වර්ෂ 2065 වන විට මිහිතලයේ ජීවත්වන මිනිසුන් හට ස්වභාවික ලෙස දරුවන් බිහි කිරීමට නො හැකිවනු ඇති බවට වර්තමාන විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත. එයට හේතුව ලෙස විද්‍යාඥයන් සොයා ගෙන ඇත්තේ, පුරුෂ ශුක‍්‍රාණු සහ ස්ත‍්‍රී ඩිම්බවල සංසේචන හැකියාව ශීඝ‍්‍රයෙන් අඩුවෙමින් පැවතීමයි.

එබැවින් අනාගත විද්‍යාඥයන් සරු පුරුෂ බීජ සොයා ගෙන කාල යාත‍්‍රාවක නැග, 1985 වර්ෂයට සොල්දාදුවන් එවන්නට බැරි නැත. මෙම මෙහෙයුම ‘ටර්මිනේටර්’ (Terminator) නො ව, ‘ස්පර්මිනේටර්’ (Sperminator) කියා හඳුන්වන්නට ද පිළිවන.

මෙය එක්තරා විද්‍යා ප‍්‍රබන්ධයකට අදාළ පුවතක් යැයි ඔබ සිතනවා ඇති. එහෙත් අවාසනාවකට මේ අපේ අනාගත පරම්පරාව පිළිබඳ ව ලියැවෙන, විද්‍යාත්මක පර්යේෂණ ගණනාවකින් ම තහවුරු වී ඇති, ඉතාමත් සංවේදී, බියකරු කතා පුවතක ප‍්‍රවේශයක් පමණි.

ක්ෂණික කෑම, කඩචෝරු, සහ ෆාස්ට් ෆුඞ් කෑමට ගිජු පිරිමින් සමඟ විවාහ නො වන ලෙස විද්‍යාඥයන් වර්තමාන තරුණියන්ට අවවාද කර සිටී.

එමෙන් ම, තම දියණියට සුදුසු මනමාලයෙකු සොයන දෙමවුපියන් විසින්, තම අනාගත බෑනාගේ, වත්පොහොසත්කම්, රැකියාව, උගත්කම වැනි දේවල් සොයා බලනවාට වඩා අදාළ තැනැත්තා කනබොන දේවල්වල පැටිකිරියත් සොයා බැලිය යුතු යැයි අවවාද කිරීමට කාලය එළඹ ඇත.

එපමණක් නො ව, තමන් විවාහවන්නට අදහස් කර සිටින තරුණිය සම්බන්ධ අන් කිසිදු දෙයකට වඩා ඇගේ ආහාර පුරුදු ගැනත්, ඇගේ මවගේ ආහාර පුරුදු ගැනත් සොයා බැලීම සිදු කළ යුතු ම බව විද්‍යාඥයන් අවධාරණය කර සිටී.

වෙළඳ පොළේ අලෙවි කෙරෙනා කෘත‍්‍රිම, සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ග නිතර අනුභව කරනු ලබන දෙමවුපියන්ගේ ප‍්‍රජනන (සරු භාවය) හැකියාව දුර්වල වන බවත්, යම් හෙයකින් ඔවුන් දරුවන් බිහි කළත්, එම දරුවන් පිළිකා ඇතුළු භයානක, බෝ නො වන රෝගවලට ගොදුරුව අකාලයේ මිය යන බවත්, මෙම රුදුරු ඉරණමින් එම දරුවන් මුදා ගැනීම (පසු කාලයේ දී එම දරුවන් සෞඛ්‍යයට හිතකර ආහාර පරිභෝජනය කිරීමට හුරුවුවත්) කළ නො හැකි දෙයක් වනු ඇති බවත්, ‘ජෝර්ජ්ටවුන් සරසවියේ’ වෛද්‍ය පීඨයේ දීර්ඝ කාලයක් තිස්සේ කර ඇති පර්යේෂණයකින් සනාථ වී ඇත. ඇමරිකානු පිළිකා පර්යේෂණ සංගමයේ වෙබ් අඩවියේ මෙම පර්යේෂණ වාර්තාව පළ කෙරී තිබිණ.
(http://www.naturalnews.com/029198_cancer_epigenetics.html)

අනාගත මානව වර්ගයාගේ පැවැත්ම බරපතළ ලෙස ප‍්‍රශ්න කෙරෙනා මෙම කාරණාව සම්බන්ධයෙන් තවත් පර්යේෂණ දෙකක්, ඇමරිකාවේ ‘හාවඞ්’ සරසවියේ සහ ස්පාඤ්ඥයේ ‘ම(ර්)සියා’ සරසවියේ සාපල්‍යතාවය පිළිබඳ ව පර්යේෂණ කරන වෛද්‍ය කණ්ඩායම් දෙකක් විසින් සිදු කරනු ලැබ ඇත. මෙම පර්යේෂණ මගින් වෙනත් ප‍්‍රජනන පද්ධතිය ආශ‍්‍රිත සංකූලතා නොමැති, නිරෝගී පුරුෂයන්ගේ ශුක‍්‍රාණුවල සරුභාවය කෙරෙහි ඔවුන් ආහාරයට ගනු ලබන ලට පට, කඩචෝරු, සකස් කළ කඩ කෑම, ෆාස්ට් ෆුඞ්, අධික තෙල් සහිත ආහාර සහ ක්ෂණික ආහාරවල ප‍්‍රබල බලපෑමක් තිබෙන බව සොයා ගෙන තිබේ.

