highlights of the week
Home » NEW ARTICLES » මිහිකත අනතුරේ…! අපට කළ හැක්කේ කුමක්ද?

මිහිකත අනතුරේ…! අපට කළ හැක්කේ කුමක්ද?

අප වාසය කරන මේ පෘථිවිය හැර අපට යන්නට වෙනත් තැනක් නැත. දැනට සොයාගෙන ඇති බිලියන ගණනක් මන්දාකිණි අතර ද මිනිස් වාසයට හෝ වෙනත් ජීවීන්ගේ වාසයට සුදුසු ග්‍රහ ලොවක් සොයා ගැනීමට නූතන විද්‍යාවට තාමත් හැකියාවක් ලැබී නැත. සොයා ගත්ත ද ප්‍රායෝගික ව යාමට හැකියාවක් නැත. එසේ හෙයින් අපට උරුම වූ මෙම පෘථිවිය තුළ අපටත් අපගේ අනාගත පරම්පරාවටත් ජීවත් වන්නට සිදුවේ.

මිහිකත ආරම්භය ගැන කිසිවකු තුළ එකඟතාවක් නැත. එය සොබා දහමේ විස්මයජනක ගුප්ත නිර්මාණයකි. එහි මිනිසා සහ අනෙකුත් සත්ව කොට්ඨාසවලටත්, ගහ කොළවලටත් පවතින්නට හැකි සියලු තත්ත්වයන් නිර්මාණය වී ඇත. අද වාසය කරන සියලු සතුන්ට මෙන් ම අනාගතයේ බිහිවන සියල්ලන්ට ම පවතින්නට ප්‍රමාණවත් සම්පත් මිහිකත සතුව ඇත. ලෝ දහමේ නියමයන් අනුව මිහිකතේ ගිනිකඳු පුපුරයි. නියඟ ඇතිවේ. ගංවතුර ගලයි. කුණාටු, සුලි සුළං හමයි. හිමකුණාටු ඇති වේ. නාය යයි. භූමිකම්පා සිදු වේ. සුනාමි ඇති වේ. මුහුද ගොඩ ගලයි. මේ සියලු හැල හැප්පිලි සිදු වුව ද නැවත තමා තුළ සමතුලිත බවක් ඇති කර ගන්නට අපූරු හැකියාවක් මිහිකතට පවතී.

එසේ නම් අපට ඇති ප්‍රශ්නය කුමක්ද? ප්‍රශ්නය මිනිසා ම ය. මිනිසාගේ තෘප්තිමත් කළ නො හැකි අසීමිත ආශාවන් ය.

සියලු සත්වයෝ සොබාදහමේ නියමයන්ට යටත් වූවෝ වෙති. ඒත් මිනිසා අනෙක් සතුනට වඩා බොහෝ වෙනස් ය. ඔහුට සොබා දහම විසින් ම දියුණු බුද්ධියක් ලබා දී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ම මිනිසා සොබා දහමට අභියෝග කරන්නෙකි. සොබා දහම තමාට වුවමනා ලෙස වෙනස් කර ගන්නට උත්සාහ කරන්නෙකි. අප දන්නා ඉතිහාසයේ සිට මිනිසා සොබාදහම එලෙස ම පිළිගැනීමට එකඟ වූයේ නැත. ඔහු කාලගුණයට මුහුණ දීමට නිවාස සාදා ගත්තේ ය. තම ආහාර වවා ගත්තේ ය. ශරීරාරක්ෂාවට ඇඳුම් සාදා ගත්තේ ය. එතැන් සිට අද අප දන්නා, අත්විඳින සියලු සංස්කෘතීින් මිනිසාගේ නිර්මාණයන් ය.

