පින්වත් දුවේ පුතේ,

බුදුරජාණන් වහන්සේ අප විසින් කළ යුතු, නොකළ යුතු දේවල් උගන්වා තිබෙනවා. කළ යුතු දේ සිරිත් (චාරිත්‍ර) ලෙසටත්, නොකළ යුතු දේ විරිත් (වාරිත්‍ර) ලෙසටත් හැඳින්වෙනවා. ඒ අනුව සතුන් මැරීම, නොදුන් දේ ගැනීම, වැරදි හැසිරීම, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය ආදී නොකළ යුතු දේවලින් වැළකී, සතුන්ට කරුණාව මෛත්‍රිය දැක්වීම, දුන් දේ පමණක් ගැනීම, නිවැරදි හැසිරීමෙන් යුතු වීම, සත්‍යවාදී වීම හා මත්ද්‍රව්‍ය භාවිත නොකර සිටීම ආදී කළ යුතු ක්‍රියාවන්හි නිරත වෙන්න ඕන. බුදු දහමේ නිත්‍ය සීලය ලෙස උගන්වන්නේ මෙයයි. එසේ හැසිරීමෙන් ලොකු කුඩා සැමගේම චාරිත්‍ර සංවර්ධනය ඇති වෙනවා. ඒ වගේම මෙලොව පරලොව දියුණුවටත් හේතු වෙනවා.

සිල් රැකීමෙන් ලැබෙන ආනිශංස පහක් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. පළමුවැන්න, මහත් වූ භෝග සම්පත් ලැබෙනවා. සිල්වත් කෙනෙක් නිරන්තරයෙන්ම උද්‍යෝගිමත් කෙනෙක්. සීලයක පිහිටලා අප්‍රමාදීව උත්සාහයෙන් කටයුතු කරමින් ධනය උපයා ගන්නා ඒ සිල්වතා ඒ නිසාම මහා ධනවතෙක් බවට පත් වෙනවා. ධනය උපයා ගන්න වගේම දරුවනේ ධනය රැක ගන්නත් සීලය උපකාර වෙනවා.

ඒ වගේම දරුවනේ ඕනෑම පිරිසක් මැදට නිර්භයව යන්නට මේ සිල්වතාට පුළුවනි. පව් කරන්නා නිතරම ඉන්නෙ බියෙන් සැකෙන්, කොයි මොහොතේ නීතියට අසුවේද කියලා. බොරු කියන පුද්ගලයාව කවුරුත් විශ්වාස කරන්නේ නෑ. මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් ලෙඩෙක් වෙනවා. ඔහුට බියක් නැතිව සභාවක් ඉදිරියට යන්න බැහැ. සිල්වතාට එහෙම වෙන්නෙ නෑ. ඔහුව හැමෝම පිළිගන්නවා. පන්සිල් රකින්නා අන් අයගේ ජීවිත සුරකින කෙනෙක්. ඕනෑම තැනකට බියක් සැකක් නැතිව ඔහුට යන්න පුළු‍වන්.

සීලයේ තවත් ආනිශංසයක් තමයි සිල්වතාගේ කීර්තිය දස අත පැතිරෙනවා. කෙනෙකුගේ කීර්තිය හෝ අපකීර්තියටත් බලපාන්නේ ඔහු කරන හොඳ නරක ක්‍රියාකාරකම් ම යි. කුලවත්කම, රූමත්කම තිබුණට කීර්තිය ලැබෙන්නෙ නෑ. සිල් නොරකින කෙනාට ලැබෙන්නේ අපකීර්තිය ම යි. ප්‍රාණඝාතය, හොරකම, බොරු කීම ආදී පස් පව්වලින් වැළකුනු කෙනාට හිමි වන්නේ කීර්තියයි. ඔහුගේ ගුණ දස අත පැතිරෙනවා. සිල් සුවඳ අනෙක් සුවඳ අභිබවා පැතිරෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. සිල්වතා යමක් කරන්න පෙර විමසිලිමත් වෙනවා. ඒ නිසා ඔහුගෙන් සමාජයට හානියක් වෙන්නේ නෑ.

