නම්, අපිට මිල මුදල් නැත්නම්, හරකා බාන වතුපිටි නැත්නම්, ගේ දොර ඉඩකඩම් නැත්නම් එහෙනම් මම සසර දන් දීලා නෑ. ඒක නිසා ලැබෙන්න ඕන දුක් විපාකයක් දැන් මම අනුභව කරනවා.’ එහෙම හිතනකොට එයාට සැප විඳින අය දැක්කාම සිහිවෙනවා ‘එහෙනම් මේ අය සංඝයාට බොහෝ සේ දන් දුන්න අය.’ එතකොට එයාට එක පැත්තකින් ධර්මය සිහි වෙනවා. ඒක ධම්මානුස්සතිය. අනෙත් කාරණය එයාට මැනැවින් අවවාද කළ බුදුරජාණන් වහන්සේ ව සිහිවෙනවා. ඒක බුද්ධානුස්සතිය. ඔය එක්කම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඔය ආකාරයට කල්පනා කරලා තමයි අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන හිතක් හදාගත්තේ කියලා එයාට සංඝානුස්සතිය වඩන්නත් පුළුවනි.

එයා තේරුම් ගන්නවා කුසලයේ සැප විපාකය, අකුසලයේ දුක් විපාකය. එලෙස තේරුම් ගන්නකොට එයාට කුසල් අකුසල් වෙන්කර ගැනීමට, සැප දුක වෙන්කර හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා. එතකොට එයාගේ ප්‍රඥා ස්කන්ධය වැඩෙනවා. මේ විමසීම තුළ එයාට යෝනිසෝමනසිකාරය උපදිනවා.

ඒ වගේ ම යම්කිසි කෙනෙක් ඉන්න පුළුවන් බොහෝ සේ ප්‍රඥාවන්ත, ඒ වගේ ම ඉන්නවා දුෂ්ප්‍රාඥ අයත්. ඒ දුෂ්ප්‍රාඥ කෙනාට අවබෝධයක් ලැබෙන්නෙ නෑ. ප්‍රඥාව ලැබෙන්නේ හේතුවක් නිසයි. යමෙක් යම් ජීවිතයක බුදුවරුන්ගේ ධර්මය අහලා ඒ ධර්මය අප්‍රමාදී ව නුවණින් විමසුවා ද ඒ කාරණය එයාට ප්‍රඥාවන්තයෙක් වෙන්න හේතුවෙනවා. ඒ විදිහට බුදුවරුන්ගේ ධර්මය අහලා ඒ ධර්මය නුවණින් තේරුම් ගන්ට මහන්සි ගත්තේ නැත්නම්, ඒ කාරණය එයාට දුෂ්ප්‍රාඥ වෙන්න හේතුවක් වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා එක තැනකදී මේ ලෝකයේ යම්තාක් අකුසල් ඇත්ද ඒ සියලු අකුසල් දාන්න පුළුවන් එක වචනයක් තුළට. ඒ තමයි ‘ප්‍රමාදය.’ ඒ වගේ ම යම්තාක් කුසල් දහම් ඇත්ද ඒ සියල්ල දාන්න පුළුවන් එක වචනයක් තුළට. ඒ තමයි ‘අප්‍රමාදය’. භාග්‍යවතුන් වහන්සේගේ අවසාන වචනයත් ඒක ම යි. “අප්‍රමාදී ව ධර්මයේ හැසිරෙන්න.” නමුත් කෙනෙක් ප්‍රමාද වෙලා වාසය කරනවා. ඒ කෙනා ප්‍රමාද වෙන්න හේතුවක් තියෙනවා. එනම් මේ ලෝක සත්වයා අවිද්‍යාව නම් වූ නීවරණයෙන් වැසී සිටීමයි. අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යයක් ගැන නොදැනීම, දුක හටගන්න හේතුව නැමැති ආර්ය සත්‍යය ගැන නොදැනීම, දුකින් නිදහස් වීම නම් වූ ආර්යය සත්‍යය ගැන නොදැනීම, දුකින් නිදහස් වීමේ මාර්ගය නැමැති ආර්යය සත්‍යය ගැන නොදැනීම. ඒ අවිද්‍යාව නම් වූ නීවරණය යි. ඒ අවිද්‍යාව නම් වූ නීවරණයෙන් වැසුනු සත්වයාට ඊ ළඟට විචිකිච්ඡාව නම් වූ නීවරණය වැඩෙනවා. සංයෝජනයක් ලෙස එයා තුළ විචිකිච්ඡාව නම් වූ නීවරණය වැඩුණු විට එයා සැක කරන්න පටන් ගන්නවා. සැකය ඇති වුණාට පස්සේ එයාගේ හිත පහදින්නෙ නෑ. බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේගේ ධර්මයට හිත පහදින්නෙ නෑ. කල්‍යාණමිත්‍රයන්ගේ අවවාදයට හිත පහදින්නෙ නෑ. හිත පහදින්නෙ නැති නිසා එයාට අකුසල් ප්‍රහාණය කරන්න හිත නැමෙන්නෙ නෑ. කුසල් දහම් උපදවා ගන්න හිත නැමෙන්නෙ නෑ. එතකොට එයා තුළ අකුසල් තියනවා, ඒවා එයා සේවනය කර කර ඔහේ ඉන්නවා. ඒවා ප්‍රහාණය කරන්නෙ නෑ. එයාට උපදවා ගන්න කුසල් තියනවා, එයා ඒවා උපදවාගන්න උත්සාහ කරන්නේ නෑ. ඔහේ ඉන්නවා. අන්න ඒ කාරණයට කියනවා ප්‍රමාදය කියලා. ඒ ප්‍රමාදී පුද්ගලයට මිය යන්න වෙන්නේ පෙර කියූ අකුසල් එක්කයි.

