ලංකාද්වීපය වනාහී ගෞතම බුදු සසුන බබලන තැන යැයි අප භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් දන්නා ලද්දේය. ඒ ලංකාද්වීපයෙහි සසුනට විරුද්ධ ගති ඇති යකුන් පිරී සිටි හෙයින් ඒ යක්ෂයෝ ලංකාද්වීපයෙන් බැහැර කළ යුත්තාහ.

ලංකාද්වීපයෙහි මැද ඉතා සිත්කලු වූ ගංගා තීරයෙහි යකුන් එක්රැස් වන තැනක් තිබේ. ඒ රම්‍ය වූ භූමිය තුන් යොදුනක් දිග ය. එක් යොදුනක් පළල ය. එම ස්ථානයෙහි යකුන් රැස්වන බව භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.

ඉතා සරුවට වැඩුණු නාවෘක්ෂයන්ගෙන් පිරී ගිය හෙයින් මහානාග වනෝද්‍යානය යන නාමය ලද ඒ භූමි ප්‍රදේශයෙහි ලංකාද්වීපවාසී යක්ෂයින්ගේ මහා සභාවක් තිබුණීය.

සුගත වූ අප බුදුරජාණන් වහන්සේ ඒ මහා යක්ෂ සමාගම තිබූ තැනට වැඩි සේක. යකුන් රැස්වී සිටි ඒ භූමිය මැද ඔවුන්ගේ හිස් මත්තෙහි, මහියංගණ මහා ස්ථූපය දැන් පිහිටා ඇති තැන ආකාසයෙහි වැඩහුන් සේක. ඉක්බිති ඒ යකුන් හට සංවේගය ඇතිවන ආකාරයෙන් ඉර්ධි බලයෙන් මහාවැසි, සුළං, ඝනාන්ධකාරාදිය දක්වාලූ සේක.

භාග්‍යවතුන් වහන්සේ විසින් ඉර්ධියෙන් මවන ලද මහවැසි ආදියෙන් ඉතා බියට පත් වූ යක්ෂයෝ බුදුරජාණන් වහන්සේගෙන් තම බිය නැති කරන මෙන් ඉල්ලා සිටියහ. ලෝක සත්වයාට නිර්භයස්ථානය වූ උතුම් මගඵලනිවන් ලබාදෙන භාග්‍යවතුන් වහන්සේ බියෙන් පීඩිත යක්ෂයින් හට මෙසේ වදාළහ.

“එම්බා යක්ෂයිනි, මම තොපගේ මේ ඇති වී තිබෙන භයත් දුකත් දුරුකර දමන්නෙමි. තෙපි සමගි සම්පන්නව මෙම ස්ථානයෙහි මට වැඩ හිඳින්ට තැනක් දෙව්.”

එකල්හි බියට පත්ව සිටි යක්ෂයෝ අපගේ සුගතයන් වහන්සේට මෙසේ කීහ. “නිදුකාණන් වහන්ස, අපි සියලු දෙන නුඹවහන්සේට මේ මුළු මහත් ලංකාද්වීපය ම දෙම්හ. නුඹවහන්සේ අපට ඇති වී තිබෙන මේ භයෙන් අප නිදහස් කරන සේක්වා!”

එකල්හි යක්ෂයින්ගේ භයත් සීතලත් අන්ධකාරයත් දුරුකළ භාග්‍යවතුන් වහන්සේ ලක් පොළොවට වැඩම කොට ඔවුන් විසින් දෙන ලද භූමියෙහි පත්කඩය අතුරා වැඩහුන් සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පත්කඩය හාත්පසින් ගිනි ජාලාවන් නික්ම යන ලෙසින් ඉර්ධියක් කොට වදාළහ. ලක්දිව පුරා පත්කඩය පැතිරෙන්ට සැලැස්සූ සේක. ගිනි ජාලාවෙන් ඇති වූ අධික තාපයෙන් පීඩිත වූ යක්ෂයෝ තවත් බියට පත්ව ලංකාවෙහි මුහුදු සීමාව දක්වා පසුබැස සිටගෙන සිටියෝය.

යක්ෂයන් එසේ සිටගෙන සිටිද්දී ලංකාද්වීපයට ගිනිකොණ දිසාවෙන් මුහුද මැද පිහිටි රම්‍ය වූ ගිරිදීප නම් දිවයින ඉර්ධි බලයෙන් ලංකාද්වීපයට ළං කොට වදාළ සේක. ඔවුන් උදෙසා ළං කරන ලද ගිරි දිවයිනට සියලු යකුන් පිවිසි කල්හි ගිරි දිවයින තිබූ තැනම තබාලූ සේක.

අපගේ ලෝකනාථයන් වහන්සේ ලංකාවාසීව සිටි යකුන් ගිරි දිවයිනට පිටත් කොට හැරිය පසු එම පත්කඩය සාමාන්‍ය තත්වයට හැකිලූ සේක. එකල්හී එම ස්ථානයට දේවතාවෝ රැස්වූහ. රැස්වූ දේවතාවුන් හට භාග්‍යවතුන් වහන්සේ ධර්මය වදාළ සේක.

