‘තර්කය’ යනු බොහෝ දුර අතීතයේ පටන් යමක් තේරුම්කර ගැනීමට බොහෝ දෙනෙක් උපකාර කර ගන්නා එක්තරා ක්‍රමවේදයක්. එනිසා ම යි ‘තර්ක ශාස්ත්‍රය’ නම් වූ විෂයට බොහෝ දුර අතීතයක් පවතින්නේ. සැබැවින් ම තර්කයෙන් දැනගත හැකි දේවල් ලොව නැතුවා නො වෙයි. නමුත් සැමවිට ම තර්කයට හසුවන දේ සත්‍ය බවට පත්වෙන්නෙ නෑ. ඇතැම්විට තර්කයෙන් දිනවන දෙය අසත්‍ය වීමට පුළුවන්. එසේ වූ අවස්ථා අතීතයේ මෙන් ම අදත් ඕනෑ තරම්. එහෙම නම් තර්කය භාවිත කළ යුත්තේ ඉතා පරිස්සමෙන්. තර්කයත් සමඟ ගොඩනැගෙන වාද විවාද මතවාද ඒකායන හරය ලෙස එකහෙළා පිළිගැනීම ප්‍රඥාගෝචර නොවන්නේ ඒ නිසා.

කිසිසේත් ම තර්කයෙන්, වාද විවාදයෙන් ජයගත නො හැකි දෙයක් ලොව තිබෙනවා. ඒ ලොව පවතින ඒකායන සත්‍යය යි. තර්ක කරමින් බැහැර කළ නමුත් සත්‍යය කිසිවිටෙක අසත්‍යයක් බවට පත්වන්නේ නැහැ. ඒ වගේ ම තර්ක විතර්ක මත ඉස්මතු කළ නමුත් අසත්‍යයක් සත්‍යය වෙන්නේ නෑ. සර්වඥතා ඤාණ ඇති, අනාවරණ ප්‍රඥා ඇති, ධර්මස්වාමී වූ තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළේ, සිහනද පතුරවමින් දේශනා කොට වදාළේ ලොව පවතින ඒ උතුම් ආර්ය සත්‍යය යි.

ඒ උතුම් ස්වාක්ඛාත දහම අධ්‍යයනයේ දී, දේශනා කිරීමේ දී තර්ක විතර්ක වාද විවාද පෙරටු කර ගැනීම මෑත කාලයේ බහුලව දක්නට ලැබෙන්නක්. එය කෙතරම් බලවත් ව සමාජගත වී ඇත්ද කිවහොත් ‘බුදුදහම යනු තර්ක කරමින්, වාද විවාද කරමින් සත්‍යය ගවේෂණය කළ යුතු දෙයක්.’ යන මතය ඍජු ව ම මේ දිනවල අසන්ට ලැබෙනවා. එම නිසා ‘ධර්මය පවතින්නේ තර්කය මත ද?’ යන කාරණය ධර්මරාජ වූ, ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමයෙන් ම යි අප තෝරා බේරා ගත යුත්තේ.

සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් හදමඬල තුළ තමන් වහන්සේ අවබෝධ කොට වදාළ ධර්මය සම්බන්ධයෙන් මෙවැනි අදහසක් පැන නැංගා.

“අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ.”

“මා විසින් සාක්ෂාත් කරන ලද මේ ධර්මය වනාහී පරම ගම්භීර වූවක්. ඒ වගේ ම දැකීමට දුෂ්කරයි. අවබෝධ කිරීමත් දුෂ්කරයි. නමුත් ශාන්තයි. ප්‍රණීතයි. මේ ධර්මය තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි. දියුණු කරන ලද ප්‍රඥාවෙන් ම, නුවණැතියන් විසින් ම අවබෝධ කරන දෙයක්.”

(මහාවග්ගපාලි)

එම උතුම් බුද්ධ වචනයෙන් මනාව පැහැදිලි වන්නේ ආර්ය සත්‍යය ප්‍රකාශිත තථාගත ශ්‍රී සද්ධර්මය (අතක්කාවචරෝ) තර්කය මත නම් අවබෝධ කළ නොහැකි බවයි. එසේ නම් තර්කයෙන් අන් කිසිවක් දිනුව ද ධර්මය දිනීමට තර්කය අදාළ නොවන බව, ධර්මය යනු තර්කය ඉක්මවා ගිය දෙයක් බව තේරුම් ගත යුතුයි.

