ගෞතම බුදුසසුනේ උදාර උපාසිකාවක් බවට පත්වූ ඛුජ්ජුත්තරාවන් ගැන අප මින් පෙර ලිපියේදී දැනගත්තා. ගෞතම බුදුසසුනේ සංඝයාට උපස්ථාන කරන උපාසකයන් අතරේ අග්‍ර වූ හස්තිගම්වැසි උග්ග ගෘහපතිතුමා ගැනයි අපි අද ඉගෙන ගන්නෙ.

මේ භද්‍ර කල්පයේ ඒ අප ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම බුදුරජාණෝ පහළ වූ යුගයේ හස්තිග්‍රාමයේ සිටු කුලයකයි ඔහු උපත ලැබුවේ. පිය සිටුතුමාගේ අභාවයෙන් පසු උග්ගයන් නගරයේ මහසිටු බවට පත් වුණා. දිනක් හස්තිග්‍රාමයට වැඩම කළ තිලෝගුරු ගෞතම මුනිරජාණන් හමු වූ උග්ගයන්ගේ ජීවිතය මුළුමනින් ම වෙනස් වුණා. එදා සිට තමයි හැම දෙනා අතරේ ‘හත්ථිගාමක උග්ග මහ උපාසකතුමා’ ලෙස ඔහු ප්‍රසිද්ධ වුණේ.

අපගේ බුදුරජාණන් වහන්සේ එක් කාලයක මේ උග්ග උපාසකතුමා වාසය කරන වජ්ජී ජනපදයේ හස්තිග්‍රාමයේ වැඩ සිටියා. දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් හට උග්ග උපාසකතුමා ගැන මෙබඳු කරුණක් දේශනා කළා.

“මහණෙනි, ඔබ දන්නවා නේ ද මේ හස්තිග්‍රාමයේ සිටින උග්ග ගෘහපතියා ගැන. මහණෙනි, ඔය ගෘහපතියා ආශ්චර්ය අද්භූත කරුණු අටකින් යුක්ත කෙනෙක්.” මෙසේ පැවසූ මහා කාරුණිකයාණන් වහන්සේ වෙනත් කිසිවක් නොපවසා හුනස්නෙන් නැගී සිට වෙහෙරට වැඩම කළා.

බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාරණේ නිසා එක් භික්ෂුවකට හරි ආසාවක් ඇති වුණා මොනවා ද ඒ ආශ්චර්ය කරුණු කියලා දැන ගන්නට. ඉතිං ඒ භික්ෂුව පෙරවරු කාලයේ සිවුරු හැඳ පොරවාගෙන හස්තිගම්වැසි ඒ උග්ග ගෘහපතිතුමාගේ නිවස වෙත වැඩම කළා. වැඩම කොට පැනවූ අසුනේ වැඩ සිටි ඒ භික්ෂුව උග්ග ගෘහපතිතුමාගෙන් මෙසේ විමසුවා.

“ගෘහපතිය, ඔබ ආශ්චර්ය, අද්භූත කරුණු අටකින් සමන්විත වූයේ යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ නොවැ. ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ඒ ආශ්චර්ය, අද්භූත කරුණු අට මොනවා ද?”
එවිට උග්ග ගෘහපතිතුමා ඉතා නිහතමානීව මෙසේ පැවසුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද්දේ කවර කරුණු අටක් ද කියා මා දන්නේ නෑ. එහෙත් ස්වාමීනී, මා විසින් දකින ලද මාගේ ආශ්චර්යවත් කරුණු අටක් තිබෙනවා. ස්වාමීනී, එය ඔබ වහන්සේ මැනැවින් අසන්නේ නම්, හොඳින් නුවණින් මෙනෙහි කරන්නේ නම් මම ඒවා පවසන්නම්.”

ඒ භික්ෂූන් වහන්සේ ඉතා ම සතුටින් ඒ කරුණු ඇසීමට කැමති වුණා. ඒ මොහොතේ තමන්ගේ ජීවිතයේ පවතින අසිරිමත් බව ගැන උග්ග ගෘහපතිතුමා විසින් ම යි මේ කරුණු පැවසුවේ.

“ස්වාමීනී, මම නාග වනයෙහි ඉඳුරන් පිනවමින් විනෝද වෙමින් බීමත්ව සිටිද්දී මුල්ම වතාවට ඒ මහා කාරුණික සම්බුදුරජාණන් වහන්සේව දුටුවෙම් ද ඒ දැකීමත් සමඟ ම මාගේ සිත පැහැදී ගියා. වෙරි සිඳී ගියා. ස්වාමීනී, මේ අසිරිය තමයි මා දකින පළමුවැන්න.

