නැකැත් ගැන වැඩි වශයෙන් ම අසන්නට, කියවන්නට ලැබෙන්නේ වසරේ යම් කාලයක ද මේ ගෙවී යන්නේ ඒ කාලය යි. සංස්කෘතික ආක්‍රමණයක ශේෂයන් ලෙස අප විසින් පරම්පරා කිහිපයක් ඔස්සේ චාරිත්‍රානුකූල ව ඉදිරියට පවත්වාගෙන එනු ලැබූ නිසාවෙන් ම මේ වන විට එය අපට අයිති නොවූවක් බව පිළිගන්නට බොහෝ දෙනා අකැමැති ය. එසේ ම, නැකැත් අනුව කටයුතු කිරීමෙන් අපේක්ෂාවන් මල්ඵල ගැන්වේ යැයි සිතන්නන් ද අප අතර දුලබ නැත.

සැබැවින් ම, නැකැතට කටයුතු කිරීමෙන් අභිවෘද්ධියට, සාර්ථකත්වයට පත් වීම නියතව ම සිදු වන්නේ නම් අප රට මේ වන විට ඉතා දියුණු මට්ටමක පවතින රටක් විය යුතු ය. වසරක් පාසා අප විසින් නැකැත් පිළිපදිමින් සිදු කරනු ලබන තරම් කටයුතු ලෝකයේ අන් කවර තැනකවත් සිදු කෙරෙනවා ද යන්න සැක සහිත ය. එසේ නැකැත් අනුව බොහෝ දේ සිදු කළා කියා අප සුවිශේෂී දියුණුවක් අත්පත් කරගෙන ද නැත.

ඇත්තෙන්ම, නැකැතකට අනුව කටයුතු කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ සාර්ථකත්වය නම් ඒ බලාපොරොත්තුව ඉටු කරලන ආකාරයේ නැකැතක් ඒ නැකැත් අතරේ අපට මෙතෙක් මුණගැසී නැත. එසේ නම්, සර්වාකාරයේ යහපත උදා කරලන එවන් සුබ නැකැතක් ලෝකයේ නැති ද? නැත්තේ නො වේ; සියලු යහපත සලසන සුබ නැකැතක් ලෝකයේ තිබේ. නැකැත් අනුව ම කටයුතු කිරීම ද නැකැත් කෙළියේ යෙදීම ද දුරාතීතයේ සිට මිනිසුන් අතර පැවතෙන්නක් වූ අතර නුවණ මෙහෙයවා කටයුතු කිරීමට දක්ෂ වූවන් ඒ සියලු නැකැත් ඉක්මවාලූ සුබ නැකැතකින් සියලු වැඩ අල්ලා සියලු යහපත උදා කර ගත් ඉතිහාසයක් ද ලෝකයේ තිබේ. ඒ නැකැත කුමක් ද?

“සුනක්ඛත්තං සුමංගලං සුප්පභාතං සුවුට්ඨිතං
සුඛණෝ සුමුහුත්තෝ ච සුයිට්ඨං බ්‍රහ්මචාරිසු”

“නිවන් මඟ අනුගමනය කරන උතුම් බ්‍රහ්මචාරීන් වහන්සේලා උදෙසා මැනැවින් පුදන ලද දානයක් ඇද්ද, ඒ දන් දෙන වෙලාව තමයි සුබ නැකැත. සුබ මංගල්‍යය. සුබ උදෑසන. සුබ නැගී සිටීම. සුබ මොහොත. සුබ මුහුර්තිය.”

(මංගල වර්ගය – අං. නි.)

දන් පැන් පිදූ පිනෙන් සුගතිය දිනූ පිරිස් බුද්ධ ශාසන ඉතිහාසයේ අපට මුණගැසේ. අතිශයින් දිළිඳු, සිඟා කෑමෙන් එදා වේල සොයා ගත් දුගී දුප්පතුන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ආදී වූ ආර්ය මහා සංඝරත්නය විෂයෙහි සැදැහැ සිතින් දන් පුදා සුගතිගාමී වූහ. ඇතැම් විට දානයට පිදුවේ පිළුනු වී ගිය පිට්ටුවකි, නැතහොත් දන්කුඩ බතකි. එහෙත් ප්‍රතිග්‍රාහක පාර්ශවයේ හුන්නේ කෙලෙස් මල දුර හැරි නිකෙලෙස් මහරහත් මුනිවරු ය. එසේ ම දායක පාර්ශවයේ හුන්නේ ශ්‍රද්ධා ධනයෙන් පොහොසත් වූවන් ය. ඒ දානය එහෙයින් ම පිරිසිදු සත්පුරුෂ දානයක් බවට පත් විය.

දන් පැන් පිදීමට සාකල්‍යයෙන් ම සුදුසු වූ අනුත්තර පින්කෙත දැනුදු ලෝකයේ ජීවමාන ය. අතීතයේ පහළ වූ යම්තාක් මහරහතන් වහන්සේලා වෙත් ද උන්වහන්සේලාගේ නාමයෙන් ද වර්තමානයේ වැඩ වෙසෙන, අනාගතයේ ද ලොව පහළ වන ආර්ය මහා සඟ රුවන විෂයෙහි ද සිත පහදවාගෙන දන් පැන් පුදා රජයට හෝ සොරුන්ට හෝ පැහැර ගත නො හැකි, ජලයෙන් හෝ ගින්නෙන් හෝ අන්‍යාකාරයකින් හෝ උවදුරු සිදු වන්නේ ද නැති පුණ්‍ය නිධානය ගොඩනගන්නට අපට දැනුදු හැකියාව තිබේ.

ඉදින්, සම්බුදු ශ්‍රාවකයෙකුට උචිත වන්නේ දෙලොව සැප සලසන, උතුම් වූ නිවන් සැපයට ද මඟ කියන ඒ පුණ්‍ය අස්වැන්න නෙළන්නට මේ සුබ නැකැතින් වැඩ ඇරඹීම නො වේ ද?