එමෙන් ම ධර්මයට ආධුනික වූ කේසපුත්තවාසී කාලාමවරුන් හට ධර්මය අධර්මය තෝරාගැනීම පිණිස අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ මනාව පෙන්වා දී තිබෙනවා. එහි දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ ධර්මය අධර්මය තෝරාගැනීමේ දී (න තක්ක හේතු) යමක් මනා ව තර්කයට ගැළපී ගිය පමණින් එය ධර්මය යැයි ඒකාන්ත නිශ්චයකට එකවර නොපැමිණෙන ලෙසයි.

ඒ අනුවත් ධර්මය තර්කයෙන් සාක්ෂාත් කළ නොහැකි බව මනාව පැහැදිලි වනවා.

මෙම බරපතළ වරද පහසුවෙන් සමාජගත වන්නේ ‘මධ්‍යස්ථ ව විමසා බැලීම, නුවණින් කල්පනා කිරීම…’ ආදී ධර්මයේ විස්තර වන සත්‍යය ගවේෂණ මාධ්‍යයන්ට කිසිසේත් නොගැළපෙන තර්කය, වාදය ආදී අර්ථ ඉදිරිපත් කිරීමෙනුයි. මධ්‍යස්ථ ව නුවණින් කල්පනා කිරීම යනු තර්කය හෝ වාදය නොවන බව අප හොඳින් තේරුම් ගත යුතුයි.

ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පවා තමන් වහන්සේ ව ලෝකයට හඳුන්වා දී තිබෙන්නේ තර්ක විතර්ක වාද විවාද ඉක්මවා ගිය අයෙක් ලෙසටයි.

“නාහං භික්ඛවේ ලෝකේන විවදාමි. ලෝකෝ ච ඛෝ භික්ඛවේ මයා විවදති. න භික්ඛවේ ධම්මවාදී කේනචි ලෝකස්මිං විවදති.”

“මහණෙනි, මං ලෝක සත්වයා සමඟ වාද විවාද කරන කෙනෙක් නොවෙයි. මහණෙනි, ලෝකයා තමයි මාත් සමඟ වාද විවාදයට එන්නේ. මහණෙනි, ධර්මවාදී (ධර්මය ම පවසන) කෙනෙක් කිසිසේත් ලෝකයෙහි කා සමඟවත් වාද විවාද කරන්නේ නෑ.”

(පුප්ඵ සූත්‍රය – සං. නි. 3)

වර්තමානයේ හටගෙන තිබෙන අර්බුදය විසඳා ගැනීමට මෙම බුදු වදන බොහෝ සෙයින් උපකාරක වෙනවා. එහි දී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිව ම පෙන්වා දී තිබෙනවා ‘න භික්ඛවේ ධම්මවාදී කේනචි ලෝකස්මිං විවදති’ යනුවෙන්.

එසේ නම් භාග්‍යවතුන් වහන්සේ පවා කිසිවිටෙක වාද විවාද පිණිස ලෝකයට අභියෝග කළ අයෙක් නොවන බව භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන් ම අපට පැහැදිලියි. යම් කිසිවෙක් ධර්මයේ නාමයෙන් තර්කය, වාදය පිණිස ම කටයුතු කරයි නම් හෙතෙම ධර්මවාදී කෙනෙක් නොවන බව දේශනා කොට වදාළේ ධර්ම ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ ම නො වේ ද?

තර්ක විතර්ක – වාද විවාද පිණිස මේ උතුම් ස්වාක්ඛාත දහම යොදා ගැනීම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ සර්පයාගේ නැට්ටෙන් ඇල්ලීමට සම කොටයි. සර්පයෙකුගෙන් ප්‍රයෝජන ඇති අයෙක් සර්පයා වෙත ගොස් එම සර්පයාගේ නැට්ටෙන් ඇල්ලුවහොත් සිදුවන්නේ එම පුද්ගලයා සර්පයා විසින් දෂ්ඨ කරන ලදුව විනාශයට පත් වීම යි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ මේ අයුරින්.

“මහණෙනි, මේ ශාසනයට ඇතුල්වන සමහර හිස් පුද්ගලයන් ඉන්නවා. ඔවුන් මේ ධර්මය ඉගෙන ගන්නවා. ඒ කියන්නේ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, අද්භූත ධර්ම, ජාතක, වේදල්ල යන ධර්මය ඉගෙන ගන්නවා. නමුත් ඔවුන් ඒ ධර්මය ඉගෙන ගත්තාට පස්සේ ඒ ධර්මයන්ගේ අර්ථ ප්‍රඥාවෙන් විමසන්නේ නෑ. ඒ නිසා ම ඔවුන්ට ඒ ධර්මය අවබෝධ වෙන්නේ නෑ. අන්තිමේ දී ‘අපි මේ විදිහට වාද කරලා ජයගනිමු’ කියන අදහසින් වාද විවාද කිරීම පිණිස ධර්මය ඉගෙන ගන්නවා. එතකොට ධර්මය හැදෑරීමෙන් ජීවිතයට යම් යහපතක් සිදුවෙනවා ද අන්න ඒ යහපත සිද්ධ වෙන්නෙ නෑ. ඔවුන් ධර්මය වැරදි විදිහට අල්ලගන්න නිසා එය ඔවුන්ට බොහෝ කලක් දුක් පීඩා පිණිස හේතු වෙනවා. එයට හේතුව ධර්මය වරදවා ගැනීම යි.”

(අලගද්දූපම සූත්‍රය – ම. නි. 1)

එම උතුම් බුද්ධ වචනයට අනුවත් වාද විවාද පිණිස ධර්මය භාවිත කිරීම භාග්‍යවතුන් වහන්සේගෙන් ගැරහුම් ලැබූවක්. එසේ ම එය තමන්ගේ හිස් බව, බාල බව මිස ප්‍රඥාව විදහා දක්වන්නක් නොවන බව තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී තිබෙනවා.

“න චාහමේතං තථියන්ති බ්‍රෑමි
යමාහු බාලා මිථු අඤ්ඤමඤ්ඤං
සකං සකං දිට්ඨිමකංසු සච්චං
තස්මා හි බාලෝති පරං දහන්ති”

“බාලයෝ දෙපසකට වී ඔවුනොවුන් තම තමන්ගේ දෘෂ්ටිය සත්‍ය බව ඔප්පු කරමින් යම් වාදයක් කරත් ද මම එය සත්‍යයක් යැයි නොකියමි. එම වාදය නිසා ම ඔවුහු අනෙකා (තම විරුද්ධවාදියා) බාලයෙකැයි සිතත්.”

(චූලවියූහ සූත්‍රය – සුත්ත නිපාතය)

‘ධර්මය පවතින්නේ තර්කය, වාදය මත’ යැයි යන අධර්මය සමාජගත කරන අය එය තහවුරු කර ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ ද වාද විවාද කළ බව දක්වනවා. රහතන් වහන්සේලා ද වාද විවාද කළ බව දක්වනවා. වාද විවාද කළ අය වාදය මත ධර්මය අවබෝධ කළ බව ද දක්වනවා. නමුත් සත්‍යය අනෙකක්. සච්චක, උපාලි ගෘහපති, සකුළුදායී වැනි අය භාග්‍යවතුන් වහන්සේ වෙත වාදය පිණිස පැමිණි බව සැබෑව. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ එහි දී ඔවුන්ට ධර්මය ඉස්මතු කොට පෙන්වූ බව ද සැබෑව. නමුත් ඒ භාග්‍යවතුන් වහන්සේ වාද කළා නො වෙයි. භාග්‍යවතුන් වහන්සේ කිසිවිටෙකත් ඔවුන් කිසිවෙකුට වාදය පිණිස අභියෝග කළේ නැහැ.

ඒ වගේ ම තේරුම්ගත යුතු තවත් දෙයක් තිබෙනවා. වාදයක් ගොඩනගාගෙන තථාගතයත් වහන්සේ වෙත පැමිණි කෙනෙක් එය අවසානයේ මග ඵල ලැබුවේ ද උපාසකත්වය පිණිස ප්‍රතිඥා දුන්නේ ද එය සිදුවූයේ ඒ සියල්ලන් ම වාදය අතහැර ධර්මය දායාද කර ගැනීමෙන් ම බව අප තේරුම් ගත යුතුයි. එහි දී සැබෑවට ම සිදු වූයේ වාදයට පැමිණි අය වාදය අත්හැරීමෙන් ම ධර්මාවබෝධය කළ බවයි. උපාලි ගෘහපති වැනි අය තමන් ගොඩනගාගෙන පැමිණි වාදය භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව නමැති සූර්යාලෝකය අබියස පිනිබිඳක් මෙන් වියළවා දමා යහපත උදාකර ගත් නමුදු එම වාදය ඔහු හට ඉගැන්වූ, වාදය අත් නොහැරි නිගණ්ඨනාථපුත්තගේ එම වාදය අවසන් වූයේ භයානක ඉරණමකින් නො වේ ද?

