කිකිළියක් බිත්තර දාලා ඒ බිත්තර රකින්නේ නැතුව ඇවිද ඇවිද ඉන්නවා. ‘‘මේ බිත්තර වලින් පැටව් එළියට ඒවා!” කියලා කිකිළි කොපමණ ප‍්‍රාර්ථනා කළත් පැටව් එළියට එන්නෙ නෑ. තවත් කිකිළියක් ඉන්නවා. එයා නම් බිත්තර දාල ඒව හොඳට උණුසුමට රකිනවා. මේ බිත්තරවලින් පැටව් එළියට ඒවා කියලා ඒ කිකිළි ප‍්‍රාර්ථනා කළත්, නැතත් ඒ පැටව් ලැබෙනවා. ඒ වගේ යම්කිසි ප‍්‍රතිඵලයක් ලබන්නට යම් වැඩපිළිවෙළක්, ප‍්‍රතිපදාවක් ඇත් ද එය අනුගමනය නො කිරීමෙන් ඒ අපේක්‍ෂිත ප‍්‍රතිඵලය ලබන්නට නො හැකියි.

බිත්තර දැම්මෙමු – ඔහේ ඇවිද්දෙමු

ඒ කාරණාව අපට පැහැදිලි කරලා දුන්නෙත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ම යි. එතෙක් අපි කළෙත් කිකිළි බිත්තර දාලා පැටව් එනකල් ඇවිද ඇවිද හිටිය වගේ වැඩක්. මීට 12 වසරකට පෙර දවසක් ගෙවිලා තවත් දවසක් උදාවුණා. බොහෝ දෙනාට අමතක නම් නැතුව ඇති. ඒ නව සහස‍්‍රකයේ ඇරඹුම සනිටුහන් කරමින් 1999 වසර අවසන් වී වර්ෂ 2000 උදා වූ දවසයි. නමුත් අපි බොහෝ දෙනා අමුතු දවසක් උදාවෙනවා වගේ, අමුතු ඉරක් පායනවා වගේ නොයෙක් නොයෙක් දේ කළා. තම තමන් කළ නො කළ දේ වඩාත් හොඳින් මතක තම තමන්ටමනෙ. නමුත් සිදුවුණ එකම දේ වෙනදා වගේ ම ඉර බැස ගිහින් පසු දා හිරු උදා වුණ එක විතරයි. ඒ ඉර බැහැල ගියේ තවත් පැය 24කින් ජීවත් වෙන්න තියෙන අපේ ආයුෂත් අරගෙනයි.

කළ යුතු දේ පැත්තක තියලා ප‍්‍රාර්ථනා, බලාපොරොත්තු ගොන්නකින් හිත පුරවා ගත්තා. ඉහළට ගත් හුස්ම පොද පහළට හෙළන්න කලින් උරුම විය හැකි මරණය ගැන යමෙකුට සිහිවූයේ නම් ඒ ඉතා ම කලාතුරකින්. ඒ අවුරුද්ද අවසන් වන විට මුලින් සිදුකළ ප‍්‍රාර්ථනා ගොන්නවත් මතක තිබුණාදෝ යි සැක සහිතයි. ඒ තරම් ම ප‍්‍රබල මායාවක්.

කාලකණ්ණි දවසක්

හැම අවුරුද්දේ ම අවසන් වන දවසත්, එළඹෙන අවුරුද්දේ මුල් ම දවසත් අපි නො දැනුවත්වම කාලකණ්නි කරගත්තා. කෑවා, බිව්වා, නැටුවා, එලි වෙනකල් පුටුව උඩට වෙලා ටී.වී. බැලූවා. සමහරු වෙරි මරගාතෙ. හැමෝ ම පහුවදාත් දවල් වෙනකල් ම බුදි!

