‘‘ආං බලාපන්…. උඩහ ගෙදර ඇසිලියා රට ඉඳල ඇවිල්ලා. අර…. අර…. ටැලිවිසොං පෙට්ටියකුත් ගෙනල්ලා. මගෙ අප්පේ…. ඒකෙ ලොකු! දැන් ඉතින් ගමට ම ඇහෙන්න, පේන්න ඕක දාගෙන ඉඳීවි මහ උජාරුවට.

හ්ම්හ්… උන්ට හරි ගියා. ඒකට බලාපල්ලා අපේ ගෙදර…. කපුටු කූඩුවක් විතර ඇති ටැලිවිසොං එක. කොහෙද ඉතින් අපේ ගෙවල්වල මිනිස්සුන්ට ඕව තේරෙන්නේ නැහැ නෙව. කොච්චර කිව්වත් වැඩක් නැහැ.’’

….ඒ වැට අද්දර හුන් සිරියලතා අල්ලපු ගෙදර මැගිලින් එක්ක ඉරිසියාවෙන් පුපුරමින් කළ කතාබහක කොටසක්.

‘‘පුතේ…, උඹ ඔය ගෙදර ප්ලෑන් එක අඳින මනුස්සයට කියාපන් ගේ කොහොම හරි තට්ටු 3 ට ප්ලෑන් කරන්න කියලා. ඉස්සරහ ගෙදරත් තට්ටු දෙක යි. අල්ලපු ගෙදරත් තට්ටු දෙක යි. ඒ දෙකට ම වඩා උසට අලූත් ගේ හදන්න ඕන ඕකුන්ට තරු පේන්න. ගෙදර ඉන්නෙ උඹයි, මායි, අප්පච්චියි විතරක් වුණාට කමක් නැහැ.’’

….නව නිවසක සිහින මවන ධනුෂ්කට තම අම්මාගෙන් ලැබුණේ එවැනි දැනමුතු කමක්.

‘‘බලන්න සුරේෂ්….. ඔයා නම් කිසි වැඩකට නැහැ. ඔයාට තාම බැරි වුණා පුතාව හොඳ ඉස්කෝලෙකට දාගන්න. ඔයා පොඞ්ඩක්වත් උනන්දු වෙන්නෙ නැහැ. දැන් බලන්න දමයන්තිගෙ පුතා…. එයා රෝයල් යන්නෙ. කාන්චනාගෙ පුතාලා දෙන්න ම රෝයල්. ඉස්සරහ ගෙදර අනුලගෙ ලොකු පුතා ආනන්දෙ…. පොඩි පුතා ඞීඑස් ඒ ගොල්ලො වෑන්වල නැඟලා ඉස්කෝලෙ යනකොට අපේ පුතා විතරක් තාම පයින් යනවා ගෙවල් ළඟ ඉස්කෝලෙට. වස ලැජ්ජාවනෙ චමින්ද.’’

. …හර්ෂණී තම ස්වාමිපුරුෂයා සමඟ නෝක්කාඩු කීවේ ඒ විදියට.

කණින් කොණින් ඇහෙන මේ වගේ කතා අපේ සමාජයේ නුහුරු නුපුරුදු දේවල් නොවෙයි. බුදු පහස ලත් දේශයක, බුදු සුවඳ පතළ බිමක, බුදු බණ ඇසෙන මායිමක ඉන්න මේ මිනිස්සුන්ගේ හිත්වල මේ තරම් ම විස පිරුණේ කොහොම ද…? වැරදුණේ කොතන ද…? ගොඩක් අය මේකට කියන්නෙ සුව කරන්න බැරි රෝගය කියලා…. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වාදීලා තිබෙනවා මනසේ ඇති වෙන මේ වගේ ළාමක රෝග සුවකරන්න පුළුවන් බව.

අනුන්ගේ දේට ආසා කිරීම, අනුන්ගේ සැපත ගැන ඇති වෙන ඉරිසියාව, අනුන් සතු දේ තමන් සතු වේවා….. ආදී මේ තුච්ඡ හිතේ ඇති වෙන පහත් හැඟීම්, මේ සංසාර සාගරේ ගිලෙමින් ඉන්න සත්වයින්ට බොහෝ කාලයක් අහිත පිණිස ම, දුක පිණිස ම පවතින බවයි අප සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ. නිකමට හිතලා බලන්න…. තව කෙනෙක් දියුණු වෙන දිහා බලල, අහිංසක ව සතුටු වෙන්න බැරි හදවත් කී කෝටියක් නම් අපට හමුවෙනව ද….? මේ හදවත් මේ තරම් දරුණු වුණේ කොහොම ද….?

