ලොව අන් කිසිවකට නොදෙවෙනි ශක්තිමත් ම බුද්ධි අංශ සේවාව ලෙස ප්‍රචලිත, ඊශ්‍රායල් මොසාර්ඩ් රහස් ඔත්තු සේවාවේ ද ඊශ්‍රායලයට අතිශයින් හිතවත් ව ලෝක දේශපාලනයේ බලකණුවක් නියෝජනය කරන ඇමෙරිකානු සී. අයි. ඒ. රහස් ඔත්තු සේවාවේ ද ඇස් වසා පලස්තීන හමාස් සටන්කාමීන් විසින් ඔක්තෝබර් 07 දින සිදු කළ පහර දීමෙන් නිරායුධ ඊශ්‍රායල වැසියන් සිය ගණනක් ජීවිතක්ෂයට පත් විය. එම දරුණු ප්‍රහාරය, මෙකී රහස් ඔත්තු සේවාවන්ගේ ශක්තිමත් භාවය අභියෝගයට ලක් කරන්නක් වූ අතර පැය කිහිපයක් ඇතුළත ඇරඹුනු ප්‍රතිප්‍රහාරයේ බලගතුකමින් වුව ද තම අභිමානයට ඇති වූ කැළැල මකාගන්නට ඔවුනට හැකි වූයේ නැත.

ඊශ්‍රායලයට එල්ල කෙරෙන මිසයිල ප්‍රහාර ගුවනේ දී ම විනාශ කළ හැකි අති දියුණු මිසයිල නාශක පද්ධතියකින් යුතු වූයේ වුව ද මෙම ගැටුම ආරම්භයේ දී ම විනාඩි විස්සක කාලයක් ඇතුළත පලස්තීනයෙන් එල්ල වූ පන්දහසකට අධික රොකට් ප්‍රහාර සහමුලින් ම නිෂ්ක්‍රිය කරලන්නට ඒ ආරක්ෂණ පද්ධතිය සමත් නොවීය. ප්‍රහාරය අනපේක්ෂිත වූවා පමණක් නොව දරුණු ද විය. විනෝදකාමී සංගීත සන්දර්ශනයකට සහභාගී වෙමින් සිටි තරුණ පිරිසක් අතරට ගුවනින් කඩා වැදුණු සටන්කාමීහු තුන්සියයකට ආසන්න තරුණ පිරිසක් ඝාතනය කළහ. අවසානයේ ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ප්‍රමුඛ බටහිර කඳවුර සහ රුසියාව, චීනය ප්‍රමුඛ පෙරදිග කඳවුර අතර බලය උරගා බැලීමේ තිරය පිටුපස අභ්‍යාසයක් බවට සිදුවීම
පරිවර්තනය විය.

මානව ඉතිහාසයේ ඛේදනීය පුවතක් බවට නිසැකව ම පත් වන මෙම සමස්ත සිද්ධි දාමය කෙසේ නිමාවට පත් වේදැයි අපි නොදන්නෙමු. අප මේ සටහන තබන විටත් ඊශ්‍රායලය පාර්ශවයෙන් එල්ල වන අති ප්‍රබල ප්‍රහාර හමුවේ හමාස් සටන්කාමීහු සිවිල් ජනයා පළිහක් ලෙස තබා ගනිමින් පසුබසිමින් සිටිති. බොහෝ ජීවිත ද දේපළ ද නසාලීමකින් තොරව මෙහි අවසානයක් දැකීමේ වුවමනාවක් දෙපාර්ශවයේ ම දක්නට ලැබෙන්නේ ද නැත. වෛරයෙන් වෛරය ම නසන්නට පසුබට නොවනා සමාජයකින් මෙයට වඩා වෙනස් ප්‍රතිචාරයන් ද අපේක්ෂා කළ නොහැකි ය.

