ලෝකෝත්තම බුදුන් වඳිමි
නිමල පවර දහම් වඳිමි
අරි මහ සඟ මම නමදිමි
ත්‍රිවිධ රත්නාවලිය වඳිමි

ප්‍රථම භාගය

අපගේ තථාගතයන් වහන්සේ සිව් අසංඛ්‍ය කල්ප සිය දහසක්, දස පාරමිතා ධර්මයන් පුරා, දීර්ඝ වූ සංසාර සාගරයෙහි ගිලී දුක් විඳින දෙව් මිනිස් සත්ව ප්‍රජාව සසරෙන් මුදවනු වස්, තුසිත දෙව්ලොව සන්තුසිත දෙව් රජුවැ වැඩ සිට, සහම්පතී බඹ රජහුගේ ආරාධනයෙන් එයින් චුත වී, මායා බිසවුන්ගේ කුස පිළිසිඳ ගෙනැ, දස මසක් මනා වූ සිහියෙන් යුතුවැ වැඩී වෙසක් පුර පසොළොස්වක් දා මනුලොවැ සුජාතවැ ඉපිදැ, සත් පත්මයන් මත පියවර තබා, “අග්ගෝ හමස්මි ලෝකස්ස” යනුවෙන් සිංහනාද පතුරුවා, සකල ලෝකයාට අර්ථයක් සිදු කරනවා යැයි අරුත් දෙන “සිද්ධාර්ථ” යන නාමය ලැබ, විසි නව වසරක් රජ සැප විඳ, විසි නව වියේ දී මහබිනික්මන් කොටැ, සය වසක් පුරා සිරුරට අධික දුක් දෙමින් කටුක වූ දුෂ්කර ක්‍රියාවෙහි නිරත වැ ඉක්බිති මධ්‍යම ප්‍රතිපදාව තුළ ගමන් කොටැ, ශ්‍රී මහා බෝධි මූලෙයෙහි දී දශ මාර සේනාවන් පරාජිත කොටැ, පරම පූජනීය වූ, පවර වූ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්ව වදාළ, මාගේ ශාස්තෘ වූ, ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණයන් මෙසේයැ.

අප තථාගතයන් වහන්සේ ඇස, කන, නාසය, දිව, කය, මනස ආදී වූ ෂඞ් ආයතනයන්ගෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ආදී වූ දෙය දැන ඒවා කෙරෙහි නොම ඇලී විසූ බැවින් ද ගැටීම් නොකළ බැවින් ද මුළාවට පත් නො වූ බැවින් ද ආශාව දුරු කළ බැවින් ද රාග, ද්වේෂ, මෝහ, ඇතුළු සියල් ක්ලේශයන් ප්‍රහීණ කොටැ වදාළ බැවින් ද ශාක්‍යසිංහයන් වහන්සේ අරහං නම් වන සේක් ය.

අප තථාගතයන් වහන්සේ දෙවියන්, මිනිසුන්, බ්‍රහ්මයන්ගෙන් සමලංකෘත වූ ලෝකයේ කිසිවෙකුගෙන් නො අසා, නොවිමසා ස්වයංභූත්ඥානයෙන් මැ නිර්වාණ මාර්ගය වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටැ ගෙනැ ශ්‍රී සම්බුද්ධත්වය සාක්‍ෂාත් කළ බැවින්, ඒ බුදුරජිඳු සම්මා සම්බුද්ධ වන සේක් ය.

අප තථාගතයන් වහන්සේ සියල් ක්ලේශයන් සිඳ, විදර්ශනා ඥාන, ඉර්ධිවිධ ඥාන ආදී අටක් විද්‍යා ඥානයන් හා පසළොසක් වූ චරණ ධර්මයන් දරා වැඩ සිටි නිසාවෙන් ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක් ය.
අප තථාගතයන් වහන්සේ සියල් ක්ලේශයන්නේ තොරවැ, නිර්වාණ මාර්ගයේ ගමන් කළ හෙයින් ද මනා වූ සොඳුරු ගමන් ඇති හෙයින් ද ශාන්තවේශී වූ හෙයින් ද සුන්දර වූ වචන ඇති හෙයින් ද ධර්මයට අනුව ම දිවි ගෙවූ හෙයින් ද සහස්පතක් වැනිවැ පාරිශුද්ධ වූ ඒ සමන්තභද්‍රයන් වහන්සේ සුගත නම් වන සේක් ය.

