කවිච්චියක් මත නින්දකට වැටී සිටින මිනිසෙකි. ඔහු අසනීපයෙන් හෝ සිහිමඳ ස්වභාවයෙන් හෝ මහත් වෙහෙසකින් හෝ පසුවෙනවා නො වේ. මේ තැනැත්තා විවේකයක් ලබන්නට සිතාගෙන නින්දට වැටුණා ද නො වේ. ඔහු පිවිස සිටින්නේ සම්මෝහ නිද්‍රාවකට ය. සම්මෝහ නිද්‍රාව යනු තමන්ගේ ම හෝ අනුන්ගේ හෝ යෝජනාවක් අනුව ඇති කරගන්නා කෘත‍්‍රිම නින්දකි.

සම්මෝහ නිද්‍රාවේ සිටින මේ අපූර්ව මිනිසාට ඊළඟට යෝජනා කෙරුණේ අන්ධ මිනිසෙකුගේ කායික ආබාධයට හේතු වූ කරුණු කියන්නට ය. ඔහු හඬ අවදි කළේ ය.

‘‘ඔබගේ පෙර ජීවිත හතරක් මා දකිනවා. සිවිල් යුද්ධයේ දී ඔබ ඇමෙරිකාවේ සිටියා. කුරුස යුද්ධයේ දී ඔබ ප‍්‍රංශයේ සිටියා. ක‍්‍රි. පූ. 1000 දී පමණ ඔබ සිටියේ පර්සියාවේ. අත්ලාන්තිසය අවසන් වරට ගිලෙන්නට පෙර ඔබ එහිත් ජීවත් වුණා. ඔබ වර්තමානයේ අන්ධ වී සිටින්නේ පර්සියාවේ ඉපිද සිටිය දී සිදු කළ ක‍්‍රියාවක් නිසාවෙනුයි. ඔබ එ් කාලයේ වනචාරී ගෝත‍්‍රයක සාමාජිකයෙක් වුණා. ඔබට බාරව තිබුණේ රත් කළ යකඩ කූරුවලින් සතුරන්ගේ ඇස් අන්ධ කිරීම.”

වයලින් වාදකයෙකු වූ එ් අන්ධ මිනිසාගේ පූර්ව ජන්මයක සිදු කළ අකුසල කර්මයක විපාක මේ මිනිස් ජීවිතය තුළ ඔහු පූර්ණ අන්ධයෙකු බවට පත් කරන්නට ඉවහල් වූ බව මෙසේ හෙළිදරව් විණි. එලෙස සම්මෝහ නිද්‍රාවේ හිඳිමින් ජීවිත කියැවීම් සිදුකරන ලද්දේ ‘වර්ජිනියා වෙරළේ ප‍්‍රාතිහාර්යකාරයා’ යනුවෙන් ඇමෙරිකාව තුළ ප‍්‍රකට වූ, පසු කලෙක ලොව පුරා ද කීර්තියට පත් වූ එඞ්ගා කේසි විසිනි. ‍

එ් විසිවන සියවසේ මුල්භාගයයි. මරණින් මතු සදාතනිකත්වය මිස යළි යළි උපත් කරා පැමිණීමක් නැතැයි දැඩිව විශ්වාස කළ ආගමික හා සමාජයීය පසුබිමක ජීවත් වූ එඞ්ගා කේසි සම්මෝහ නිද්‍රාවේ සිට හෙළි කරන්නට යෙදුණ මෙවන් විස්මිත පුවත්වල සත්‍ය භාවය අන්‍යයන්ගේ පමණක් නො ව කේසිගේ ම ද සැකයට බඳුන් විය. තමන් අදහන දර්ශනය හා සම්මෝහ නිද්‍රාව තුළ තමන් සිදු කරන හෙළිදරව් කිරීම් පරස්පර විරෝධී වනවිට කේසි සිතුවේ ද තමන් යක්ෂ බලපෑමක ගොදුරක්ව ඇති බවයි. දිගින් දිගට ම කරුණු සොයා බැලීමෙන් පසු ඔහුට එ්ත්තු ගියේ පුනර්භවය යනු සත්‍යයක් බවත්, මරණින් මතු ලබන ජීවිතය තුළ පෙර ජීවිතවල කර්ම විපාකයන්ගේ සටහන් ඇති බවත් ය… නො සිතු විරූ ආකාරයෙන් කර්මය හා පුනර්භවය අතර ඇති සබැඳියාව පිළිබඳව ලොව පුරා ප‍්‍රබල කතිකාවතක් ගොඩනගන්නට එඞ්ගා කේසි සම්මෝහ නිද්‍රාව තුළ හිඳිමින් සිදු කළ මෙවැනි පෙර ජීවිත කියැවීම් උපකාර විය.