එයා ලාභය උපදිද්දී ඇලෙනවා. ප්‍රශංසාව උපදිද්දී ඒකටත් ඇලෙනවා. යසස උපදිද්දී ඒකටත් ඇලෙනවා. සැප ලැබෙද්දී ඒකටත් ඇලෙනවා. අලාභ උපදිද්දී ඒකට ගැටෙනවා. නින්දාව එනකොට ඒකට ගැටෙනවා. පිරිවර සම්පත්තිය නැතිවෙද්දී ඒකටත් ගැටෙනවා. දුක හටගද්දී ඒකටත් ගැටෙනවා. එයා ඇලීම් ගැටීම් දෙක ම පෝෂණය කර කර තව තවත් සසරට ම වැටෙනවා. එයාගේ ජීවිතය හැමදාම නොසන්සුන්. එතකොට සන්සුන් වෙන්න එයා නොපෙනෙන ලෝකෙන් උදවු ඉල්ලන්න පෙළඹෙනවා. එයා මිථ්‍යා දෘෂ්ටියට වැටෙනවා. එයා ආයෙ ආයෙ අමාරුවෙ ම වැටෙනවා.

ඒ නිසා දරුවනේ, අපි මේ ආකාරයට තේරුම් ගන්න ඕනේ, “යම් දුකක් ස්පර්ශ කරනවා ද, එය ස්පර්ශ කරන්නේ අප විසින් කවදා හෝ ජීවිතයේ සිදු වුණ අකුසල කර්මයක් හේතු කොටගෙනයි. යම් සැපයක් විඳිනවා ද, එය පෙර කළ කුසල කර්මයක විපාකයක්.” එතකොට ප්‍රශංසා ලබන්නේ කුසලය. නින්දා ලබන්නේ අකුසලය. එතකොට එය ධර්මතා දෙකකට යනවා මිසක් පුද්ගලයෙක් හුවාදැක්වෙන්නේ නෑ. ඒ කාරණය එසේ සිදුවන විට එයාගේ හිත මධ්‍යස්ථ වෙනවා. එතකොට එයා වඩන්නේ උපේක්ෂාවයි. බ්‍රහ්මවිහාර අතරින් බොහෝ සැප සම්පත් හිමිවෙන බ්‍රහ්ම විහාරය තමයි උපේක්ෂාව. බොජ්ඣංග ධර්ම අතරින් අන්තිම බොජ්ඣංග ධර්මය තමයි උපෙක්ඛා සම්බොජ්ඣංගය. මේ සියල්ල පාර හදන්නේ එයාට උපෙක්ඛා සම්බොජ්ඣංගය පිණිසයි. මේ ආකාරයෙන් හිත උපේක්ෂාවට ගන්නකොට සැප සේ වාසය කරන්න ඉඩ සැලසෙනවා. නොසන්සුන්තාවයෙන් තොරව වාසය කරන්න ඉඩ සැලසෙනවා. ඉතින් අපි සියලු දෙනාමත් ඒ සුගතයන් වහන්සේගේ අවවාදයට කීකරු වී නොසන්සුන්තාවය බැහැර වූ මධ්‍යස්ථ සිතින් වාසය කිරීමට පුරුදුවෙමු.

සටහන – ආර්. එස්. පින්නපොල ගුරු පියාණන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

සෝවාන් මාර්ගය සහ සෝවාන් ඵලය

".......යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම්, ඒ තාක් ම (සෝවාන් වනතුරු) ඔහුට කළුරිය කරන්න පුළුවන්කමක් නෑ.”