කලින් කලට තැනින් තැන ඉස්මතු වන යුදකාමීත්වයන් නිසා විපතට පත් වන්නා වූ මිනිසුන් සංඛ්‍යාත්මක ව සුළුපටු නොවේ. ජීවිතයේ අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස දිවෙන ගමන මොහොතකට අමතක කොට, මරණය පෙනි පෙනී තමන්ගේත්, ආදරණීයයන්ගේත් ජීවිත රැක ගැනීම පිණිස කළ හැකි සියලු දේ කරමින් දිවාරැය පීඩා විඳින්නට සිදු වද්දී ඔවුන්ට කවර නම් සතුටක් ද? කවර නම් සැනසීමක් ද?

ඊශ්‍රායල සිදුවීමේ දී සතුට, විනෝදය සොයා සංගීත සැණකෙළියකට එක්ව හුන් තරුණ තරුණියෝ සියගණනක් ඒ ඒ තැන ම වෙඩි තබා ඝාතනය කෙරුණේ සොයා ගිය ආස්වාදනීය අත්දැකීම මරණයේ දොරටුව කරලමිනි. ප්‍රහාර – ප්‍රතිප්‍රහාර සියල්ලගෙන් ම තොටිලිවල හුන් දරුවන්ගේ පටන් ජරපත් මහල්ලන් දක්වා වයස් භේදයකින් තොරව බොහෝ දෙනා මරණයට පත් කෙරිණි. මේ සමස්ත සිද්ධි දාමය, මරණය අප ජීවිත මත පතුරුවාලන පරාක්‍රමය පිළිබඳ කියාපාන්නක් නොවේ ද?

අතිශය බලවත් යැයි සැලකෙනා, සූක්ෂම බුද්ධි ජාලයකින් හෝ අති නවීන උපකරණයන්ගෙන් හෝ බලවත් බවින් යුතු අන් අයගේ අඛණ්ඩ උපකාරයන්ගෙන් හෝ ළාබාල ය, ළමා වියේ ය, තරුණ ය, මැදි වියේ ය කියා හෝ ස්ත්‍රී ය, පුරුෂ ය කියා හෝ අප විසින් වැදගත් යැයි සලකන කිසිදු කරුණක් පෙරටුවට ගෙන තබා මරණය වළක්වාලන්නට නොහැකි ය. ඒ කිසිවක් ඉදිරියේ මරණය නවතින්නේ නැත. පෙරදිගින් උදාවන හිරු මොහොතකුදු නොනැවතී අවරට යන්නේ යම් සේ ද උපන් සත්වයන්ගේ ජීවිත සෑම කල්හි ම මරණය දිශාවට ම ගමන් කරමින් පවතී. උපත කරා පැමිණි සියල්ලෝ මරණයට යටත් ව ආපසු යා යුතු ම ය.

ලෝක විෂය පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ යම් තැනක සැඟවී මරණයෙන් ගැලවී ගත හැක්කේ නම් එබඳු තැනක් අහසේ හෝ පොළොවේ හෝ මුහුදේ හෝ නොදක්නා බවයි. එවන් ස්වභාවයකින් යුතුව සිටිමින් අප කවර බලපුළුවන්කාරකමක් පිළිබඳ ව සතුටු වන්න ද?

අප වටා ගොඩනගා ගන්නා මේ සියලු වටිනාකම් තාවකාලික ය. ලෞකික ජීවිතයේ අභිවෘද්ධිය සලසා ගැනීම අවශ්‍ය නමුදු එය හුදු ජීවිත අර්ථය බවට පත්කර ගැනීම අප විසින් නොකළ යුතු ය. සසර ගමනේ සුගති දුගති සැරිසරා යමින් විඳිනා අනන්ත අපරිමාණ දුක්රැසින් මිදී යාමෙන් ම මිස අන් ක්‍රමයකින් නම් කාහටවත් පිළිසරණක් නොසැලසෙන්නේ ම ය. ගෞතම මුනිරජුන්ගේ ශ්‍රී සද්ධර්මයෙන් හැරුණුකොට ඒ පිළිසරණ අන් කවරකින් නම් ලබන්න ද?