එහිදී නොයෙක් කෙළ ගණන් ප්‍රාණීන් හට උතුම් මාර්ගඵලාවබෝධය ඇතිවූයේය. තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඇතිව මනාකොට තෙරුවන් සරණ ගොස් උතුම් පංච සීලයෙහි පිහිටියහ. ඒ පිරිස ගණන් කළ නොහැකි තරම් ය.

ඒ දේව සමාගමෙහිදී සුමනකූට පර්වතයෙහි අධිගෘහිතව සිටි මහාසුමන දේවේන්ද්‍රයා සෝවාන් ඵලයට පත්විය. දෙව්මිනිසුන්ගේ පුද පූජාවන්ට යෝග්‍ය වූ අප බුදුරජාණන් වහන්සේගෙන් තමන් හට වැඳුම් පිදුම් කිරීම පිණිස සුදුසු දෙයක් ඉල්ලා සිටියේය.

නීල වර්ණයෙන් යුක්ත වූ, කිලුටෙන් තොර වූ කෙස් පිහිටියේ යමෙකුගේ සිරසෙහි ද, හේ නීලාමලසිරෝරුහ නම් වේ. එසේ නීලාමලසිරෝරුහ යන නාමය ලද, සියලු ප්‍රාණීන්ට හිතෛෂී වූ භාග්‍යවතුන් වහන්සේ තම සිරස පිරිමැද මිටක් පමණ කේශ ධාතූන් වහන්සේලා දුන් සේක.

මහාසුමන දිව්‍යරාජයා ශාස්තෘන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා උතුම් වූ රන් කරඬුවකින් පිළි අරගත්තේය. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිය ස්ථානයෙහි නොයෙක් මැණික් වර්ගයන් රැස්කොට, උසින් මහතින් සත්රියනක් පමණ වූ සෑයක් කරවා ඒ මැද කේශ ධාතූන් වහන්සේලා වඩා හිඳුවා ඉන්ද්‍රනීල මාණික්‍යයකින් එය වැසුවේය. නමස්කාර ද කළේය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසු උන්වහන්සේගේ අසිරිමත් බුදු බඳ දැවෙමින් තිබූ චිතකයෙන් සරභූ නම් රහතන් වහන්සේ සිය ඉර්ධි බලයෙන් භාග්‍යවතුන් වහන්සේගේ බෙල්ලෙහි අස්ථි හෙවත් ග්‍රීවා ධාතුන් වහන්සේ ගත් සේක.

සරභූ මහරහතන් වහන්සේ අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමකි. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන මහියංගණ චෛත්‍යස්ථානයට අහසින් වැඩම කොට ග්‍රීවා ධාතූන් වහන්සේ එතැන ම වඩාහිඳුවා, මහා ඉර්ධිමත් සරභූ රහතන් වහන්සේ එම ස්ථූපය ලා කහ පැහැයෙන් යුතු ගල්වලින් මනාකොට වස්සවා දොළොස් රියනක් උසට සෑය කරවා එහි ආරක්ෂාව මහා සුමන දිව්‍යරාජයාට පවරා පෙරළා කුසිනාරා නුවරට වැඩම කළ සේක.

පසු කාලයෙහි අපගේ දෙවනපෑතිස් මහරජතුමන්ගේ සහෝදර කුමාරයෙකු වන, මුටසීව රජුගේ පුත්‍රයෙකු වන උද්ධචූළාභය නමැති රාජ කුමාරයා එම ප්‍රදේශයෙහිදී මහියංගණ චෛත්‍යයෙහි ආශ්චර්ය අද්භූත හාස්කම් දුටුවේය.

එකල්හි හාස්කම් දුටු රාජ කුමාරයා මහියංගණ චෛත්‍යය තිස් රියනක් පමණ උසට ගඩොල්වලින් වස්සවා සම්පූර්ණ කළේය. එම ප්‍රදේශය අල්ලාගෙන සිටි ආක්‍රමණික දෙමළ යුවරජවරුන් පළවා හරින කාලයෙහි දුටුගැමුණු මහරජතුමාත් මහියංගණ ප්‍රදේශයට සැපත් වී, සෑය වන්දනා කරන්ට පැමිණ සෑය වටකොට නැවතත් රියන් අසූවක් උසට අලංකාර කඤ්චුක චෛත්‍යයක් කෙරෙව්වේය. මේ මහියංගණ ස්ථූපය ඔය ආකාරයෙන් එහි මනාව පිහිටියේය.

එදින, ධර්මයෙහි ඉසුරුමත් වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් ලංකාද්වීපයෙහි දරුණු යකුන් වෙනත් තැනකට පිටත් කරවා සත්පුරුෂ මනුෂ්‍යයන් හට වාසභූමි වන අයුරින් ලංකාව පිළියෙල කරවා වදාළ සේක. ඒ මහාවීර පරාක්‍රමයෙන් යුතු මුනිඳාණෝ නැවතත් උරුවෙල් දනව්වට වැඩි සේක.

(අප භාග්‍යවතුන් වහන්සේ මහියංගණයට වැඩම කළ විස්තරය අවසන් විය.)

උපුටා ගැනීම – මහාවංශය සරල සිංහල අනුවාදය

පූජ්‍ය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