ලොව්තුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මනුෂ්‍ය ශරීරය සෑදී ඇත්තේ දෙතිසක් වූ කුණුප කොටස්වලිනි. මුඛයේ පිහිටි දත් වූ කලී එයින් එක් කුණුප කොටසකි. සතර මහා ධාතූන්ගෙන් පඨවි ධාතුවට අයත් දත්, ශරීරය ජරා ජීර්ණ වීමත් සමඟ දිරා ගොස් මහා පොළොවට පස්වී යාම අනිත්‍ය ධර්මතාවය යි.

දතෙහි යථාර්ථය එසේ වෙතත් ජීවිත කාලය පුරාවට අප විසින් දන්ත සෞඛ්‍යය මැනවින් ආරක්ෂා කරගත යුතු වෙමු. එසේ නොවුණහොත් දත් සම්බන්ධ විදුරුමස් සේ ම මුඛ රෝග බොහෝමයකින් අප ව පීඩාවට පත් කරනු ඇත. වර්තමාන සමාජය ගත්විට ළදරු, තරුණ, මහලු කොයි කවුරුත් බොහෝ මුඛ රෝගයන්ගෙන් පෙළෙන බව නොරහසකි. එයින් වැඩිපුර ම ඇත්තේ දත් හා විදුරුමස් සම්බන්ධ රෝගාබාධයන් ය. අද පාසල් යන දරුවන් සේ ම තරුණ බොහෝ දෙනෙකුගේ ම එක්කෝ දත් මුල් දිරා ගොස් ය. නැති නම් විදුරුමස් දියවීම්, අකලට දත් සෙලවීම්, දත් හිරිවැටීම්, මැලියම් බැඳීම්, දත් කැක්කුම්, මුඛ දුර්ගන්ධ ආදී අනේක ප්‍රකාර දන්ත රෝගවලින් පීඩාවට පත් වී ඇත. එහෙත් බහුජාතික සමාගම්වල ව්‍යාජ වෙළඳ දැන්වීම්වලින් නිරතුරුව ම හතු පිපෙන්නා සේ බිහිවෙන අනේක විධ දන්තාලේප වර්ග නම් වැහි වැහැලා ය. ඔබ මඳක් සිතා බලන්න. මොනතරම් සුවිශේෂී යැයි ඇස් පුරා දැකගැනීමට විචිත්‍රවත් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරමින් හඳුන්වාදෙන විවිධ මාදිලියේ දන්තාලේප ඔබේ දන්ත සෞඛ්‍ය ආරක්ෂා කළා නම් අද සමාජයේ මෙතරම් දත් හා විදුරුමස් සම්බන්ධව රෝගාබාධ දක්නට නොලැබෙනු ඇත.

සිංහල කටේ දත් රැකදුන් හෙළ බේත්

ඔබ මඳක් ඔබේ අත්තම්මලා සීයලා ගැන සිහිකරන්න. ඔවුන්ට අවුරුදු හැත්තෑව අසූව ගියත් කටේ දත් ටික හොඳින් සුරැකී තිබුණි. ආත්තම්මලා කාරුංගා පුවක් ගෙඩිය හක්කේ තබා හපා වෙන් කළේ අද මාධ්‍යවලින් පෙන්වන විච්චූරණ දන්තාලේපවලින් පෙණ දමමින් දත් මැදලා නො වේ. මෙතරම් ශක්තියක් ඔවුන්ගේ දත්වලට ලැබුණේ වර්තමානයේ මෙන් දන්ත සෞඛ්‍ය සායනයට මාස්පතා සහභාගී වී ද නො වේ. අපේ අම්මලා අප කුඩා කාලයේ හා හා පුරා කියා දත් මැදීමට අප ව හුරු කළේ ලිපේ දමා පුළුස්සාගත් අරළු ගෙඩියේ පොතුවලින් තනාගත් කුඩුවලිනි. ඒ අපේ පැරණි අම්මලා තම සිඟිති දරුවන්ට කළ පළමු ප්‍රතිකාරයයි. එකී අත් ප්‍රතිකාරයෙන් දරුවන්ගේ දත් සම්බන්ධ බොහෝ රෝගාබාධයන්වලදී විදුරුමස් හා මුඛයට ද මනාව පූර්ණ ආරක්ෂාවක් සැපයීමට අරළු ගෙඩියට හැකියාව තිබුණි. දත් මුල් දියවී ලේ ගලන විට දත් සෙලවෙමින් හිරිවැටෙන විට පැරැණ්නන් කළේ අරළු ගෙඩියේ පොතුත්, මූණ මල් ගහේ පොතුත් කුඩා කෑලිවලට කපා නිතර දෙවේලේ හපන්නට දීමයි. එයින් එකී ආබාධයන් මුළුමනින් ම තුරන් විය. වර්තමානයේ අපේ ඇත්තන්ට මෙකී දැනුමක් කොහෙත්ම නොමැති නිසා මාධ්‍යවලින් හැඩ දමමින් වැඩ පෙන්වන කෘතිම දන්තාලේප කිසිම සොයාබැලීමක් නොකොට පාවිච්චි කිරීම හේතුවෙන් වයසට යාමටත් පෙර ම කටේ දත් ටික හළා ගනිති.

දත් බුරුසුව පරයන දැහැටි දණ්ඬේ ඔසු ගුණ

වර්තමානයේ මාධ්‍යවලින් නිතර දෙවේලේ පෙන්වන දත් මනා ව පිරිසිදු කරනවා යැයි පවසන විවිධ මාදිලියේ දත් බුරුසුවට නොදෙවෙනි ඖෂධීය දත් බුරුසුවක් අපේ පැරැන්නන් ද පාවිච්චි කළහ. එනම් ඖෂධීය දැහැටි දණ්ඩ යි. ඒ සඳහා පාවිච්චි කළේ නොයෙකුත් ඖෂධීය ශාකයන්ගේ මුලක් හෝ අතු කැබැල්ලක් ගෙන එහි අග පිරිසිදු ව සිහින් කෙඳි ලෙස සකසා ගැනීමෙනි. එලෙස සාදාගත් ඖෂධීය ශාක අතර බෝඹු, පිලමුල්, කරඳ, හිඟුරු, එඬරු, කුඹුක්, නුග, නාලිය, රත්මල් ආදිය ප්‍රධාන තැනක් ගනී.

තුන් ලෝකයට ම එක ම වෛද්‍ය විසාරදයාණන් වහන්සේ වූ භාග්‍යවතුන් වහන්සේ දැහැටි දණ්ඬේ ඇති ඖෂධීය ගුණය මනාවට පෙන්වා වදාළ සේක. දැහැටිවලින් දත් මැදීමේ ආනිශංස පසක් සම්බුද්ධ භාෂිතයට අනුව මෙසේ ය.

1. ඇසට හිතකර වෙයි.
2. මුඛය දුර්ගන්ධයෙන් යුතු නො වෙයි.
3. රස නහර පිරිසිදු වෙයි.
4. පිතත් සෙමත් ආහාර නොඅවුරයි.
5. ආහාර රුචිය වඩයි.
(දන්තකට්ඨ සූත්‍රය, අං. නි. 03)

මහා ඍෂි වූ භාග්‍යවතුන් වහන්සේගේ වෛද්‍ය විසාරද ඤාණයට අනුව දැහැටි දණ්ඬේ ඇති ඖෂධීය ගුණ හේතුකොටගෙන මුඛයට පමණක් නොව පුද්ගලයාගේ නීරෝගී භාවයට පුදුමාකාර රැකවරණයක් ලබාදෙයි. නොයෙකුත් ඖෂධීය දැහැටි වර්ග නිරතුරුව දත් හා විදුරුමස්වල ගැටීම නිසා ඒ සම්බන්ධ මාංශපේශී හා ස්නායූන්ගේ මනා ක්‍රියාකාරීත්වයක් ඇතිවී ඇස්, කන්, නාස්, මොළය හා ඌර්ධවගත ඉන්ද්‍රියයන්ගේ ප්‍රකෘති පැවැත්මට ලබාදෙන්නේ මනා පිටුවහලකි. වර්තමානයේ කෘත්‍රිම ද්‍රව්‍යයන්ගෙන් නිපදවා ඇති දත් බුරුසුව දැහැටි දණ්ඬේ ඖෂධීය ශක්තියට සම කිරීමට හැකිදැයි විමසීම ඔබට භාරය.

සියලු දන්ත රෝග නසන හෙළ වෙදකමේ දන්ත සායන

දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ඉපැරණි වෛද්‍ය ග්‍රන්ථයන් තුළ දන්ත රෝග 20ක් පමණ ඍෂිවරුන් විසින් පෙන්වා දී තිබේ. එම දන්ත රෝගයන්ගේ විස්තර ඉතා දීර්ඝ බැවින් රෝග නාම පමණක් මෙසේ ඉදිරිපත් කරමි.
1. ශීතජය
2. පුප්පුටය
3. දන්ත වේෂ්ඨය
4. සෞෂිරය
5. මහා සෞෂිරය
6. පරිදරය
7. උපකුශය
8. වෛදර්භය
9. ඛලිවර්ධනය
10. අධිමාංශය
11. පංචදන්තනාලිය
12. දන්තදාලනය
13. ක්‍රිමි දන්තය
14. දන්ත හර්ෂය
15. භඤ්ජනකය
16. දන්ත ශර්කරාය
17. කපාලිකාය
18. ශ්‍යාව දන්තය
19. අනුමෝක්ෂය
20. ත්‍රිදෝෂජය

මෙකී විසි වැදෑරුම් දන්තරෝග සඳහා ප්‍රත්‍යක්ෂ වූ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ඉපැරණි වෛද්‍ය ග්‍රන්ථ තුළ දක්නට ලැබේ. පැරණි රාජකීය පරපුරු විසින් භාවිත කරන ලද අන්තඃපුර බිසෝවරුන් තම දන්ත කල්‍යාණය සුරැකීමට උපයෝගී කරගන්නා ලදැයි සලකන ඖෂධීය දන්ත චූර්ණයක් (දත් මදින බෙහෙත් කුඩක්) ඔබේ නීරෝගීභාවය වෙනුවෙන් මෙසේ පෙන්වා දෙන්නේ අපේ දේශීය වෛද්‍ය ක්‍රම වඩාත් හෙළබිමේ ස්ථාපිත වේවායි යන අවංක අභිලාශයෙන් යුතුව ය.

“දන්ත රෝග වනසන රකුසකු විලසේ
දන්ත රාක්ෂ චූර්ණයේ ඔසු බල මෙලෙසේ”

ජයවර්ධනපුර කෝට්ටේ රාජධානි සමයේ ලියැවෙන ලද ඉපැරණි වෛද්‍ය පුස්තකයන් තුළ පරම්පරා ගණනක් දන්ත රාක්ෂ චූර්ණය ලෙස පාවිච්චි කරන ලද මෙකී ඖෂධීය වට්ටෝරුව දක්වා ඇත්තේ මෙසේ ය.

ජාතිපත්‍ර පුනර්ණවා ගජකර්ණ
කෝරණ්ඩ කුෂ්ඨං වචා
චව්‍යා ශුණ්ඨී හරිතකී සම්මිදං
චූර්ණං මුඛේ ධරේත්

වාතඝ්නං කඵ නාසනං
කෘමි හරං චව්‍යාම රුජා පහම්
දුර්ගන්ධාදී සමස්ථ දෝෂ සමනං
දන්තස්‍ය වජ්‍රායුධං

මුඛේ සුගන්ධ කාය්‍යෙ_සු
උත්තමං පරමෞෂධම්
දුර්ගන්ධාදී සමස්ථ දෝෂ රහිතං
දන්තා සුඛ ජායතේ

මෙකී ඖෂධ වට්ටෝරුවට අනුව සමන් පිච්ච කොළ, සාරණ මුල්, ගජ තිප්පිලි, කටු කරඬු මුල්, සුවඳ කොට්ටං, වදකහ, සිවිය මුල්, සිද්ධි කූරු යන ඖෂධවලට අමතරව කරඳ පොතු, බෝඹු පොතු, කුඹුක් පොතු, මූණමල් පොතු, රත්මල් පොතු, තිඹිරි පොතු, මාදං පොතු, පිල මුල්, ලොත් සුඹුළු, කරාබු නැටි, සහිඳ ලුණු, සීනක්කාරං, කයිප්පු, බේත් කපුරු ද අවශ්‍ය ප්‍රමාණයෙන් එක්කර ගත හැකි ය.

මෙකී ඖෂධ අවශ්‍ය ප්‍රමාණයෙන් ගෙන හොඳින් වියළා ඉතා සිනිඳු ව චූර්ණ කොට (කුඩුකර) උදේ සවස දත් මැදීමට භාවිත කරන්න. මෙකී ඖෂධයන්ගේ ද්‍රව්‍ය ගුණයන් පිළිබඳ ව විමසා බලන විට බොහෝ ඖෂධයන්ගේ දත් හා විදුරුමස් ශක්තිමත් කරන ගුණය බහුල ව පවතී. එසේ ම දන්ත වේදනා නසා දිස්නය ඇති කරනවා සේ ම විෂබීජනාශක ගුණය තුවාල හා ලේ ගැලීම නවතා පඨක රක්ෂිත කිරීම සිදුකරයි. මුඛයේ වූ වාත, ශ්ලේශ්මා, පණු දෝෂ දුරලමින් අරුචි, මුඛ දුර්ගන්ධාදී රෝග නසාලයි. විශේෂයෙන් මෙකී ඖෂධීය චූර්ණයෙන් දත් අකලට දිරායාම, සෙලවීම, හිරිවැටීම, දත් මුල් දියවී ලේ සැරව ගැලීම, දත් කැක්කුම, පණු කෙළ ඉනීම, තොල කට වණ වීම් ආදී දත් හා විදුරුමස් රෝග බොහෝමයක් සුවකරන ශක්තිය ඇති අතර මුඛයෙහි නිරතුරු නැවුම් බවක් ගෙන දෙමින් දත් හා විදුරුමස් සඳහා පූර්ණ ආරක්ෂාවක් ලබා දෙයි.

වර්තමානයේ නොයෙක් කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් නිපදවා ඇති දන්තාලේපවලින් ඉහත උත්කෘෂ්ට ඖෂධීය ශක්තිය ලබා දෙනවා යැයි පැවසීම විහිළුවකි. එකී කෘත්‍රිම දන්තාලේප වර්ග ශරීර ගතවුවහොත් නොයෙකුත් අතුරු ආබාධ පවා පැන නගින අතර ඉහත ඖෂධීය චූර්ණය ශරීරගත වුවහොත් නොයෙකුත් රෝගාබාධ සුවයට එයින් ලැබෙන පිටුවහල අතිමහත් බව ඉඳුරා ම පැවසිය හැකි ය.
ඔබ ඉහත සඳහන් දන්ත චූර්ණය සේ ම පහත සඳහන් දත් බෙහෙත් ද භාවිත කිරීමට සිතන්නේ නම් දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම ඉතා යහපත් වන්නේ ය.

දත් හා විදුරුමස් රැකගත් සිංහල අපේ අත් බෙහෙත්

දත් කැක්කුමට

නික කොළ, කරාබු නැටි, මඟුල් කරඳ මුලේ පොතු සමව ගෙන තම්බා සීනක්කාරම් ස්වල්පයක් දියකර කට සෝදන්න.
හීං අරත්ත අල, අමුකහ, කටු එරබදු පොතු, ලුණුවරණ පොතු තම්බාගත් ජලයට ලුණු දිය දමා හැකි වේලාවක් මුඛයේ දරා සිටින්න. පසුව ඉවත් කරන්න.

විදුරුමස් දියවී ලේ සාරේ ගැලීමට

පොල් මුල්, ළපටි පුවක් මුල්, මූණමල් පොතු, පේර පොතු, කුඹුක් පොතු, මඟුල් කරඳ පොතු, අරළු සමව ගෙන තම්බා සීනක්කාරම් ස්වල්පයක් දමා කට සෝදන්න. මුඛයේ දරා සිටින්න. විදුරුමස් දියවීම, ලේ සාරේ යාම, දත් කැක්කුම, දත් සෙලවීම්, හිරිවැටීම් ආදී බොහෝ ව්‍යාධීන්ට ගුණ දේ.

දිව, තොල් පැලීම, තුවාල වීමට

අරළු, බුළු, නෙල්ලි, සමන්පිච්ච කොළ, කොහොඹ කොළ, ලොත් සුඹුළු, නුග පොතු, අමු කහ සමව ගෙන තම්බා හොඳින් මුඛයේ දරා සිටින්න. පසුව ඉවත් කර ඉරිමේදාදී තෛලය ගල්වන්න. මුඛයේ තුවාල, දිව තොල් පැලීමාදිය සුව කරයි.

‘ඔසු ගුණ දැන ගනිමු
හෙළ ඔසුවෙන් දත් මදිමු
දත් රෝග දුරු කරමු
හෙළ දැනුම පතුරුවමු’

සටහන – පුලස්ති අධිකාරි