එමෙන් ම බුදුරජාණන් වහන්සේ වෙත වාද ගොඩනගාගෙන පැමිණි සියල්ලන්ට ම කරුණු පෙන්වා දීමට භාග්‍යවතුන් වහන්සේ සැමවිට ම ඉදිරිපත් වුණේ ද නැහැ. අර්ථයක් නොමැති මතවාද ගොඩනගාගෙන, එම වාදය අත්හැරීමට ශක්තියක් නොමැති (දුප්පටිනිස්සග්ගී) උදවියගේ ඒ හරසුන් මතවාද අබියස භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වූයේ නිහඬ බවයි. රහතන් වහන්සේලා ද එසේ කළ අවස්ථා තිබෙනවා. එම නිසා පෙර පින් තිබූ, දියුණු කරන ලද ප්‍රඥාව ඇති, එමෙන් ම වාදය පසෙකලා ධර්මය දායාද කර ගන්නට හැකියාව ලද ඇතැම් අය වාදය නම් වූ වලාකුළින් වැසුණු පුන් සඳක් සෙයින් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹි විට ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණ ඇති භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට දහම් දෙසා යහපතට පමුණුවා වදාළ කරුණ ගෙන භාග්‍යවතුන් වහන්සේ ද වාද කළ අයෙක් බව දැක්වීම තථාගතයන් වහන්සේට කරන අභූත චෝදනාවක් නොවන්නේ ද?

දිනක් ‘පසුර’ නම් වූ තවුසෙක් වාද විවාද කිරීම පිණිස දහම් කරුණු ඉගෙන ගැනීමේ අපේක්ෂාවෙන් බුදු සසුනේ පැවිදි වුණා. වාදයෙන් මත් වූ හෙතෙම දිනක් ශාස්තෘන් වහන්සේ වෙත වාදයෙන් අභියෝග කළා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවය අබියස ඔහු ගොළු වුණා. එහි දී වාදය පිණිස ධර්මය ඉගෙනීමේ භයානක බව භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් පෙන්වා වදාළා.

“යුත්තෝ කථායං පරිසාය මජ්ඣේ
පසංසමිච්ඡං විනිඝාති හෝති
අපාහතස්මිං පන මංකු හෝති
නින්දාය සෝ කුප්පති රන්ධමේසී”

“පිරිස් මැද වාදකථාවෙන් යුතු වූ කෙනා තමා හට ප්‍රශංසා ලබනු කැමතිව විරුද්ධවාදියා කෙසේ පරාද කරන්නෙම් දැයි සැකයෙන් පසුවෙයි. විරුද්ධවාදියා විසින් කරුණු දක්වා ඔහුගේ වාදය බැහැර කළ විට මකු වෙයි. එවිට ඔහු එම නින්දාවට කුපිත වෙමින් ප්‍රතිවාදියා තුළ තිබෙනා සිදුරු ම සොයමින් පසු වෙයි.”

(පසූර සූත්‍රය – සුත්ත නිපාතය)

වාද විවාදයේ පැටලුනු කෙනා මුහුණ දෙන ශෝචනීය තත්ත්වය පිළිබඳ ව වාද විවාද ඉක්මවා ගිය භාග්‍යවතුන් වහන්සේ කොතරම් නිවැරදිව හඳුනාගෙන සිටියා ද යන කරුණ අද වන විට මනාව පැහැදිලි වන්නේ නො වේ ද? එහි දී පසූර නම් වූ චීවරධාරී අන්‍යාගමික තවුසා ව භාග්‍යවතුන් වහන්සේ බැහැර කොට වදාළේ මෙසේ යි.

“සූරෝ යථා රාජඛාදාය පුට්ඨෝ
අභිගජ්ජමේති පටිසූරමිච්ඡං
යේනේව සෝ තේන පලේහි සූර
පුබ්බේව නත්ථි යදිදං යුධාය”

“පසූර, රාජ බොජුන් අනුභව කොට තර වූ ගුස්තිකාරයාගේ ස්වභාවය එවැනි ගුස්ති දුටු විට ගොරවාගෙන සටනට යාම යි. පසූර, ඔබ ඔබේ වාද සටනට ගුස්තිකාරයෙකු ව ම සොයා යව. වාද විවාද සඳහා හේතුවන යම් කෙලෙස් වේද මා තුළ මුල සිට ම (බෝධි මූලයේදී ම) එවැනි ක්ලේෂයෝ ප්‍රහීණයහ.”

