අපට මේ ලෝකයේ හැමදෙයක් ම කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා පේනවා. නමුත් මේ දේවල් කොච්චර පෙණුුනත් අපට හැමතිස්සේ ම හිතෙනවා, මේ ලෝකයේ යම්කිසි පැවැත්මක් තියෙනවා ය කියලා. ඒ විදිහේ හැඟීමක් අපට තියෙනවා. ඒ පැවැත්මක් තියෙනවා කියන හැඟීම පිටිපස්සේ තියෙන්නේ නිත්‍යයි, සැපයි, ආත්මයි කියන අදහස. අපට මේක හරියට ම තේරුම් බේරුම් කරගන්න උපකාර වෙන්නේ  බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ධර්මය යි.

සංඛත – හේතුඵල දහමින් හටගත්තු දේ…

අනිත්‍ය ගැන කතා කරද්දි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අනිත්‍ය වෙන්න හේතු වුණු දේ ගැන. අනිත්‍ය වෙන්න හේතු වුණු දෙයක් තියෙන නිසා තමයි, යමක් අනිත්‍ය වෙන්නේ. උන්වහන්සේ අනිත්‍යය දේට පාවිච්චි කරපු පොදු වචනයක් තියෙනවා. ඒක තමයි ‘සංඛත’. සංඛතය කියන්නේ හේතුඵල දහමින් සකස් වුණු දේ. උන්වහන්සේ වදාළා මේ සංඛතයක (හේතුඵල දහමින් සකස් වෙන දෙයක) මූලික ලක්ෂණ තුනක් තියෙනවා. මොනව ද ඒ?
1. උප්පාදෝ පඤ්ඤායති (හටගැනීමක් පේනවා)
2. වයෝ පඤ්ඤායති (නැසීමකුත් පේනවා)
3. ඨිතස්ස අක්‍ද්ක්‍දතත්ථං පඤ්ඤායති (පවතින දේ තුළ වෙනස් වීමකුත් පේනවා)

කාල තුනක්….

මේක තමයි මේ හේතුඵල දහමකින් හටගත්තු දෙයක තියෙන මූලික ම ලක්ෂණය. හටගැනීමකුත් පේනවා, වැනසී යාමකුත් පේනවා, වෙනස් වෙමින් පැවතීමකුත් පේනවා. මෙන්න මේ නිසා තමයි අපට කාල තුනක් ලැබිලා තියෙන්නේ. මොනව ද මේ කාල තුන? අතීත, වර්තමාන, අනාගත.

අතීතය

උන්වහන්සේ බොහොම ලස්සනට ඒක පෙන්නනවා. අතීතය කියන්නේ, (අතීතං නිරුද්ධං විපරිණතං) නැති වෙලා ගිහින්. වෙනස් වීමකට පත්වෙලා ඉවරයි. අතීතය, නැතිවෙලා ගිහින්, වෙනස්වෙලා ගිහින්, වෙනස් වීමකට පත්වෙලා ඉවරයි. දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා”ආනන්දය, දැන් ඔබෙන් කවුරුහරි ඇහුවොත් ‘අතීතයේ සංස්කාරයන්ගේ තිබුණු ලක්ෂණ මොනව ද?’ කියලා, ඔබ කොහොම ද පිළිතුරු දෙන්නේ?” කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා, ”භාග්‍යවතුන් වහන්ස, මගෙන් කවුරුහරි ඇහුවොත් මේ අතීතය ගැන විස්තරයක් කරන්න කියලා, එතකොට කියනවා, අතීතයේ හටගැනීම පෙනුණා. වැනසීමත් පෙනුණා. වෙනස් වෙමින් පැවතීමත් පෙණුනා. දැන් ඉවරයි.” අන්න අතීතය ගැන තියෙන විස්තරය. දැන් අපි අතීතය සිහි කළොත් ඔය ලක්ෂණ තුන තමයි සිහිකරන්න තියෙන්නේ. හටගැනීමකුත් අපට සිහි කරන්න පුළුවන්. ඒක ඉවරයි දැන්. නැතිවී යාමකුත් සිහි කරන්න පුළුවන්. ඒකත් ඉවරයි. වෙනස් වෙමින් පැවතීමකුත් සිහිකරන්න පුළුවන්. ඒකත් ඉවරයි.

