දෙවන ලෝක යුද සමයේ දී ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදා විසින් ජපානයේ හිරෝෂිමා නාගසාකි නගර ද්විත්වය ඉලක්ක කරගෙන අධි බලැති පරමාණු බෝම්බ ප්‍රහාරයන් එල්ල කරන ලද්දේ මෙයින් වසර හැත්තෑ පහකට පෙරාතුව අගෝස්තු මාසයේ දී ය. අද දක්වාම දෙවන ලෝක යුද්ධයේ ඛේදනීය ම මතක සටහනක් බවට එය පත්ව තිබේ. අගෝස්තු පස්වෙනිදා ලෙබනනයේ බීරූට් අගනුවර වරාය සංකීර්ණයේ වූ ගබඩාවක සිදු වූ පිපිරුම ඒ ඛේදවාචකය යළි සිහි කැඳවන්නට සමත් විය. සතුරු හමුදාවක පහර දීමක් නොවූව ද ප්‍රබලත්වය අතින් පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් අඩක් පමණ වන්නට ඇතැයි ගණනය කිරීමකට මේ වනවිට ලක්ව ඇති බලවත් පිපිරීමක් මෙහි දී සිදු විය.

බීරූට් වරායේ ගබඩාවක රඳවා තැබුණ ඇමෝනියම් නයිට්‍රේට් රසායනිකය ටොන් 2750ක් පමණ මෙසේ පුපුරා ගිය අතර අද දිනය (2020. 08. 06) වන විට පිපිරීමෙන් සිදු වූ ජීවිත හා දේපළ හානි පිළිබඳ විශ්වාසනීය නිර්ණය කිරීමක් සිදු කෙරී නැත. කෙසේ වුවත්, වීඩියෝ හා ඡායාරූප තුළින් දක්නට ලැබෙන්නේ හානිය අතිමහත් බව ය.

දශක තුනකට එපිට දී සිවිල් යුද්ධයේ නිමාව දැක ආර්ථික හා සමාජයීය වශයෙන් යළි නැගී සිටීමේ අඛණ්ඩ අරගලයක යෙදෙමින් සිටින ලෙබනන වැසියනට අනපේක්ෂිත ව පැමිණි මෙම විපත දරා ගැනීම කිසිසේත්ම පහසු නොවනු ඇත. එහෙත්… අප කවුරුනුත් ලබා සිටින්නේ මෙවන් විපත් හිඟ නොවන උපතකි. සසර යනු එවැන්නකි.

මේ දිනයේ ද බීරූට් අගනුවරවැසි පිරිස් ස්වකීය කටයුතු අරඹන්නට ඇත්තේ තම ජීවිත කරා එළඹෙන මහා විපත පිළිබඳ අල්පමාත්‍ර සංවේදනයක් නොමැතිව සහ ජීවිතය මත ගොඩනැගුණු නොයෙක් වුවමනා එපාකම් පිරී ගත් ඉලක්ක සපුරා ගැනීම කෙරෙහි අපේක්ෂා සහගතව වන්නට බව සැක නැත. එදිනත්, ඉන් පසුත් ඉටු කර ගැනීමට යොදාගත් කරුණු කාරණා ඔවුන්ගේ ජීවිතවල ද තිබෙන්නට ඇත. ඔවුන් ද ඔබ අප වැනි ම මිනිසුන් ම ය. අප සියල්ලන්ගේ ම ජීවිත තුළ පවත්නේ කාලසටහනක් තුළට ගත් සිහින සටහනකි. ඒ සිහින අත්හැර හිටිහැටියේ ම මෙලොවින් පරලොව යන්නට සිදු වීම කාගේත් පොදු ඉරණම යි. තණ අග රැඳි පිනි බිඳක් වන් මේ ජීවිතයේ මරණයට ඇති ඉඩකඩ අසීමාන්තික ය. කවරෙකුට වුව ද අන් කවරක් නොලැබෙන්නේ වුව ද නිසැකව ම මරණය ලැබේ. එය අද ද හෙට ද කියා දන්නේ කවුරුන් ද? කෙදින ද නොදන්නා, එහෙත් යම් දිනෙක එළඹෙන බව නිසැකව ම දන්නා එකී ඉරණමට අප සූදානම් ව නොසිටිය යුතු ද?

මේ ජීවිතය තුළ මරණයට බොහෝ ඉඩකඩ තිබේ. එවන් ජීවිතයක් සශ්‍රීකවත් කරලීමට වෙහෙස වන තරමටම අප එයින් මතු ජීවිතය ද යහපත් කරලීමට වෙහෙස විය යුතු ය. නොඑසේ නම්, නොසිතූ මොහොතක මේ ජීවිතය හා සබැඳි අප ගොඩනගා ගත් සියල්ල අහිමි වී යද්දී නිසැකව ම ලැබෙන පරලොව ජීවිතයට සලසාගත් පිළිසරණක් අපට ඉතිරි නොවනු ඇත.

ජරා ව්‍යාධි මරණ ප්‍රමුඛ කොට ගත් බොහෝ විපත්පත් ලෝකයේ විපත්වලින් නිදහස් උපතක් යනු ලැබිය නොහැක්කකි. සම්මා සම්බුදුවරුන් පහළ වී ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවා සියලු දුකින් නිදහස් වූ අමා මහ නිවන කරා ලෝවැසියනට මඟ කියන්නේ එහෙයිනි. ඒ මඟෙහි පිහිටා නිවන කරා යොමු වීම හැර මරණය ඉදිරියේ අසරණ නොවී සිටීමට අන් මඟක් නැත. ජීවිතය ද මරණය ද දිනූවෝ ඒ බුදු මඟ ගත්තෝ ම ය. දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලද මේ මිනිස් ජීවිතය අද ම වුව අහිමි වන්නට පළමු අප එමඟෙහි පිහිටිය යුතු නොවේ ද?