ලෝකය, වාදවිවාදවලින් හිස් නොවූවක්. ඒ නිසා ම, ලෝකය බොහෝ විට නොසන්සුන් සහ චිත්ත පීඩා බහුල තැනක් බවට නිතැතින් ම පත් වෙනවා. පවුලක වුණත්, වැඩබිමක වුණත්, මඟතොටේ වුණත් එකිනෙකා අතර මොනතරම් නම් වාදවිවාද හට ගන්නවා ද? ඒ ඔස්සේ දූෂිත වුණු චිත්ත ආවේගයන් අප කා තුළත් දුර්වර්ණ පැල්ලම් ඇති කරලනවා…

ඔය විදිහේ වාදවිවාදවලින් නිදහස් ව ජීවත් වෙනවා කියන්නේ සැබෑම පහසුවක්. විශේෂයෙන් ම, පිරිසක් එක්ව වාසය කරද්දී ඔවුන් අතර වාදවිවාද හට නොගන්නවා කියන්නේ සාමාන්‍ය ලෝක ස්වභාවයන් ඉක්මවාලන අසිරිමත් කරුණක්. එසේ, පිරිසක් ලෙසින් වාසය කරද්දී පවා වාදවිවාදවලින් තොර වී සැපයට පත් වූ සොඳුරු ජීවිත ලෝකයේ තිබුණා. ඒ ජීවිත සුන්දරත්වය බිහි වූ දවස තමයි ඇසළ පුන් පොහොය දවස. ඒ සොඳුරු ජීවිත සහිත වූ පිරිස තමයි සම්බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවක පිරිස. දස දහසක් සක්වාතල ප්‍රකම්පනය කරලමින් සෑසි මුනි සිහනද නැගුණු උතුම් ඇසළ පුන් පොහෝ දිනයක ලොව පහළ වී වදහළ ඒ ශ්‍රාවක සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා!

රජුන් දණ නැමූ පින්තොටක්…!

අසූ වැනි වයසෙහි හුන් පසේනදී කොසොල් රජතුමා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමීපයේ ඒ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ ශෝභාවන් තම සිතැඟි පරිදි පසසමින් මෙසේ පැවසුවා.

“ස්වාමීනී, නැවත අනෙකක් පවසමි.

රජවරු වනාහී රජවරු සමඟ විවාද කරත් ම ය. ක්ෂත්‍රීයවරු ද ක්ෂත්‍රීයවරුන් සමඟ විවාද කරත් ම ය. බ්‍රාහ්මණවරු ද බ්‍රාහ්මණවරුන් සමඟ විවාද කරත් ම ය. ගෘහපතිවරු ද ගෘහපතිවරුන් සමඟ විවාද කරත් ම ය. මෑණියෝ ද දරුවා සමඟ විවාද කරත් ම ය. දරුවා ද මෑණියන් සමඟ විවාද කරන්නේ ම ය. පියාණෝ ද දරුවා සමඟ විවාද කරත් ම ය. දරුවා ද පියාණන් සමඟ විවාද කරන්නේ ම ය. සහෝදරයා ද සහෝදරයා සමඟ විවාද කරන්නේ ම ය. සහෝදරයා ද සහෝදරිය සමඟ විවාද කරන්නේමය. සහෝදරිය ද සහෝදරයා සමඟ විවාද කරන්නේ ම ය. යහළුවා ද යහළුවා සමඟ විවාද කරන්නේ ම ය.

එහෙත් ස්වාමීනී, සමඟි ව වැඩවසන්නා වූ ද සමඟි ව සතුටු වන්නා වූ ද වාදවිවාද නොකරන්නා වූ ද කිරි හා දිය එක් වූ කලක් පරිද්දෙන් ඔවුනොවුන් කෙරෙහි ප්‍රිය ඇසින් දකිමින් වාසය කරන්නා වූ ද භික්ෂූන් වහන්සේලා මම දකින්නෙමි. එනමුදු ස්වාමීනී, මේ තරම් සමඟි සම්පන්න වූ ශ්‍රාවක පිරිසක් බුදු සසුනෙන් බැහැර වූ වෙන කිසිදු ආගමක මම නොදකින්නෙමි. ස්වාමීනී, මේ වනාහී භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ වූ මාගේ ධර්මානුකූල වැටහීම ය. එනම් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රී සද්ධර්මයද මැනැවින් වදාරණ ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ද සුපටිපන්න වන සේක වශයෙනි.”

