highlights of the week
Home » කතුවැකිය » ඤාති සංග්‍රහයේ යෙදෙමු

ඤාති සංග්‍රහයේ යෙදෙමු

උපතත් සමඟ අපි සියල්ලෝ ම මාපිය දෙපාර්ශවයෙන් ම උරුම වූ නෑදෑකම් ලැබූවෙමු. ලොව අන් අයට වඩා තම ලේ නෑයන් කෙරෙහි ලැදියාවක් ඇති වීම අප කාටත් පොදු කාරණයකි. එනිසා ම අපි ඇති හැකි පමණින් ඒ නෑයින් හට ඇපඋපකාර කරන්නට යොමු වන්නෙමු.

ඤාති සංග්‍රහය නම් වූ මෙකී කාරණය දේශපාලන මුහුණුවරකට ගෙන එනු ලැබුවේ මෑතකාලීන සමාජය විසිනි. එහෙත්, ඤාති සංග්‍රහය යනු එසේ නොමනා යැයි කියා හංවඩු ගැසිය යුත්තක් නො වේ. සියලු ලෝ සත කෙරෙහි පතළ සම සිතින්, සම මෙතින් යුතු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා ඤාති සංග්‍රහයේ යෙදුණු සේක.

සම්බුද්ධත්වය සාක්ෂාත් කිරීමෙන් පසු එළඹි පළමු මැදින් පුන් පොහෝ දිනයේ දී විසිදහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට කිඹුල්වත්පුර වැඩම කරවීම ඇරඹුවේ ස්වකීය ඤාති වර්ගයාට යහපත, හිතසුව සැලසීම පිණිස ය. ඒ දහම් චාරිකාව අවසන පිය පාර්ශවයේ ශාක්‍යයන් ද මව් පාර්ශවයේ කෝලීයයන් ද තිසරණ සරණගත ශ්‍රාවක පිරිසක් වගට පත් විය.

සම්බුද්ධත්වය සාක්ෂාත් කිරීමෙන් පසු එළඹි සත් වන වස් කාලය ගත කිරීම පිණිස සම්බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට වදාළේ මාතෘ දිව්‍යරාජයාට යහපත, හිතසුව සැලසීම පිණිස ය. ඒ වස් කාලයේ දේශනා කළ ධර්මය අසා මාතෘ දිව්‍යරාජයා සෝවාන් ඵලයට පත් විය.

සම්බුදුරජාණන් වහන්සේ අසූ වයස් ව සිටිය දී විඪූඩභ විසින් ශාක්‍යයන් සංහාරයකට පැමිණි අතර අවස්ථා දෙකක දී ම උන්වහන්සේ විසින් එය වළක්වන ලද්දේ “ඤාතීන්ගේ දෙසින් එන සුළඟ ද සැපයක් ය” බව ද වදාරමිනි. අනෙක් අවස්ථාවේ ශාක්‍යයන් පෙර කර්ම විපාකයේ ආදීනවයන්ගෙන් නිදහස් කළ නො හැකි බව දුටු උන්වහන්සේ නිහඬ වූහ. විඪූඩභ ශාක්‍යයන් සමූල ඝාතනය කරද්දී පවා රණශූර වූ ශාක්‍යයෝ අවි ඔසවා සටනට නො ආහ. තිසරණයේ පිහිටි ඔවුහු ප්‍රාණඝාතයෙන් වැළකීම සමාදන් ව හිඳිමින් ම මරණයට පත්ව සුගතියේ උපන්හ.

ශාක්‍ය කන්‍යාවියන් පන්සිය දෙනෙකු වහල් සේවය පිණිස යදමින් බැඳ ගෙනයමින් හුන් විඪූඩභ හට ඔවුනගේ දොස් නැගීම්, ශාප කිරීම් ඉවසාගත නො හැකි විය. ඔහු ඒ සියලු දෙනාගේ අත්පා සිඳ දමන්න යැයි සේනාවට අණ කළේ ය. අණ ක්‍රියාත්මක විය. අත්පා නැති කඳ සහිත ව මාරාන්තික වේදනා විඳිමින් සිටි ඒ ශාක්‍ය කුමාරිකාවන් වෙත සම්බුදුරජාණන් වහන්සේ ඍද්ධිමත් භික්ෂුවක පිටත් කොට වදාළේ “මාගේ ඤාති දියණිවරු අනතුරක වැටෙන්නයි යන්නේ. ධර්මය කියා ඔවුන් ගලවා ගන්න.” යැයි වදාරමිනි. අනතුර ලෙස උන්වහන්සේ දුටුවේ අත්පා රහිත ව දුකට පත් වීම නොව ද්වේෂයෙන් යුතු ව මරණයට පත් වීම ය. ඒ ස්වාමීන් වහන්සේ එහි වැඩම කොට ඔවුනට දහම් දෙසූ අතර කිසිදු ශාක්‍ය කුමාරියක මග ඵල නො ලබා මිය ගියේ නැත. සියල්ලෝ මරණින් මතු සුගතිගාමී වූහ.

නෑයින් කෙරෙහි හිතවත් වූ, ප්‍රිය වූ, මනාප වූ අප ඤාති සංග්‍රහයේ යෙදෙන කල්හි පූර්වාදර්ශය කර ගත යුත්තේ ඒ සම්බුදුරජුන් ම මිස අන් කවුරුන් ද?

“පින්වත් මහණෙනි, යම් පිරිසකට අනුකම්පා කරනවා නම්, යම් පිරිසක් ඔබට ඇහුම්කන් දිය යුතු යැයි සිතනවා නම් ඔබ විසින් ඒ සියල්ලෝ සතර සෝතාපත්ති අංගයන්ගේ සමාදන් කරවිය යුතු ය. ඇතුළත් කරවිය යුතු ය. පිහිටුවිය යුතු ය.”

(මිත්තාමච්ච සූත්‍රය, සං. නි. 5-2)

ඒ සම්බුදු මග ගනිමින්, දුර්ලභ සම්බුද්ධ ශාසනය තුළ මැනැවින් ඤාති සංග්‍රහයේ යෙදෙන්නට අපිදු අදිටන් කර ගනිමු.

Leave a Reply

Your email address will not be published.

x

Check Also

සුබ නැකැතින් වැඩ අරඹමු

සැබැවින් ම, නැකැතට කටයුතු කිරීමෙන් අභිවෘද්ධියට, සාර්ථකත්වයට පත් වීම නියතව ම සිදු වන්නේ නම් අප රට මේ වන විට ඉතා දියුණු මට්ටමක පවතින රටක් විය යුතු ය.