‘‘ෂැහ්, පටන්ගත්ත රස්සාව දිගට ම කළා නම් මාත් මෙලහකට ගොඩ ගිහින්.”

‘‘මොකද, කැම්පස් එකේ අවුරුදු හතරක් කට්ට කාලත් තවම ගොඩ යාගන්න බැරි වුණා ද?”

‘‘මදැයි, ඔය ලෙඩේ හැදිලා, ඔහොමවත් ගොඩ ගියා.”

ඔබත් ජීවිතයේ එක වතාවක් හරි මේ විදිහේ දෙයක් කියලා ඇති. අපේ ගමේ, පාසලේ, විශ්වවිද්‍යාලයේ, ආයතනයේ බොහෝමයක් දෙනෙක් මේ වගේ කතා නිතර ම කියවනවා. සාමාන්‍යයෙන් අපේ ව්‍යවහාරයේ ‘‘ගොඩ යනවා, ගොඩ එනවා” කියන්නේ, වතුරට වැටුනා ම, බැස්සා ම එහෙම නැති නම් වළකට, කුඹුරකට වගේ තැනකට වැටුණොත් හෝ බැස්සොත් එතැනින් ගොඩට එනවට. පොදු අර්ථය නම් වැටුණු තැනින් ගොඩ එ්ම යි.

සම්මුති ජීවිතයේ දී අපි මුලින් ම උත්සාහ කරන්නේ අධ්‍යාපනයෙන් ගොඩ එන්න. එතැන දී මුලින් ම ශිෂ්‍යත්ව විභාගේ, ඊට පස්සේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ. මේවගෙන් ගොඩ එන කෙනා ඊ ළඟට විශ්වවිද්‍යාලයේ උපාධිය ගොඩ දාගන්න ඕන. උපාධියෙන් ගොඩ ගිය කෙනා රස්සාවකින් ගොඩ එන්න ඕන. සාමාන්‍ය කෙලෙස් බරිත ජීවිතයක මේවා තමයි ගොඩ යෑම් වෙන්නේ. මිල මුදල් යහමින් ලැබෙන්න ඕන. හොඳ වාහනයක් ගන්න ඕන. ලස්සන පවුලක් හදාගන්න ඕන. උසස් වීම් ලබන්න ඕන. මේ දේවල් ලබපු කෙනාට සමාජයෙන් කියනවා, ගොඩ ආව කෙනෙක් කියලා.

සමහරු මේ කිසි ම දෙයකින් ගොඩ යාගන්න බැරිව, ගොඩ ගිය අය දිහා බලාගෙන සුසුම් හෙළනවා. ගොඩ ගියපු අය හැමදා ම එ් විදිහට ඉන්න නො නවතින අරගලයක් කරනවා. ඇත්තෙන් ම මේ භෞතික සැප සම්පත්වලින් ගොඩ ආව කෙනෙක් ආයෙමත් වැටෙන්න ගත වෙන්නේ සුළු මොහොතක් විතරයි. එහෙම නම් එ් සැබෑ ම ගොඩ යාමක්, පරිපූර්ණ ගොඩ එ්මක් නම් වෙන්න බැහැ.