මිනිසාගේ අසීමිත අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ස්වභාවික සම්පත් අසීමිත ලෙස භාවිතය සහ වැනසීම තුළ සිදු වන අහිතකාරී ප්‍රතිඵල ගැන අවධානය යොමු වූයේ මෑතක දී ම නො වේ. එහෙත් යමෙකුට එය හරියට ම දැනෙන්නට නම් යම් කිසි ව්‍යසනයක් අත් දකින්නටම වුවමනා ය. 1969 වසරේ දී ඇමරිකාවේ කැලිෆෝනියාවේ වෙරළාසන්න මුහුදේ තෙල් නල ළිඳක අනතුරක් වී අති විශාල තෙල් කාන්දුවක් ඇති විය. එය ඇමරිකා වෙරළේ සිදු වූ විශාලතම කාන්දුව ය. ඉන් සිදු වූ පරිසර හානිය අති විශාල විය. මෙම සිදුවීම ඇමරිකාව තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ ප්‍රබල ජන මතයක් ඇති කිරීමට හේතු විය. ඒ අනුව 1970 අප්‍රේල් 22 දින මිලියන 20 ක පමන ජනයා තම විරෝධතාව පෙන්වීමට මහ මගට බැස්සහ. මෙම විරෝධතාව සඳහා මුලිකත්වය ගත්තේ සෙනෙට් සභිකයකු වන ගේලෝඞ් නෙල්සන් ය. අප්‍රේල් 22 දින මිහිකත දිනය ලෙස පිළිගන්නට වූයේ එතැන් සිට ය. මිහිකත දිනයේ දී විරෝධතාවල තේමාව වූයේ තෙල් කාන්දුවීම්, පරිසරය හානි කරන කර්මාන්තශාලා සහ බලාගාර, කෘෂි රසායන, විෂ ද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම, වනජීවීන් විනාශ වීම වැනි සියලු පරිසර හානි ක්‍රියාකාරකම් ය.

මෙලෙස මහජන විරෝධතාවක් සහ දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් ලෙස ඇරඹුන මිහිකත දිනය අද වන විට ලොව සෑම රටක ම පාහේ පවත්වනු ලබයි. එහි දී මූලික වශයෙන් සිදු වනුයේ පරිසරය ගැන මහජන දැනුම්වත් කිරීම් සහ ක්‍රියාකාරකම් ය.

2017 වසරේ මිහිකත දිනයට සුවිශේෂ තේමාවක් ඇත. එනම් පරිසරය සහ දේශගුණය ගැන දැනුම්වත් වීම් සහ ක්‍රියාකාරකමයි.

දේශගුණ විපර්යාසය ගැන ඔබ අසා ඇතුවාට සැක නැත. එහෙත් මිහිකත දිනය ගැන කතා කරන විට අප ඒ සඳහා යළිත් වැඩි අවධානයක් යොමු කළ යුතු යයි සිතමි. දේශගුණය කාලගුණය යන වචන ඔබ නිතිපතා අසයි. වැසි වසින විට, පායන විට ඔබ කාලගුණය ගැන අවධානය යොමු කරයි. ගංවතුර ගලන විට ද නියඟයක දී ද ඔබ කාලගුණයට සාප කරයි. අප දැන් නිතර අත්දකින ගංවතුර හා නියඟය මෑතකාලීන සංසිද්ධි ය. ඔබ වැඩිහිටියෙක් නම් මෙම නිරන්තර විපර්යාසයන්ට එතරම් වයසක් නැති බව ඔබේ අත්දැකීමෙන් ම දන්නවා ඇත.

මිහිකත යනු සමතුලිත පද්ධතියකි. ගොඩබිම ජලය වාතය ගස් කොළන් එක්තරා සමතුලිතතාවක පවත්වා ගැනීමට මිහිකත සැම විට ම වෑයම් කරයි. පසුගිය වසර 650000ක කාලය තුළ මිහිකත අයිස් යුගයන් වට හතක් පසුකර ඇත. අයිස් යුග යනු ග්ලැසියර් දිගු වීමෙන් මිහිකත අධික සීතලට ලක් වීම් ය. අවසාන අයිස් යුගය දැනට වසර 7000කට පෙර නිමා විය. ඉහත කී අයිස් යුගයන්ට හේතුව පෘථිවියේ ගමන් මාර්ගයේ සුළු වෙනස් වීමක් නිසා හිරු එළිය ලැබීමේ ප්‍රමාණය යම් යම් වෙනස්කම්වලට භාජනය වීම ය. අයිස් යුගයක නිමාව දක්නේ මෙම වෙනසට මිහිකත අනුවර්තනය වීම සමඟ ය. එහෙත් පහුගිය වසර 1300 තුළ සිට ඇති වූ වර්තමාන දේශගුණ විපර්යාසයන්ට එබඳු ස්වාභාවික හේතු නැත.
හරිතාගාර බලපෑම ගැන ඔබ අසා ඇතැයි සිතමි. වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඞ් ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වර්ධනය වීම තුළ හිරුගෙන් ලැබෙන කිරණ වායුගෝල අභ්‍යන්තරයේ සිර කර තබා ගැනීමට එය හේතුකාරක වේ. වගාව සඳහා සකසා ඇති හරිතාගාරයක සිදුවන ක්‍රියාවලිය විමසා බලන්නේ නම් ඔබට එය වඩාත් තේරුම් ගත හැක. එහි දී සූර්ය කිරණ ඇතුළට ලබාගෙන තාපය යළි පරාවර්තනය නොවන ලෙස කෘත්‍රිම ලෙස සිර කර ගනු ලබයි. මේ අන්දමට ම ගෝලීය උණුසුම වැඩි වීම අද අප අත්දකින දේශගුණ විපර්යාසය යි.

මෙය සිදු වන්නේ කෙසේ ද? මිනිසාගේ ක්‍රියාකරකම් තුළිනි. ගල් අඟුරු සහ ඛනිජ තෙල් දහනය, කර්මාන්ත ශාලාවලින් නිපදවන විෂ වායු, වනාන්තර විනාශය යන මේ සියල්ල අප වායුගෝලයට කාබන් ඩයොක්සයිඞ් එකතු කරන ක්‍රියාමාර්ගයන් ය.

ශාක විසින් කාබන් ඩයොක්සයිඞ් උරා ගන්නා බව ඔබ දනී. එක් මිනිසෙකු විසින් වසරකට වායුගෝලයට එකතු කරන කාබන් ඩයොක්සයිඞ් ප්‍රමාණය උරා ගන්නට ගස් 96ක් පමණ අවශ්‍ය ය. එහෙත් වසරකට ගස් බිලියන 15ක් මිනිසා විසින් ම කපා හෙළනු ලබයි. එය දළ වශයෙන් සෑම මිනිත්තුවකට ම පාපන්දු පිට්ටනි 48ක් තරම් වපසරියක් කපා හෙළීමට සමාන ය. එන්න එන්න ම ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්නේ ඇයි යන්න පැහැදිලි කිරීමට වෙනත් සාක්ෂි වුවමනා ද? පෙර දී වසර මිලියන ගණන්වල දී වූ ගෝලීය දේශගුණ වෙනස්කම් දැන් කෙටි වී වසර දහස් ගණන්වලට බැස ඇත.

උෂ්ණත්වය ඉහළ යාමේ සාක්ෂි නම් අයිස් ග්ලැසියර් දිය වී යාම ය. 2002-2006 කාලය තුළ ග්‍රීින්ලන්තයේ දිය වූ අයිස් ප්‍රමාණය වසරකට කියුබික් කිලෝමීටර් 150-250 අතර බවත් නාසා ආයතනය ගණන් බලා ඇත. එමෙන් ම 2002-2005 කාලය තුළ ඇන්ටාක්ටිකාවට ද අයිස් කියුබික් කිලෝමීටර් 152ක් අහිමි වී ඇත. පසුගිය දශක 5ක චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය කළ නාසා අයතනය සඳහන් කරන්නේ උතුරු අර්ධ ද්වීපය ලබන හිම පතනය එන්න එන්න ම අඩු වන බව සහ වැටෙන හිම දිය වීමේ වේගය වැඩි බවත් ය. මෙහි සමස්ත ප්‍රතිඵලය සාගරවලට ජලය තව තවත් එකතු වීම ය.

පසුගිය ශත වර්ෂය තුළ පමණක් මුහුදු මට්ටම අඟල් 6.7කින් ඉහළ ගොස් ඇත. එසේ ම පසුගිය දශකය තුළ වූ ඉහළ යාම පසුගිය ශත වර්ෂයේ මෙන් දෙගුණයකි. 1880 සිට බලන කල පසුගිය වසර 35 තුළ පෘථිවිය මත ඉහළ ම උෂ්ණත්වයන් වාර්තා වී ඇත. එයිනුත් වාර්තා වී ඇති උෂ්ණ ම අවස්ථා 16න් 15ක් ම 2001ට පසුව ය. 2015 වසර පසුගිය ශත වර්ෂයට සාපේක්ෂ ව සෙල්සියස් අංශක 1ක වැඩි වීමක් පෙන්වයි. මෙම උෂ්ණත්වයෙන් ප්‍රමාණයක් සාගරය විසින් උකහා ගනී. කාර්මික විප්ලවයේ ආරම්භයත් සමඟ ම මුහුදු ජලයේ මතුපිට පවතින ආම්ලිකතාවය 30%කින් ඉහළ ගොස් ඇත. මෙසේ වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට අධික කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණයක් නිකුත් කිරීම සහ එයින් වැඩි ප්‍රමාණයක් සාගරය විසින් උරා ගැනීමත් නිසා ය. මෙම උරා ගැනීම් සෑම වසරක ම ටොන් බිලියන 2කින් වර්ධනය වන බව ගණන් බලා ඇත.

දේශගුණ විපර්යාසය යථාර්ථයකි. රටවල් මෙන් ම එක්සත් ජාතීන් ද නිල වශයෙන් සහ ප්‍රතිපත්තිමය වශයෙන් එය පිළිගෙන ඇත. ඊට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, වෙනත් ජාත්‍යන්තර සංවිධාන සහ රටවල් ද වැඩසටහන් දියත් කර ඇත. අහිතකර විෂ වායු අවම කිරීම, පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලි, මනා අපද්‍රව්‍ය කළමනාකරණය, සාගර දූෂණය අවම කිරීම වැනි ක්‍රියාමාර්ගවලට අදාළ පර්යේෂණ, ප්‍රතිපත්ති ප්‍රකාශන, ජාත්‍යන්තර සම්මුති, ගිවිසුම්, ක්‍රියාපිළිවෙළවල් සහ ව්‍යාපෘති දියත් කර ඇත. රටවල් 196ක් ම අත්සන් කළ දේශගුණ විපර්යාසය පිළිබඳ පැරිස් සම්මුතිය ඉන් ප්‍රධාන ය. දිග ලැයිස්තුවක් වන හෙයින් මෙම සම්මුති පිළිබඳ ව වැඩි විස්තර සඳහන් නො කරමි.

දේශගුණ විපර්යාසය අවම කිරීමට රජය හෝ පරිසර සංවිධාන හෝ මහා පරිමාණයෙන් යමක් කරාවි යයි බලා සිටීමට වඩා අපට කළ හැකි කුඩා කාර්යයන් ඉටු කිරීමට සිතා ගැනීමට ද මේ සුදුසු අවස්ථාවකි.

මෙහි පහත සඳහන් යමක් කිරීමෙන් ඔබට ද ගෝලීය උණුසුම අවම කර ගැනීමට යම් දායකත්වයක් දැරිය හැකි බව ඔබ නිකමටවත් සිතුවා ද?

– ගසක් හෝ මල් පැළයක් අලුතින් සිටුවීම
– අහක දමා ඇති ප්ලාස්ටික්, බෝතල්, කාඞ්බෝඞ් වැනි දැය ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන්
– අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන්
– ඔබ නිවසේ හෝ කාර්යාලයේ විදුලි පහන් නිවා දැමීමෙන්.
– එක් දිනකට පමණක්වත් එළවළු පමණක් අනුභව කරන්නකු (වෙජිටේරියන්) වීමෙන්
– සකස් කරන ලද ආහාර ගැනීම අඩු කිරීමෙන්.
– ඔබේ වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමෙන්
– සතියකට එක් දිනක්වත් වාහනය ධාවනය නොකිරීමෙන්
– ඔබේ දරුවන්ට, මිතුරන්ට පරිසර හානිය ගැන දැනුවත් කිරීමෙන්
– පරිසර හානිය වළකන තවත් මෙවැනි සුළු ක්‍රියාකාරකම්

මේවා ඇතැම් විට නොවැදගත් සුළු කාරණා ලෙස ඔබට පෙනෙනවා විය හැක. අති විශාල පෘථිවි ස්කන්ධයේ කුඩා තිතකටත් වඩා සිහින් මිනිසෙකුට එම පෘථිවියේ ආරක්ෂාවට හෝ හානියට යමක් කළ හැකි යයි හැඟීමක් ඔබට ඇති නොවීම සාධාරණ ය. එහෙත් බිලියන හතක් වන, එමෙන් ම එන්න එන්න ම වර්ධනය වන ජනගහනයක් ගැන හිතන විට එබඳු හැඟීමක් ඇති නොවීම කිසිවිටකවත් සාධාරණීකරණය කරන්නට ඉඩක් නැත.

ආශ්‍රය:-

Earth Day Network


www.livescience.com
http://www.un.org/en/events/motherearthday/
https://en.wikipedia.org/wiki/Earth_Day/
https://www.nasa.gov/

සටහන – කේ. ඒ. ජේ. කහඳව

Leave a Reply

Your email address will not be published.

x

Check Also

මා දුටු අසිරිමත් බුද්ධගයාව

බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ ඉපැරණි වජිරාසනය පිහිටා ඇත්තේ එහි ඇති ඉපැරණි රන්වන් බුද්ධ ප්‍රතිමා වහන්සේට යටින් ය. එය විශ්වයේ නාභිය වශයෙන් හඳුන්වනු ලැබේ.