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අප ගැන අනුකම්පාවෙන් ම පෙන්වා වදාළා මේ වගේ පහත් හැඟීම්, අකුසල මූලයන් විදියට ක‍්‍රියාත්මක වෙලා අප ව නිරය කරා රැගෙන යන කර්ම පවා අප විසින් සිදු කරන තත්වයට අප ව පත් කරන ආකාර ය. කලින් කථා කළේ කාන්තා පක්ෂයේ ඉරිසියාව ගැනනේ. බලමු පිරිමි හිතක ඒ වගේ හැඟීම් ක‍්‍රියාත්මක වෙන්නෙ මොන විදියට ද කියලා……

ඔන්න විවාපත් යුවලක් ඉන්නවා….. අසේල-රෝහිණී. අවුරුදු 5ක් ම පේ‍්‍රම කරලයි අමාරුවේ වැටිලා තියෙන්නෙ. එක අතකින් පුදුම වෙන්න දේකුත් නෑ…. මොකද ‘පේ‍්‍රමය’ අන්ධයි කියලා කියනවනෙ. ඉතින් කොහොම හරි කසාද බැඳපු දා ඉඳල රෝහිණී, ‘මෝහිණී’ වෙලා. ඉතින් අසේල හැමදාම ඉන්නෙ කණස්සල්ලෙන්. ඔය අතරෙ මෙයාට දකින්න ලැබෙනවා ආදරෙන්, පිළිවෙළකට පවුල්කන ලස්සන ජෝඩුවක්. මෙයාගෙ ම මිත‍්‍රයෙක්. නො දැනුවත්ව ම අසේලගෙ හිතේ පුංචි ඉරිසියාවක් ඇති වෙනවා මේ දෙන්නා ගැන. මොකද මෙයාලට නැති දේ එයාලට තියෙනවා. අන්න අකුසල් මුල් ක‍්‍රියාත්මක වෙනවා. ලෝභ-ද්වේෂ-මෝහ අකුසල්වලට මඟ විවර වෙනවා. හිතේ ඉරිසියාව ඇති වුණා. ඇතිවුණ අකුසල් සිතේ ආදීන ව දන්නෙත් නැති, ප‍්‍රහාණය කිරීමක් ගැන දන්නෙත් නැති මෙයාගෙ හිත ඒ අකුසල මූලය ඔස්සේ ම ක‍්‍රියාත්මක වුණා. ද්වේෂය ඇති වුණා. අර පවුල බිඳවන්න හිතක් පහළ වුණා. ඒ මිනිස්සු අසේලට මොන වරදක් කළාට ද….? ඒත් බලන්න දමනය නො කරපු හිතක තියෙන අනතුර… භයානකකම. අර ඇතිවුණ ඉරිසියාව හින්දනෙ මේ ඔක්කොම. ඉතින් මේ කෙනා විවිධ උපක‍්‍රම මගින් අර මිත‍්‍රයාගෙ බිරිඳ ව රවටාගෙන, වැරදි කාමසේවනයට යොමු කරගත්ත. මිත‍්‍රයවත් උපායශීලී ව වෛශ්‍යා ඇසුරට යොමු කළා. ඉතින් ඒ පවුලට යන කලදසාව ගැන අටුවා-ටීකා ඕන නැහැනෙ. බලන්න වටිනා මනුස්ස ජීවිතයක් ලබපු අසේලට සිද්ධ වුණ දේ. එයා කොහේ කොතැනක නම් නවතීවි ද? මනුෂ්‍ය චිත්ත සන්තාන තුළ සිදුවෙන, සිදුවෙන්න පුළුවන් මේ දේවල් සියැසින් ම දැකලා අප හට වදාරණ ලද්දේ අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ විසින් ම යි.

අපි, අපි ගැන ම මොහොතක් හිතලා බලමු. ඔබටත්, මටත් වටිනා, දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබිල තියෙනවා. අතිශය වටිනා, දුර්ලභ ධර්මයක් ලැබිලා තියෙනව. ඒ උතුම් ධර්මය කරුණාවෙන් පහදා දෙන සත්පුරුෂ කල්‍යාණමිත‍්‍රයන් මුණගැහිල තියෙනවා. මේ ‘ඇත්ත’ තේරුම් අරගෙන තියෙන්න කීයෙන් කී දෙනා ද….? හැමෝම හිතාගෙන ඉන්නෙ මේ ආත්මේ ඉන්න පුළුවන් තාක් කල් ජොලියෙ ඉඳලා මැරිලා ගිහිල්ල ඊළඟ ආත්මෙ මීට වඩා හොඳ සැපවත් ජීවිතයක් ලබන්න. මොන තරම් මුලාවක් ද? හැමෝට ම තමුන් හිතන පතන විදියට ඒ දේවල් එහෙම සිද්ධ වෙනව නම් මේ ලෝක කිසි ම ප‍්‍රශ්නයක් නැහැනෙ.

මේ ලෝකෙ සුර පුරයක් වෙයිනෙ එහෙම උණොත්. ඔන්න ඔය මුළාවෙන් ගැලවුණ කෙනා ජයග‍්‍රණයේ මාවතට පිවිසෙනවා. අන්න එයාටයි ධර්මය විවර වෙන්නේ. අන්න එයයි මේ උතුම් ධර්මයෙන් ප‍්‍රයෝජන ගන්න පුද්ගලයා බවට පත් වෙන්නේ.

මේ විෂමකාරී, දෘෂ්ටිගත ලෝකෙ මිනිස්සු එක ම පොදියක හිරවෙලා…. මහා මුලාවක පැටලිලා…. හැමෝ ම දුවනවා රේස් එකක…. ජය කණුවක සේයාවක්වත් නො පෙනෙන…. හැමෝ ම පැටලිලා මහා යුද්ධයක…. තමුන් සටන් වදින්නේ කුමක් සඳහා ද වත් නො දැන…!

මිනිසුනේ…. පාදා ගනු මැන දෑස්…… දහම තුළින් නිවී සැනසුණ ජීවිතයක් උදෙසා !!!