(4) පින්වත් ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී ශ්‍රාවකයන්ගේ ලක්ෂණ මොනවා ද? ඔවුන් අනිවාර්යයෙන් ම ධර්මාවබෝධයට පත් වේ ද?

ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රාවකයන් සතු ප්‍රධාන ලක්ෂණයක් ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ගුණ වශයෙන් සිත පහදවාගෙන ඇතිකර ගන්නා ශාස්තෘ ගෞරවය යි. එම නිසා එම ශ්‍රාවකයන් චින්තනය මෙහෙයවන්නේ මේ අයුරිනි. “භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ ය” (සත්ථා මේ භන්තේ භගවා) “මම වනාහි ශ්‍රාවකයා වෙමි” (සාවකෝ හමස්මි). “භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා සේක” (ජානාති භගවා) “මම වනාහි නො දනිමි” (අහං න ජානාමි). මේ අයුරින් නිහතමානී ශ්‍රාවකත්වයේ පිහිටන එම ශ්‍රාවකයන් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ශ්‍රද්ධාවෙන් අදහාගෙන පංච උපාදානස්කන්ධය, ආයතන හය, සතරමහා ධාතූන්, පටිච්චසමුප්පාදය ‘අනිත්‍යයි, දුකයි, අනාත්මයි’ කියා පිළිගන්නා බව සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවල දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. එමෙන් ම එම ශ්‍රාවකයන් ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන සේඛ බල දියුණු කරන්නට උත්සාහ ගන්නවා. සරකානි නම් සූත්‍ර දේශනාවේ දී ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රාවකයන් ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා තිබෙනවා.

  •  ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයා – තවම තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත නො වේ. සතුට බහුල ප්‍රඥාවෙන්, වේගවත් ප්‍රඥාවෙන් යුක්ත නො වේ. එනමුදු ඔහු තුළ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයෝ ඇත්තාහ. තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇත.
  • ධම්මානුසාරී ශ්‍රාවකයා – ඉහත ලක්ෂණවලට අමතරව තථාගතයන් වහන්සේ දෙසන ලද ධර්මයෝ මොහු විසින් සිය නැණ පමණින් අවබෝධ කොට ද ඇත.

එමෙන් ම සෝතාපන්න බව සාක්ෂාත් කිරීම පිණිස පිළිවෙළින් ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රාවකයන් තුළ පිහිටන සුවිශේෂී ගුණයන්, ඤාණයන් ගැන සුන්දර විස්තරයක් මජ්ඣිම නිකාය පළමුවෙනි පොත් වහන්සේගේ කෝසම්බිය සූත්‍ර දේශනාවෙහි සඳහන් වෙනවා. වැඩිදුර දහම් කරුණු දැනගැනීමට එම සූත්‍ර දේශනාව අධ්‍යයනය කරන්න.

සම්බුද්ධ දේශනාවන්හි සඳහන් පරිදි කල්‍යාණමිත්‍ර ආශ්‍රයත්, සද්ධර්ම ශ්‍රවණයත් ලබන ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රාවකයන් යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් ධර්මයේ හැසිරීම තුළින් ධර්මාවබෝධය ලබනවා.