මග හොඳට තිබේ නම් – 
දෑසත් හොඳට පෙනේ නම්…

ක්‍ෂණ සම්පත්තියෙන් අපිට ලැබුණ ජීවිතේ සුන්දර දවසක් අපි විහින් අකුසල් කන්දක් කරගත්ත. යම් කෙනෙක් යම් දවසක තෙරුවන් සිහි කරයි නම්, කුසල් දහම් කරයි නම් ඒ දවස එයාට සුභ දවසක්. සුභ මොහොතක්. අවුරුද්දේ කුමන දවසක වුණත් කළ යුතු වැඩපිළිවෙල නම් මැදුම් පිළිවෙතයි. යා යුතු මග නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මග පැහැදිලිව, නිරවුල්ව තිබිය දී නො මග ගියහොත්, කරත්තයේ රෝදත් කඩාගෙන අතරමං වී කල්පනා කර කර දුක් වෙන්නයි සිදු වෙන්නේ. ඒ නිසා පසු නො තැවෙන ජීවිතයක් ලබන්නට කැමති නම් යා යුත්තේ නිවැරදි මග ම යි.

සමරන්නට සුවිශේෂ දවස් 12ක් අවුරුද්දට පුරාවට ම බෞද්ධ අපට තියෙනවා. ඒ සෑම මසක ම පසළොස්වක පොහොය දවසයි. ඊටත් වඩා සමරන්නට කැමති නම් දින 48ක් සතර පෝය සමරමින් ගත කරන්නටත් පුලුවන්. ඉන් ජීවිතයට සැලසෙන්නේ යහපතක් ම යි.

වසරේ අවසාන දිනයත්, එළඹෙන වසරේ ආරම්භයත් අභාග්‍ය සම්පන්න නො කර ගැනීමට අපි බුද්ධිමත් වෙන්න ඕන. ලබන්නා වූ වසර සාර්ථක කරගන්නට, බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට කියා අසත්පුරුෂයන් විසින් හුදෙක් වාණිජමය අරමුණු මත පිහිටා නොයෙක් මාධ්‍ය ඔස්සේ අධර්මයන් පතුරුවන්නට දැනටමත් පටන් අරන්. නමුත් ඒ අනතුරුවලින් මිදී, බුද්ධිමත්ව, බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ‍්‍රාවකයන් ලෙසින් කටයුතු කිරීමට අප වගබලා ගතයුතු වෙනවා.

ගලේ කෙටුවත් වැඩක් නෑ…!

හිතේ තියෙන බලාපොරොත්තු නව වසරේ ඉෂ්ට කර ගන්න කියලා හිතාගෙන පොතේ ලියා තැබුවත්, ගලේ කොටලා තිබ්බත් ඊට කලින් ඔබ මැරුණොත් ඒ බලාපොරොත්තු නිකම් ම නිකන් හිස් අකුරු ටිකක් විතරයි. ඒ වගේ ම ඒ අපේක්‍ෂාවන් ඉබේ ඉටු වෙන්නෙත් නෑ. ඊට අදාළ ප‍්‍රතිපදාවන් අනුගමනය කළ යුතුයි.

ලොව පරම සත්‍යය දේශනා කළේ අපගේ ශාස්තෘන් වහන්සේ විසින් ම පමණයි. උන්වහන්සේ දේශනා කළේ මුල-මැද-අග පිරිසිදු වූ අකාලික ධර්මයක්. මේ ජීවිතයේ දී ම දකින්නට පුලූවන් ඒ සිරි සදහම් ඕනෑ ම කෙනෙකුට ඇවිත් බලන්න පුළුවනි. ඒ සොඳුරු වූ අකාලික මුනි දහම තමා තුළට පමුණුවාගෙන, තම තම නැණ පමණින් අවබෝධ කරගන්නා, සුභ ම සුභ නව වසරක් වේවා!

‘‘බැස ගියා හිරු උදා වී –
වසක් ගෙවුණා නිමාවී
ජරා මරණය ළඟා වී –
දිනනු බැහැ නො වැ පමාවී”