කර්මය සහ කර්ම ඵලය, පෙර ජීවිතය සහ පසු ජීවිතය විශ්වාස කරන කෙනෙක් හැටියට ඔබත් මොහොතක් සිතන්න, තථාගත සර්වඥතා ඥනයෙන්වත් ආරම්භක කෙළවරක් නො පනවපු මේ අනවරාග‍්‍ර සංසාර චක‍්‍රයේ මුලින් කියපු දේවල්වලින් අපි අනන්ත වාරයක් ගොඩ ගිහින් තිබෙනවා. ආයෙමත් එ්වායින් වැටිලා තියෙනවා. හිතා ගන්නවත් බැහැ ගොඩ එන්න හෙළපු දහදිය ප‍්‍රමාණය. හිතා ගන්නවත් බැහැ වැටුණ අවස්ථාවල වගුරුවපු කඳුළු ප‍්‍රමාණය, සතර අපාගත සත්වයන් ද ඇතුළු ව අපි හැම කෙනෙක් ම සක්විති රජ සම්පත් විඳලා තිබෙනවා. දෙදෙව් ලොවට අධිපති ශක‍්‍ර දෙවියන් වෙලා තිබෙනවා. මේ ලෝක ධාතුවෙ විඳින්න ඕන යම් කාම, රූප, අරූප සැපයක් තියෙනවා ද එ් හැම සැපයක් ම වින්දනය කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව අපි වැටී ඉන්නේ සසර දුක නමැති මහා සැඩ පහරටයි. ‘‘සංසාරෝඝා මහබ්භයා” – ‘‘සසර සැඩපහර අති භයානක යි.” මේ සැඩ පහර අවිද්‍යාව කියන ජලයෙන් යුක්තයි. එ් ගංගාව තෘෂ්ණාව නමැති අතු ගංගාවලින් පිරෙනවා. ගොඩ යෑමක් හොයාගන්න බැරිව තවමත් එක ම තැන කැරකෙනවා. එක ම පුද්ගලයෝ විවිධ විවිධ විදිහට මුණ ගැහෙනවා. මේ සැඩ පහරේ අපි කලින් කතා කළ සැපට වඩා, දුක් ප‍්‍රමාණය අනන්තයි. අප‍්‍රමාණයි. අපි ඉපැයූ මුදල්, හදපු ගෙවල්, ආදරය කරපු හැම කෙනෙක් ම මේ සැඩ පහරේ තවමත් ගසාගෙන යනවා. අපි අකැමැත්තෙන් ම එ්වා දාල ඇවිත්, ආයෙමත් එ්වාගෙන් ම සැපයක් පතනවා. එ් දේවල්වලින් ම ගොඩ යන්න උත්සාහ කරනවා. හරියට පහළට ගලාගෙන යන සැඩ පහරේ, කොට කෑල්ලක එල්ලූන කෙනෙක් වගේ. ඊට වඩා ලොකු කොටයක් අහුවුණොත් එ්කට මාරු වෙනවා. අත ඇරුණොත් තුත්තිරි ගහක හරි එල්ලෙනවා. එල්ලීගෙන ඉන්නකම් එ් දුක ම සැපක් කියලා හිතනවා. නමුත් ගොඩට එන්න බැහැ. අප‍්‍රමාණ දුක් විඳිමින් පහළට ම යි ගසාගෙන යන්නේ, නැවතීමක් නම් නැහැ.

එහෙනම් මොකක්ද අපිට සදාකාලික සැපෙන් ඉන්න පුළුවන් වෙහෙසක් නැති ගොඩ යාම? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ, ගොඩ යා යුත්තේ ම මේ සසර සැඩ පහරින් බවයි. මේ අනන්ත සසරේ අපට කර ගන්න බැරි වුණ, යා ගන්න බැරි වුණ එක ම ගොඩ යෑම නම් එපමණයි. එයින් ගොඩ ආ කෙනාගේ යළි පහළ වැටීමක් නම් නැහැ. මේ ලෝක ධාතුවේ සිටින කිසිදු දෙවියෙකුට, බ‍්‍රහ්මයෙකුට, මාරයෙකුට හෝ වෙනත් කිසි ම බලසම්පන්න පුද්ගලයෙකුට එ් ගොඩ ආ කෙනා යළි වට්ටන්න නම් බැහැ, එ් ගොඩ එ්ම එ් තරමට අචල යි.

අනභිභවනීය යි. ප‍්‍රශංසනීය යි.

මේ පුහුදුන්, ළාමක, අන්ධබාල පෘථග්ජන සමාජයේ භෞතික සැප සම්පත්වලින් ගොඩ එන්න උපදෙස් දෙන, උදව් කරන අය ඕනෑ තරම් අපට හමුවනවා. ඉන් වැඩි දෙනෙක් උපදෙස් දෙන්නේ තමන් ගොඩට ඇවිදින්වත් නො වෙයි. උපදෙස් ලබන කෙනාගේ කර මතින් ගොඩ යන බලාපොරොත්තුවෙන්, නමුත් අපි වැටිලා ඉන්න මේ සසර සැඩ පහරෙන් ගොඩ එන මාර්ගය නිවැරදි ව දේශනා කරන්නේ එක ම දුර්ලභ මනුෂ්‍ය රත්නයක් විතරයි. උන්වහන්සේ ලෝක සත්වයාට ගොඩ යන මාර්ගය, ක‍්‍රමය කියා දෙන්නෙ එ් ගොඩ යාම තමන් විසින් සම්පූර්ණ කළායින් අනතුරුව යි. එනිසා එ් ක‍්‍රමය අතිශය විශ්වාසදායකයි. නිරවශේෂ යි. පැහැදිලි යි. ප‍්‍රතිඵල සහිතයි.