මෙම තත්ත්වය ඇති වන්නේ මෙම කෘත‍්‍රිම ආහාරවල සහ පළිබෝධ නාශකවලින් දූෂිත ව ඇති ආහාරවල ඇති විවිධ විෂ රසායනික ද්‍රව්‍යයන් මගින් ස්ත‍්‍රී හා පුරුෂ, ඩිම්බ හා ශුක‍්‍රාණුවල ජාන සැකැස්මේ ඞී.එන්.ඒ. ව්‍යුහයන් විකෘති කිරීම නිසාවෙන් බව මෙම පර්යේෂණ මගින් සොයා ගෙන ඇත. වාණිජ ආහාර සකස් කිරීමේ දී එක් කරනු ලබන කෘත‍්‍රිම රස කාරක, වර්ණක, කල් තබා ගැනීමේ ද්‍රව්‍යයන් ආදි දහසකුත් ආහාර ආකලන වර්ගවලට අමතර ව, මෙකල මනුෂ්‍ය වර්ගයා පරිභෝජනය කරනු ලබන ජාන වෙනස් කළ ආහාර, මහා පරිමාණ ගොවිපොළ සතුන්ගේ මස්, කිරි, බිත්තර, කිරි ආශ‍්‍රිත නිෂ්පාදනවල තිබෙන කෘත‍්‍රිම හෝමෝන වර්ග, ඇතැම් ඖෂධ වර්ග, ගෘහස්ථ රසායනික ද්‍රව්‍යයන්, පුද්ගලික සනීපාරක්ෂක හා රූපලාවණ්‍ය නිෂ්පාදන, පළිබෝධ නාශක වර්ග, ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන වැරදි ලෙස පරිභෝජනය වැනි හේතු මෙම වඳභාවයට හේතු වන බව විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. එක් අතකට අනාගත මානවයා මුහුණ දෙන ගෝලීය වඳභාවයේ ජානමය කාල බෝම්බයක් ලෙසත්, මෙම තත්ත්වය හඳුන්වන්නට පුළුවන.

කර්මාන්තකරුවන්ගේ සහ වෙළෙන්දන්ගේ අධික ලාභ ලැබීමේ තෘෂ්ණාව නිසාවෙන්, දිනෙන් දින මෙවැනි වස විෂ සහිත ආහාර මෙන් ම අනෙකුත් සෞඛ්‍යයට අහිතකර පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය රොකට් වේගයෙන් ඉහළ යන අතර, ඊට සාපේක්ෂව භයානක, බෝ නො වන රෝග සහ වඳභාවය ද රොකට් වේගයෙන් ඉහළයමින් පවතින බව සක්සුදක් සේ පැහැදිලි කාරණාවකි.

ලොව පුරා විවාහක නව යුවළවල් බහුතරයකට (විශේෂයෙන් නාගරික පරිසරයක ජීවත්වන්නවුන්ට) වෛද්‍ය ආධාරයකින් හෝ ඖෂධ ලබා ගැනීමකින් හෝ දීර්ඝකාලීන උත්සාහකින් තොර ව, ස්වාභාවික ව පිළිසිඳ ගැනීමට අසීරු ව ඇත්තේත්, දරු සම්පත අහිමි දෙමවුපියන්ගේ සංඛ්‍යාව ඉහළයමින් පවතින්නේත් එබැවිනි.

කෙසේ වෙතත්, තමන් ගනු ලබන නිසරු හා සෞඛ්‍යට අහිතකර ආහාර පරිභෝජනය නතරකර ස්වාභාවික ආහාර වර්ග හා පරිසර දූෂණය අවම පරිසරයක ජීවත් වීම ආරම්භ කළ හැකි නම්, මඳ සරු භාවයට ගොදුරු ව ඇති පුරුෂ ශුක‍්‍රාණු මාස 03ත් 06ත් අතර කාලයක දී යථා තත්ත්වයට පත්කරගන්නට පිළිවන් වීම එක අතකට සැනසිලිදායක පුවතක් වනු ඇත.