(පසූර සූත්‍රය – සුත්ත නිපාතය)

භාග්‍යවතුන් වහන්සේ පමණක් නොවෙයි. රහතන් වහන්සේලා ද මෙසේ වාදය පිණිස ධර්මය හැදෑරීම තදින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ගෞතම බුදු සසුනේ තෘතීය ශ්‍රාවක වූ, ශාසන භාරධාරී වූ, මහා ධුත ගුණ ඇති අපගේ මහා කස්සප මහරහතන් වහන්සේට දිනක් දකින්නට ලැබුණේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යනමක් හා ආනන්ද ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යනමක් දහම් දැනුම ඉස්මතු කරමින් එකිනෙකා පරයමින් වාද විවාද කරමින් සිටින බවයි. එහි දී මහත් සංවේගයට පත් මහා කස්සප මහරහතන් වහන්සේ මෙම වරද භාග්‍යවතුන් වහන්සේට සැල කර සිටියා. එහි දී භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂූන් වහන්සේ දෙනමට අවවාද කොට වදාළේ කිසිසේත් එසේ නොකරන ලෙසයි.

“හිස් මිනිසුනේ, මා විසින් මනා කොට දේශනා කරන ලද ධර්ම විනයක් තිබෙන සසුනක පැවිදි වෙලා කුමක් දැනගෙන ද, කුමක් දැකගෙන ද, ඔය විදිහට දහම් දැනුමෙන් එකිනෙකා ඉක්මවමින් වාද විවාද කරන්නේ?”

(ඕවාද සූත්‍රය – සං. නි. 2)

එමෙන් ම නාගසේන නම් වූ මහානුභාව සම්පන්න වූ රහතන් වහන්සේ සමඟ ශ්‍රද්ධාවන්ත වූ, එමෙන් ම ප්‍රඥාවන්ත වූ මිළිඳු නම් රජතුමා කළ දහම් සාකච්ඡාව වාද විවාදයක් ලෙසින් ඉස්මතු කිරීමට ද එම අධර්ම බලවේග උත්සාහ ගන්නා බව පෙනෙනවා. නමුත් ඒ දහම් කතාව කෙබඳු අයුරකින් සිදු වුණි ද යන්න පිළිබඳ ව එම උතුම් ග්‍රන්ථ රත්නයෙන් ම අපට පැහැදිලි කර ගත හැකියි.

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, මා සමඟ තවදුරටත් කතාවක් කරන්නහු ද?”

“ඉදින් මහරජාණෙනි, ඔබ නුවණින් යුක්ත වූ කෙනෙකු සේ මා සමඟ කතා කරන්නේ නම් මම ද කතා කරන්නෙමි. නමුත් මහරජාණෙනි, දේශපාලනඥයෙකු සේ මා සමඟ කතා කළහොත් මම කථා නොකරමි.”

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, නුවණැත්තෝ කෙසේ කතා කරන්නහු ද?”

“මහරජාණෙනි, නුවණැත්තෝ කතා බස් තුළින් කරුණු වෙලීමත් කරනු ලැබේ. වෙලුනු කරුණු ලිහා දැමීමත් කරනු ලැබේ. වරදට නිග්‍රහ කිරීමත් කරනු ලැබේ. නිසැක බවත් ඇතිකරනු ලැබේ. කරුණු සහිතව නිසැක බව ඇතිකරනු ලැබේ. ඒ හේතුවෙන් නුවණැත්තෝ කිසිසේත් කෝප නොවෙති. මහරජාණෙනි, ඔන්න ඔය අයුරිනුයි නුවණැත්තන් කතාකරන්නේ.”

“එසේ නම් ස්වාමීනී, දේශපාලනඥයෙක් කෙසේ කතා බස් කරන්න ද?”

“මහරජාණෙනි, දේශපාලනඥයෙක් කතා බස් කරද්දි එක කරුණක් ප්‍රතිඥා දෙති. යමෙක් ඒ කරුණට එරෙහි වූ දෙයක් කළහොත් ‘මේකාට දඬුවම් දෙමි’ කියා ඔහුට දඬුවම් පමුණුවති. මහරජාණෙනි, රජවරු කතාබස් කරන්නේ ඔය විදිහටයි.”

“ස්වාමීනී, මම නුවණැත්තන් විසින් කරනු ලබන කතා බහ කරමි. දේශපාලකයන් කතා බහ කරන අයුරින් කතා බස් නොකරමි.”

(මිළිඳු රාජ ප්‍රශ්නය – තුන්වන වීමංසන ප්‍රශ්නය)

මේ ආකාරයට මිළිඳු රාජ ප්‍රශ්නය තුළ සම්පූර්ණයෙන් ම දැක්වෙන්නේ ශ්‍රද්ධා සම්පන්න වූ ශාසනමාමක වූ දූරදර්ශී වූ මිළිඳු රජතුමා විසින් ඉස්මතු කළ දහම් ගැටලු සමූහයක්. ඒ වගේම තමන්ගේ රහත් භාවය කිසිසේත් ප්‍රකට නොකරමින් ධර්මය ම ඉස්මතු කරමින් ආශ්චර්වත් ප්‍රතිභානයකින් යුතු වූ පටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමකගේ සුන්දර දහම් විවරණයක්. එහිදී නාගසේන මහරහතන් වහන්සේ විසින් බුද්ධ වචනය ම පෙරටු කරගෙන ධර්මය ඉස්මතු කරන විට මිළිඳු රජතුමා සාදුනද පවත්වමින් බුද්ධ වචනය හිස නැමුවා මිස වාදයෙන් ජයගැනීමේ අපේක්ෂාවෙන් ධර්මය බැහැර කළේ නැහැ. නොසතුටට පත්වෙමින් අර්බුද උපදවමින් ප්‍රතිවාදී කෙනාගේ අඩුපාඩු දක්වමින් වාදයක් ගොඩනැගුවේත් නැහැ. එම නිසා ඒ උතුම් දහම් සංවාදය තුළින් සසුන රැකුණා මිස, සසුනට ආලෝකයක් සැපයූවා මිස ධර්ම විනයට හානියක් වූයේ නැහැ. එබැවින් මෙම උතුම් දහම් සංවාදය භාග්‍යවතුන් වහන්සේ බැහැර කොට වදාළ වාදයක් වන්නේ කෙසේද?

මේ සියලු කරුණු මධ්‍යස්ථ ව, නුවණින් යුතුව කල්පනා කර බැලීමේ දී බුදුරජාණන් වහන්සේ වාද විවාද පිණිස දහම් දෙසූ ශාස්තෘන් වහන්සේනමක් නොවන බව මනා ව පැහැදිලි යි. එමෙන් ම තථාගත ශ්‍රී සද්ධර්මය ද වාද විවාද, තර්ක විතර්ක කිරීමෙන් අවබෝධ කර ගත නො හැකි බව ද මනා ව පැහැදිලි යි. ‘ධර්මය තර්කය මත ද?’ යන පැනය ධර්මය තුළින් ම ඔබට විසඳාගැනීම පිණිස උපකාරක වන දහම් කාරණා කිහිපයකි මෙසේ ඉදිරිපත් වූයේ…

එනිසා තර්ක විතර්ක, වාද විවාද තුළින් ධර්මය විග්‍රහ කිරීමට යාමේ භයානක අනතුර තේරුම් ගනිත්වා…! ධර්මය කිසිසේත් තර්කයට ගෝචර නොවන බව තේරුම් ගනිත්වා…! තර්ක කරන්ට ගොසින් ධර්මයට අභූත චෝදනා ඔබගේ මුවින් නොපැවසෙත්වා…! තර්කය බැහැර කොට ශ්‍රද්ධාව ම පෙරට ගනිත්වා…! ධර්මාවබෝධය නමැති ඵලය උපදවා ගනු පිණිස, (සද්ධා බීජං) ශ්‍රද්ධාව නමැති බීජය ම සත්පුරුෂ බව නමැති සරු බිමේ රෝපණය කර ගනිත්වා…! ධර්මය අධර්මය තෝරාගැනීම පිණිස තථාගත බුද්ධ වචනය ම පෙරට ගනිත්වා…! තෙරුවන් සරණේ මනා ව පිහිටා ඉවසීමෙන් යුතුව මෙත් සිත, ඉන්ද්‍රිය දමනය, අත්හැරීම, ප්‍රඥාව ආදී උතුම් ගුණදහම්වල උපකාරයෙන් දහමේ සැබෑ ප්‍රයෝජන ලබත්වා…!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි