ලොව බොහෝ දෙනා කතා කරන දේවල්වලින් වැඩිපුර ම කතා කරන දෙයක් වන්නේ ආදරය කියලා කීවොතින් මාත් එක්ක ඔබ සියලූ දෙනාම එකඟ වෙනවාට සැකයක් නැහැ. ඇරත් ආදරයට අකමැති කවුද?

බලන්න අද ලියවෙන සින්දුවලින් වැඩි හරියක් ම ලියවෙන්නේ ආදරය ගැන. නිෂ්පාදනය වන චිත‍්‍රපටි වැඩි හරියක් ම පදනම් වන්නේ ආදරය මත. නිර්මාණය වන කවිවලින් බොහෝ ගණනකට තේමාව වෙලා තියෙන්නේ ආදරය. ඇත්තටම මේක අදට විතරක් නො වේ, සෑම කාලයකට ම පොදු සත්‍යයක්. ‘ආදරය’ කියන මාතෘකාවේ තියන ජනප‍්‍රියභාවය නිසා මේ වන විට ආදරය දැඩි වාණිජකරණයකට හසුවෙලා. අධික මිලකට අලෙවිවන තත්ත්වයට පත්වෙලා. අපි බොහෝ විට අඬන්නෙත් ආදරය නිසා. ඒ වගේම හිනා වෙන්නෙත් ආදරය හින්දමයි.

ඔයාලටත් බොහෝ දෙනෙක්ගේ ආදරය ලැබෙනවා ඇති නේ ද? එ් අය ඔයාලට ආදරය කරන්නෙ හැබෑවට ම ද? නැත්නම් එයාලගේ පැත්තෙන් මොනයම් හෝ බලාපොරොත්තු සිතේ තියාගෙන ද? සැබෑ ආදරය කියන්නේ මොකක්ද? සැබෑවට ම ආදරය කරන අය හඳුනගන්නේ කොහොමද? ඇත්තටම මේවා තමයි සැබෑ ප‍්‍රශ්න. මේ ප‍්‍රශ්නවල පැටලිලා මිනිස්සු කොයිතරම් නම් අවුල් වියවුල් හදාගන්නවා ද? මුළා වෙලා රැුවටෙනවා ද? සැප පිණිස පවතින ආදරය දුකක් බවට පත් කරගෙන කොයි තරම් නම් දුක් සෝ සුසුම් එක්ක ජීවත්වෙනවා ද?

ඔබට බොහෝ අවස්ථාවල හමුවෙලා ඇති බොරුවට ආදරය පෙන්වන අය. එ් අය චාටු බස් කියලා, නැති ළෙන්ගතුකම් ඇති සේ අඟවමින් කතා කරනවා. එයාල අපේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින අය විදිහට රඟනවා. සමහර විට අපි කැමති පොඩි පොඩි දේවල් ගෙනත් දෙනවා. එයාලට ඉන්න කිට්ටු ම විශ්වාසවන්තයන් ඔයාලා කියලත් කියනවා ඇති. එ්ත් මේ අය වෙලාව ආවම තමන්ගේ කූඨ අරමුණු ඇඟට පතට නො දැනී එළියට දානවා. එ් අයගේ බොරු ආදරයට අහුවෙන ඔයාලා සමහර විට මුළා වෙනවා.

හැබෑවට ම ඔයාලට ආදරය කරන අයත් අහම්බෙන් හරි හමුවෙනවා ඇති නේ ද? ඔවුන් ඔයාලගේ අගය කළ යුතු දේවල් අගය කරනවා. බොරුවට නො වේ; අවංකව ම. වැරදි අඩුුපාඩු කරුණාවෙන් පෙන්වලා දෙනවා. සමහර විට දැඩිව කියනව. නො සැලෙන ස්ථාවරයක ඉන්නවා. හැබැයි එ් මාන්නය නිසාවත්, පටු අපේක්‍ෂාව නිසාවත් නො වේ; කරුණාව නිසා ම යි. මේ අයගේ ඇසුර ලබන අය දියුණුවට පත්වෙනවා. යහපත සතුට ළඟා කර ගන්නවා. ඉතින් මේ අයට අපි කියන්නේ කල්‍යාණ මිත‍්‍රයන් කියලා.

ඉතින් දැන් අපි බලමු අපිට ලෝකයේ වැඩියෙන් ම ආදරය කරන කල්‍යාණ මිත‍්‍රයා කවුද කියලා. එ් වෙන කවුරුන් නො වේ; ඔබත් – මමත් සරණ ගිය අපගේ ශාන්තිනායක භාග්‍යවත් අරහත් සම්බුදු පියාණන් වහන්සේ. අපේ දියුණුව ගැන ගොඩාක් සතුටු වන්නේ, යහපතට ගොඩාක් උපකාර වන්නේ දෙමාපියන් බව ඇත්තයි. එ්ක නිසා ම යි දෙමව්පියන් මහා බ‍්‍රහ්මයාටත් සම කරලා තියෙන්නේ. නමුත් දෙමව්පියන්ට පුළුවන් වෙන්නේ මෙලොව වශයෙන් අපට රැුකවරණ සැලැස්වීමට විතරයි. එ්ත් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ සියලූ ම දෙවි මිනිසුන් කෙරෙහි හටගත් මහා කරුණාවකිනුයි. උන් වහන්සේට පුළුවනි සියලූ දුකින් මිදෙන ක‍්‍රමය බුද්ධිමත් ලෝ වැස්සන් හට උගන්වන්න. එ් නිසා ම යි බුදුරජාණන් වහන්සේ අපේ පරම කල්‍යාණ මිත‍්‍රයා වන්නේ. කෝටියක් මව්රුන්ගේ, කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක පිඬක් කළ ද භග්‍යවතුන් වහන්සේගේ කරුණා ගුණයට සම කළ නො හැකියි. බුදුරජාණන් වහන්සේගේ කරුණාව අසීමිතයි. උන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරමින්, උන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මයට අනුව සිත පිහිටුවා ගන්න ඕනෑම කෙනෙක් හට සතර අපායෙන් අත් මිදී සුගතිගාමි විය හැකියි. එසේ ම සසර කෙටි කර ගෙන සසර කතරින් එතෙර වී සියලූ දුක් කෙළවර කළ හැකියි…

සතර අපායේ වැටෙමින් ඇත්තෙන්ම අප ආ ගමන දුක්ඛිතයි. එය අපට නො වැටහෙන්නේ අවිද්‍යා අන්ධකාරයෙන් අපේ සිත් වැසී පවතින නිසයි. බුදුරජාණන් වහන්සේ විද්‍යාව නම් වු ඇස පහළ කරගෙන සත්වයාගේ ඉරණම හෙළි කොට වදාළා. එසේ ම ප‍්‍රඥාව නම් වු ඇස පහළ කරගෙන සියලූ දුක් නිමා කරන ආකාරය ද පෙන්වා වදාළා. සියලූ දුක් දුරුකරන වැඩපිළිවෙළ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

අපි සසරකට වැටී අතරමංව සිටින බවවත් අපට තේරෙන්නෙ නැහැ. මේ ඝෝර සසර ගමනෙදි අපි හෙළුෑ කඳුළු ප‍්‍රමාණය ද සතර මහා සාගර ජලයට වඩා වැඩියි, මව්වරුන්ගෙන් බිව් කිරි ප‍්‍රමාණය ද සතර මහා සාගර ජලයට වඩා වැඩියි. අපි ඉපදෙමින්, ලෙඩ වෙමින්, මහලූ බවට පත්වෙමින්, මරණයට ගොදුරු වු වාර ගණන ගැන අදහසක් ඇති කර ගැනීමට දැන් ඔබට හැකි වන්නට ඇති.. මෙයයි භාග්‍යවතුත් වහන්සේ හෙළි කළ දුක්ඛ සත්‍යය….

