2 වන කොටස

මෙසේ සිය මෑණියන්ට බොහෝ සෙයින් ආදරය කළ චාණක්‍යයෝ මෑණියන් මිය පරලොව ගිය පසු පාටලීපුත්‍ර නගරයට පැමිණියේ ය. එසේ පැමිණි ඔහු හට සැමතැන දී ම අසන්නට ලැබුණේ ධනනන්ද රජුගේ මහා දන්සල ගැනත්, රජුගේ පරිත්‍යාගශීලී භාවය ගැනත් ය. චාණක්‍යයෝ දන්සලට පැමිණියහ. ප්‍රඥා පාටවයෙන් තමා හට සම වූ අයකු එහි නො දුටු හෙතෙම ජ්‍යෙෂ්ඨ බ්‍රාහ්මණයා හට පනවන ලද ආසනයෙහි හුන්නේ ය. මොහොතකින් දන් පිළිගන්වන වේලාව පැමිණියේ ය.

එකල්හි සිව්රඟ සෙනඟ හා රජ පිරිවර පිරිවරන ලද, රාජාභරණයන්ගෙන් කාන්තිමත් වූ දේහ ඇති ධනනන්ද රජහු නාටිකාංගනාවන්ගේ නෘත්‍යයන් මැදින් දන්සලට සම්ප්‍රාප්ත වූහ. දන්සලෙහි අග්‍ර ආසනයෙහි හුන් විරූපී චාණක්‍යයන් දකිත් ම රජුගේ සිත, උදෑසන ම අසූචි පිඬක් දුටු කලෙක මෙන් තදින් ම නොපහන් වූයේ ය.

“එම්බා, ජ්‍යෙෂ්ඨ බ්‍රාහ්මණයාගේ අස්නෙහි හිඳිනා කිලිටි පැහැ ඇති තෝ කවරෙක් ද?”

“මේ මම නොවැ.”

“මම…? එයත් පිළිතුරක් ද? එම්බා රාජ පුරුෂයෙනි, මේ අපවිත්‍ර වූ බමුණා මෙයින් වහා ම නෙරපව්! නැවත මෙහි පිවිසීමට ඉඩ නො දෙව්.”

බ්‍රාහ්මණ ප්‍රජාවෙහි ස්වභාවය දන්නා දාන ශාලාවෙහි සංවිධායක තෙමේ අතිශයින් ම බියපත් වූයේ ය.

“අහෝ! දේවයන් වහන්ස, මෙසේ නො කළ මැනව. මේ බ්‍රාහ්මණතුමාට කමා කළ මැනව.”

ධනනන්දයෝ එයට කන් නුදුන්හ. රජුගේ අණින් දන්සැලින් නෙරපා දැමීම පිණිස රාජ පුරුෂයෝ චාණක්‍යයන් වෙත සමීප වූහ.

“ආචාර්යයන් වහන්ස, කමා කළ මැනව. රාජාඥාව ඉටු කිරීමට පැමිණිය ද මුඹ වහන්සේ ස්පර්ශ කිරීමට අපට සවියක් නැත්තේ ය. එබැවින් අපට අනුකම්පා කළ මැනව.”

චාණක්‍යයෝ අතිශයින් ම කෝපයට පත් වූහ. “සතර දිශාවෙහි ම මහා පෘථිවියෙහි නන්දයා හට යහපතක් නම් නොවේවා” යි ශාප කරමින් සිය අත වූ කෙණ්ඩියෙන් ඉන්ද්‍රඛීලයට පහර දී හෙතෙම යන්නට ගියේ ය.
චාණක්‍යයන් තමා හට කළ භයංකාර ශාපය රාජ පුරුෂයන් වෙතින් ඇසූ ධනනන්දයෝ දණ්ඩෙන් පහර කෑ නාගයෙකු සේ කෝපාවිෂ්ට වූහ. ‘මා පිළිබඳ දරුණු වචන පවසා නික්ම ගිය ඒ දාසයා අල්ලාගනිව්’ කියා හෙතෙම චාණක්‍යයන් ඇල්ලීමට රාජ පුරුෂයන් හට නියම කළේ ය. ඉදිරියෙහි සිදුවන දේ ගැන අතෙහි ඇති රේඛා පෙළක් සේ හොඳින් දත් චාණක්‍ය, තමා ඇල්ලීමට ධනනන්දයන් නිසැක ව ම රාජපුරුෂයන් එවන බැව් දත්තේ ය. ඔවුන් හට හඳුනාගත නො හැකි වන පරිදි හේ හණික වස්ත්‍ර උනා දමා නිරුවත් ව නග්න ආජීවකයෙකුගේ වේශයක් ගෙන රජ මිදුලෙහි මහජනයා අතරට පත්වී සිටියේ ය. රාජ පුරුෂයෝ ද පැමිණ කිසිතැනක චාණක්‍යයන් සොයාගත නො හැකිව ඒ බව රජු හට දැනුම් දුන්හ.

ධර්මය නොමැති තැනක උපන් ද්වේෂය දුරු කර ගැනීම සිහිනයක් වැන්න. ධනනන්දයන් සමඟ දැඩි වෛරයකින් පසුවන චාණක්‍යයෝ ධනනන්දයන්ගෙන් පළිගැනීමට මඟක් පිළිබඳ සිතන්නට වූහ. එසේ සිතත් ම ඔහු හට සිහිපත් වූයේ, ධනනන්ද රජුගේ පර්වත නමැති පුත් කුමරුන් ය. පර්වත කුමරු සහ මහජනයා හමුවන තැනක් රාජ මන්දිරයෙහි ඇතුළත ඇත්තේ ය. එතැන නෙළුම් පොකුණක ආකෘතියෙන් යුක්තව තනවා තිබුණේ ය. කුමරු හමුවට යන මහජනයා සමඟ මිතුරු වූ චාණක්‍යයෝ ඔවුන් හා කුමරු බැහැදැකීමට ගියේ ය. නොබෝ වේලාවකින් කුමරුන් හා කුළුපග වූ හෙතෙම රජකම ලබාගැනීම පිළිබඳ ව පර්වතයන් හට ආශාව ඇති කරවූයේ ය. පියාණන්ගෙන් රාජ්‍යය පැහැර ගැනීමට නම්, තමා හා සන්ධානගත වීමෙහි ඇති අවශ්‍යතාවය නොයෙක් ලෙසින් පහදා දුන්නේ ය. අඥාන පර්වත තෙමේ චාණක්‍යයන් හා එකඟ ව රජමැදුරෙන් පළායාමට කැමති වූයේ ය.

සිය මෑණියන් ළඟ තිබූ එක්තරා රහස් උමගක fදාරටුවේ යතුරු ගෙන්වාගත් කුමර තෙමේ රාත්‍රී භාගයෙහි චාණක්‍යයන් සමඟ එම උමග ඔස්සේ වින්ධ්‍යා නම් මහා වනයට පළා ගියේ ය. උපායශීලී භාවයෙන් අගතැන්පත් චාණක්‍යයෝ ද නොබෝ කලෙකින් එක් කහවණුව කහවණු අටක් වන සේ වෙළඳාම් කොට අසූ කෝටියක් ධනය රැස් කර ගත්තේ ය. අනාගතයෙහි දී ධනන්දයන්ගෙන් රාජ්‍යය පැහැර ගැනීමෙහි දී ගනු පිණිස එම ධනය වන ගැබෙහි ම සඟවා තැබුයේ ය. කලක් ගතවත් ම රාජ්‍යය කරවීමට පර්වත කුමරු නුසුදුසු බව චාණක්‍යයන් හට වැටහෙමින් තිබුණි. එබැවින් හෙතෙම ඒ සඳහා පින් ඇති කුමරකු සොයමින් සිටියේ ය.

මෞර්ය වංශය හා චන්ද්‍රගුප්ත කුමරු

ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේගේ උපතින් අසූවන වියෙහි දී තමන් වහන්සේගේ ඥාති පිරිස වූ කපිලවස්තු නුවර ශාක්‍ය වංශිකයන් හට මාරාවේශයෙන් දුෂ්ට වූ සිතැති පවිටු විඩූඪභයාගෙන් භයක් උපන්නේ ය. ලොවෙහි උතුම් ශාක්‍ය වංශය මුළුමනින් ම සමූලඝාතනය වෙද්දී, උපායශීලී ව මරණයෙන් දිවි ගලවාගත් ඇතැම් ශාක්‍ය වංශිකයෝ හිමව් පියසට පළා ගියහ. හිමාල පර්වත ප්‍රාන්තයෙහි එක්තරා මනෝරම්‍ය භූමි ප්‍රදේශයක් ඔවුන්ගේ නෙත ගැටුණි.