මරණින් මතු අමරණීයත්වය අදහන බටහිර ලෝකයට මෙය පෙර නො ඇසූ විරූ කරුණක් වූව ද සම්මා සම්බුදුවරුන්ගේ ධර්මයේ පහස ලද පෙරදිග ශිෂ්ටාචාරයන්ට නම් මරණින් මතු යළි උපතත්, කර්මයත් යන කාරණා නිතර අසන්නට ලැබේ. කර්ම විෂයේ පරතෙරට එළඹි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්ව වර්ගයාගේ සංසාරික පැවැත්ම තුළ කර්මය බලපැවැත්වෙන ස්වභාවය මෙසේ විග‍්‍රහ කොට වදාළ සේක.

‘‘සත්වයෝ ඉන්නේ කර්මය තමන්ගේ දෙය කරගෙනයි. කර්මය දායාදය කොටගෙනයි. කර්මය උත්පත්ති ස්ථානය කොටගෙනයි. කර්මය ඤතියා කොටගෙනයි. කර්මය පිළිසරණ කොටගෙනයි. මේ ළාමක, උසස් ස්වභාවයන්ට සත්වයන්ව බෙදන්නේ කර්මය යි.”
(චූළ කම්මවිභංග සූත‍්‍රය – ම. නි.)

මරණයකින් පසු යළි උපතක් කරා එළඹෙන සත්වයන් එ් අලූත් ජීවිතයට දායාදය ලෙස ගෙනයන්නේ කර්මය යි. සංසාරිකව රැස් කරගත් කර්ම පොදිවල ස්වභාවයට අනුව අලූත් උපත තුළ ඇස හට ගනී, එ් කර්මයන්ට ම අනුව කන, නාසය, දිව, කය, මනස හට ගනී. උපත අලූත් වූව ද එ් උපත තුළ අපට මුණ ගැසෙන්නේ ‘පරණ අප’ ම ය….!

කර්මය විපාක නො දී බොල් වන්නේ නැත, වඳ බහින්නේ නැත. සාමාන්‍ය මනුෂ්‍යයන්ට වඩා මනස සියුම් කරගන්නට සමත් වූ එඞ්ගා කේසිගේ ජීවිත කියැවීම් තුළ තහවුරු වූ කාරණය එයයි. එහෙත් මිනිසෙකු මරණින් මතු දිගින් දිගට ම මිනිසෙකුව පමණක් ම නූපදින බවත්, සිදු කරගත් කර්මයන්ට අනුව අපායක හෝ දිව්‍ය, බ‍්‍රහ්ම ලෝකවල හෝ උපත සිදු විය හැකි බවත් කේසිට හඳුනාගත හැකි වූයේ නැත. එ් තරම් ගැඹුරින් පූර්ව ජන්මයන් විනිවිද දකින්නට තරම් කේසිගේ මනස සියුම් නො වූවා විය යුතු ය. කේසිට එය කළ නො හැකි වුව ද සංසාරික කර්ම පොදි සියල්ල ක්ෂය කොට අරහත්වය සාක්ෂාත් කළ ඛීණාශ‍්‍රවයන් වහන්සේලා සුගති – දුගති කරා වැටෙමින් නො නැවතී ගමන කරන සසර ගමනකට කර්මය විසින් සත්වයන් මෙහෙයවන ආකාරය මැනැවින් අවබෝධ කළහ.

