අනන්ත අපරිමාණ සක්වළට උතුම් වූ ආඥා ශ්‍රේෂ්ඨ කොට ඇති කෙළ ලක්ෂයක් සක්වළට ද ඊට උතුම් වූ ජන්ම ශ්‍රේෂ්ඨ වූ දස දහසක් සක්වළට ද ඊටත් වඩා උතුම් වූ මෙම මඟුල් සක්වළට ද එයින් සත්දහසක් යොදුන් ඇති පූර්වවිදේහ රටට ද ඊට පිරිවර වූ පන්සියයක් දිවයින්වලට ද අටදහසක් යොදුන් ඇති උතුරුකුරු දිවයිනට ද ඊට පිරිවර පන්සියයක් දිවයින්වලට ද සත්දහසක් යොදුන් ඇති අපරගෝයානයට ද ඊට පිරිවර පන්සියයක් දිවයින්වලට ද යන මේ තුන් දිවයිනට වඩා ජම්බුද්වීපය අගනේ ය.

ජම්බුද්වීපය දස දහසක් යොදුන් ය. එක් දහසක් යොදුනෙන් මුහුදට සාරදහසක් යොදුන් ය. හිමාලය තුන්දහසක් යොදුන් ය. මනුෂ්‍ය වාසයට නියම ව ඇත්තේ තුන්දහසක් යොදුන් ය. එහි පිරිවර පන්සියයක් දිවයින් ද සයානූකෙළ ලක්ෂයක් මහා දියුණු ගම් ද ඇත්තේ ය. එක් ලක්ෂ නව අසූදහසක් රාජධානි ඇත්තේ ය. මධ්‍ය කාලයේ තෙසැට දහසක් රාජධානි ඇත්තේ ය. එක් ලක්ෂ නව අසූදහසක් ද්‍රෝණමුඛ ඇත්තේ ය. මින් පිටත ප්‍රත්‍යන්ත දේශවලින් හා බංගාලි දේශය, තන්තරා දේශය, වගු රට, කොඟනය, සින්දූර රට, ඕරග්ගල රට, ගුර්ජර රට, දොළුවර රට, වේසගුර රට, කර්ණාට රට, ලලාට රට, මප්පුලි රට, තිමිර දේශය, කාක දේශය, ගන්ධාර දේශය, අරමණ දේශය, මධු රට, පාඩුරව රට, කාශ්මීරය, යෝනකය, බන්දරය, සබරය, සොළී රට, පඬි රට යන මෙකී දේශවලින් විරාජමාන ව, ගව් ගණනින් එක් දහස් දෙසීයක් ගව් හා දහස් ගව්වක් ඇති අග ය.

බෝධි මණ්ඩලයට නැගෙනහිර දික් භාගයේ හස්තිපුර ය, වානාගල නුවර, කලිඟු රට, සවරීවීර නුවර, සේගතක්ස නුවර, පුණ්ඩරීක නුවර, පුෂ්පාරත්ත රට, ජයකුරු නුවර, සාගල් නුවර යන මේ නුවරවල් පෙරදිග පිහිටියේ ය.

මියුළු නුවර, කුසාවතී නුවර, රජගහ නුවර, ඉඳිපත් නුවර, කුරු රට, බරණැස් නුවර, කිඹුල්වත් නුවර යන මෙකී සප්ත නගරයෝ දකුණු දිග පිහිටියාහු ය.

සීහපුර නුවර, අරිෂ්ටපුර නුවර, විශාලා මහනුවර, කොසඹෑ නුවර, පැළලුප් නුවර, කර්ණක ය, ගව්දන්ත නුවර යන මේ නුවර හත බස්නාහිර දිශාවෙහි පිහිටියේ ය.

උදුපමාල නුවර, කුසිනාරා නුවර, ගොඩ නුවර, ගන්ධාර නුවර, කර්ණක නුවර යන මේ නුවරවල් පහ උතුරු දිග් භාගයෙහි පිහිටියේ ය.

තව ද මෙකී නුවරවල් එක් ව පත්තිනි නුවරවලින් චක්‍රවර්ති රජවරුන් හා මහධන සිටුවරුන් හා අසූමහ සව්වන් හා පසේබුදුවරුන් හා ලොව්තුරා බුදුන් වහන්සේ වැනි උත්තමයන් උපදිනා ස්ථානය ය. මෙකී ස්ථානවලින් කිඹුල්වත් පුරයේ ම අප්‍රමාණ බුදුවරයෝ මව්කුස පිළිසිඳී දසමස් ඇවෑමෙන් ලුම්බිණී නම් උයන්හි බිහිවන්නාහු ය.

නිලයත් බුදුමුත්තා වූ බෝධිමණ්ඩලයෙහි ශ්‍රී මහා බෝධි නිල ගත්, බෝධි මණ්ඩලයේ පිහිටියා වූ වජිරාසනය හළා වන්නා වූ උතුම් නිලයත්, නුවණැත්තවුන් විසින් දැනගත යුතුයි.
තව ද දඹදිව මධ්‍ය මණ්ඩලයට නාභියක් බඳු වූ අනන්ත අපරිමාණ බුදුවරයන් වහන්සේලා බුදු වූ බෝධි මණ්ඩලයෙහි අප මහා ගෞතම සර්වඥරාජෝත්තමයාණන් වහන්සේ බුදු වූ ඒ ස්ථානයට උතුරු දික් භාගයෙහි නිග්‍රෝධ වෘක්ෂයට ගව්වකි.

අජපල් වෘක්ෂයේ සිට නේරංජරා ගංගාවට එක්සිය පණස් බඹයෙකි. නේරංජරා ගංගාවේ සිට කුසතණ පිළිගත් තැනට එක් විසි බඹයෙකි. දකුණු දිග කුසතණ පිළිගත් තැන සිට බෝධි මණ්ඩලයට විසි බඹයෙකි.

වජ්‍රාසන ප්‍රාසාදයේ සිට කුසතණ සැලූ තැන, පොළව පළාන, තුදුස් රියන් වජ්‍රාසනාරූඪව වැඩහිඳ, මාර පරාජය කළ පල්ලංකය අන්තරස්ධාන වී ඇත. දැන් තිබෙන ආසනය සතර රියනකුත් වියතෙක. එකොළොස් රියනක ආසනයෙක වැඩහුන් බුද්ධරූපය දසඅට රියනෙක. එම ආසනය වසා කළ ප්‍රාසාදය එකී දිගින් අටළොස් බඹයෙක. උස පන්තිස් බඹයෙක.

බෝධිසාමීන්ගේ වට තුන් බඹයෙක. උස පස්විසි බඹයෙක. පංච මහා ශාඛාවන්ගෙන් දකුණු ශාඛා තොමෝ සීහලද්වීපයේ පිහිටියා ය. එම ශාඛාවේ බෝගසට ඇරුණු පමණ මිටි රියනෙක. ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඊසාන සිට නේත්‍රා පූජා කළ තැන අතර නව බඹයෙක. උතුරු දිග සක්මන් කළ තැනට තිස් බඹයෙක. ගිනිකොණ දිග අජපල් නුගරුක් මුල, බෝධීන් වහන්සේ වැඩහුන් තැන සිට දකුණට සැට බඹයෙක. බෝධීන් වහන්සේට දකුණු දිග මුචලින්දයා උන් තැනට දවුල් හඬ ප්‍රමාණයෙකි. රාජායතනයට දවුල් හඬ ප්‍රමාණයෙකි.
බෝධීන් වහන්සේට පූර්ව දිශා භාගයේ නේරංජරා ගංගාව අතර එක්සිය නව බඹයෙකි. ගංගාවේ පළල වෘෂභ හඬ ප්‍රමාණ යි. නියං අවදියට ජලය උකුළ ප්‍රමාණ ය. වැසි කල අවදියට කරවට ප්‍රමාණ ය. ධම්මරක්ඛිත භික්ෂූන් වහන්සේ බෝධිමණ්ඩලයෙහි බොහෝ දවසක් වාසය කොට බෝධිසාමීන්ට නිරිතදිග කොණෙහි දුකුළ පණ්ඩිතයන් තපස් කළ තැනට දෙදවසින් ගමනෙකි.

වංකගිරියට තුන් දවස් ගමනෙකි. වෙසතුරු බෝධිසත්වයන්ගේ පන්සලේ සිට මන්ත්‍රී දේවියගේ පන්සලට සැටබඹ දෙකකි. පන්සලටයි පොකුණටයි දෙවිසි බඹයෙකි. පොකුණ අසල ගලපිට බෝධිසත්වයන්ගේ පදුලාවනය දෙවියත් ප්‍රමාණ යි. පොකුණ පළල පස් බඹයෙකි. ගැඹුර දෙබඹ හා මිටි රියනකි. දිග එක්විසි බඹයෙකි.

බෝධි මණ්ඩලයෙහි සිට යන ගමන් පසෙකි. සඳ මහ නුවර සිට වංකගිරියට යන ගමන් එකෙක. වංකගිරියට ගිනිකොණින් ජයතුරා නුවර අතර තිස් දවසකින් ගමනෙකි. ජයතුරා නුවර සිට දකුණු කලිඟු නුවරට සතර දවසකින් ගමනෙකි. බෝධි මණ්ඩලයෙහි සිට පූර්ව දිග, මණ්ඩුකයා බණ ඇසූ තැනට දෙදවසින් ගමනෙකි. බෝධි මණ්ඩලයට ඊසාන කොණෙහි රජගහ නුවරට තුන් දවසින් ගමනෙකි.

රජගහ නුවර පිඬු සිඟා ආරණ්‍යගිරි පර්වත මුදුනේ හිඳ වැළඳූ තැන අග ගිනිකොණ දවුල් ශබ්ද ප්‍රමාණ යි. පාණ්ඩව පර්වතයට ඊසාන කොණ ධනපාල ඇතා යටත් වූ තැනට දවුල් ශබ්ද ප්‍රමාණ යි. මෙතැනට දකුණු දිගින් පූර්ව දික් භාගයෙහි ගිජ්ඣකූටය අතර බෙර ශබ්ද ප්‍රමාණ යි. දේවදත්තයන්ගෙන් බුදුන්ට ගල පෙරලූයේත් මෙතැන යි. මගධ නුවර ලෝචනයේ සිට ජයතුරා නුවරට තිස් දවසින් ගමනෙකි. ජයතුරා නුවර සිට කලිඟු නුවරට දස දවසින් ගමනෙකි.

බෝධි මණ්ඩලයේ සිට පූර්ව දික් භාගයෙහි මධ්‍යමණ්ඩනපාල ස්ථානයට ද උතුරු දිග මගධ රටට ද ලෝචන ස්ථානයට ද කිඹුල්වත් පුර සිවුරු කළ තැනට ද පඬුජීවන සිට වේළුවනාරාමයට අතර දවුල් ශබ්ද ප්‍රමාණ යි. වේළුවනාරාමයටත් රජගහ නුවරටත් අතර සරස්වතී ගංගාවටත් මධ්‍යයෙහි දකුණු දිග ජලයුක්ත වූ පුෂ්කරණයෙක. රජගහ නුවරට පූර්ව දිග මහබමුණු බුදුන් වැඳ විවරණ ලත් ස්ථානයට දෙගව් හමාරෙකි.

රජගහ නුවරට උතුරු දිග පාරලී වනයේ දෙදවසින් ගමනෙකි. මෙම ස්ථානයේ දාගොප් පසෙකි. ඇත්පාරලී වනයේ සිට උතුරු දිග විශාලා මහනුවරට එක් දවසක ගමනෙකි. දාගැබ ඇති බෝධි මණ්ඩලයට සතර දිශාවේ අනෝමා ගංගාවට සතර දවසින් ගමනෙකි. ගංගාවේ පළල ගව්වෙකි. මේ ගංගාවට බටහිරට බරණැස් නුවරට දස දවසින් ගමනෙකි. මෙම නුවරට දෙගව්වක් ප්‍රමාණ තැන ඉසිපතනාරාමය වෙයි. බරණැස් නුවරට නිරිතදිග වානර ව උපන් ජාතියෙහි දෙව්දත් වඳුරා පිටට පැන මැරුණු තැනට දවසින් ගමනෙකි. බරණැස් නුවර සිට අයෝධ්‍යා පුර නුවරට වාම මග කොණ ජේතවනාරාමයට සත් දවසින් ගමනෙකි. ජේතවනාරාමයට පූර්ව දික් භාගයේ කෝසල රජ කරවූ චන්දන පිළිමය අතර තිස් බඹයෙකි. ඒ පිළිම සාමීන් වැඩහුන් පිළිමගේ එකී දිගින් සත් බඹයෙක. උස සත් බඹයෙක. අටවක්, පසළොස්වක් දිනයෙහි ඇතුළෙහි පූජා කළෝ ය.

පුරාණ හිමාල විස්තරය.

පන්සියයක් යොදුන් උසැති හිමාල නම් පරුවතයෙන
තුන් දහසක් යොදුන් අවට මහ ගිරිකුළු හිම ය අරණ
ඉන් අතුරෙහි දෙසිය යොදුන් පර්වත පස වටින් සැදුන
පැන් පිරිසිදු විල වට රැඳි පරුවතවල් සියක් යොදුන

මුල් කොට විල් අනෝතත්ත කර්ණමුණ්ඩ රතකාරෙන
ගල්වල සැදි වද්දන්තය කුණාල විල ළඟ ම තිබෙන
නිල් ජල මන්දාකිණි සිංහ ප්‍රඟතාපය යි පවසන
කල් පවතින තුරු සැදුණේ හිමාලෙ විල් සතක් සොබන

අනෝතත්ත විල වට පරුවත පසෙකින් සැදී ඇත්තේ
සුදර්ශනයට චිත්‍රකූට පරුවත පෙළ වට ඇත්තේ
ගන්ධමාන කෛලාසය යන පරුවත දෙක සත්තේ
දිගත් පුළුල උස මහතින් දෙසිය දෙසිය යොදුන් ඇතේ

පතර මහත් හිමාල වන පිහිටි එ දඹ රුකේ ගණන
විතර සකිය මහතින් සැදි කඳවට පසළොසක ගණන
සතර දිගට ගිය කඳ අතු සතර ම පසළොසක ගණන
නිතර උඩින් මුදුනට ගිය කොළතුර අග සියක් ගණන

වඳිමි මිනිස් ලොවින් මිදී හිමාල වන උපදින්නට
බුදුන් මිසක් රහතුන් හැර වැඩියේ නැත එවැනි තැනට
යොදුන් ගණන් සඳුන් සුවඳ විහිදී යයි එක් සැණෙකට
අඳුන් ලැබෙන හැටි ඇසුවොත් හිමාල වන උපන් අයට

තිස් දහසක් යොදුන් උසැති රන් දඹ ගස එහි ඇත්තේ
විසි දහසක් යොදුනෙන් දිග සාඛා විහිදී ඇත්තේ
දස කෙළතුන් දෙව් පිරිසට සඳු අබරණ ලැබ නිත්තේ
රස දඹ ගෙඩි දෙව් පිරිසට බෝජන මහ ඵල ගත්තේ

මෙවැනි වනේ උපන් අයට ලැබෙනා සැප කියන්ට බැරි
එවැනි ලෙසට සුවඳ සළු ද සඳුන් ඇත සපිරි
පවෙනි යන්ට බැරි වනයට තෙරුවන් ගුණ කඳ ද දහිරි
දෙවෙනි වරටවත් යන්නට නොකරව් පව් බණේ පිරි

දෙව් පුර වැනි මහ දඹදිව හිමාල වනගතෙහි උතුන්
සිව් පණසක් යොදුන් වටට අනෝතත්ත විලස උතුන්
ගව් සැට යොදුනක් පමණට විල වටකර සිටින නිතින්
සිව් කුලයේ සිංහයො ඇත තන්හි තන්හි නොයෙක් ලෙසින්