එහි පසෙක සුසීතල ජලයෙන් යුතු ව එක පිම්මේ ගලාබසිනා සොඳුරු නදියෙකි. පසෙක ආකාශ ගංගාව මිහිතලයට හැරවූ කලෙක මෙන් සුදෝසුදු ව ඇදහැලෙන දිය කඳුරු ය. වෙසෙසින් ම පුලිල රුක් ගොමුවෙන් හාත්පස හරිත වර්ණ වැ වැසී ගත්තේ ය. සුපිපි මල් ගොමු සිප එන මඳ පවන මල් රේණු සලා විසුරුවමින් හාත්පස සුවඳවත් කරයි. මියුරු ඵලවැල බුදිමින් එහි රසයෙන් මත් වී ගිය පක්ෂීන්ගේ නින්නාදයෙන් මොහොතක් හෝ ඒ පෙදෙස තොර නො වූයේ ය. වෙසෙසින් ම නිතර ඇද හැලෙන වැහි පිණි පොදින් තුටු වන මයුරයෝ නේකධ්වනියෙන් මේ භූමි භාගය ඒක නින්නාද කරති.

මනරම් නගරයක් සඳහා මේ බිම්කඩ අතිශයින් ම යෝග්‍ය වන්නේ යැයි වටහාගත් පළායන ශාක්‍ය පිරිස ඒ පුලිල රුක් වනයෙහි නොබෝ දිනකින් මහා මංමාවත් දොරටු වාසල් අට්ටාල පවුරු පදනම් ගෝපුර දිය අගල් ආදි නගරාංගයන්ගෙන් පරිපූර්ණ වූ මනරම් නගරයක් මැවූහ. පිල් විදහාගෙන සොඳුරු රැඟුම් පාන මොනරුන්ගෙන් වෙසෙසින් ම මේ නගරය සිත්කළු වූ බැවින්, එහි වාසය කළ මේ රාජ වංශිකයෝ ද එතැන් පටන් මෞර්ය යන නාමයෙන් හඳුන්වන ලද්දාහ.

ශාක්‍ය වංශයෙන් ප්‍රභව වූ මේ මෞර්ය රාජ පරම්පරාව දශක කිහිපයක් ම නිරුපද්‍රිත වැ පැවැත්තේ ය. එහෙත් පසු කලෙක වෙනත් රාජ්‍යයක බලවත් රජෙක් මෙම නගරය අත්පත් කර ගනු කැමැතිව ආක්‍රමණයක් දියත් කළේ ය. මෞර්ය වංශයෙහි රජු මරා දැමූ ඒ දුෂ්ට සිතැති රජු රාජ්‍යය අත්පත් කර ගත්තේ ය. මරා දමන ලද මෞර්ය රජුගේ අග්‍ර මහේෂිකා තොමෝ එවකට ගර්භිණී ව සිටියා ය. සිය නූපන් දරුවා රැකගනු කැමැත්තෙන් ඕ තොමෝ සිය වැඩිමල් සොහොයුරා සමඟ වෙස්වලාගෙන පාටලීපුත්‍ර නගරයට පැමිණියා ය. නොබෝ දිනකින් ම මහ පිනැති දරුවෙකු වැදූ අගබිසව දෙවියන්ගේ මෙහෙයවීමෙන් බිළිඳා හැලියක දමා ගව මඩුවක fදාර අසල තබා ගියා ය. දෙවියෝ ද මේ මහා පිනැති ළදරුවා හට අනතුරක් නො වේවා යන සිතින් එහි හාත්පස රැකවල් ගත්හ.

එකල්හි එම ගව මඩුවේ සිට චන්ද්‍ර නම් වෘෂභ රාජයෙක් සැලිය දැක විපරම් කොට බලනුයේ, බිළිඳා දැක සෙනෙහස උපදවා ගත්තේ ය. එතැනින් මොහොතකදු බැහැර නො වී ඒ වෘෂභ රාජයා බිළිඳා ව රැක ගත්තේ ය. ගව පට්ටිය හිමි ගොපල්ලා පැමිණ බලන කල්හි, රන්වන් කිරිකැටි බිළිඳා දැක පුත්‍ර ස්නේහය උපදවා නිවසට රැගෙන ගොස් ඇතිදැඩි කළේ ය. නම් තබන දිනයෙහි ‘චන්ද්‍ර නම් වෘෂභයා විසින් ගෝපනය කරන (රකින) ලද තැනැත්තා’ යන ඇරුතින් බිළිඳු හට චන්ද්‍රගුප්ත යන නම තැබූයේ ය.

පුරපස සඳ මඬලක් සේ සුවසේ වැඩෙන චන්ද්‍රගුප්තයන් ව එම ගොපල්ලාගේ මිතුරකු වන වැදි පුත්‍රයෙකු හට දක්නට ලැබුණේ ය. දරුවාගේ වාසනා මහිමයෙන් මෙහෙයවන ලද හේ චන්ද්‍රගුප්තයන් ව ගොපල්ලාගෙන් ඉල්ලාගෙන තම නිවස්නයට ගෙන ගොස් පෝෂණය කරන්නට වූයේ ය.

මෙසේ වැඩෙන ළදරු තෙමේ බෙහෙවින් කෙළිලොල් දඟකාරයෙකු වූයේ ය. ඔහු සිය මිතුරන් සමඟ එක් ව රාජක්‍රීඩා නම් අමුතු ම ක්‍රීඩාවක් කරයි. එම ක්‍රීඩාවෙහි දී හෙතෙම රජු බවට පත් වන්නේ ය. අනෙක් යහළුවන් යුවරජ, අමාත්‍ය, විනිසුරු, රාජපුරුෂ ආදි තනතුරුවලට නම් කොට යහළුවන් කීප දෙනෙක් සොරුන් ලෙස නම් කරන්නේ ය. එවිට රාජ පුරුෂයෝ සොරුන් ව රජු ඉදිරියට කැඳවාගෙන එති.

“එම්බා, තොපි මෙබඳු වැරදි කළ බව සැබෑවක් ද?”

“සැබෑවකි මහ රජ්ජුරුවන් වහන්ස.”

“එම්බා විනිසුරු ඇමතියෙනි, අපගේ නීති ශාස්ත්‍රයෙහි මෙබඳු වැරදිවලට දිය යුතු දඬුවම් ලෙස සඳහන් වන්නේ මොනවා ද?”

“දේවයිනි, අත්පා සිඳ දැමීම යි.”

“එම්බා රාජ පුරුෂයෙනි, මොවුන් ගෙන ගොස් වහා ම අත් පා සිඳ දමව්.”

“අත්පා සිඳ දැමීමට පොරොවක් නැත මහ රජ්ජුරුවන් වහන්ස.”

“එසේ නම් දරුවෙනි, පොරොවේ මිටට එළු අඟක් ගනිව්. තලයට රුවර නම් කොළයක් ගනිව්. ඒවායෙන් තනාගත් පොරොවෙන් ‘චන්ද්‍රගුප්ත මහ රජුගේ ආඥාව’ යැයි කියමින් මොවුන්ගේ අත්පා සිඳිව්!”

රාජපුරුෂයන් ලෙස ක්‍රියා කරන ළමුන් චන්ද්‍රගුප්තගේ නම සඳහන් කොට තමන් ම සාදාගත් පොරොවෙන් සොරුන්ගේ අත්පා කැපූ කල්හි, සැබෑ ම පොරොවකින් කැපූ කලක් මෙන් සැබෑවට ම අත් පා කැපී ගියේ ය. චන්ද්‍රගුප්ත රජුගේ අණින් නැවත අත් පා එකතු වේවා යයි කිව් සැණින් සිඳී ගිය අත් පා නැවත හා වී ගියේ ය.

දඹදිව අග්‍ර රාජ්‍යය කරවීමට පිනැතියෙකු සොයමින් සිටි චාණක්‍ය ඒ මොහොතෙහි ඒ අසලින් යමින් හුන්නේ ය. හේ මෙම ළදරුවාගේ ක්‍රියාවන් දැක විස්මයට පත් වූයේ ‘සුදුස්සා මොහු ම වන්නේ යැ’ යි හඳුනාගත්තේ ය. චන්ද්‍රගුප්තයන්ගේ පීතෘ ස්ථානයෙහි සිටි වැදි පුත්‍රයාට කහවණු දහසක් ලබා දුන් චාණක්‍යයෝ, ශිල්ප උගැන්වීම උදෙසා චන්ද්‍රගුප්තයන් සමඟ වින්ධ්‍යා වනයට සම්ප්‍රාප්ත වූවාහු ය.

කලින් ම තමා ළඟ සිටි පර්වත කුමරු හට ද චන්ද්‍රගුප්තට ද රන් කෙන්දෙන් කළ දහසක් අගනා මාලා දෙකක් පැලඳවූ හෙතෙම, මේ දරුවන් දෙදෙනා දකින සිහිනයන් ඔවුන්ගෙන් අසා දැනගනිමින්, නොබෝ කලෙකින් චන්ද්‍රගුප්තයන් මුළු මහත් දඹදිව අග්‍රරාජ පදවියට පත්වන බවට ද පර්වත හට කිසිත් හිමි නො වන බවට ද නිශ්චයට පැමිණියේ ය.

සටහන – රවීන් කෝදාගොඩ