තරගයක දී ජයග‍්‍රාහකයන් දෙදෙනෙකු බිහි වන්නේ නැත. එක් අයෙක්, එක් කණ්ඩායමක් හෝ එක් පාර්ශවයක් ජය ලබන අතරේ අනෙක් තරගකරුවන් පරාජිතයන් බවට පත් වේ. ජයග‍්‍රාහකයෙකු නොමැති පරාජයක් හෝ පරාජිතයෙකු නොමැති ජයග‍්‍රහණයක් අපට මුණ ගැසෙන්නේ නැත.

අප අවට පවතින්නේ තරගකාරී ස්වභාවයන් ම වන නිසා ජය – පරාජය යන දෙක ම වරින් වර අපගේ ජීවිත තුළ දෝලනය වේ. විටෙක අප ඍජුව ම ජය හෝ පරාජය හෝ ලබන අතර තවත් විටෙක අපේ හිතවාදීන්ගේ ජය – පරාජය අනුව වක‍්‍රව ද අප ජයග‍්‍රාහකයන් හෝ පරාජිතයන් බවට පත් වේ. එ් නිසා ම උද්දාමයෙන් ඉපිළී යන ජයග‍්‍රහණයන් ද කම්පිතව හද සසල කරවන පරාජයන් ද අප හමුවේ සුලබ ය.

ජයග‍්‍රහණයේ උද්දාමය තුළ අප ප‍්‍රීති ප‍්‍රමෝදයට පත් වුව ද අප අතින් පරාජයට පත් වූවන් අප ලද ජය ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් පිළිගන්නේ නැත. ජයග‍්‍රාහකයා හමුවේ පරාජිතයන් තුළ ඇති වන්නේ නොසන්සිඳීමකි. එ් තුළ වෛරය, ඊර්ෂ්‍යාව, එකට එක කිරීමේ වුවමනාව, යටපත් කොට මැඬලීමේ අවශ්‍යතාවය උපත ලබයි. මේ නිසා තරගයක අවසාන ප‍්‍රතිඵලය ජය හෝ පරාජය පමණක් නො වේ; ජය හමුවේ ඇති වන වෛරය ද එතුළ ඉස්මතු වේ. එසේ ම, පරාජිතයන් තුළ වෛරය උපදවන, ජය අබියස සතුටින් සසැලෙන සිත පරාජය හමුවේ දුක උපදවයි.

ජය – පරාජය දෙපසට දෝලනය වෙමින් ආයුෂය ගෙවී යන නිසා වෛරය ද දුක ද තරග වැදෙමින් වරින් වර මිනිස් ජීවිත තුළ ඉස්මතු වේ. වෛරයෙන්, දුකින් පිරී ගත් සිතක කවර නම් සන්සිඳීමක් ඇති කර ගන්න ද? සිතේ සන්සිඳීමක් නො ලද කවරෙකු නම් කායික මානසික සැහැල්ලූව අත් විඳින්න ද? එය කිසි කලෙකත් සිදු නොවන නිසා තරග වැදීම හා තරගකාරීත්වය හමුවේ පිල් බෙදීම ජීවිතයේ අනිවාර්ය අංගයක් කර ගත් සියල්ලන් ම ජීවත් වන්නේ කායික මානසික පීඩාවන් සහිතව ය.

ජයත්, පරාජයත් යන දෙක ම දැඩිව ග‍්‍රහණය කොටගෙන සිටින නිසා ම සුවපහසු දිවි පෙවත අපට අහිමි වූ බව අප තේරුම් ගන්නේ කවදා ද? දුක උපදවන පරාජය අප අත් හළ යුතු ය; වෛරය උපදවන ජය ද අප අත් හළ යුතු ය. ජයට හෝ පරාජයට ග‍්‍රහණය නොවන සිත කෙලෙස් පාශයෙන් බැඳී යන්නේ නැත. එවන් සිතක් උපදවා ගැනීම යනු ආපසු හැරවිය නො හැකි විජයග‍්‍රහණයකි.

කෙළවරක් නො පෙනෙන සසර ගමනක කෙලෙස් කදමලූ බැඳගෙන අප මෙතෙක් දුර ඇවිද ආවේ ජය ද පරාජය ද අත් හරින්නට අපට නො හැකි වූ නිසාවෙනි. තවත් දුර යන්නට පෙර මේ ද්විත්වයෙන් ම අත් මිදෙන්නට අපට හැකි නම්, එ් වෙනුවෙන් වෑයම් කරන්නට අපට හැකි නම් එ් සම්මා වායාමය තුළ බිහි කෙරෙන්නේ කායික මානසික සුව පහසුව අත් විඳිමින් සන්සිඳුනු සිතින් යුතුව වාසය කරන මුනිවරයෙකි.

‘‘ජයං වේරං පසවති – දුක්ඛං සේති පරාජිතෝ
උපසන්තෝ සුඛං සේති – හිත්වා ජයපරාජයං”
‘‘තරග කරන්ට ගිහින් ජය ගත්තොත් වෛරය තමයි ඇති වෙන්නේ. පැරදිච්ච කෙනා දුකින් ඉන්නවා. නමුත් ඔය ජය – පරාජ දෙක ම අත්හැරපු මුනිවරයා තමයි සැපසේ ඉන්නේ.”
(ධම්මපදය – සුඛ වර්ගය)

ජයෙන් ද පරාජයෙන් ද නිදහස් වූ මුනිවර සමවතක දැහැන්ගත වන්නට අපටත් භාග්‍යය උදා වේවා!!!

– මහාමේඝ –