එ් උත්තමයාණන් වහන්සේ, සසර සැඩ පහරේ ගසාගෙන යන පින්වන්ත, වීරියවන්ත සියලූ සත්වයන් වෙත අඬ ගසා, වරෙක ළඟට ම ගොස් ගොඩ එන්නට මාර්ගය කියා දුන් සේක. ඉතා ශක්තිමත්, හැම කාලයක දී ම ප‍්‍රයෝජනයට ගන්න පුළුවන් නො සැලෙන පහුරක් අපට තනා දුන් සේක. අලගද්දූපම සූත‍්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ, ‘‘පින්වත් මහණෙනි, මා විසින් දේශනා කළ ධර්මය පහුරක් කර ගන්න. එය උපයෝගි කරගෙන සසර සැඩපහරින් ගොඩට එන්න. නමුත් එ් පහුර මට උදව් කළ දෙය යැයි කියා කර තබාගෙන නො යන්න. තවත් අයට ගොඩ එ්ම පිණිස එය යොදවන්න.” යනුවෙනි, සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද, නන්ද, රාහුල, ඛේමා, උත්පලවණ්ණා, ප‍්‍රජාපතී ගෝතමී, පටාචාරා කියාගෝතමී ආදි පැවිදි ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් වහන්සේලාත් අනාථපිණ්ඩික, උග්ග, හත්ථාලවක, විශාඛා, ඛුජ්ජුත්තරා, වේළුකණ්ටකී නන්දමාතා ආදි ගිහි ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවනුත් මේ පහුර උපයෝගී කරගෙන සසර සැඩ පහරින් ගොඩ වුණා. සදාකාලික සැනසීම ලැබුවා.

එ් මේ ධර්මය නමැති පහුර තවමත් අපට ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්, දිරීමකට, ලණු ගැලවීමකට ලක්වෙලා නැහැ. එදා වගේ ම ශක්තිමත්. අදටත් නුවණැති පුද්ගලයන් මේ පහුරට නැගලා ගොඩ යන්නට වෙර දරනවා. අපිටත් පුළුවනි එ් සන්දිට්ඨික ධර්මය නමැති පහුරට ගොඩවෙන්න, සසර සැඩ පහරින් එතෙර වෙන්නට, හබල් ගැසිය යුතු විදිහ එයට නැගුණ කල්‍යාණ මිත‍්‍රයන් අපට කියා දෙනවා. ඉතා මැනැවින් එය පුරුදු කළ යුතු යි. වැඩිය යුතුයි. යෝනිසෝ මනසිකාරයෙන් ප‍්‍රඥව උපදවා වටහා ගත යුතු යි. මන්ද අධර්මය කියාදෙන අසත්පුරුෂයන් ද එහි සිටිනා නිසාය. නමුත් අප කළ යුත්තේ භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ක‍්‍රමය, අනුගමනය කිරීමයි. එවිට අපිට මේ ප‍්‍රිය දේවල්වලින් වෙන් වෙමින්, අප‍්‍රිය දේවල් සමඟ එක් වෙමින්, දුක් ෙදාම්නස්, සුසුම් හෙළමින්, හඬමින්, වැළපෙමින්, ලෙඩ වෙමින්, මහලූ වෙමින්, ඉපදෙමින්, මැරෙමින් පැමිණි අනවරාග‍්‍ර සසර සැඩ පහරින් සදාකාලිකව ම ගොඩට එන්නට හැකිවනවා නොඅනුමානයි.

‘‘පථව්‍යා එ්කරජ්ජේන – සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන – සෝතාපත්ති ඵලං වරං”
‘‘මුළු පොළවට අධිපති වූ සක්විති රජවීමටත් වඩා, දෙව්ලොව ඉපදීමටත් වඩා මුළු ලොවට අධිපති මහා බ‍්‍රහ්මභාවයටත් වඩා, සෝවාන් ඵලය ලැබීම ම උතුම් වේ.”
(ධම්මපදය – ලෝක වර්ගය)

සටහන
කසුන් කුඹුරේගෙදර