පින්වත් දරුවනේ, ඊළඟ ආනිශංසය තමයි සිල්වතා සිහි මුළා නොවී මරණයට පත් වෙනවා. තමන් කරන හොඳ නරක දන්නේ තමන් ම යි. ඒ නිසා හොඳින් සිල් ආරක්ෂා කළ සිල්වතා නොබියව කවදා හෝ මරණයට මුහුණ දෙනවා. පව් කළ කෙනා පරලොව ගැන බිය වෙන නිසා මරණයේ දී සිහි මුළා වෙනවා. සිල්වතාට සතුටින් මරණයට මුහුණ දෙන්න පුළුවන්.

අනෙක් ආනිශංසය තමයි සිල් රැකීමෙන් සුගතියේ උපදින්නට ලැබෙනවා. සිල් රකින කෙනා තමන් කළ දේවල් ගැන පසුතැවිලි වෙන්නේ නෑ. ඔහුගේ අවසන් සිතුවිලි යහපත් ඒවා නිසා ඔහු සුගතියක ම උපදිනවා.

මේ ආනිශංස පහෙන් මුල් සතර ජීවත්ව සිටිය දී ම අපට ලැබෙනවා. ඔයාලත් කුඩා කාලයේ සිටම හොඳින් සිල් රැක ගන්න ඕනේ. එතකොට ඔයාලටත් මේ ආනිශංස අත්දකින්න පුළුවන් වේවි. සීලයේ වටිනාකම ගැන මේ ජාතක කතාවෙනුත් ඔබට පැහැදිලි කරගන්න පුළුවනි.

මේ සීලවිමංස ජාතක කථාවයි. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා රජ කරන කාලයේ අපේ මහ බෝසතාණන් වහන්සේ බමුණු කුලයක ඉපදුණා. ඔහු දිසාපාමොක් ආචාරීන්ගෙන් ශිල්ප හැදෑරුවා. එතුමාට රූමත් දියණියක් සිටියා. ඉතින් මේ ඇදුරුතුමා තමන්ගේ ශිෂ්‍යයන්ගේ ගුණධර්ම පරීක්ෂා කරන්න මෙන්න මෙහෙම යෝජනාවක් කළා. “දරුවනේ, මගේ දියණියට විවාහයක් කර දීමට සිතා සිටිනවා. ඒ සඳහා වස්ත්‍රාභරණ අවශ්‍යයි. හැබැයි මේ වස්ත්‍රාභරණ ලබාගන්න ඕනේ දෙමාපියන්ට නෑයන්ට හොර රහසෙනුයි.”‍ ඉතින් ගුරුතුමාගේ මේ යෝජනාවට ශිෂ්‍යයෝ සියලු‍ දෙනාම කැමති වෙලා, හැමෝම තම තමන්ගේ නිවෙස්වලට ගිහින් වස්ත්‍රාභරණ අරගෙන ආවා. ඒ සියල්ලම ගෙනවිත් තිබුණේ සොරකම් කරගෙනයි. ඒත් බෝධිසත්ව මානවකයා කිසිවක් ගෙනවිත් තිබුණේ නැහැ. ඉතින් ගුරුතුමා මේ ශිෂ්‍යයා පමණක් නොගෙන ඒමට හේතුව සොයා බැලු‍වා. ‘පෙනී ගෙනා දෙය ඔබවහන්සේ බාර නොගැනීමට තීරණය කළ නිසාත්, සොරකම් කිරීමට අකමැති වීම නිසාත්’ එසේ කළ බව බෝධිසත්වයෝ ප්‍රකාශ කළා.

ඒ අනුව ගුරුතුමා තම දියණිය සරණ පාවා දීමට සුදුසු තරුණයා ඔහු බව තීරණය කළා. අනිකුත් ශිෂ්‍යයන්ට තම තමන් ගෙනා ඇඳුම් නැවතත් බාර දුන්නා. පින්වත් දරුවනේ, අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ කාලයෙත් රහසින්වත් පවක් කළේ නැති බව මේ කථාවෙන් පැහැදිලි වෙනවා. ඔබත් සීලය පණ මෙන් රැක ගන්න සිතට ගන්න. බෝසත් දරුවන් වන්න.

තෙරුවන් සරණයි!

මානෙල් නැන්දා