උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අපට සිහිපත් කරලන අතිශය වැදගත් වූ ශාසනික සිදුවීම නම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙව්නාව උයනේ රෝපණය වීම යි. දෙවන පෑතිස් රජු කල (ව්‍ය. ව. පූ. 250 – 210) ඒ රජුගේ ආරාධනාවෙන් ධර්මාශෝක අධිරාජයාගේ දියණිය වූ සංඝමිත්තා රහත් තෙරණිය මේ උතුම් උඳුවප් පොහෝ දිනයට සමගාමී ව ජය ශ්‍රී මහා බෝධි ශාඛාව හෙළදිවට වැඩම කරවා භික්ෂුණී සංඝයා ද බිහි කරලන ලදී.

අනුරාධපුර මහමෙව්නාව උයන මේ මහා භද්‍ර කල්පය තුළ ලොව පහළ වූ සිව්බුදුරජාණන් වහන්සේලා හට ම උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කරන ලද මොහොතේ සෙවණ සලසා ලූ උතුම් බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ ශාඛා වහන්සේලා හට වැඩ වෙසෙන්නට වෙන් කෙරුණු භූමි භාගය වූ බව මහාවංශයේ දැක්වේ.

මේ මහා භද්‍ර කල්පයේ පළමුවෙන් ලොව පහළ වී වදහළ කකුසඳ බුදුරජාණන් වහන්සේ එවක ‘ඕජදීප’ නම් වූ මෙබිමට වැඩම කොට උන්වහන්සේගේ බෝධි වෘක්ෂය බවට පත් වූ මහරි බෝධියේ දක්ෂිණ ශාඛාව රූපනන්දා නම් ඒ බුදු සසුනේ ඍද්ධිමත් තෙරණිවරුන් අතර අග්‍ර වූ තෙරණින් වහන්සේ ලවා මෙහි වැඩමවනු ලැබූ සේක.

කෝණාගමන බුදුරජාණන් වහන්සේ එවක ‘වරදීප’ නම් වූ මෙබිමට වැඩම කොට උන්වහන්සේගේ බෝධි වෘක්ෂය බවට පත් වූ උදුම්බර බෝධියේ දක්ෂිණ ශාඛාව කනකදත්තා නම් ඒ බුදු සසුනේ ඍද්ධිමත් තෙරණිවරුන් අතර අග්‍ර වූ තෙරණින් වහන්සේ ලවා මෙහි වැඩමවනු ලැබූ සේක.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ එවක ‘මණ්ඩදීප’ නම් වූ මෙබිමට වැඩම කොට උන්වහන්සේගේ බෝධි වෘක්ෂය බවට පත් වූ නිග්‍රෝධ බෝධියේ දක්ෂිණ ශාඛාව සුධර්මා නම් ඒ බුදු සසුනේ ඍද්ධිමත් තෙරණිවරුන් අතර අග්‍ර වූ තෙරණින් වහන්සේ ලවා මෙහි වැඩමවනු ලැබූ සේක.

ඒ සෑම අවස්ථාවක ද ලක්දිවවැසි රජවරුන් විසින් බෝධීන් වහන්සේ මහත් ආදර ගෞරව සහිත ව මේ බිමේ ම රෝපණය කළහ.

දඹදිව මෞර්ය පරපුරේ ධර්මාශෝක අධිරාජයාට සමකාලීන ව ලංකාවේ රජ කළේ මුටසීව රජු ය. ඔහුගේ ඇවෑමෙන් රජ පැමිණි දෙවනපෑතිස් රජු කල ලක්දිවට ශාස්තෘන් වහන්සේ බවට පත් වෙමින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම කළ සේක. උන්වහන්සේ ලාංකේය භික්ෂු සංඝයා බිහි කරලන්නට ද පෙරාතුව රජ මැදුරේ සිටි අනුලා බිසව ඇතුළු පන්සියයක් වූ කතුන් සුදුවත් හැඳ පැවිද්ද අපේක්ෂාවෙන් උපාසිකා විහාරය නම් විහාරයේ කල් ගෙවා ඇත.

අනුලා බිසවගේ ඉල්ලීම ඉටු කිරීමට සංඝමිත්තා රහත් උත්තමාව මෙහි වැඩම කරලනු පිණිස මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනාව පරිදි දෙවනපෑතිස් රජු අරිට්ඨ ඇමැතිවරයා දූතයකු ලෙස ධර්මාශෝක අධිරාජයා වෙත යැවී ය.

අශෝක රජුට දාව වේදිසාවේ දේවි බිසව ලද දියණිය සංඝමිත්තා ය. ඈ අග්ගිදත්ත කුමරු හා විවාහ වීමෙන් ලද පුතු පසු කල පැවිදි ව ලක්දිවට වැඩි සුමන රහත් සාමණේරයන් වහන්සේ යි.

මහාවංශයේ 18, 19 යන පරිච්ඡේද සංඝමිත්තා රහත් තෙරණියගේ ලංකාගමනය දැක්වීමට වෙන් කර ඇත. රීස් ඬේවිස්ගේ ‘බෞද්ධ ඉන්දියාව’ නම් ග්‍රන්ථයට අනුව සාංචි තොරණේ කැටයම් දෙකක ජය ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කළ අයුරු දක්වා ඇත. තාම්‍රලිප්ති තොටුපොළේ සිට ලක්දිව දඹකොළ පටුනට නැව යාත්‍රා කිරීමට දින හතක් ගත විය. ජය ශ්‍රී මහා බෝධියෙන් බුද්ධ අධිෂ්ඨාන බලයෙන් කැපී වෙන් වූ දක්ෂිණ ශාඛාව කටාරමක බහා මුහුදේ බෝධිය වැඩමවන විට සිදු වූ පෙළහර ‘සිංහල බෝධි වංශය’ විස්තර කරයි.

