‘ෂාවෝ’ තම සිඟිති නැඟණියත් ඔසවාගෙන මුඩුක්කු නිවාස පෙළ අතරින් ඉදිරියට දිව ගියේ යමක් ලබන අපේක්‍ෂාවෙනි. සිය නැඟණිය වීදියේ පසෙකින් තැබූ ‘ෂාවෝ’ මහත් කුතුහලයෙන් යුතු ව, අපිරිසිදු වීදියේ ඇවිද යන ජනයා දෙස බලමින් ‘චිට් ෂු’ගේ පැමිණීම අපේක්ෂා කළා ය. සිය නැඟණියගේ හැඬීම දරා ගැනීමට අපහසු තරමේ එකක් වුව ද වීදියේ කොනකින් ‘චිට් ෂූ’ පැමිණෙන බව දුටු ඈ ඒ දෙස දෑස් දල්වා බලා සිටියා ය. හණ පිළියෙන් කළ බෑගයක් උරයේ රඳවා ගත් ඉතා විශාල උදරයක් සහිත ‘චිට් ෂූ’ කුඩා දරුවන් පිරිසක් ද සමඟ වීදියේ ඉදිරියට පැමිණෙන්නට විය. දකින්නන්ගේ සිත් තුළට පි‍්‍රයමනාපභාවයක් එක් නො කළ ඔහු පෙනුමෙන්, ඇඳුමෙන්, පැළඳුමෙන් හා හැසිරීම් ආදියෙන් විකාර රූපී අයෙක් විය. අවශ්‍ය මෙන් ම අනවශ්‍ය වූත් විවිධාකාර බඩු බාහිරාදියෙන් සමන්විත ව තිබූ ඔහුගේ බෑගයේ රසකැවිලි කිහිපයක් තිබීම නිසා ඔහු වටා වීදි දරුවන් එක් රොක් වන්නට විය. පැණි රස කෑමක ආශාවෙන් යුතු ව ‘ෂාවෝ’ ද ‘චිට් ෂූ’ පසුපස ඇවිද යන්නට වූවා ය.

අන්ද මන්ද මත

ඒ මින් වසර 1000කට පමණ මත්තෙන් චීනයේ ෂේජියෑන්ග් පළාතේ සිදු වූ එක්තරා සිදුවීමක් පිළිබඳ ව වූ සටහනකි. ‘බූදායි’, ‘හොටෙයි’, ‘පූ – ටායි’ මෙන් ම තවත් නම් කිහිපයකින් හැඳින්වූ මෙම සෙන් අනුගාමික චීන ජාතිකයා පිළිබඳ ව ඔබ වඩාත් හොඳින් දැන සිටින්නේ ‘ලාෆින් බුද්ධා’ (Laughing Buddha) වශයෙනි. ජීවත්ව සිටින විට දී ඔහු මෙනමින් හැඳින්වූ බවට තහවුරු කළ හැකි කිසිදු සාධකයක් ඉතිහාසය තුළ හමු නො වන අතර මෑත කාලීන චීන ජනයා විසින් මිථ්‍යා විශ්වාස සහ ජනප‍්‍රවාද මත පදනම් ව ඒ අයුරින් ආමන්ත‍්‍රණය කිරීමට පටන් ගත් බව විශ්වාස කළ හැකි ය. අනාගතයේ දී බුද්ධත්වයට පත්වන මෛතී‍්‍ර බුදුන් තමන් බව චිට් ෂූ ප‍්‍රකාශ කළ බවත්, ඔහුගේ පිළිරුවෙහි පවතින නිතර සිනාසෙන ස්වරූපයත් හේතුවෙන් ඔහුට ‘ලාෆින් බුද්ධා’ යන නාමය පටබැඳුණු බවත් විශ්වාස කෙරේ. පුළුල් මාධ්‍ය හැකියාවන් ඇති, එහෙත් පෙරදිග ශිෂ්ටාචාරයන් පිළිබඳ හරි හැටි වැටහීමක් නැති ඇතැම් බටහිර ජාතීන් මෙකී මූර්තිය ‘බුදුරජාණන් වහන්සේගේ’ යැයි අනවබෝධයෙන් සැලකීම ද මෙහි ව්‍යාප්තියට හේතු වී ඇත.

කුඩා දරුවන් පිරිවරාගත් මොහොතක, තමන් ළඟ ඇත්නම් ඒ දරුවන්ට රස කැවිලි වර්ගයක් ලබාදීම හැරෙන්නට ඔහු තුළ විශේෂ ආධ්‍යාත්මික සංවරභාවයක් තිබූ බව වාර්තා නො වන අතර, පැහැදිලි බුද්ධ වචනයෙන් වෙනස් වූ මහායානික බලපෑම් සහිත ‘සෙන්’ දහම අදහන්නෙක් විය. පෘථිවි තලයේ ජම්බුද්වීපයෙන් පරිබාහිර වූ දේශයක බෝධිසත්වයන් වහන්සේලා මෙන් ම බුදුරජාණන් වහන්සේලා ද පහළ වන්නේ නැත. එය ලෝක ධර්මතාවයකි. සත්‍යය එසේ තිබිය දී චීනයේ ඉපිද, තමන් මෛතී‍්‍ර බෝධි සත්වයන් වශයෙන් හඳුන්වා දුන් චිට් ෂූ ගැන මෛතී‍්‍ර බෝධි සත්වයන් වශයෙන් පිළිගෙන ප‍්‍රකාශ කළ සියල්ලෝ ම හසුවී ඇත්තේ සුලූපටු මුළාවකට නො වන බව පැහැදිලි කරුණකි. අප රට පුරා ද සම්මන්ත‍්‍රණ, වෙළෙඳ  ප‍්‍රදර්ශන පවත්වමින් අනර්ථය වපුරා රන් කහවණු සෙවීම දැන් දැන් විශාල ලෙස සිදුවෙමින් පවතී. මෙය ද එහෙව් වෙළෙඳ ගනුදෙනුවක ප‍්‍රතිඵලයක් විය නො හැකි ද?

මෙහෙමත් හිතනවලූ

ඇතැම් බෞද්ධයන් විසින් ද මෙකී ප‍්‍රතිමාවේ රැඳි රුව ගෞතම බුදුරජාණන් වහන්සේගේ යැයි කල්පනා කිරීම මහත් වූ අභාග්‍යයකි. මේ තත්ත්වය යුහුසුලූ ව නිවැරදි නො කළ හොත් බුද්ධ මන්දිරයේ වැඩ සිටින දෙතිස් මහා පුරුෂ ලක්ෂණානූන බුදුරජාණන් වහන්සේගේ රූපකාය අතුරුදන් ව ඒ වෙනුවට මෙකී විකාරරූපී ප‍්‍රතිමා ආදේශවීමේ අන්තරාය ද අප ඉදිරියේ පවතී.

අසිරිමත් ය ඒ භාග්‍යවතාණෝ

ඉතා ම දීර්ඝ කාලයක් පුරාවට පාරමී ධර්ම පූර්ණය කරමින් පැමිණ, අවසන දෙතිස් මහා පුරුෂ ලකුණින් සමන්විත ව මනුලොව ජම්බුද්වීපයේ උපත ලැබූ, ලෝ සත්ත්වයන්ගේ හිතසුව පිණිස තමන් වහන්සේ විසින් ම අවිද්‍යා අන්ධකාරය දුරලමින් ප‍්‍රඥාලෝකය විහිදුවනා උතුම් ම මනුෂ්‍ය රත්නය යි ‘බුද්ධ’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ. දීඝ නිකායේ ලක්ඛණ සූත‍්‍රයට අනුව පහත සඳහන් මහා පුරුෂ ලක්ෂණ දෙතිසෙන් උන්වහන්සේ ශෝභමාන වූ සේක:

1.  සුප්පතිට්ඨිත පාද ඇති බව – මනා ව පිහිටි සිරිපා යුග.
2.  සක් ලකුණු ඇති බව – යටි පතුල්වල සියුම් රේඛාවලින් යුත් නිම් වළලූ සහිත සක් ලකුණින් සැදි සොඳුරු පා යුග.
3-5.  දික් විලූඹ, දිගු ඇඟිලි හා ඍජු සිරුර ඇති බව.
6.  සත් තැනක උස් වූ මාංශ පිහිටා ඇති බව.
7-8.  මෘදු තරුණ අත් පා ඇති බව, ඉතා නම්‍යශීලී අත් පා ඇති බව.
9-10.  උස් වූ ගොප් ඇටය (වළලූකර) සහිත පාද ඇති බව, උඩු අතට සකස් වූ ලොම් ඇති බව.
11.  ඕලූ මුවන්ගේ බඳු කෙණ්ඩා ඇති බව.
12.  දූවිලි නො රඳන සියුම් සමක් ඇති බව.
13.  රන්වන් පැහැයෙන් යුතු සිරුරක් ඇති බව.
14.  රන් කෙමියක බහාලූ ආකාරයට රහසඟ පිහිටා තිබීම.
15-16.  සම වූ උස මහත ඇති නුග රුකක් සේ ක‍්‍රමාණුකූල ව වැඩුණු ශරීරයකින් යුතු බව, නො නැමී දණහිස පිරිමැදිය හැකි බව.
17-19.  සිංහයෙකුගේ බඳු කය, පිරුණු පිට කය හා උසට සරිලන මහතකින් හා උසකින් යුතු දේහයක් ඇති බව.
20.  ඉතා පිරිසිදු ලෙස රසය දැනෙන රස නහරින් යුතු වීම.
21-22.  ඉතා නිල්වන් නෙත් ඇති බව, ළදරු වසු පැටවෙකුගේ බඳු දෙනෙත් ඇති බව.
23.  පිරිපුන් නළල ද පිරිපුන් හිස ද ඇති බව.
24-25.  එක් රෝම කූපයක එක් රෝමයක් පමණක් ඇති බව, දෙබැම අතර ඌර්ණ රෝම ධාතුවක් ඇති බව.
26-27.  ශ‍්‍රී මුඛයේ දත් හතළිහකින් යුතු වීම, දත් අතර සිදුරු නැති බව.
28-29.  ඉතා විචිත‍්‍ර ලෙස හඬ හැසිරවිය හැකි දිගු පළල් දිවක් තිබීම, බ‍්‍රහ්ම ස්වරයක් ඇති බව.
30.  සිංහයකුගේ මෙන් පිරිපුන් උඩු හා යටි හණු ඇති බව.
31-32.  ශ‍්‍රී මුඛයේ සම දත් ඇති බව, ඉතා සුදු දත් ඇති බව.