අප තථාගතයන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වැ, සියල් ලෝකයන් මනා සේ අවබෝධ කොටැ, දෙව් මිනිස් ලෝවැස්සාට ද දේශනා කොටැ වදාළ බැවින්, ඒ ලොකනාථයන් වහන්සේ ලෝකවිදූ වන සේක් ය.

අප තථාගතයෝ, නොදැමුණු සත්වයන්, දඬු-මුගුරු හා අවි ආයුධයෙන් තොරවැ මනා සේ දමනය කොටැ, හික්මවා ශ්‍රී සද්ධර්මය තුළට පමුණුවා ගත් නිසාවෙන්, ඒ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම් වන සේක් ය.

අප තථාගතයන් වහන්සේ, සසර කතර මැදැ අතරමං වැ දුකින් පෙළෙන්නා වූ තුන් ලෝ වැස්සන් හට නිර්වාණ මාර්ගය වූ අමා ධර්මය දේශනා කොටැ, සංසාර කාන්තාරයෙන් නිදහස් වීමට මග කියා දුන් හෙයින් මාගේ ශාස්තෘන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ ශාස්තෘවරයා හෙවත් සත්ථා දේවමනුස්සානං වන සේක් ය.

අප තථාගතයන් වහන්සේ, තමන් වහන්සේ විසින් ස්වයංභූත්ඥානයෙන් අවබෝධ කර ගත් පවර වූ, අති ශ්‍රේෂ්ඨ වූ, නිර්මල වූ ඒ අමා ශ්‍රී සද්ධර්මස්කන්ධය, සසර දුකින් පෙළෙන අසරණ ලෝවැස්සන් හට මහත් කරුණාවෙන් යුතුව දේශනා කොට වදාළ බැවින් ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධ නම් වන සේක් ය.

අප තථාගතයන් වහන්සේ, මේ ආදී වූ සියල් බුදුගුණයෙන් දරා වැඩැ වෙසීමට තරම් භාග්‍යවත් වූ හෙයින්, ඒ භාග්‍යවතුන් වහන්සේ භගවා නම් වන සේක් ය. මෙසේ අනන්ත බුදු ගුණයන්ගෙන් හෙබි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යනු මැනවි.

මෙතෙකින් ත්‍රිවිධ රත්නාවලියෙහි ප්‍රථම භාගය නිමියේ ය.

ද්විතීයික භාගය

පවර වූ ශ්‍රී සද්ධර්මය

අප ගෞතම සර්වඥයන් වහන්සේ ස්වයංභූත්ඥානයෙන් ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී අවබෝධ කළා වූ, පවර නිර්මල අමා ශ්‍රී සද්ධර්මය තිලෝ වැස්සන් හට මහත් කරුණාස්පද සිතින් යුතු වැ පන්සාලිස් වසක් පුරා දේශනා කොටැ වදාළ සේකැ. ඒ උතුම් නිර්මල අසූහාරදහසක් වූ ශ්‍රී සද්ධර්මයේ ගුණ මෙසේයැ.

අප තථාගතයන් වහන්සේ විසින් වදාළ නිර්මල වූ, පවර වූ, ඒ අමා ශ්‍රී සද්ධර්මය මුල මැද අග ඉතා පිළිවෙළින්, පාරිශුද්ධවැ, පැහැදිලිවැ මනා සේ දේශනා කොටැ වදාළ බැවින්, ඒ අමුර්තවාහිනී ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත වන සේක්යැ.
අප තථාගතයන් වහන්සේ විසින් වදාළ පවර නිර්මල, නිර්වද්‍ය, ඒ සිව් අසූ දහසක් වූ ඒ ධර්මස්කන්ධය සන්දිට්ඨික නම් වන්නේ ය.

අප තථාගතයන් විසින් වදහළ ඒ පවර නිර්මල ශ්‍රී සද්ධර්මය, කාල භේදයකින් තොරවැ, ඕනෑම කාලයෙක්හි දී අවබෝධ කළ හැකි හෙයින්, ඒ පරම පූජනීය ශ්‍රී සද්ධර්මය අකාලික වන්නේ වෙයි.

අප තථාගතයන් වහන්සේ විසින් වදාළ පවර නිර්මල ශ්‍රී සද්ධර්මය, පැමිණ බලන්නැයි පැවසියැ හැකි බැවින්, ඒ විපුල වූ ශ්‍රී සද්ධර්මය ඒහිපස්සික වන්නේයැ.

අප තථාගතයන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි තිලෝවැස්සන් හට මහත් අනුකම්පා චිත්තය පෙරදැරිවැ දෙසා වදාළ ඒ අමා ශ්‍රී සද්ධර්මය තමා තුළට පමුණුවා ගත යුතු වූ බැවින් ශ්‍රී සද්ධර්මය ඕපනයික වන සේක් යැ.

අප තථාගතයන් වහන්සේ විසින් වදාළ පවර නිර්මල, නිර්වද්‍ය ධර්මස්කන්ධය, නැණවතුන් විසින් සියැ ඥාන ප්‍රමාණයෙන් අවබෝධ කැර ගත යුතු නිසාවෙන්, ඒ ශ්‍රී සද්ධර්ම රත්නය පච්චත්තං වේදිතබ්බෝ වික්‍ද්ඤූහි නම් වන්නේයැ.

මෙසේ අනන්ත ගුණයන්ගෙන් සමලංකෘත වූ ඒ නිර්මල වූ, පවර වූ, නිර්වද්‍ය වූ, අමෘතවාහිනී, අමා ශ්‍රී සද්ධර්මය සරණ යනු මැනැවි.

මෙතෙකින් ත්‍රිවිධ රත්නාවලියෙහි ද්විතීයික භාගය නිම වන්නේ ය.

තෘතීය භාගය

ලොවට පවර වූ පුණ්‍ය කෙත

සාරිපුත්ත, මහා මොග්ගල්ලාන, මහා කස්සප, අංගුලිමාල, අනුරුද්ධ, මහින්ද ආදී වූ මහරහත් පවර මුනිවරුන්ගෙන් පැවතෙන, අපගේ ගෞතම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ ඒ ත්‍රෛකාලික ආර්ය මහා සංඝරත්නයේ ගුණ මෙසේ යැ.

මහා මුනීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රාවක වූ සංඝයා, අමෘත වූ නිර්වාණ සුවය ලැබ, ශ්‍රී සද්ධර්මයට හා විනයට අනුකූලව මැ, සිය ජීවිතය පවත්වන හෙයින්, ඒ තුන්කල් වාසී මහා සංඝරත්නය සුපටිපන්න වන සේක් ම යැ.

අප තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ සංඝයා, වක්‍ර රහිත හෙවත් කිසිදු ඇදක් නොමැති, ඍජු වූ මගෙක, උත්තම වූ අෂ්ට අංගයක් හා සීල සමාධි ඥානයන්ගෙන් යුතු වැ, ඍජු වැ ගමන් වඩින නිසාවෙන්, ඒ නිරාශ්‍රව ශ්‍රාවකයන් වහන්සේලා උජුපටිපන්න වන්නේ යැ.

අප තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ලොවේ යථාර්ථය දකිමින් ලෝක දුක්ඛයට නො ඇලෙමින් ලෝකයෙන් නිදහස් වනු වස් තම ඥානය වඩවනැ හෙයින් ඒ ආර්ය මහා සංඝරත්නය ඤායපටිපන්න වන සේකැ.

අප තථාගතයන් වහන්සේගේ අමෘත රසැති ශ්‍රී සද්ධර්මය දරාගෙන වැඩ සිටින ඒ ආර්ය වූ ශ්‍රාවක සංඝයා ශ්‍රද්ධාවන්ත චින්තනයෙන් යුතුවැ අමා ධර්මය දරා සිටින හෙයින් ද ලෝ වැසියන් හට කරුණාස්පද සිතින් යුතුවැ දේශනා කරන හෙයින් ද ඒ උත්තමයන් වහන්සේලා සාමීචිපටිපන්න වන සේකැ.

අප තථාගතයන් වහන්සේගේ හදමඬලෙන් ජාත වූ සංඝරත්නය මාර්ග ඵල වෙත යන සිව් මාර්ගයෙන් සහ සිව් මාර්ග ඵලයන්ගෙන් සමලංකෘතවැ වැඩ සිටි නිරාශ්‍රව මුනිවරුන් වෙන් වෙන් වශයෙන් ගත් කලැ අටදෙනෙක් ද යුගල සතරක් ද වන්නේමැ ය.

අප තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දන් පැන්වලින් පිදීමැටැ සුදුස්සන් වනැ හෙයින් ආහුණ්‍යෙය වන සේක්යැ.

අප තථාගතයන් වහන්සේගේ ආර්ය වූ ශ්‍රාවක සංඝයා ආගන්තුක දානයන් හටැ සුදුසු වනැ හෙයින් පාහුණ්‍යෙය වන සේක්යැ.

අප තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පුණ්‍යඵලයන් ලැබ ගැනීමැ පිණිසැ පිදීමට සුදුසු වනැ බැවින් ඒ මුනිවරයන් වහන්සේලා දක්ඛිණ්‍යෙය වන්නේයැ.

අප තථාගතයන් වහන්සේගේ අනුත්තර වූ ශ්‍රාවක සංඝයා අංගුලි හෙවත් ඇතැඟිලි එක්කොටැ වන්දනා කෙරුමැට සුදුසු නිසාවෙන් ඒ පවර වූ ශ්‍රේෂ්ඨයන් වහන්සේලා අංජලිකරණීය ගුණයෙන් යුතු සේක්මැ යැ.

අප තථාගතයන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා තිලෝවාසී සතහට පින් අස්වනු නෙළා ගනු වස් පින් කෙතක් බඳු බැවින් ඒ පින්වතුන් වහන්සේලා අනුත්තරෝ පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වන්නේයැ.

මෙසේ අනන්ත ගුණයන්ගෙන් සමන්විත සංඝරත්නය සරණ යනු මැනැවැ.

මෙතනින් ත්‍රිවිධ රත්නාවලියේ තෘතීයභාගය නිමි යැ.

මෙතැකින් සාධුජන මන පුබුදනු පිණිසැ රචිතැ තිසරණාලංකාරය හෙවත් ත්‍රිවිධ රත්නාවලිය නිමියේ යැ. ත්‍රිවිධ රත්නාවලියේ අනුහසින් සිහලදීපයට සෙත් වේවා…!

උප ග්‍රන්ථය

■ සිය දහසක් ලක්ෂයක්

■ සුජාත මනා සේ උපන්

■ පවර උතුම්

■ ෂඞ් හය

■ ශාක්‍යසිංහ ශාක්‍යවංශයට උතුම් වූ

■ ස්වයංභූත්ඥානය තමන්ගේ ම නුවණ

■ ශාන්තවේශී සන්සුන් වෙස් ඇති

■ සහස්පත නෙළුම් මල

■ නර ශ්‍රේෂ්ඨ මිනිසුන් අතර උතුම් වූ

■ තුන්ලෝවැසි/තිලෝවැසි දෙව්ලොව බඹ ලොව සහ මනු ලොව වැසි සතුන්

■ කරුණාස්පද කරුණාවෙන්

■ නිර්වද්‍ය කිසිදු දෝෂයක් නැති

■ අමෘතවාහීන් අමෘතය වෑහෙන

■ විපුල ගුණයෙන් මහත් වූ

■ ත්‍රෛකාලික අතීත, වර්තමාන සහ අනාගත

■ නිරාශ්‍රව ආශ්‍රව රහිත

■ සත සත්වයින්

මූලාශ්‍ර

■ පිරුවානා පොත් වහන්සේ – පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

■ පින් මතු වෙන වන්දනා – පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

■ නාමාෂ්ඨ ශතකය

ඩී. එම්. කුසල් දර්ශන
7 ශ්‍රේණිය
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය