වත්මන් මිනිසාගේ ජීවිත තුළ වන සංකීර්ණ පුද්ගල අවශ්‍යතා හේතුවෙන් ද තරඟකාරී ජීවිත රටාව හේතුවෙන් ද ඔවුන් වඩ වඩාත් ම ආවේගශීලී බවට පත්ව තිබේ. ඒ හේතුවෙන් ඔවුන් හුදෙක් තමාගේ පුද්ගලික චින්තනයට වහල් වී තාවකාලික ආස්වාදයක් සොයමින් උදෑසන අවදි වූ වෙලාවේ සිට රාත්‍රී නින්දට යන මොහොත දක්වා ම ඇසට දකින රූපයෙන්, කනට ඇසෙන ශබ්දයෙන්, නාසයට දැනෙන ගඳ සුවඳින්, දිවට දැනෙන රසයෙන් හා කයට දැනෙන පහසින් ලද අරමුණු මනසින් සිහි කරමින් ළාමක ආස්වාදයන් සංතෘප්ත කර ගැනීමට වෙහෙසෙන්නේ මිනිසත් බවේ දුර්ලභ බව මෙන් ම අනියත බව ද නොතකමිනි.

හේ නගරයෙන් ගමට පැමිණියෙකි. ඔහුට දක්නට ලැබෙන්නේ අංග සම්පූර්ණ වූ සංවර්ධිත නගරයකි. මෙම නගරය සතරමං හන්දියක වූ වීදි හතරක් දිගේ විහිදී තිබේ. ඉතා සුවිශාල වෙළඳ සංකීර්ණ, අහස උසට ගොඩනැගු‍ණු වීදුරු ගොඩනැගිලි ඒවා අතර ය. හේ නෙත් විවර කරමින් තම දෙපා වීදි සතර ඔස්සේ තබයි. දකින්නට ලැබෙන්නේ රූමත් යෞවනියන්ගේ සේයාවන්ගෙන් යුතු වූ නාම පුවරු ය. නිමි ඇඳුම්, රෙදිපිළි හා නේක වර්ණයෙන් යුත් පාවහන්, රත්රන්, රිදී, මුතු මැණික්වලින් කළ ගෙල පලඳනා හා අත් පලඳනා ආදිය යි. මේ සියල්ලන්ගෙන් සැරසුණු රූමතියන් නගරය පුරා සැරිසරයි. අහෝ! නෙත් පිනවන රූපයන්ගෙන් ඔහුගේ දෑස් අන්ධ වී ගියේ ද?

“පින්වත් මහණෙනි, ගිනි ඇවිළ ගත්, මුළුමනින් ම ගින්නෙන් දිලිසෙන, ගිනිදැල් විහිදෙන, ගිනියම් වූ යකඩ ආයුධයකින් ඇස නමැති ඉන්ද්‍රිය අතුල්ලන එක වඩා වටිනවා. නමුත් ඇසින් දත යුතු රූප ගැන නිමිති සටහනක්වත් ගන්න එක හොඳ නෑ. පින්වත් මහණෙනි, රූප නිමිත්තෙහි ආස්වාදයට ගිජු වූ හෝ රූප නිමිත්තෙහි කොටසක ආස්වාදයට ගිජු වූ හෝ විඤ්ඤාණයක් තිබෙන විට, ඉඳින් ඒ වෙලාවේ දී කළුරිය කළොත් තිරිසන් යෝනිය හරි, නිරය හරි කියන මේ ගති දෙකෙන් එක්තරා ගතියක උපදිනවා යන කරුණ විය හැකි දෙයක්. පින්වත් මහණෙනි, මං මේ ආදීනවය දැකලයි ඔහොම කියන්නේ.”

හේ දිගට ම ගමන් කරයි. වීථි හතර ඔස්සේ ගමන් කරයි. ඔහුට ඇසෙන්නේ මිහිරි වූ සංගීත රටාවන්ගෙන් යුත් කන්කළු ගීතයන් ය. විටෙක බටහිර හෝ භාරතීය ගීතයන් ය. ඔහුගේ දෙපා මඳක් නතර විය. අහෝ! ඔහුගේ දෙසවන් රසාස්වාදයට ගිජු වුණි ද?

“පින්වත් මහණෙනි, ගිනි ඇවිළගත්, මුළුමනින්ම ගින්නෙන් දිලිසෙන, ගිනිදැල් විහිදෙන, ගිනියම් වූ තියුණු යකඩ හුලකින් කන නමැති ඉන්ද්‍රිය අතුල්ලන එක වඩා වටිනවා. නමුත් කනින් දත යුතු ශබ්ද ගැන නිමිති සටහනක්වත් ගන්න එක හොඳ නෑ. පින්වත් මහණෙනි ශබ්ද නිමිත්තෙහි ආස්වාදයට ගිජු වූ හෝ ශබ්ද නිමිත්තෙහි කොටසක ආස්වාදයට ගිජු වූ හෝ විඤ්ඤාණයක් තිබෙන විට, ඉඳින් ඒ වේලාවේ දී කළුරිය කළොත් තිරිසන් යෝනිය හරි, නිරය හරි කියන මේ ගති දෙකෙන් එක්තරා ගතියක උපදිනවා යන කරුණ විය හැකි දෙයක්. පින්වත් මහණෙනි, මං මේ ආදීනවය දැකලයි ඔහොම කියන්නෙ.”

ඔහු දිගටම ගමන් කරයි. සතර වීථි ඔස්සේ එක් පැත්තකින් තවත් පැත්තකට ගමන් කරයි. ඔහු දුටුවේ දේශීය මෙන් ම විදේශීය රටවල තිබෙන, සිරුරු සුවඳවත් කිරීම පිණිස ම ඇති සුවඳ විළවුන් ය. එහි නේකවිධ වූ ආලේපන, දියර වර්ග, නොයෙක් විසිතුරු වර්ණයන්ගෙන් ද යුතු සුවඳවත් පියුම්වලින් වහනය වන සුවඳ වර්ග අඩංගු බෝතල්ය. අහෝ! ඔහුගේ නාස් පුඬු එම සුවඳින් පිරී ගියේ ද?

“පින්වත් මහණෙනි, ගිනි ඇවිළගත්, මුළුමනින්ම ගින්නෙන් දිලිසෙන, ගිනිදැල් විහිදෙන ගිනියම් වූ තියුණු නියනකින් නාසය නමැති ඉන්ද්‍රිය අතුල්ලන එක වඩා වටිනවා. නමුත් නාසයෙන් දත යුතු ගන්ධ ගැන නිමිති සටහනක්වත් ගන්න එක හොඳ නෑ. පින්වත් මහණෙනි, ගන්ධ නිමිත්තෙහි ආස්වාදයට ගිජු වූ හෝ ගන්ධ නිමිත්තෙහි කොටසක ආස්වාදයට ගිජු වූ හෝ විඤ්ඤාණයක් තිබෙන විට, ඉඳින් ඒ වේලාවේ දී කළුරිය කළොත් තිරිසන් යෝනිය හරි, නිරය හරි කියන මේ ගති දෙකෙන් එක්තරා ගතියක උපදිනවා යන කරුණ විය හැකි දෙයක්. පින්වත් මහණෙනි, මං මේ ආදීනවය දැකලයි ඔහොම කියන්නේ.”

ඔහු තරුණ ය. එහෙත් ඔහු හට දැන් කායිකව වූ යම් පීඩාවකි. නමුදු ඔහු යයි. විටෙක වේගයෙන් ගමන් කරයි. ඔහුගේ නාසය නේක වූ ආහාර සූපයන්ගෙන් ලත් සුවඳින් පිරී ගියේ ය. ඔහු සොයයි. ඔහුට දක්නට ලැබුණේ වර්ණවත් වු බොජුන් පිරි හළකි. එක් පසකින් සුවඳ හමන පලතුරු ය. එක් පසෙකින් අනේකවිධ පානයන්ගෙන් යුක්ත ශීතකරණ කිහිපයකි. තවත් පසෙකින් ආකර්ශනීය ලෙස අසුරන ලද ප්‍රණීත රසකැවිලය. දිව පිනවන්නට සිතන ඔහු එම නානාවිධ රසයන්ගෙන් මුසපත් වේවිද?

“පින්වත් මහණෙනි, ගිනි ඇවිළගත්, මුළුමනින් ම ගින්නෙන් දිලිසෙන, ගිනිදැල් විහිදෙන, ගිනියම් වූ තියුණු දැලි පිහියකින් දිව නමැති ඉන්ද්‍රිය අතුල්ලන එක වඩා වටිනවා. නමුත් දිවෙන් දත යුතු රස ගැන නිමිති සටහනක්වත් ගන්න එක හොඳ නෑ. පින්වත් මහණෙනි, රස නිමිත්තෙහි ආස්වාදයට ගිජු වූ හෝ රස නිමිත්තෙහි කොටසක ආස්වාදයට ගිජු වූ හෝ විඤ්ඤාණයක් තිබෙන විට, ඉඳින් ඒ වේලාවෙහි කළුරිය කළොත් තිරිසන් යෝනිය හරි, නිරය හරි කියන මේ ගති දෙකෙන් එක්තරා ගතියක උපදිනවා යන කරුණ විය හැකි දෙයක්. පින්වත් මහණෙනි, මං මේ ආදීනවය දැකලයි ඔහොම කියන්නේ.”

ඔහුගේ ගමනාන්තයෙහි නිමාවක් තවමත් නැත. මෙවර ඔහු ගමන් කරන්නේ වීථි හරහා පහසුවෙන් ගමන් කළ හැකි ගමන් මාර්ගයන් ඔස්සේ ය. එහි ද යම් යම් සේවා මධ්‍යස්ථානයන් ය. ඔහු ඉදිරියට ම ගමන් කළේ ය. ඔහුට දක්නට ලැබුණේ සම්භාහන මධ්‍යස්ථානයක් ය. ඔහුගේ සිත වෙලා ගනිමින් සිතුවිලි දහරා ගලා එන්නට විය. එහි වූ කළු පැහැති දොරවල් ඔහු වෙනුවෙන් විවෘත විය. අහෝ! අසම්මතව ලබන ළාමක පහසට ඔහු ලොල් වී ගියේ ද?

“පින්වත් මහණෙනි, ගිනි ඇවිළගත්, මුළුමනින් ම ගින්නෙන් දිලිසෙන, ගිනිදැල් විහිදෙන, ගිනියම් වූ තියුණු සැතකින් කය නමැති ඉන්ද්‍රිය අතුල්ලන එක වඩා වටිනවා. නමුත් කයින් දත යුතු පහස ගැන නිමිති සටහනක්වත් ගන්න එක හොඳ නෑ. පින්වත් මහණෙනි, පහස නිමිත්තෙහි ආස්වාදයට ගිජු වූ හෝ පහස නිමිත්තෙහි කොටසක ආස්වාදයට ගිජු වූ හෝ විඤ්ඤාණයක් තිබෙන විට, ඉඳින් ඒ වේලාවේ දී කළුරිය කළොත් තිරිසන් යෝනිය හරි, නිරය හරි කියන මේ ගති දෙකෙන් එක්තරා ගතියක උපදිනවා යන කරුණ විය හැකි දෙයක්. පින්වත් මහණෙනි, මං මේ ආදීනවය දැකලයි ඔහොම කියන්නේ.”

(ආදිත්ත පරියාය සූත්‍රය – සංයුක්ත නිකාය)

ඔහු උමං මාර්ගය තුළින් ප්‍රධාන වීථිය ට පිවිසුණේය. ඒත් සමඟම ඇසුණේ මහා වේදනාකාරී විලාපයකි. අවධානයකින් තොරව පාරේ ගමන් ගත් තරුණයකු කාර් රථයක ගැටී එම ස්ථානයේ ම මරුවා වැළඳ ගත්තේ ය. ඔහුගේ ද වීථි සංචාරය අවසන් විය. ඔහුගේ සිත තුළ වූ ශෝකී ස්වභාවය වසාගෙන යම්කිසි බියක් හට ගත්තේ ය. අහෝ! ආස්වාදය නම් වූ මිරිඟු‍වෙන් මා අත්මිදෙන්නේ කෙසේ ද?

සියල්ල දන්නා – සියල්ල දක්නා අපගේ ශාස්තෘන් වහන්සේගෙන් මහානාම ශාක්‍ය තෙමේ මෙසේ අසන ලදී.

“ස්වාමීනී, මේ කපිලවස්තු නගරය සමෘද්ධිමත් වූයේත්, බොහෝ සැප සම්පත් ඇත්තේත්, මිනිසුන්ගෙන් බොහෝ ගැවසී තෙරපී ගිය වීථි ඇත්තේත් වෙයි. ඉතිං ස්වාමීනී, ඒ මම භාග්‍යවතුන් වහන්සේව ඇසුරු කොට, මනෝභාවනීය භික්ෂූන් හෝ ඇසුරු කොට, සවස් වරුවෙහි කපිලවස්තු නගරයට පිවිසෙන කල්හි කලබල ව හැසිරෙන ඇතෙකු සමගත් එක් වෙමි. කලබල ව හැසිරෙන අශ්වයෙකු සමගත් එක් වෙමි. කලබල ව හැසිරෙන රියක් සමගත් එක් වෙමි. කලබල ව හැසිරෙන ගැලක් සමගත් එක් වෙමි. කලබල ව හැසිරෙන පුරුෂයෙකු සමගත් එක් වෙමි. ස්වාමීනී, මට ඒ අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේ අරභයා පැවති සිහිය මුළා වෙයි. ධර්මය අරභයා පැවති සිහිය මුලා වෙයි. සංඝයා අරභයා පැවති සිහිය මුලා වෙයි. ස්වාමීනී, ඒ මට මෙසේ සිතෙයි. මෙබඳු අවස්ථාවක මම මරණයට පත් වන්නේ නම් මගේ ගතිය කුමක් වේවි ද? මාගේ පරලොව කුමක් වේවි ද කියා ය.”

“මහානාමයෙනි, භය වෙන්ට එපා! මහානාමයෙනි, භය වෙන්ට එපා. ඔබගේ මරණය අළාමක දෙයක් වන්නේ ය. අළාමක කළුරිය කිරීමක් වන්නේ ය. මහානාමයෙනි, සතර ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවක තෙමේ නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට යොමු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි. ඒ කවර සතරක් ද යත්, මහානාමයෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැකව ම පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. ධර්මය කෙරෙහි ද සංඝයා කෙරෙහි ද නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි.”

(දුතිය මහානාම සූත්‍රය – සංයුක්ත නිකාය)

අපගේ ධර්මරාජයාණන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘මායූපමංච විඤ්ඤාණං’ යනුවෙනි. එනම්, මේ විඤ්ඤාණය යනු සතරමං හන්දියක සිටිමින් මැජික් පෙන්වන මැජික්කාරයෙක් වගේ කියා ය. විඤ්ඤාණය නම් වූ මයාකරු එතරම්ම ශූරය. සාමාන්‍ය ලෝකයා දැක ඇති විජ්ජාවල් පෙන්වන්නේ තුන් පැත්තකින් වට වී ඇති වේදිකාවල ය. එසේ නම්… විඤ්ඤාණය විසින් මවා දෙන ලෝකය තුළ තිබෙන්නේ මායාවක්, රැවටීමක් නො වේ ද?

පසුවදන-

“එපා පළගැටියනේ වැටෙන්නට නම්
ගිනි දළු බබළන්නේ
හසුවී ගියොත් නිමේෂයෙන් අළු වී යාවි
රුදුරු කුරිරු හැඟු‍මින් ඇවිළී
පැතිරී ලැව් ගින්නක් සේ
සිත වෙලී ගියෝතින්
නෙත මුළා වුණෝතින්
දැන දැන විපතට පත් වූවෝතින්
පිළිසරණක් නම් නැත්තේ….”

(මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.)