එහෙත් පුරුෂ හා ස්ත‍්‍රී සරුභාවයේ සීමාව තීරණය කරන තවත් ප‍්‍රබල ආහාරමය සාධකයක් පැවතීම, පෙර කී සැනසිල්ල සීමා කරවන තත්ත්වයකි.

එය නම්, අදාළ පුද්ගලයාගේ මව, තම දරුවා ගැබ්ගෙන සිටින කාලයේ දී ගනු ලැබූ පෝෂණීය හා සෞඛ්‍ය සම්පන්න ආහාර මත, අදාළ දරුවාගේ ශුක‍්‍රාණු හා ඩිම්බවල සරුභාවය මුළු ජීවිත කාලයට ම අදාළ ව තීරණය වී පැවතීමයි.

සරල ව කිවහොත්, ඔබ සෞඛ්‍යයට හිතකර ආහාර ගන්නා අයෙකු වී, ඔබේ මව ඔබ ගැබ්ගෙන සිටින සමයේ ගනු ලැබුවේ සෞඛ්‍යයට අහිතකර ආහාර නම්, ඔබ නැවත ලොකු අමාරුවක වැටෙනු ඇත.

මානව සරුභාවය අහිමිවීම පිළිබඳ ව කර ඇති පර්යේෂණවලට අනුව, සාමාන්‍ය ස්වාභාවික පරිසරයේ ජීවත්වන මීයන්ගේ ශුක‍්‍රාණුවල සරුභාවය (Viability) සියයට 90ක් පමණ වන බවත්, මිනිසා විසින් ගොවිපොළ තුළ ඇති කරනු ලබන බැටළුවන්ගේ සරු භාවය සියයට 80ක් පමණ වන බවත්, වර්තමාන මිනිසාගේ එම අගය සියයට 10 – 15ක් පමණ වන බවත් හෙළි වී තිබේ.

අනාගත මානව වර්ගයා මුහුණ දෙනු ලබන මෙම ඛේදවාචකය තේරුම් ගනිමින් සිටින රටවල් වහවහා ශුක‍්‍රාණු බැංකු පිහිටුවමින් ඒවා තුළ සරු නිරෝගී ජානවලින් හෙබි ස්ත‍්‍රී හා පුරුෂ බීජ ගබඩා කර ගනිමින් සිටින්නේත්, කාබනික සහ ස්වාභාවික ආහාර, ස්වාභාවික නිෂ්පාදන සහ ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳ ව අන්කවරදාකවත් නො මැති උනන්දුවකින් යුතු ව කටයුතු කරමින් සිටින්නේත් එබැවිනි.

අවාසනාවකට සියලූ මානව ජයග‍්‍රහණ මෙන් ම ව්‍යසනයන් ද විකුණන වර්තමාන මුදලාලිලා පුළුල්ව පැතිරෙන මානව නිසරු බව ද ගෙඩිය පිටින් විකුණමින් සිටී. එනිසා, සාඵල්‍යයතා සායන මධ්‍යස්ථාන, සරුභාවය ඇති කිරීමට ලබා දෙන එන්නත් වර්ග, ඖෂධ වර්ග, නල දරු තාක්ෂණය හරහා කෝටි ගණනින් මුදල් උපයන මාර්ග ඇතමුන්ට පහළ වී ඇත. ලංකාවේ නම් මෙය, දරු ඵල ලබා දෙන තෙල් බෙහෙත් වර්ග, මහාහුලවාලි, වල්ලිමෑණියන්ගේ ගුරුකම්, ශිව දෙවියන්ගේ අනුහස් දක්වා ද ව්‍යාප්තව ඇත. එහෙත් ඒ සියල්ලට ම කළ නො හැකි දේ ආහාර රටාවේ වෙනස්කම් තුළින් සිදු කළ හැකි බව සටහන් තැබිය යුතු ම ය.

මානව සාඵල්‍යයතාවය මෙන් ම යහපත් සෞඛ්‍ය තත්ත්වය අනතුරේ හෙළන මාරක රසායනික ද්‍රව්‍යයන් රාශියක් ම තිබේ. ඒ නිසා අවධාරණය කළ යුතු ම කාරණාව වන්නේ, ‘‘ආශාවන් හඹා ගොස් වහාම ලබා ගනු…” යන්න පරමාදර්ශය සහ ආත්මය කර ගත්, අන්ධානුකරණ පුහු ධනාත්මක චින්තනවාදී, තෘෂ්ණාභරිත ලාංකේය අධි පාරිභෝගික වෙළඳ සමාජය තුළ ගිලී සිටින මනුවගට, වර්ෂ 2065ටත් කලින් සිංහල ජාතිය මිහි මතින් තුරන් වන්නට පෙර, ප‍්‍රඥාව පහළ වේවා! යනුවෙනි.

– ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක – ඇල්ල