එ් නිකෙලෙස් මුනිවරුන් වරින් වර අත්විඳි සිදුවීම් හරහා ලොවට හෙළිදරවු කෙරුණ කර්ම ස්වභාවයන් විස්මයජනක ය. මේ එවන් සිදුවීමකි.

‘‘එක්කෙනෙක් ගිනි ගත්තු බොල් වී ඔළුවේ විසුරුවා ගන්නවා. තව කෙනෙක් මුගුරකින් ඔළුවට ගහනවා. මේ ස්ත‍්‍රිය තමන්ගේ ම මස් ලේ කකා ඉන්නවා. ඔබ ඉතා පිළිකුල් වූ අසූචි, මළ මුත‍්‍රාදිය කකා ඉන්නවා. මොන වගේ කර්මයකින් ද මේ විපාක හැදුණේ?”

‘‘මෙයා මීට කලින් ජීවිතයේ දී තමන්ගෙ අම්මාට හිංසා කරනවා. මේ අනිත් එක්කෙනා වංචාකාර වෙළෙන්දෙක්. මෙයා මස් වගයක් කාලා බොරුවෙන් වංචා කළා.
මං මනුස්ස ලෝකෙ මනුස්ස කාන්තාවක් වෙලා හිටියෙ. එ් මුළු පවුලට ම අධිපති වෙලා, ගෘහනියක් වෙලා හිටියේ. දේපළ වස්තුව තිබෙද්දිත් මං එ්ව හැංගුවා. ඉල්ලපු කිසි කෙනෙකුට මොකවත් දුන්නෙ නෑ.
මං එතකොට කරන්නෙ ‘මගේ ගෙදර එ්ක නැහැනෙ’ කියල බොරුවෙන් සඟවන එක. ‘ඉතින් තියේ නම් මං කන භෝජන අසූචි වේවා!’ කියල මං දිවුරුවා.
අන්න එ් කර්ම විපාකයත්, බොරු කීමත් යන දෙක නිසා සුවඳ ඇල් හාලේ බත මං ඉදිරියේ අසූචි බවට පත් වෙනවා.
කර්ම කියන්නේ වඳ බැහැපු දේවල් නො වෙයි. විපාක නො දී මිසක් කර්මය විනාශ වෙන්නේ නෑ. එ් නිසා මං ඉතාමත් ම ගඳ, පණුවන් උතුරන අසූචි කනවා. එ්ව ම යි බොන්නෙත්.”
(හතරවෙනි භූස පේ‍්‍රත වස්තුව – පේ‍්‍රත වස්තු පාළි – ඛු. නි.)

පසුපසින් පැමිණ එළව එළවා, නො නැවතී පහර දෙන යම් දෙයක් වේ නම් එ් මේ කර්මය ම මිස අනෙකක් නම් නො වේ. අයහපත් කර්මය තරම් නරක සතුරෙකුවත්, යහපත් කර්මය තරම් හොඳ මිතුරෙකුවත් කිසිදු සත්වයෙකුට නැත. කර්මය විපාක දෙන්නේ එය අකුසල කර්මයක් වූ කල්හි පමණක් නො වේ. වරෙක මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ විසින් දිව්‍ය පුත‍්‍රයෙකුගෙන් මෙසේ හෙළිදරවු කරගන්නා ලද්දේ මහත් වූ දිව්‍ය සම්පත්තීන් හිමි කරදුන් පුණ්‍යකර්මයක් ගැන ය.

