දුරුතු පුන් පොහෝ දවසකයි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහසින් ලක්දිව පළමුවරට පාරිශුද්ධත්වයට පත් වූයේ. එකල ලක්දිව විසූ යක්ෂ පිරිස දමනය කරවා ගිරි දිවයිනට පමුණුවාලූ අපගේ ශාස්තෘන් වහන්සේ ලක්දිව මනුෂ්‍ය වාසයට සුදුසු භූමියක් බවට ද පත්කොට වදාළා.

අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකට පමණක් ම සමාන වන – අන් කිසිවෙකුට සමාන නොවන ගුණානුභාවයන්ගෙන් යුතුව වැඩ වෙසෙමින් දමනය වීමෙහිලා පින් ඇතියවුන් දමනය කිරීමෙහිලා අනුත්තර බවින් යුතුවයි වැඩ සිටියේ. උන්වහන්සේ මේ දෙව්මිනිස් ලෝකයා දමනය කළ ආකාරය අතිශයින් පුදුම සහගතයි; බොහෝසෙයින් අසිරිමත්. එක් එක් පුද්ගලයා දමනය වන ආකාරය දැකගෙන, දැනගෙන ඒ අනුවයි උන්වහන්සේ ඒ පිරිස දමනය කරවා දහම තුළට පමුණුවාලූයේ…

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයේ වැඩ සිටියා. එහි විසූ භාරද්වාජ වංශයේ උපන් එක්තරා බමුණෙකුගේ ධනඤ්ජානි කියන බැමිණිය තෙරුවන ගැන අතිශයින්ම පැහැදිලයි හිටියේ. දවසක් ධනඤ්ජානි බැමිණිය ඒ භාරද්වාජ බමුණාට බත් ගෙනයමින් සිටිද්දී පය පැටලිලා වැටෙන්න ගියා. ඒ වෙලාවෙ ඇය තුන්වතාවක් මේ විදිහේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා.

“ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!”

මේක ඇහුණ බ්‍රාහ්මණයා ධනඤ්ජානි බැමිණියට මෙහෙම කිව්වා.

“ඒයි වසලි! උඹ මෙතන ඉඳගෙන, ඒ මුඩු ශ්‍රමණයාගේ ගුණ වර්ණනා කරනවානේ. ඒයි වසලි, දැන් බලාගනින්, මං ගිහිල්ලා, නුඹේ ඒ ශාස්තෘන් වහන්සේත් එක්ක වාද කරන හැටි.”

“බමුණ, මම නම් දකින්නෙ නෑ මේ සත්ව ප්‍රජාව තුළ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වාද ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක් නම් ඉන්නවා කියල. ඒ වුණාට කමක් නෑ බමුණ, ඔබම යන්න. ගිහිල්ලා ඔබම දැනගෙන එන්නකො.” කියලා බැමිණිය උත්තර දුන්නා. මේක අහපු බමුණාට තවත් කේන්ති ගියා.

පසුව ඔහු භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳර කතාබස් කරලා පැත්තකින් වාඩිවුණ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය විමසුවා.

“කුමක් නැති කළාමද සනීපෙට නින්ද යන්නෙ? කුමක් නැති කළාමද ශෝක නොකරන්නෙ? පින්වත් ගෞතමයන් වහන්ස, කවර නම් එකම එක දෙයක් නැසීම ගැනද සතුටු වන්නෙ?”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“ක්‍රෝධය නැති කළාම තමයි සනීපෙට නින්ද යන්නෙ. ක්‍රෝධය නැති කළාම තමයි ශෝකය නැතිවෙලා යන්නෙ. බමුණ, විෂ මුල් තියෙන (පළිගැනීම නම් වූ මිහිරි අග ඇති) ක්‍රෝධය නැසීම ගැනයි ආර්යන් වහන්සේලා ප්‍රශංසා කරන්නෙ.”