අනාගතය

අනාගතයටත් උන්වහන්සේ වචනයක් පාවිච්චි කළා. අනාගතය කියන්නේ මොකක් ද? අනාගතයට උන්වහන්සේ පාවිච්චි කළා, (අජාතං අපාතුභූතං) හටනොගත්, පහළ නො වුණු… අන්න ඒකේ උන්වහන්සේ අර කලින් අහපු ප‍්‍රශ්නයට ම, ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා, අනාගතයේ හටගන්න දේවල්වලත්, සංඛත ලක්ෂණ තියෙනවා. මොකක් ද ඒ..? හටගැනීම පෙනෙන්නේ ය. වැනසීයාම පෙනෙන්නේ ය. වෙනස්වෙමින් පැවතීම පෙනෙන්නේ ය. ඒ කියන්නේ අතීතයේ සිදු වූ දේ ම තමයි අනාගතයේ සංස්කාරවලටත් සිදු වන්නේ. ඔන්න අනාගතය ගැන බුදුරජාණන් වහන්සේගේ අදහස.

වර්තමානය

ඊළඟට උන්වහන්සේ පෙන්වනවා, වර්තමානය කියන්නේ මොකක් ද..? (ජාතං පාතුභූතං) හටගත්, පහළ වුණු, වර්තමානය කියන්නේ. මොනව ද වර්තමානයේ තියෙන හටගත් පහළ වුණු, උන්වහන්සේ පෙන්වනවා, ඒකෙදී(උප්පාදෝ පඤ්ඤායති) හටගැනීම පේනවා. (වයෝ පඤ්ඤායති) වැනසීම පේනවා. (ඨිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති) වෙනස් වෙමින් පැවතීම පේනවා.

කාල තුන තුළ පැටලීම….?

මේ අතීත, අනාගත, වර්තමාන කියන මේ කාල තුන ගැන විග‍්‍රහය, වර්තමානයේ බොහෝ දෙනා වරද්දවා ගෙන තියෙන එකක්. හුඟාක් අය කියනවා, අතීතයක් නෑ… අනාගතයකුත් නෑ… වර්තමානය විතරයි, ඒකත් පැවැත්මෙන් ශූන්‍යයි කියලා. ඒක බුදු දහම නො වේ. බුදුරජාණන් වහන්සේ අතීතයේ සෝක කරන්න එපා කියලා කියනවා. අනාගතය පතන්න එපා කියලා තියෙනවා. වර්තමානය අනිත්‍ය දකින්න කියලා තියෙනවා. දැන් හොඳට තේරුම් ගන්න  ඕනේ තැනකට ඔන්න අපි ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ කාලය ගැන තියෙන දේ. මේ කාලය එතකොට සම්පූර්ණයෙන් ම තියෙන්නේ කුමක් පදනම් කරගෙන ද?

අනිත්‍ය පදනම් කරගෙන තමයි මේ කාලය තියෙන්නේ. මේ කාලය කියන සම්මුතියෙන් බැහැරව අපට ජීවත් වෙන්න බෑ. කාලයක ලක්ෂණ මොකක් ද? හටගැනීමත් තියෙනවා, වැනසීමත් තියෙනවා, වෙනස් වෙමින් පැවතීමත් තියෙනවා. කාලිකයි. කාලයකට අයිතියි. ධර්මයේ ලක්ෂණයක් තියෙනවා ‘අකාලිකයි’ කියලා. මොකක් ද අකාලිකයි කියන්නේ? කාලයකට අයිති නෑ. කොහොම ද ඒක තේරුම් ගන්නේ? මොකක් ද කාලයකට අයිති නැත්තේ? කාලයකට අයිති නෑ කියන එකේ තේරුම මේකයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ මෙහෙමයි. (ධම්මඨීති) ඒක ලෝක දහමක්. (ධම්මනියාමතං) ඒක ධර්මයට අදාළ එක්තරා ක‍්‍රමයක්. මම ඒක තේරුම් කරලා දෙන්නම් මෙහෙම.

සෑම කාලයකට ම වලංගුයි…

මීට අවුරුදු කෝටියකට ඉස්සරවෙලා විඳීමක් ඇතිවුණේ කුමක් ප‍්‍රත්‍යයෙන් ද? ස්පර්ශ ප‍්‍රත්‍යයෙන්. (ඵස්ස පච්ච්යා වේදනා) අදත් ‘ඵස්ස පච්චයා වේදනා’. හෙටත් ‘ඵස්ස පච්චයා වේදනා’. විඳීමක් ඇතිවෙන්නේ ස්පර්ශ ප‍්‍රත්‍යයෙන්. ඒ හෙළිකරපු සත්‍යයට කාලයක් නෑ. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ‘ඵස්ස පච්චයා වේදනා’. අනාගතයෙහි පහළවෙන මෛත‍්‍රී බුදුරජාණන් වහන්සේත් වදාරාවි, ‘ඵස්ස පච්චයා වේදනා’ කියලා.
අකාලිකයි. කාලයක් නෑ. මීට කල්ප කෝටි ගාණකට පෙරත් උපතක් හටගත්තේ කුමක් ප‍්‍රත්‍යයෙන් ද? (භව පච්චයා ජාති) භවය ප‍්‍රත්‍යයෙන්. අදටත් ‘භව පච්චයා ජාති’. අදත් භවය ප‍්‍රත්‍යයෙන් තමයි උපතක් හටගන්නේ. අනාගතයේ මෛත‍්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ නොවේ, ඊටත් එහා ගත්තොත්, ඒත් ‘භව පච්චයා ජාති.’ වෙනස් වෙන්නේ නෑ.

ඊළඟට ජරා මරණ කුමක් ප‍්‍රත්‍යයෙන් ද? (ජාති පච්චයා ජරා මරණං). උපතක් නිසයි ජරා මරණ සිදුවන්නේ. මීට කල්ප කෝටි ගාණකට කලිනුත් ජරා මරණ සිදුවුණේ උපතක් නිසා. අදත් ජරා මරණ සිදුවන්නේ උපතක් නිසා. හෙටත් ජරා මරණ සිදුවන්නේ උපතක් නිසා. මීට කල්ප කෝටි ගාණකට කලිනුත් ‘අවිජ්ජා පච්චයා සංඛාරා’. අදත් ‘අවිජ්ජා පච්චයා සංඛාරා’, හෙටත් ‘අවිජ්ජා පච්චයා සංඛාරා’.

කාලික – අකාලික වෙනස

එහෙම නම් ඒ ධර්මය කාලයකට වලංගු නෑ. ඒකයි ඒක ආර්ය සත්‍යයක් වෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දුක්ඛ ආර්ය සත්‍යය සිඛී බුදුරජාණන් වහන්සේගේ කාලයේ, වෙස්සභූ බුදුරජාණන් වහන්සේගේ කාලයේ, එහෙම නැත්නම්, මීට කල්ප අනූ එකකට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙත් මේ දුක්ඛ ආර්ය සත්‍යය ම යි. මේක වෙනස් වෙන්නේ නෑ. ඒ වගේ ම වර්තමානයේ් තියෙන්නෙත් මේ දුක්ඛ ආර්ය සත්‍ය ම යි.

අනාගතයෙත් දකින්න තියෙන්නෙත් එච්චර ම යි. දුකට හේතුව තණ්හාව යි. දුකට හේතුව වෙන දෙයක් නො වෙයි. කාලයකට අනුව හේතුව වෙනස් වෙන්නේ නෑ. දුක හදන්නේ තණ්හාවෙන් ම යි. වෙන දේකින් නො වෙයි. එතකොට ඒක කාලයකට වලංගු නෑ. කාලයකට වලංගුයි කියන්නේ එහෙම දෙයක් නො වෙයි. කාලයකට වලංගු වුණු දේ තව කාලයකට වලංගු නෑ. එහෙම දෙයක් තමයි අපි කැමති වෙන දේ. අපි පොඩි කාලේ ආස කරපු දේට දැන් ආස ද? පුංචි කාලෙ අපි, දැන් මෙතන ඇති පොඩි කාලේ වැලිබත් උයපු අය. අපට මතකයි, අපි පොඩි කඩ දැම්මා පොඩි කාලේ. ටයර් ගහගෙන ගියා. බෝල ගැහුවා. නමුත් දැන් නෑ. ඒ ආශාව ඉවරයි. දැන් මේ අයත් එහෙමනේ නේ. මම දන්නවා චූටි ගැහැනු ළමයි විශාල සාරි ඇඳගෙන, ලොකු සෙරෙප්පු දාගෙන යනවා. ඒ ගොල්ලො හරි ආසයි බත් උයන්න, නෑගම් යන්න. නමුත් ඒ ඔක්කෝම කාලයක දී වෙනස් වෙලා ගිහින් ඒ ඔක්කෝම බැහැර වෙලා වෙන දේවල්වලට ඇලූම් කරන්න පටන් ගන්නවා. කාලයකට අයිති දේ සංඛතයක්. දුක කියලා කියන්නෙත් සංඛතයක් තමයි. නමුත් අවබෝධ කළ යුතු සත්‍යයක් හැටියට අකාලික දෙයක්. ඒ දුක අකාලික නිසයි අදටත් අපට දකින්න පුළුවන්. අදටත් අපට අවබෝධ කරන්න පුළුවන් ඒක අකාලික නිසයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කාලයකට අයිති නම් මේ කාලයට ඒක වලංගු නෑ. තව සියවස් සීයක් ගියත්, චතුරාර්ය සත්‍යය චතුරාර්ය සත්‍ය ම යි. ඒක වෙනස් වෙන්නේ නෑ. අන්න බලන්න එතකොට කාලික අකාලික දෙකේ වෙනස.

වෙනස් නො වන සත්‍යයක්..!

එහෙම නුවණින් සලකනකොට පේනවා, පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීමේ දී අකාලිකයි කියන්නේ ඔන්න  ඕක. ඒ අකාලිකත්වය තුළ තමයි මේ ධර්මයේ මහානීයත්වය මතු වෙලා පේන්නේ. මේක සනාතන සත්‍යයක් ය කියලා පේන්නේ. බුදුරජාණන් වහන්සේ නොයෙකුත් වචනවලින් පෙන්වනවා. (තථා, අවිතථා, අනඤ්ඤතා) මේක ස්ථිරසාර සදාතනික සත්‍යයක්. මේක වෙනස් නො වන සත්‍යයක්. වෙනස් කරන්න බැරි සත්‍යයක්. ඒකයි මේක ආර්ය සත්‍යයක් කියන්නේ.

පැරණි නගරයක්…

බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය සොයා ගැනීම ගැන උන්වහන්සේ පෙන්වන්නේ, බොහෝම පරණ පාරක්. පෙරවිසූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත් ගමන් කළ පාරක්. උන්වහන්සේ ඒකට උපමාවකින් පෙන්වනවා, උන්වහන්සේ මේ සොයා ගත්තු ධර්මය, ඒක හරියට මේ වනාන්තරයක කෙනෙක් ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට එයාට හම්බවෙනවා පැරණි නටඹුන් ගොඩක්. ඉතින් එයා රජ්ජුරුවන්ට ගිහිල්ලා කියනවා, ”රජතුමනි, අසවල් මහා ගණ වනාන්තරය මැද්දේ පැරණි නටඹුන් ගොඩක් තියෙනවා නෙව. මේක අපි පාදලා ගත්තොත් පෙර විසූ රජ දරුවන්ගේ මාළිගා හොයාගන්න පුළුවනි” කියලා.
රජ්ජුරුවෝ නියම කරලා මේ ගොල්ලෝ ආයේ කැණීම් කරලා පැරණි ශ‍්‍රී විභූතිය නැවත මතුකර ගන්නවා. මෙන්න මේ වගේ කියලා කියනවා බුදුරජාණන් වහන්සේ කළ ගවේෂණය. බෝසත් කාලේ උන්වහන්සේ්ගේ ගවේෂණය තුළින් පෙර බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයකින් අවබෝධ කළ දෙය ම, අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් අවබෝධ කළා. ඒ අවබෝධ කළ ධර්මයට අයිති දේ තමයි මේ අනිත්‍ය කියන මූලික කාරණය.

නමෝ බුද්ධාය!