ඉතිං ස්වාමීනී, ඒ මම පැහැදුණු සිතින් යුතුව භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ගෞරවයෙන් ඒ බුදුරජුන් ඇසුරු කළා. ඔව්! මාගේ ශාස්තෘන් වහන්සේ එදින ධර්මය වදාළ අයුරු අදටත් මා සිතේ රැව් දෙනවා. ස්වාමීනී, බුදුරජාණන් වහන්සේ ඉතා මනරම් ලෙස දාන කථාවෙන්, සීල කථාවෙන්, ස්වර්ග කථාවෙන්, කාමයෙහි ආදීනව පෙන්වමින්, කෙලෙසුන්ගේ කිලිටි බව ගැන පෙන්වා දෙමින්, නෙක්ඛම්මයෙහි ආනිශංස ඉස්මතු කරමින් අනුපිළිවෙළ කතාවෙන් දහම් දෙසද්දී මාගේ සිත පිබිදී ගියා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ එය දුටුවා. එවිට දහම් අසා ප්‍රබෝධවත් වූ සිත් ඇති මා හට දුකත්, සමුදයත්, නිරෝධයත්, මාර්ගයත් ගැන වදාරමින් බුදුවරුන්ගේ සාමුක්කංසික ධර්ම දේශනාව සිදු කළා.

ස්වාමීනී, පිරිසිදු වස්ත්‍රයකට මැනැවින් සායම් උරා ගන්නවා වගේ මා හට ඒ මොහොතේ ම දහම් ඇස පහළ වුණා. හේතූන්ගෙන් හටගන්නා සියල්ල හේතු නැති වීමෙන් නැති වී යන බව වැටහුණා. සාදු! සාදු! ස්වාමීනී, දහමේ සැක රහිත වූ ඒ මම එහිදී ම බුදුරජුන්, ධර්මය, සංඝයා යන මේ තෙරුවන් සරණ ගියා. බඹසර පස්වෙනි කොට ශික්ෂාපද සමාදන් වුණා. මේ සියල්ල සිදුවුණේ ස්වාමීනී, මා ප්‍රථම වරට බුදුරජුන් ඇසුරු කළ දිනයේ දී ම යි. මෙය මා තුළ පවතින දෙවැනි ආශ්චර්ය යි.

ස්වාමීනී, මට යොවුන් බිරින්දෑවරු සතර දෙනෙක් සිටියා. මම බඹසර සිල් සමාදන් වුණා නොවැ. ඉතිං මම ඈලාට මෙහෙම කිව්වා. ‘සොයුරියෙනි, මා බ්‍රහ්මචාරී ශික්ෂාපදය සහිත ව පන්සිල් සමාදන් වුණා. ඉදින් කැමති තැනැත්තියකට මෙහි සිට ම භෝග සම්පත් අනුභව කරමින් මා සමඟ පිනුත් කරමින් ඉන්ට පුළුවනි. කැමති නම් තම ඥාතීන් වෙත යන්ටත් පුළුවනි. යම් තැනැත්තියක් වෙනත් පුරුෂයෙකුට කැමැත්තී නම්, ඔහුට ඇයව දෙමි.’ යි, ස්වාමීනී, මා මෙසේ කී කල්හී ජ්‍යෙෂ්ඨ බිරින්දෑ ‘ආර්ය පුත්‍රය, මෙනම් ඇති පුරුෂයාට මාව දෙනු මැනැව’ යි කියා සිටියා. ඉතින් ස්වාමීනී, මම ඒ පුරුෂයා කැඳවා, ඒ පුරුෂයාගේ අතට පැන් වඩා ඇය බාර දුන්නා. හැබැයි ඒ යොවුන් බිරිඳ අත්හරින මොහොතේ මාගේ සිතෙහි කිසි වෙනස්කමක් ඇති වූයේ නෑ. මේ කරුණත් මා දකින්නේ මා තුළ පවතින ආශ්චර්යයක් ලෙසයි.

ස්වාමීනී, සතරවැනි ආශ්චර්ය කරුණ තමයි මේ මාගේ නිවසේ යම්තාක් භෝග සම්පත් තිබේ ද ඒවා කිසිවක් කල්‍යාණ ධර්ම ඇති, සිල්වතුන් සමඟ ‘මේවා නම් මම දෙනවා. හැබැයි මේවා දෙන්නේ නෑ’ කියන අල්ලාගත් සිතක් නැතිව ම බෙදන ස්වභාවයක් මට තිබෙන්නේ. ස්වාමීනී, මම ඉතා සතුටින් දන් දෙන කෙනෙක්.