‘‘පින්වත් දිව්‍ය පුත‍්‍රය, සක්දෙව් රජුගේ සුධර්මා කියල දිව්‍ය ශාලාවක් තියෙනවා. අන්න එතැන තමයි දිව්‍ය සමූහයා සමගියෙන් රැුස්වෙන්නේ. ඔබේ විමානයත් අන්න එ් වගේ ලස්සනයි. ආකාසයේ බැබළෙමින් තිබෙනවා.
මහානුභාව ඇති දිව්‍ය පුත‍්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත්වෙලා ඉන්නේ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක් ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබළි බැබළි ඉන්න පින මොකක් ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාව ම බබළනවා.”

‘‘මං මනුස්ස ලෝකයේ මනුස්සයෙක් වෙලා හිටියේ. පායාසි රජ්ජුරුවන්ගේ සේවක තරුණයෙක්. මට ධනයක් ලැබුණා. එ්කෙන් තමයි මං දන් දුන්නේ. සිල්වතුන් වහන්සේලාව මට හරි ප‍්‍රියයි. ඉතින් මං උන්වහන්සේලා ගැන හිත පහදවාගෙනයි හිටියේ. මං බොහෝ ම පිළිවෙළට දන්පැන් හදලා මහා දන් පූජා කළා.

එ් පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. එ් පිනෙන් ම යි මේ සම්පත් ලැබුණේ. සිතට ප‍්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ එ් නිසා ම යි.”
(දසවෙනි උත්තර විමානය – විමාන වස්තු පාළි – ඛු. නි.)

ඉදින් දුක් වේදනා උරුම වූයේ යැයි කියා, සැප සම්පත් අහිමි වී යැයි කියා අනුන්ට දොස් පැවරීමේ කවර පලක් ද? එ් සියල්ල අපට ලබා දුන්නේ අප ගත කළ සසර ජීවිතය යි. මව, පියා, සොහොයුරා, සොහොයුරිය හෝ ස්වාමියා, භාර්යාව හෝ දුවා දරුවන් හෝ අන් කවරෙකු හෝ මෙහිලා කළ දෙයක් නැත. සිතුවේ නම් සිතුවේ ද කීවේ නම් කීවේ ද කළා නම් කළේ ද තමන් ම මිස අනෙකෙක් නො වේ. එ් නිසා ම යළි යළිත් තමන්ට උපතින් උපතට මුණ ගැසෙන්නේ ද තමන් ම ය.

තුන්ලොව විනිවිද දුටු අසිරිමත් ප‍්‍රඥවෙන් යුතු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එ් පරම සත්‍යය මෙසේ අපට පෙන්වා වදාළ සේක.

‘‘යාදිසං වපතෙ බීජං
තාදිසං හරතෙ ඵලං
කල්‍යාණකාරී කල්‍යාණං
පාපකාරී ච පාපකං”

‘වපුරන ලද බීජය අනුව අස්වැන්න නෙළා ගනු ලැබේ. යහපත කිරීමෙන් යහපත ද අයහපත කිරීමෙන් අයහපත ද ලැබේ.’

පින් පව්, හොඳ නරක ගැන විශ්වාසයක් නැත්තෝ නම් කර්මය දායාදය කරගත් සසරෙහි ඇති බියකරු බව නො තකන්නෝ ය. කෙළවරක් නො පෙනෙනා බිහිසුණු සසර වැද පැමිණි ගමනේ දුර්ලභව උතුම් ශ්‍රී සද්ධර්මය මුණගැසුණ මේ මොහොතේ අපට සසර තරණයට මඟ විවරව තිබෙන්නේ භාග්‍යයකිනි. එ් භාග්‍යයේ ද්වාරය වැසී යන්නට මත්තෙන් කර්මයේ දාස බවින් අත්මිදී උපත් විපත් නැති නිවන නම් වූ එතෙරට ම යොමු වන්නට අපි වෙර දැරිය යුතු ම ය.

ධර්මය පිළිසරණ කොටගෙන සසර දුකින් අත්මිදෙන්නට සියලූ දෙනාට ම භාග්‍යය උදා වේවා!!!

සටහන
භාරත සූරියබණ්ඩාර