තම සිතෙහි උපන් ක්‍රෝධය නිසාවෙන් නැසුණු නින්ද ඇතිව හුන් භාරද්වාජ වංශික බ්‍රාහ්මණයාට මේ කරුණ සැණින් වැටහුනා. ඔහු බලවත් චිත්ත ප්‍රසාදයෙන් යුතුව තෙරුවන් සරණ ගියා. භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිදි උපසම්පදාව ඉල්ලා සිටියා.

ඒ භාරද්වාජ වංශික බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුණා. උපසම්පදාවත් ලැබුවා. උන්වහන්සේ උපසම්පදාවෙන් ටික කලකට පස්සෙ හුදෙකලා ව, අප්‍රමාදී ව කෙලෙස් තවන වීරිය ඇතිකර ගත්තා. දහමට දිවි පුදා වාසය කළා. උතුම් අරහත්වයට පත් වුණා.

භාරද්වාජ වංශික බ්‍රාහ්මණයෙක් ගිහි ගෙයින් නික්මිලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ පැවිදි වුණා කියන මේ පුවත අක්කෝසක භාරද්වාජ බ්‍රාහ්මණයාට අහන්න ලැබුණා. ඔහුත් ඒ ගැන කිපුනා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය වචනවලින්, පරුෂ වචනවලින් ආක්‍රෝශ පරිභව කරන්න පටන් ගත්තා.

එහෙම බණිනකොට අක්කෝසක භාරද්වාජ බමුණාට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම කිව්වා.

“පින්වත් බ්‍රාහ්මණය, ඔබේ නිවසට යාළු මිත්‍රයන්, ලේ ඥාතීන්, ආගන්තුකයො එනවාද?”

“භවත් ගෞතමයෙනි, ඔව්. මාගේ නිවසට සමහර දවස්වලට යාළු මිත්‍රයො, ලේ ඥාතීන්, ආගන්තුකයො එනවා.”

“පින්වත් බ්‍රාහ්මණය, ඉතින්, ඔවුන්ට කන දේවල්වලින් හරි, අනුභව කරන දේවල්වලින් හරි, රස විඳින දේවල්වලින් හරි සංග්‍රහ කරනවාද?”

“භවත් ගෞතමයෙනි, ඔව්. මං ඔවුන්ට ඇතැම් දවස්වල කන දේවල්වලින් හරි, අනුභව කරන දේවල්වලින් හරි, රස විඳින දේවල්වලින් හරි සංග්‍රහ කරනවා තමයි.”

“එහෙම නම් පින්වත් බ්‍රාහ්මණය, ඔවුන් ඔබේ සංග්‍රහය නොපිළිගත්තොත්, ඒවා අයිති වෙන්නෙ කාටද?”

“භවත් ගෞතමයෙනි, ඉතින් ඔවුන් ඒවා පිළිගන්නෙ නැත්නම්, ඒවා ඉතින් අපට නෙව.”

“පින්වත් බ්‍රාහ්මණය, අන්න ඒ වගේ තමයි, ඔබ කාටවත් ආක්‍රෝශ නොකරන අපට ආක්‍රෝශ කරනවා. කා සමඟවත් නොකිපෙන අප සමඟ කිපෙනවා. කා සමඟවත් රණ්ඩුවට නොයන අප සමඟ රණ්ඩුවට එනවා. නමුත් ඒවා අපි පිළිගන්නෙ නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඒවා අයිති වෙන්නෙ ඔබටමයි.

පින්වත් බ්‍රාහ්මණය, යම් කෙනෙක් ආක්‍රෝශ කරන කෙනෙකුට පෙරලා ආක්‍රෝශ කරනවා නම්, කිපෙන කෙනෙකුට පෙරලා කිපෙනවා නම්, රණ්ඩුවට එන කෙනෙක් එක්ක පෙරලා රණ්ඩු කරනවා නම්, පින්වත් බ්‍රාහ්මණ, ඔන්න ඕකටයි කියන්නෙ එකතු වෙලා අනුභව කරනවා කියලා. බෙදාගෙන කනවා කියලා. නමුත් ඒ අපි ඔබ සමඟ එකතු වෙලා අනුභව කරන්නෙ නෑ. බෙදාහදාගෙන කෑමක් නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඔබටමයි ඒවා අයිති වෙන්නෙ. පින්වත් බ්‍රාහ්මණය, ඔබට විතරමයි ඒවා අයිති වෙන්නෙ.”

දිගින් දිගට මේ කරුණු කියන්නේ උන්වහන්සේට කේන්ති ගිය නිසා කියලයි බමුණාට හිතුණෙ. ඉතින් බමුණා ඇනුම්පදයක් කිව්වා.

“භවත් ගෞතමයන් වහන්සේ ගැන රජ්ජුරුවන් ඇතුළු ජනතාව මේ විදිහටයි දන්නෙ. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රහතන් වහන්සේනමක්’ කියලා. ඒ වුණාට භවත් ගෞතමයන්ට කේන්ති යනවා නෙව.”

ද්වේෂය මුලිනුපුටා අකම්පිතව වැඩ වෙසෙනා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“දමනය වුණ කෙනෙකුට, යහපත් ජීවිතයක් ඇති කෙනෙකුට, අවබෝධයෙන් යුක්තව දුකින් නිදහස් වුණ කෙනෙකුට, උපශාන්ත කෙනෙකුට, අකම්පිත සිත් ඇති කෙනෙකුට, ක්‍රෝධයක් කොයින්ද?

යම් කෙනෙක් තමන් ගැන කිපුන කෙනාට, පෙරළා කිපුනොත්, ඒකෙන් හානි සිද්ධ වෙන්නෙ තමන්ටමයි. නමුත්, තමන් ගැන කිපෙන කෙනාට, පෙරළා කිපෙන්නෙ නැත්නම්, ඔහු තමයි ජයගන්න දුෂ්කර වූ යුද්ධය දිනන්නෙ.

අනිත් කෙනාට කේන්ති ගිය බව දැනගත් කෙනා සිහියෙන් යුක්තව ඉවසුවොත්, ඔහු තමයි තමාටත්, අනුන්ටත් යන දෙපැත්තටම යහපත හදන්නෙ.

තමන්ටත්, අනුන්ටත් දෙපැත්තටම යහපත සිදුකරන කෙනාව දැකලා, ධර්මයට අදක්ෂ අඥාන උදවිය හිතන්නෙ ඔහු මෝඩයි කියලා.”

අක්කෝසක භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ කරුණ තේරුනා. ඔහුත් ඒ ක්ෂණයෙහි සම්බුදුරජාණන් වහන්සේ හමුවේ තිසරණයේ පිහිටියා. පැවිදි උපසම්පදාව ලැබුවා. හුදෙකලා ව, අප්‍රමාදී ව, කෙලෙස් තවන වීරිය ඇති කරගෙන දහමට දිවි පුදා වාසය කළා. සුළු කලක දී ම උතුම් අරහත්වයට පැමිණුනා.

ඔන්න දැන් මේ විදිහට භාරද්වාජ වංශික බමුණො ගිහි ජීවිතේ අත්හැරලා, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමීපයේ පැවිදි වුණා කියලා ආරංචිය පැතිරුණා. අසුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාත් මේ ගැන කිපුනා. තරහ සිතින් ම භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් අසභ්‍ය වූ පරුෂ වචනයෙන් බණින්න පටන් ගත්තා. අක්කෝසක භාරද්වාජ බමුණා බැණ වදිද්දී පිළිතුරු දුන් භාග්‍යවතුන් වහන්සේ මෙතැන දී නිශ්ශබ්දව වැඩසිටියා. එතකොට අසුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාට තවත් තරහ ගියා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ඒයි ශ්‍රමණය, දිනුවා කියල හිතුවාද? ඒයි ශ්‍රමණය දිනුවා කියලා හිතුවාද?”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“ඇත්තෙන්ම අනුන්ට බණින මෝඩ කෙනා තමන් ජයගත්තා කියලයි හිතන්නෙ. නමුත් ඉවසීමේ ගුණ දන්න කෙනාගේ යම් ඉවසීමක් තියෙනවා නම්, එයාට තමයි ජය ලැබෙන්නෙ.

යම් කෙනෙක් තමන් ගැන කිපුන කෙනාට පෙරළා කිපුනොත් ඒකෙන් හානි සිද්ධ වෙන්නෙ තමන්ටමයි. නමුත් තමන් ගැන කිපෙන කෙනෙකුට පෙරළා කිපෙන්නෙ නැත්නම්, ඔහු තමයි ජයගන්න අමාරු යුද්ධය දිනන්නෙ.

අනිත් කෙනාට කේන්ති ගිය බව දැනගත් කෙනා, සිහියෙන් යුතුව ඉවසුවොත්, ඔහු තමයි තමාටත්, අනුන්ටත් යන දෙපැත්තටම යහපත හදන්නෙ.

තමන්ටත් අනුන්ටත්, දෙපැත්තටම යහපත සිදුකරන කෙනාව දැකලා, ධර්මයට අදක්ෂ අඥාන උදවිය හිතන්නෙ ඔහු මෝඩයි කියලා.”

පින කියන්නේ පුදුමාකාර දෙයක්. භාග්‍යවතුන් වහන්සේට බැණ වදිමින් පැමිණියා වුණත් ධර්මාවබෝධය කරන පින මේ අසුන්දරික භාරද්වාජ බමුණා තුළත් තිබුණා. ඔහු ඒ සැණින් සරණයේ පිහිටියා. පැවිදි උපසම්පදාව ලැබූ ඒ ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා.

ඔන්න දැන් කථාව ජනපදය පුරා ම පැතිරිලා. මේක ආරංචි වුණ බිලංගික භාරද්වාජ බ්‍රාහ්මණයාත් කිපුනා. අන්තිමේ දී භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් බලවත් කෝපයකින් යුතුව නිශ්ශබ්දව පැත්තකින් වාඩිවෙලා හිටියා. මොකද ආරංචිය යන්නේ කථා කරන්න ගිහින් පැවිදි වුණා කියලනේ…

එතකොට භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ සිතින් බිලංගික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ සිතුවිලි හඳුනාගත්තා. ගාථාවකින් මෙසේ වදාළා.

“කවුරු හරි කෙනෙක් පිරිසිදු සිත් ඇති නිකෙලෙස් නොකිපෙන සිත් ඇති කෙනෙකුට කිපුනොත්, ඒක උඩු සුළඟට දැමූ සියුම් දූවිල්ලක් වගේ, ඒ පව ඒ අඥාන පුද්ගලයා කරාම එනවා.”

නිහඬ ව පළ කරමින් හුන් බලවත් කෝපය මැඩගෙන සසරේ පින ඉස්මතු වුණා. ඒ බිලංගික භාරද්වාජ බ්‍රාහ්මණයා තෙරුවන් සරණ ගියා. පැවිදි උපසම්පදාව ලැබුවා. රහතන් වහන්සේලා අතර කෙනෙක් වුණා…

බලන්න, අපගේ මුනිරජාණන් වහන්සේගේ අනුත්තරෝ පුරිසදම්ම සාරථී සම්බුදු ගුණය කොතරම් නම් අසිරිමත් ද…! ඒ අසිරිමත් ශාස්තෘත්වය හමුවේ දමනය වීමට පින් තිබුණවුන් දමනය වී සසර දුකින් මිදුනා. ඒ අසිරිමත් සම්බුදු ගුණයට නමස්කාර වේවා!

අපටත් මේ උතුම් සිරි සදහම් තුළ දමනය වන්නට වාසනාව ලැබේවා!

ඇසුර – බ්‍රාහ්මණ සංයුත්තය, සං. නි. 1

සටහන – උදුලා පද්මාවතී