ඒ වගේ ම යි ස්වාමීනී, මම ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නෙත් ඉතා සතුටින්. මම යම් භික්ෂුවක් ඇසුරු කරනවා නම්, ඉතා ගෞරවයෙන් සකස් කරලා ම යි ඇසුරු කරන්නෙ. ඒ භික්ෂූන් වහන්සේ මට දහම් දෙසනවා නම් පහන් සිතින් ආසාවෙන් කන් යොමාගෙන සකස් කරලා ම යි ඒ දහම් මා අසන්නේ. ඒ භික්ෂූන් වහන්සේ මා උදෙසා දහම් නො දෙසනවා නම් ස්වාමීනී, මා ඒ භික්ෂුවට ධර්මය පවසනවා. මෙය මා තුළ ඇති පස්වෙනි ආශ්චර්යය කාරණය යි.

ස්වාමීනී, මම සංඝයාට දන් පිණිස ඇරයුම් කළ විට දෙවිවරු මා වෙත පැමිණ මෙසේ කියනවා. ‘ගෘහපතිය, අසවල් භික්ෂුව මෙබඳු මෙබඳු මාර්ගඵලයන්ට පත් වෙලයි ඉන්නෙ. අසවල් භික්ෂුව සිල්වතෙක්. අසවල් භික්ෂුව දුස්සීලයෙක්’ කියලා. ස්වාමීනී, මේක මට ආශ්චර්යයක් නොවෙයි. මාගේ ආශ්චර්ය කරුණ නම් මෙය යි. එසේ තිබියදීත්, මම සංඝයාට දන් පූජා කරද්දී ‘මම මේ භික්ෂුවට ස්වල්පයක් දෙමි. මම මේ භික්ෂුවට බොහෝ දෙමි’ කියා සිතුවිලි උපදවා නෑ. මම සම සිතින් ම දන් දෙනවා.

ස්වාමීනී, මා සමඟ ඇතැම් දෙවිවරු මෙහෙම කියනවා. ‘ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි’ කියලා. එතකොට ස්වාමීනී, ඒ ඈයන්ට මම පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “දේවතාවෙනි, ඔබ කිව්වත්, නැතත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ස්වාක්ඛාතයි.” එහෙත් ස්වාමීනී, ‘දේවතාවෝ මා වෙත පැමිණෙනවා නොවැ. මා හා කතා බස් කරනවා නොවැ’ කියලා මා තුළ මාන්නයක් හටගත් බවක් නම් මම දකින්නේ නෑ. ස්වාමීනී, මගේ සත්වැනි ආශ්චර්යය නම් එය යි.

ඇත්තෙන්ම ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේට පෙර කළුරිය කළොත් භාග්‍යවතුන් වහන්සේ මා ගැන මෙසේ පවසාවි. ‘හස්තිගම්වැසි උග්ග ගෘහපති තෙමේ මරණින් මතු යළි මේ මිනිස් ලොවට පැමිණෙයි නම් එබඳු කිසිදු සංයෝජනයක් ඔහු තුළ නැත්තේ ය’ කියා. ස්වාමීනී, මෙය මා තුළ දකින අටවෙනි ආශ්චර්යය අද්භූත කරුණයි.

ස්වාමීනී, ඔන්න ඔය ආශ්චර්යය අද්භූත කරුණු මට ම මා තුළින් දකින්නට ලැබෙනවා.”

ඔය විදියට හත්ථිගාමක උග්ගයන්ගේ නිවසේ දී මේ අපූර්ව ආශ්චර්යවත් කරුණු ඒ භික්ෂුවට අසන්නට ලැබුණා. ඒ කරුණු සතුටින් අනුමෝදන් වුණ ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ උග්ග ගෘහපතියා සමග සිදුවූ කතාසල්ලාපය භාග්‍යවතුන් වහන්සේට සැල කළා. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. “සාදු! සාදු! භික්ෂුව, හත්ථිගාමක උග්ග ගෘහපතියා හරියට ම කරුණු පවසා තිබෙනවා නොවැ. මා වුණත් ඔහු ගැන පැවසුවා නම් පවසන්නේ ඔය කරුණු අට ම තමයි.”

මෙබඳු උදාර ශ්‍රාවක චරිත ගැන අපට අසන්නට ලැබීමත් මහා වාසනාවක්. ඒ ශ්‍රාවක ජීවිතවල පැවැති ගුණදහම් ටිකෙන් ටික හෝ ඔබේ ජීවිතවලට ගළපා ගන්නට දක්ෂ වුණොත් ඔබත් කොයි තරම් නම් වාසනාවන්ත වේවි ද…!

– අංගුත්තරනිකාය හත්ථිගාමක උග්ග සූත්‍රය ඇසුරිනි –

මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.