කලකදි අපි නිරයේ උපදිනවා. තවත් කලකදි අපි පේ‍්‍රතයෝ වෙලා ඉපදෙනවා. විටෙක මනුෂ්‍යයෙක්. තවත් විටෙක අප මොන විදිහේ හෝ තිරිසන් සතෙක්. සමහර විටෙක අප දෙව්ලොව උපතක් ලබනවා. මේ දේ මේ විදිහට වෙන්නේ තමන් ම කරන කර්මයෙන් කියලා සොයාගත්තේ සියල්ල දක්නා – සියල්ල දන්නා බුදුරජාණන් වහන්සේයි. යම් දවසක තණ්හාව සම්පූර්ණයෙන් නැති කළොත් අපට මේ අතිශයින් ම භයානක දුක්ඛිත සසර ගමන අවසන් කළ හැකි බව ඔප්පු කරලා පෙන්නුවෙත් උන් වහන්සේ ම යි. එ් වගේ ම මේ තණ්හාව හටගන්නේ වෙන කොහොමවත් නො ව තමන්ගේ ම ඇස, කන, නාසය, දිව, කය, මනස නම් වූ ආයතන හය නිසා බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. හොඳට සිහිනුවණ පිහිටුවාගෙන මේ සිද්ධ වෙන දේ අවබෝධ කරගෙන එ් එ් තැන්වල හට ගන්නා තණ්හාව එ් එ් තැන්වල ම නැතිකරලා දැමුවොත් ආයේ ආයෙමත් මේ ඇස, කන, නාසය, දිව, කය, මනස නම් වූ දුක්ඛිත දෑවැද්ද උරුම වෙන එක නතර වන බව ඉමහත් අනුකම්පාවෙන් උන් වහන්සේයි අපට පෙන්වලා දුන්නේ. හැබෑවටම අපට ආදරේ කවුද කියලා දැන් තේරෙනවා නේ ද?

සමහර පුංචි ළමයි ඉන්නවා, හරි ම දඟයි, කියන කිසිම දෙයක් අහන්නේ නෑ, හිතුවක්කාරයි… ඇතැම් විට හිතුවක්කාරකම නිසා ම බොහෝ ඛේදනීය අනතුරුවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. එ්ත් ඇතැම් ළමයි ඉන්නවා හරි ම කීකරුයි. වැඩිහිටියෝ කියන දේවල් අහනවා. ඉතින් මේ කීකරු ළමයි, එ් කීකරුකම නිසා බොහෝ අනතුරුවලින් මිදෙනවා. මං මේ කිව්වේ උපමාවක්. අපේ සමාජයේ ඉන්න මිනිසුන් මේ වගේ ම යි. දැන් ඔබ හිතනවා ඇති ‘අපිව ළමයෙක් ගානට දැම්ම නේ ද’ කියලා… ඇත්තටම යථාර්ථය නම්, තුන් ලොව දිනූ බුදුරජාණන් වහන්සේගේ නුවණ ඉදිරියේ අපි ඇත්තටම කුඩා දරුවන්. භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළා ”පව් කරන්න එපා! පිං කරන්න!” කියලා. අපි එ් අවවාදය පිළිගන්නේ නැතුව පව් කළොත් අපට වෙන්නේ දුගතියේ යන්න. එ් අසහාය ශාස්තෘන් වහන්සේගේ වචනය අහලා පිං කළොත් ඔබට සුගති උපතක් ලබන්න වාසනාව ලැබේවි.

ඔබ ඇත්තෙන්ම ඔබට ආදරේ නම් ඔබ කිසිදිනක තමන්ගේ ජීවිතයට අහිත පිණිස පවතින දෙයක් කරයි ද? මොනවා ද අපට අහිත පිණිස පවතින දේවල්? සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම යන මේ දේවල් අපිට හිත පිණිස පවතින්නේ නැහැ. කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම වගේ ම මිථ්‍යා දෘෂ්ටියත්, අනුන්ගේ දේට ආසා කිරීමත්, තරහවත් ආදි දේවල් අපට යහපත පිණිස පවතින්නේ නැහැ. මෙවැනි පාපකර්ම අපි කළොත් අපට මරණින් මතු යන්න වෙන්නේ නිරයේ, පේ‍්‍රත ලෝකයේ, තිරිසන් ලෝකයේ…

දැන් ඔබට එක දෙයක් පැහැදිලි ඇති. එ් තමයි අනුන්ට ආදරය කරන්න කලින් තමන්ට ආදරය කරලා තමන් ව විපතින් බේරා ගන්න ඕන බව. මෝඩ කුහක අන්ධ ආදරය අනිවාර්යයෙන් ම කෙළවර වන්නේ දුකකින්. මොකද තමන් එ් ආදරය තුළ නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් සලකාගෙන ඉන්නේ ජරා, ව්‍යාධි, මරණ, ආදිය උරුම කොටගෙන ඇති දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුනු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දේවල් නිසාවෙන්. මේ නිසා අපගේ පරම කල්‍යාණ මිත‍්‍රයාණන් වහන්සේ වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළින් තමන් තමන්ට සැබෑ ආදරය දැක්විය යුත්තේ කෙසේදැයි වටහා ගන්න. හැබෑවටම තමන්ට ආදරෙයි නම් සිතින්, කයින්, වචනයෙන් සංවර වන්න. පව් රැුස් නො කරන්න. තමන්ගේ අකුසල කර්ම තමන්ට බොහෝ දුක් සහිත සතර අපායේ උපත පිණිස හේතු වන බව සිහි කරන්න. පින එක් රැුස් කොට සුගති සැපයට හිමිකරුවෙකු වන්න. ඇස, කන, නාසය, දිව, කය, සිත සංවර කර ගන්න.

හේතූන් නිසා හටගන්න සියලූ දේවල් අනිත්‍ය, දුක්ඛ අනාත්ම වශයෙන් විනිවිද දකිමින් කුසල් වඩන්න. ‘‘හේතූන්ගෙන් හටගන්නා දුක නමැති ඵලය හේතු නැති කිරීමෙන් නැතිවී යන්නේ ය” යන බුදු වදන තමන් තුළින් පසක් කර ගන්න. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ අනුදත් මග ඔස්සේ ගමන් කරන, තමන්ට ඇති ආදරය නිසා තමාව රැුකගනිමින් තමන්ට පිහිට පිළිසරණ සලසාගන්න කෙනෙක් වෙන්න. ධර්මය පිළිසරණ කර ගන්න. බාහිර දෙයක් පිළිසරණ කර ගන්න එපා. එවිටයි අප අනෙක් අයටත් සැබෑවටම ආදරය කරන කෙනෙක් බවට පත්වෙන්නේ…

එ් කෙනා අනෙක් අය කෙරෙහි උපන් සැබෑ පේ‍්‍රමයෙන් හා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ ධර්ම මාර්ගය පෙන්වා දෙන කල්‍යාණ මිත‍්‍රයෙක් බවට පත් වෙනවා. මෙය ලොව ඇති අසිරිමත් ම ආදරයයි….! සැබෑම ආදරයයි….! මේ ආදරය ලාභ සත්කාර ලබා ගැනීම පිණිස දක්වන ආදරයක් නෙවෙයි, කීර්ති ප‍්‍රශංසා පිණිස හෝ වෙනන් ප‍්‍රතිලාභයක් පිණිස සැබෑ ආදරයක් මෙන් පෙන්වන මායාවක් ද නෙවෙයි. කල්‍යාණ මිත‍්‍රයාගේ බලාපොරොත්තුව වන්නේ ‘අනේ මේ අය සිල් රකිනවා නම් හොඳයි… අනේ මේ අය තිසරණයේ පිහිටලා සුගති සැප ලබනවා නම් හොඳයි… අනේ මේ අය නිවනින් සැනසෙනවා නම් හොඳයි…’ යන උතුම් කාරණයයි. මෙවැනි උතුම් අදහස්වල පිහිටා කල්‍යාණ මිත‍්‍රයා අවවාද කරනවා එ් අවවාද පිළිපදින පිරිස තම තමන්ට මහා යහපතත් සලසා ගන්නවා.

මේ අතිශයින් ම සුන්දර වූ, සියලූ දුක් සන්සිඳවන්නා වූ ශ‍්‍රී ධර්ම මාර්ගය අප වෙත විවෘත වී පවතින මෙකත, මේ ගෞතම බුද සසුන තුළ ම අපි අපේ සැබෑ රැකවරණය සලසා ගනිමු. සැබෑ සැපත ලබන්නන් බවට පත් වෙමු. තමන්ගේ සිහිය නුවණ, වීරිය මෙහෙයවා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරමින් ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ, සියලූ දෙවි මිනිසුන්ගේ පරම කල්‍යාණ මිත‍්‍රයාණන් වහන්සේ බවට පත් වූ, අපට සැබෑම ආදරය දැක්වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ‍්‍රාවකයන් වෙමු..!

සටහන
හේමන්ත කුමාර