රට පුරා තැනින් තැන, දිනෙන් දින වාර්තා වන සිදුවීම් ශිෂ්ට සම්පන්න ජීවන රටාව අගයන්නවුන් තුළ ඇති කරලන්නේ සුවපහසු හැඟීමක් නොවේ. විශේෂයෙන් ම මැදිවියට නොඑළඹි දරුවන් සිටිනා මාපියනගේ සිත්සතන් ද කළඹාලන බියකරු බවක් ඒ සිදුවීම්හි ගැබ්ව තිබේ. නොයෙක් අපයෝජනයන්ගේ ගොදුරු බවට දරුවන් පත් වනු දැක දැක කාට නම් සංවේග නූපදී ද…? එහෙත්, සංවේගය තුළ සිර නොවී මේ විපත්වලින් දරුවන් මුදවාලිය යුත්තේ අප ම ය.

අද සමාජයේ පවත්නා පිරිහුනු ස්වභාවයන් තුළ නවයොවුන් වියේ දූ දරුවන් සදාචාර සම්පන්න සමාජ සම්මතයන් අබිබවා යමින් පාපයනට වැඩි වශයෙන් නැඹුරු වන බවක් පෙනී යයි. පවට ලැජ්ජා ඇති බව, පවෙහි විපාකයනට බිය ඇති බව ජීවිතයේ හර පද්ධතිය කොට ගත් සමාජයක එය සිදු විය නොහැක්කකි. එසේ නම්, සංවරය සීලයක් කොට ගත් බුදු දහමේ ආභාසය නූතන සමාජයේ ජීවන හර පද්ධතියට මුසුව නැති බව අප කණගාටුවෙන් වුව ද පිළිගත යුතු ව තිබේ.

පසුගිය සමාජ දේශපාලනික පෙරළීන්වල දී ලාංකේය නවයොවුන් පරපුර යනු අනීතියෙන්, අයුක්තියෙන්, අසාධාරණයෙන් මැඩලිය නොහැකි පිරිසක් ය යන අදහස රැව්පිළිරැව් දී නැගෙනු අසන්නට ලැබිණි. එය එසේ ම වේවා! එහෙත්, දිනෙන් දින වාර්තා කෙරෙන ඛේදනීය ප්‍රවෘත්තීන්ගෙන් ඉස්මතු වන්නේ ඒ අදහස නොවේ; මේ ප්‍රකට වන අදහස නූතන දරු පරපුර යනු ඉතා පහසුවෙන් අපයෝජනයට ලක් කරලිය හැකි, පාපයනට යොමු කොට ගත හැකි, කූට උපායන් තුළින් යුහුසුළු ව හැසිරවිය හැකි ළාමක භාවයන් බහුල පිරිසක් බව යි. මේ තත්ත්වය දෙමාපිය, ගුරුවර, වැඩිහිටි පිරිස මැනැවින් තේරුම් ගත යුතු ය.

දැනුම යනු බුද්ධිය නොවන බව, තාක්ෂණික භාවිතාවන්ගේ කෙළ පැමිණීම යනු කුසල් – අකුසල් වෙන් කර ගැනීමට මුල් වන ප්‍රඥාව නොවන බව දරුවන්ට පළමු ව තේරුම් ගත යුත්තේ වැඩිහිටි ඔබ ය. ඒ තේරුම් ගැනීම තුළ, ඔබේ දරුවා තාක්ෂණික මෙවලම්හි ආධිපත්‍යය පතුරුවාගෙන පාපී ළාමක අකුසලයනට ඉවක් බවක් නොමැති ව ඇදී යන ගමන් මග වෙනස් කළ යුත්තේ ද වැඩිහිටි ඔබ ය. මන්ද, අද පවත්නා තත්ත්වය ගැන දරුවනට චෝදනා එකක් එල්ල කරන්නේ නම් එයට අනුරූපව වැඩිහිටියනට චෝදනා සිය ගණනක් එල්ල කළ යුතු ම වන බැවිනි.

ඔබේ දරුවාගේ ජීවිතය හැඩගැස්සවීම කෙරෙහි සිතන්නට පළමු ඔබ ඔබේ ජීවිතයේ හැඩගැස්සවීම දෙස බැලිය යුතු ය. ඔබ ඔබේ දරුවන්ට ‘හොඳින් ඉගෙන ගන්න’ යැයි සියදහස් වාරයක් නොයෙක් වචනවලින් කියන්නේ යම් සේ ද ඔබේත්, අපේත් මාපියන් එය ම කියමින් අපව දිරිගැන්වූ බව නොරහසකි. එහිලා පරපුරෙන් පරපුරට ලොකු වෙනසක් සිදු වී නැත. එහෙත්, එකල අපේ මාපියන් අප ඇසුරු කරන්නේ කවුරුන් ද යන්න ගැන සහ අප තුළ ගුණධර්ම වැඩී යන ආකාරය ගැන ඉගෙනුම ගැන හා සමානව ම අවධානය යොමු කළ අතර නූතන මාපිය – වැඩිහිටි පරපුර තුළ ඒ ස්වභාවය බලවත් ව ඉස්මතු නොවන බව අප පිළිගත යුතු ව තිබේ. ඔවුන්ගේ ජීවිත අතිශයින් කාර්යබහුල වීම නිසා හෝ දරුවන් හොඳ – නරක තෝරාබේරාගෙන තම තමන් ආරක්ෂා විය හැකි ශක්තිමත් භාවයක සිටිනවා යැයි වරදවා තේරුම් ගැනීම නිසා හෝ වැඩිහිටි පරපුරෙන් එකී වගකීම නිසියාකාරයෙන් ඉටු නොවීම ම නූතන ඛේදවාචකයේ මූලික පසුබිම බව කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි ය.

‘ඇසුර’ යනු තිරිසන්ගත සතුන් තුළ පවා යහපත හෝ අයහපත තීරණය කරලන ප්‍රමුඛ සාධකය යි. මිනිස් ජීවිතයක ද දිශානතිය තීරණය වන්නේ ඇසුරු කරන දේවල් සහ පිරිසට අනුව ම ය. මහා ප්‍රඥා ඇති අපගේ සම්බුදුරජාණන් වහන්සේ පාපමිතුරු ඇසුර තරම් මහත් වූ පිරිහීමට හේතුවන දෙයක් හෝ කලණමිතුරු ඇසුර තරම් මහත් වූ අභිවෘද්ධියට හේතුවන දෙයක් හෝ බුදුනුවණින් නොදක්නා බව වදාරා තිබේ. දෙව්මිනිසුනට යහපත සලසාලන උතුම් මංගල කරුණු තිස් අටක් දේශනා කරමින් ද තථාගතයන් වහන්සේ පළමු සහ දෙවන මංගල කාරණයන් ලෙස වදාළේ අසත්පුරුෂ බාලයන් ඇසුරු නොකිරීමත්, සත්පුරුෂ නුවණැතියන් ඇසුරු කිරීමත් ය. එනිසා, ඔබේ දරුවා ඇසුරු කරන්නේ කවුරුන් ද මොනවා ද යන්න අන් කවරදාටවත් වඩා වගකීමෙන් සොයා බැලිය යුතු බව සහ ඒවා සම්බන්ධයෙන් අවසන් තීරණය ඔබ විසින් ගත යුතු බව අවධාරණය කළ යුතු ව තිබේ.