(ධම්මචේතිය සූත්‍රය)

විමනින් දෙවිවරුන් බැස්සවූ තේජසක්…!

සම්බුදුරජාණන් වහන්සේගෙන් අනුශාසනා ලබපු භික්ෂූන් වහන්සේලා සමූහයක් වස් කාලය ගත කරන්න හිමාලය දෙසට වැඩම කළා. ගමට බොහෝ දුර ද නො වූ ළඟ ද නොවූ රමණීය වනාන්තරයක උන්වහන්සේලා නතර වුණා. බණ භාවනා පුරුදු පුහුණු කරන්න පටන් ගත්තා. මේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සීල තේජස නිසා උන්වහන්සේලා ගස් යට බණභාවනා කරද්දී ඒ ගස්වල විමාන පිහිටා තිබුණු දෙව් පිරිසට විමන්වල රැඳෙන්නට නොහැකි වුණා.

දෙවිවරු හිතුවා උන්වහන්සේලා පසුවදා ම වඩීවි කියලා. ඒ නිසා ඒ දවස විමන්වලින් පහළට බැහැලා ගත කළා. හැබැයි පසුවදාත් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතය කරගෙන ඒ ගස් යටට ම වැඩම කළා. දෙවිවරු දැනගත්තා වස් තුන්මාසය ම උන්වහන්සේලා එහි ම වැඩවෙසෙන්නට සූදානම් වන බව. ඒ දෙවිවරු කල්පනා කළා, ‘හරි වැඩක් නෙව වෙන්න යන්නේ. මාස තුනක් අපට ඉඳුම්හිටුම් නැති වෙනවා. ඊටපස්සෙත් දිගට ම අල්ලලා ගියොත් මෙහෙම ඉඳීවි. අපට යනඑන මං නැති වේවි.’ කියලා. මෙහෙම හිතපු දෙවිවරු නොයෙක් බියකරු වූ රූප මවමින්, ශබ්ද නගමින්, දුර්ගන්ධයන් පතුරුවා හරිමින් ඒ ස්වාමීන් වහන්සේලා ව බියට පත් කළා. මේ කරදර හිරිහැර මැද්දේ ඒ ස්වාමීන් වහන්සේලා දුකසේ වස් කාලය ගත කළා.

වස් පවාරණය කරලා ආපසු වඩින ඒ ස්වාමීන් වහන්සේලාගේ මුහුණුවල ප්‍රියමනාප බවක් තිබුණේ නෑ. උන්වහන්සේලා බොහොම වෙහෙසට පත් වෙලා. මේ සිදුවීම අහපු සම්බුදුරජාණන් වහන්සේ ඒ සඟ පිරිසේ ජය භූමිය ඒ රමණීය වන සෙනසුන ම බව දැකලා, උන්වහන්සේලාට එහි ම වඩින්නට කියා අවවාද කළා. එහි වසද්දී මෙත් සිත අරමුණු කොටගෙන වැඩිය යුතු ගුණදහම් ගැන වදාරමින් කරණීයමෙත්ත සූත්‍රයත් දේශනා කළා.

ශාස්තෘ අවවාදය හිස්මුදුනින් පිළිගත්ත ඒ ස්වාමීන් වහන්සේලා තමන්ට බිය ම ඉපැදවූ තැනට යළිත් නොපැකිළ ව වැඩම කළා. මෙත් සිතින් යුතුව ගුණදහම් වඩන උන්වහන්සේලා ගැන අර දෙවිවරුනගේ සිත් තුළ මහා ප්‍රසාදයක් ඇති වුණා. ස්වාමීන් වහන්සේලාගේ මෙත් සිතේ ආනුභාවයෙන් දෙවිවරුන්ගේ අමනාපකම් දුරු වුණා. ඒ දෙවිවරු මේ ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන්නත් පටන් ගත්තා. සීල තේජසින් දෙවිවරුන් විමන්වලින් බැස්සවූ ඒ ස්වාමීන් වහන්සේලා මෛත්‍රී චිත්ත සමාධිය ම දියුණු කරලා, එය ම විදර්ශනාවට හරවලා උතුම් අරහත්වය සාක්ෂාත් කළා…!

බ්‍රහ්මයන් හිස නැමූ පින්කෙතක්…!

මහා බ්‍රහ්මයාගේ යටිපතුලෙන් උපන්නේ යැයි වසලවාදයෙන් ගැරහුම් ලද නීච කුලයේ උපන් සත් හැවිරිදි සුනීත කුලීනයන්ගේ අසූචි කද කර තබාගෙන පාරේ ගමන් කරමින් සිටියා. මහා පුරිස් ලකුණින් හෙබි අසහාය රූපකායකින් යුතු වූ සම්බුදුරජාණන් වහන්සේ ඔහු ඉදිරියට වැඩම කරමින් සිටියා. ‘මේ නම් ඒකාන්තයෙන් ම මහාසාර කුලයක උපන්නෙක්. අසූචි කද සමඟ සම්මුඛ වන්නට ඉඩ තැබීම දඬුවම් ලබන්නට හේතු වේවි.’ කියා සිතූ සුනීත මහමඟින් බැහැර ව ගුලි ගැසුණා. එදා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා නේත්‍ර යුග්මයේ පහස ලබා, සම්බුදු පිහිට ලැබූ සුනීත ඒහිභික්ඛූ පැවිද්දෙන් ගෞතම සම්බුදු සසුනේ අරහත් ධජය දරා ගත්තා. ඒ සුනීතයන් වහන්සේ නිවන අරමුණු කොටගෙන බණභාවනා කරද්දී නොබෝ කලකින් ම සව් කෙලෙසුන් නසා උතුම් අරහත්වය සාක්ෂාත් කොට වදාළා.

පසුදා උදෑසන හිරු නැග එද්දී ඒ උත්තම සුනීත මහරහතන් වහන්සේ වැඩ සිටි කුටිය හාත්පස ඒකාලෝක කරමින් එහි එළඹි මහ බඹුත්, දෙව් පිරිස සමඟ සපැමිණි සක් දෙව්රජුත් ඒ පුරුෂෝත්තමයන් වහන්සේගේ ගුණ පසසමින් වන්දනා කළා.

සඟ රුවනට වඩා උතුම් පිරිස් මට නැතේ…!

විසාරද ගුණ මුහුදාණන් වහන්සේගේ සසුනේ පැවිදි බව ලබා සසුන් බඹසර සුරකිමින් නිවන් මඟ වැඩූ ඒ උත්තම ශ්‍රාවක සඟරුවන තමයි ලෝකයේ සියලු පිරිස් අතර අග්‍ර වන්නේ. ඒ සඟරුවන ආදරයෙන් සරණ යන, ඒ සඟ පිරිසට ගරුසත්කාර දක්වන පිරිස මෙලොවත් – පරලොවත් සැපයට පත් වෙනවා ම යි…!

කිසිවෙකුට ආපසු හැරවිය නොහැකි වූ – ලොව කිසිවකට සම නොවූ ඒ දහම් සක කරකැවී ගිය, දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා මහත් වූ ආලෝකයක් දසදහසක් ලෝ ධාතූන්හි විහිද පැතිර ගිය ඇසළ සඳ පහන යට ලොව පහළ වී වදහළ, සිරිමත් බඹ සිරසෙහි වුව පාපිසිනා තේජානුභාවයෙන් අගපත් වෙමින් ලෝකයෙන් නිදහස් වී අම නිවන් වැඩි ඒ සාරිපුත්ත, මහා මොග්ගල්ලාන ආදී වූ නිකෙලෙස් මහරහත් මුනිවරුන් මුදුන් කොට පැමිණ අද දක්වා ම ලොව වැඩ වෙසෙන ඒ සිල්වත් වූ, ගුණවත් වූ, ලොවට දම්රස දන් දෙන්නා වූ උත්තම ශ්‍රාවක සඟරුවනට අපගේ නමස්කාරය වේවා!

ලොව වැඩ වෙසෙන ඒ සුපින්වත් ශ්‍රාවක සඟරුවන ආයුෂයෙන් වැඩෙත්වා! වර්ණයෙන් වැඩෙත්වා! සැපයෙන් වැඩෙත්වා! බලයෙන් වැඩෙත්වා! ලද සැපතින් නොපිරිහෙත්වා! සියලු සැපතින් වැඩෙත්වා! අප දිවි තිබෙන තුරු ම ඒ කලණමිතුරු සඟරුවන දහම් ආලෝකයෙන් අප දිවි ආලෝකවත් කරමින් අප සිරස මත වැඩ හිඳීවා!

සටහන – උදුලා පද්මාවතී