දඹකොළ පටුනට සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් වැඩම කරවූ බෝධි ශාඛාව දෙවනපෑතිස් රජු විසින් කරවටක් මුහුදට බැස මහත් ගෞරවයෙන් භාරගත්තේ ය. දඹකොළ පටුන පටන් අනුරාධපුරය දක්වා මාර්ගය අලංකාර ලෙස රාජ අණින් සරසා තිබුණි. බෝධි උපස්ථානය පිණිස ඒ සමඟ දහඅට කුලයක ශිල්පී ශ්‍රේණි ද පැමිණි බව මහාවංශය කියයි. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ සමඟ පරිවාර මෙහෙණිවරු දොළොස්නමක් ද පැමිණ ඇත.

අනුරාධපුරය මහමෙව්නාවට වැඩමවූ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව මහත් උත්සවශ්‍රීයෙන් මහමෙව්නාව උයනේ රෝපණය කළ අයුරු මහාවංශය හා බෝධිවංශය විස්තර කරයි. ජය ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාවේ නැගෙනහිර දිශාවේ ශාඛාවෙන් මුලින් ම අංකුර අටක් පැන නැගි අතර ඒවා අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේලා ලෙස පිදුම් කරමින් අට තැනෙක රෝපණය කරන ලදී. අනෙක් ශාඛා හතරෙන් අට බැගින් මතු වූ අංකුර තිස් දෙක දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේලා ලෙස පිදුම් කරමින් ලක්දිව පුරා විසිර යන සේ රෝපණය කරවා තිබේ.

දෙවනපෑතිස් රජු සංඝමිත්තා රහත් උත්තමාව ඇතුළු තෙරණින් වහන්සේලාට චුලංගනා, මහාංගනා, සිරිවඞ්ඪන ඇතුළු මෙහෙණි ආරාම 12ක් කරවා පිදුවේ ය. මේ මෙහෙණි ආරාම දොළහ ම අනුරාධපුර යුගය පුරා අභයගිරි ජේතවන යන මහායාන නිකායවලට නොබෙදී මහාවිහාරයේ පිරිසිදු ථේරවාදී භික්ෂුණී පරපුර ම දිගට ම පැවති බව මහාවංශය කියයි.

සංඝමිත්තා රහත් තෙරණිය වැඩම කරලූ නැවේ කුඹ ගස හා නැවේ යොත ඒ මෙහෙණි ආරාම අසලම කටු ගෙයක් කරවා ප්‍රදර්ශනයට තබා ඇත. මේ අනුව ලංකාවේ කටු ගෙයක් ගැන කියවෙන පළමු වංශකතා සටහන මෙයයි.

නගරයට කිට්ටුව පිහිටි වාසය මෙහෙණිවරු ප්‍රිය නොකළහ. භාවනාව සඳහා නිස්කලංක පරිසරයක් ම උන්වහන්සේලා අගය කළහ. මේ නිසා දෙවනපෑතිස් රජු තමාගේ මඟුල් ඇතා ගැවසුනු බිමේ ‘හත්ථාළ්හක’ නමින් අලුත් මෙහෙණි අසපුවක් මේ භික්ෂුණීන් වහන්සේලා සඳහා කරවා පිදුවේ ය.

රාජ කුමාරිකාවන්, බිසෝවරුන්, ධනවත් වෙළෙඳ දියණියන් ආදී බොහෝ කුල කතුන් දෙවනපෑතිස් රජු කල ම සසුනේ පැවිදිව රහත් බව ලැබූහ. බී. සී. ලෝ මහතාට අනුව දීපවංශය යනු මෙහෙණින් වහන්සේලා ලියූ පාලි වංශ කතාවකි. දෙවනපෑතිස් රජු භික්ෂූන් හා භික්ෂුණීන්ගේ දානය උදෙසා මහාපාලි දාන ශාලාව කරවා ඇත. දෙපිරිසට ම ඉන් දානය සැපයුනේ ය.

ලක්දිවට වැඩි සංඝමිත්තා රහත් තෙරණිය ආදී පිරිස ආපසු දඹදිව කවර කලෙකවත් වැඩියේ නැත. දෙවන පෑතිස් රජුගේ ඇවෑමෙන් උත්තිය රජු ලක්දිව රජ පැමිණි අතර උත්තිය රජුගේ රාජ්‍ය කාලය තුළ මුලින් ම මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. රජු මහත් රාජශ්‍රීයෙන් ගරු බුහුමන් දක්වා උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරවා ඇත.

උත්තිය රජුගේ නවවැනි රාජ්‍ය වර්ෂයේ දී උපසම්පදාවෙන් පනස් නව වසරක වස් ඇති සංඝමිත්තා රහත් තෙරණිය පිරිනිවන් වැඩියා ය. රජු මහත් ගෞරවයෙන්, රාජශ්‍රීයෙන් සංඝමිත්තා රහත් තෙරණියගේ ශ්‍රී දේහය ආදාහනය කරවා ධාතූන් වහන්සේලා නිදන් කොට දාගැබක් කරවා ඇත. දැනුදු ඒ සෑයේ සංරක්ෂිත නටබුන් ථූපාරාම සෑයට නුදුරේ දැකගත හැකි ය.

ලක්වැසි කතුනට අරහත් ධජය දරා ගැනීමේ වාසනාව උරුම කරලමින් ද දෙව් මිනිස් ලෝකයාට බොහෝ කාලයක් වැඳ පුදා ගනිමින් පින් රැස් කර ගන්නට විජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ බෝධි ශාඛා වහන්සේ හෙළබිමට උරුම කරලමින් ද උඳුවප් මාසයේ ලක්දිව වැඩි සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා!!!

එස්. කේ. ජයවර්ධන