මිථ්‍යා ආජීවය හෙවත් අධාර්මික ජීවනෝපායයන්ගෙන් වැළකී සම්මා ආජීවය හෙවත් ධාර්මික දිවිපැවැත්මක් ඇතිකර ගැනීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලස්කන්ධයට අයත් අංගයකි. භාග්‍යවතුන් වහන්සේ එය පෙන්වා දී ඇත්තේ මෙසේ ය. (කතමෝ ච භික්ඛවේ සම්මා ආජීවෝ? ඉධ භික්ඛවේ අරියසාවකෝ මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවේන ජීවිකං කප්පේති) “පින්වත් මහණෙනි, සම්මා ආජීවය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රවකයා මිථ්‍යා ආජීවයෙන් වැළකී, සම්මා ආජීවයෙන් ජීවිතය පවත්වන්නේ වෙයි.” මෙහිදී භික්ෂූන් වහන්සේලාගේ සම්මා ආජීවය ගැන දීර්ඝ විස්තරයක් දීඝ නිකාය පළවෙනි පොත් වහන්සේගේ සීලස්කන්ධ වර්ගයේ සාමඤ්ඤඵල සූත්‍රය ආදී දේශනාවල සඳහන් වේ. ගිහි ශ්‍රාවකයන් විශේෂයෙන් වැළකිය යුතු මිච්ඡා ආජීවයන් 5ක් වණිජ්ජා නම් සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී තිබෙනවා.
1ග ඝාතනය හා හිංසාව පිණිස පවතින අවි ආයුධ වෙළඳාමෙන් වැළකිය යුතු ය (සත්ථ වණිජ්ජා)
2ග වහල් වෙළඳාමෙන් වැළකිය යුතු ය (සත්ත වණිජ්ජා)
3ග මස් පිණිස සතුන් වෙළඳාමෙන් වැළකිය යුතු ය (මංස වණිජ්ජා)
4ග මත්පැන් හා මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් වැළකිය යුතු ය (මජ්ජ වණිජ්ජා)
5ග වස විස වෙළඳාමෙන් වැළකිය යුතු ය (විස වණිජ්ජා)
මීට අමතරව අල්ලස්, දූෂණ හා වංචනික ක්‍රමවලින් වැළකී, අයථා ලෙස මිල මුදල්, භෝග සම්පත් හරි හම්බ කර ගැනීමෙන් වළකින ගිහි ශ්‍රාවකයා ධාර්මික ජීවනෝපාය ක්‍රමවලින් ආර්ථික දියුණුව ඇතිකරගෙන සම්මා ආජීවයෙන් යුක්ත වෙනවා. සිල් පදයක් ලෙස එය සමාදන්ව ආරක්ෂා කළ යුත්තේ මෙලෙසිනි.
(මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි) මම අධාර්මික ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි.
පැවිදි උපසම්පදා සීලය ගැන දැනගැනීම ගිහි ජීවිතය ගතකරන අයට අකැප නැත. භාග්‍යවතුන් වහන්සේ වදාළේ උපාසක උපාසිකාවන් ද ධර්මධර, විනයධර විය යුතු බවයි. එමෙන් ම ධර්ම විනය බබළන්නේ ද විවෘත වූ විටයි. නමුත් භික්ෂූන්ගේ විනයකර්මවලට සහභාගී වීමට ගිහි අයට අයිතියක් නොමැත. එමෙන් ම පැවිදි ශ්‍රාවකයන්ගේ සීලයේ අඩුපාඩු හෙවත් ආපත්ති භික්ෂූන්ගේ සම්මුතියකින් තොරව ගිහි අයට පැවසීම ද භික්ෂූන්ට අකැප ය.