බුදුරජාණන් වහන්සේ යනු රාග, ද්වේෂ, මෝහ පරිපූර්ණ ව ප‍්‍රහාණය කළ, ලෝකයේ යහපත උදෙසා ජීවිතය කැප කළ අතිශ්‍රේෂ්ඨ, අසමසම ශාස්තෘවරයෙකි. සියලූ දෙව්මිනිසුන්ට ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍යය ධර්මයන්, අන්‍යයන්ට ද අවබෝධ කර ගැනීම පිණිස, ඉතා සුන්දර ලෙස, ඉතා පැහැදිලි ලෙස, පැහැදිලි වචනවලින්, පැහැදිලි අර්ථවලින් දේශනා කොට වදාළ නිසා ‘බුද්ධ’ වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් හෙබි වූ රන්වන් මනස්කාන්ත රූ ශෝභාවකින් ද, මනා ලෙස දමනය වූ ඉඳුරන්ගෙන් ද යුතු විය. ‘බුද්ධ’ නම් ගුණ ඇති තථාගතයන් වහන්සේ එවන් වූ අසහාය උත්තමයෙකි. එසේ නම් මොහු…? ‘චිට් ෂූ’ නම් වූ මෙම පුද්ගලයා උදෙසා හෝ ඔහුගේ ප‍්‍රතිමා උදෙසා හෝ ‘බුද්ධ’ යන ශ‍්‍රී නාමය භාවිතා කිරීමට කෙතරම් අකැප ද? අසාධාරණ ද? යන්න සමස්ත බුද්ධිමතුන්ගේ පැණවත් අවධානයට යොමු විය යුතු කරුණකි.

උදරය පිරිමැදීම

විවිධ ඉරියව්වලින් මෙන් ම විවිධ ලෝහයන්ගෙන් තැනුණු මෙම සිනාසෙන මිනිසාගේ ප‍්‍රතිමා චීනයේ විහාරාරාම, නිවාස, ආපනශාලා, වෙළෙඳ සැල්වල සුලභ දසුනකි. බලූ නඟුටෙන් පවා වාසනාව, ධන ලාභ හා සශ‍්‍රීකත්වය ලැබෙන්නේ යැයි හිස් මත දරන්නන් විසින් ශී‍්‍ර ලංකාව තුළ ද මෙම මිථ්‍යාව දරුණු ලෙස ව්‍යාප්ත කරමින් සිටියි. මෙම ප‍්‍රතිමාවේ සිටින මෙම පුද්ගලයාගේ විශාල උදරය දිනපතා පිරිමැදීමෙන් වාසනාව, සශී‍්‍රකත්වය, ධනය ලබාගත හැකි බවත්, මෙම ප‍්‍රතිමා මඟින් ආයතනයක හා පුද්ගලයන්ගේ ඍණ බලපෑම් උරා ගන්නා බවත්, ධන බලපෑම් මුදාහරින බවත් සත්‍යය නො දත් ජනතාව මුළාවෙහි දැමීම පිණිස උපයෝගී කරගන්නා තවත් මුසාවන් ය. තව ද මෙවැනි ප‍්‍රතිමාවක් නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ තබා ගැනීම මංගල කාරණාවක් ලෙසින් ද හුවා දක්වමින් සාවද්‍ය මිත්‍යා මත පතුරුවයි.

සැබැවින් ම මංගල කරුණු දැනගනු රිසියෝ ගෞතම බුදුරජාණන් වහන්සේ සියලූ දෙව්මිනිසුන්ගේ හිතසුව පිණිස ‘මහා මංගල සූත‍්‍රය’ තුළින් ලොවට හෙළි කළ ඒ උතුම් මංගල කාරණා තිස් අට නිවැරදි ව දැන දිවියට සියලූ යහපත උදා කර ගනිත්වා! සැබෑ ම යහපත ගැන ලෝකයට දේශනා කළ මුනිවරයන් වහන්සේගේ රැකවරණය ලබා ගැනීමට සිත් යොමු වේවා! ආළවක සූත‍්‍රයේ සඳහන් අයුරින් ධනය උපයාගෙන සැපවත් ජීවිත ඇති කරගන්නට සැම හට වාසනාව උදා වේවා!

බාරගෙන එන වගකීම් හැම
වීරියෙන් කටයුතු ද කරනා
නො පසුබසිනා වීරියෙන් යුතු
කෙනෙකු වේ නම්
රැස් කරයි හේ සියලූ ධනය ම…!

(ආළවක සූත‍්‍රය – සුත්ත නිපාතය)
ඇසුර: ලක්ඛණ සූත‍්‍රය / අන්තර්ජාලය

විවරණ සටහන
චන්දික උපුල්