අවුරුදු දෙදහස් තුන්සියයකට අධික කාලයක සිට සොබා සෞන්දර්යය ආස්වාදනයෙහිලා සිංහල බෞද්ධ ජනකාය ලද වාසනා ගුණ මහිමය ලොව අන් කිසිදු ජාතියකට දෙවෙනි නොවෙයි. මිහිරිතම පලතුරක හැඩයෙන් යුතුව, ඉන්දියන් සාගරයෙන් වට වූ සෙසු රටවලින් වෙන් ව පිහිටා තිබීමත්, මධ්‍ය කඳුකරයෙන් බිහිව සිව් දිසා තෙමමින් ගලා බසින්නා වූ ගංගා ජලයෙන් පෝෂණය වීමත්, සදාහරිත වනලැහැබ් සහිත පරිසර පද්ධතියත් නිසා සිරිලක් දිවයින ලෝකයේ ම ආකර්ෂණීය දේශය බවට පත් විය. ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් පඬිතුමා පැවසූ පරිදි එය ආසියාවේ ආලෝකය වූයේ මෙම භද්‍ර කල්පයේ සිව්වැනි වරට ලොව පහළ වූ උත්තරීතර මානව රත්නය වූ ගෞතම බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේ දේශනා කොට වදාළ නෛර්යාණික ශ්‍රී සද්ධර්මයේ පහස ලද හෙයිනි.

තුන් ලෝවාසීන්ගේ හිතසුව උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් බුදු වදන්, සුපුෂ්පිත මලින් ගැවසී ගත් මනරම් වන රොදකට උපමා කොට ඇති ආකාරය, බුදු දහමේ ගැබ්ව පවත්නා නිෂ්කාමී සෞන්දර්යාත්මක අගය තීව්‍ර කොට දක්වන්නකි.

“වනප්පගුම්බේ යථා ඵුස්සිතග්ගේ
ගිම්හානමාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයී
නිබ්බාණගාමිං පරමං හිතාය”

“ගිම්හාන මාසයෙහි පළමුවැනි සමයේ (බක් මහ) අතු අග සුපිපි මලින් සැරසී ගත් වන ලැහැබක් මෙන් සුන්දර වූ ද නිර්වාණගාමීන්ට හිතවැඩ පිණිස වූ ද උතුම් ධර්මයක් දේශනා කරන ලද්දේ ය.”

තමන් වහන්සේ දේශනා කොට වදාළ දහම සුපිපි මලින් ගැවසී ගත් වන රොදකට උවම් කරමින් ස්වභාවික සෞන්දර්යය වින්දනය කොට වදාළ බුදුරජාණන් වහන්සේ තරම් වෙනත් ආගමික ශාස්තෘවරයකු මිනිස් ශිෂ්ටාචාරයේ මේ දක්වා පහළ වූයේ නැත. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වන තුරු අනාගතයේ ද බිහි නොවන්නේ ම ය. සිදුහත් බෝසතාණන් වහන්සේගේ උපත සිදු වූයේ සොබා සෞන්දර්යයෙන් අනූන වූ ලුම්බිණි සල් උයනෙහි ය. බෝසතාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වූයේ, නිල්වන් වන ගහනය පසුබිම් කොට ගත් සුසිනිඳු වැලිතලාවන්ගෙන් ගැවසී ගත් සුපිරිසිදු දිය දහර ගලා බස්නා නේරංජරා නදී තීරය අසබඩ ඇසතු රුක් සෙවණේ දී ය. බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් ධර්මය දේශනා කරමින් සම්බුද්ධ ජීවිතයේ වැඩි කාලයක් දිවා රැය ගත කළේ ද සොඳුරු වනපෙත්, ගිරිකඳුරු, කෙත්බිම්, පොකුණු, වන උයන් ඇසුරු කොටගෙන ය. ස්වභාවික පරිසරයේ ආස්වාදය විඳිමින් ලෝක සත්වයාගේ හිතසුව උදෙසා වන චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත උතුම් ධර්ම මාර්ගය පෙන්වා දී අවසන උන්වහන්සේ පිරිනිවන් පා වදාළේ ද මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේ සල් ගස් සෙවණේ පනවන ලද සයනයක සැතපීගෙන ය.

පරිසරය හා සබැඳි උතුම් සම්බුද්ධ චරිතයේ පරිශ්‍රමය අරභයා මහාගත්කරු මාටින් වික්‍රමසිංහ මහතා කළ දීර්ඝ විවරණයකින් බිඳක් ගෙන හැර දැක්වීම මෙතැනට උචිත යැයි සිතමි.

“…. බුදුරජාණන් වහන්සේ සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළේ වනලැහැබ්, නදී හා වන සතුන් සහිත ප්‍රදේශවල ය. ප්‍රකෘති සන්තාවෙහි සුන්දරත්වය, භයංකාරත්වය හා තැති ගන්නා ලක්ෂණ, සෙණහඬ, විදුලිය, කෙළ ගණන් තරු සහිත ආකාශ ධාතුවෙහි උදාන්ත භාවය ද බුදුරජාණන් වහන්සේ තරුණ වයසෙහි සිට පිරිනිවන් පාන තෙක් ඇසින්, සිතින්, හැඟීමෙන් හා අන්තර්ඥානයෙන් ද පසක් කොට ගත්හ.”

(සිංහල විචාර මඟ-81 පිටුව)

පරිසරය මනුෂ්‍ය වර්ගයා සතු උත්තම දායාදයක් වශයෙන් හඳුනාගත් බුදුරජාණන් වහන්සේ සොබාදහමෙහි විස්මිත නිමැවුම මානව වර්ගයාගේ යහපැවැත්මට අත්‍යවශ්‍ය වන විවිධ ශක්තීන්ගෙන් පෝෂිත වූවක් බවත්, එය මානව ජීවිතය හා සංස්කෘතිය නන්විධ අයුරින් පෝෂණය කරන අන්දමත් නොයෙක් අවස්ථාවන්හි දී සනිදර්ශනව පැහැදිලි කොට දුන් සේක.

සියවස් විසිපහකට අධික කාලයක් මුළුල්ලේ මානව චින්තනය විකසිත කළ ඒ ශ්‍රේෂ්ඨතම ධර්ම මාර්ගය හඳුන්වා දුන් නිෂ්කාමී සෞන්දර්ය චින්තනයේ උපරිම ඵල නෙළාගනු ලැබුවේ හෙළදිව සාහිත්‍ය කලා නිර්මාණකරුවන් විසිනි. බුදුදහම සිංහල දේශයට හඳුන්වා දෙනු ලැබීමෙන් පසු ගෙවී ගිය දෙදහස් තුන්සිය වසරක් මුළුල්ලේ ගල් කටුවෙන්, පන්හිඳෙන්, තුඩපතින්, පෑනෙන් සිය නිර්මාණ බිහි කළ සිංහල කලාකරුවෝ ස්වභාවික පරිසරයේ පලුපත් සිඳී ගිය කටු පොකුරකින් වුව ද චමත්කාරයක් වින්දනය කිරීමටත්, එය තම ජීවන මාර්ගයේ හමුවන කටුක අත්දැකීම් සමනය කර ගැනීමටත් ඉවහල් කොට ගත්හ. ඒ අරභයා ඉදිරිපත් කළ හැකි කදිම නිදසුනකින් මේ සෞන්දර්ය රස විමසුමට ප්‍රවේශ විය යුතු යැයි හැඟෙයි.

මෙම නිබන්ධයට නිමිත්ත හා සංකල්පය මා තුළ අවදි කළේ පසුගිය (ඔක්/නොවැ) ‘මහාමේඝ’ කලාපයේ පළ වූ “මල වට කටු අකුලක් නොව කටු අකුලක මලක් වෙන්න” යන හිසින් යුතු උදුලා පද්මාවතී දුවගේ ලිපියයි. ඒ ලිපිය දුටු සැණින් මා සිතට පිවිසියේ ‘කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස’ යන පාදයෙන් අවසන් වූ ‘වස්සානය’ නමැති විශිෂ්ට පද්‍ය නිර්මාණයයි. එහි නිර්මාපකයා වූයේ නූතන යුගයේ ප්‍රතිභාපූර්ණ කවියකු හා ගී පද රචකයකු වන රත්න ශ්‍රී විජේසිංහයන් ය.

‘වස්සානය’ නැමැති පැදි පෙළින් විශද කෙරෙන අත්දැකීම, රත්න ශ්‍රී විජේසිංහයන් වින්දනය කළේ මීට අවුරුදු හතළිහකට පෙර යුගයේ යැයි මම සිතමි. දේශපාලන ගුරු මාරුවක් ලැබ මොණරාගලට පැමිණි ඔහු හුලන්දාව නව කනිටු (දැන් රාජකීය) විදුහලේ සහ මොණරාගල මධ්‍ය මහා විදුහලේ සේවය කළේ ය. එසමයේ අපිදු ඒ දිස්ත්‍රික්කයේ එක්තරා රාජ්‍ය ආයතනයක් භාරව සේවය කළෙමු. මොණරාගල නගරය අසලින් ගලා බසින හුලන්දා ඔය නියං කාලයේ දිය බිඳු කිහිපයක් ඉතිරි කොට පතුලට වියළී යන අතර වස්සාන සමයේ දෙඉවුරු තලා ගලා බසින සුන්දර නදියක් වෙයි. ඒ අසිරිය එදාට වඩා මා පසු කාලයේ ආස්වාදනය කළේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ‘වස්සානය’ පද්‍ය නිර්මාණයෙනි.

“ඔය දෑල දොඩමළුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කොට කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක”

නන්නාඳුනන පළාතකට විත් කෙදින ආපසු යම්දැයි උකටලීව සිටින කවියාගේ නෙතට හසුවන දසුනින් – පරිසරයේ හදිසියේ මතු වූ චමත්කාරයෙන් ඔහු සිත කුල්මත් වෙයි. වතුර ගලා යන හඬත් සමඟ ම හමා එන්නේ නැවුම් සුවඳකි. සිය පත් උරෙන් සුදු මල් පොකුරක් දරා සිටින කෙකටිය පඳුර දකින කවියාට සිහිපත් වන්නේ දුර බැහැරක වෙසෙන තම දරු පවුල ය. පරිසරය පිබිද කවියා සමඟ හිනැහෙන්නා සේ ය.

“කුඹුක් අතු වතුර අත ගගා නැමිලා දියට
දිය කෙළින හැටි පුංචි මාළුවෝ දුටුවාද
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුලන්දා ඔය කිම් ද මල්වරව ඉල්මහට”

දිය සුළි පෙණ කැටි නගන හුලන්දා ඔය පුරපසේ සඳත් සමඟ මෝරා වැඩී ගලා බසින්නේ කෙළිලොල් නව යොවුනක පරිද්දෙනි. ජල පහරට හසුව පැද්දෙන කුඹුක් අතු වතුර අතගාමින් දිය කෙළින අයුරු පුංචි මාළුවන් දුටුවේ නැති ද යන යෙදුම පරිසරය සමඟ කළ අපූරු සංධ්වනියකි.

ඉල්මහේ වැස්සත් සමඟ පිබිදුන සිත උද්දාමව පරිසරය සිසාරා සැරිසරා දිව යයි.

“දිය නිලන වැසි සමේ රැළි නඟා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින”

කවියාගේ සෞන්දර්ය චාරිකාව අපට සිහිපත් කරවන්නේ බුද්ධකාලීන යුගයේ මහ වන මැද බවුන් වැඩූ රහතන් වහන්සේලාගේ උදාන ගීතයන් ය.

“රමණීයෝ වත භෝ භූමිභාගෝ, පාසාදිකෝ ච වනසණ්ඩෝ, නදිඤ්ච සන්දන්තිං. සේතකා සුපතිත්ථා රමණීයා, සමන්තා ච ගෝචරගාමෝ.”

“ඇත්තෙන් ම මේ පළාත රමණීය යි. මේ වන ලැහැබත් ලස්සනයි. නිල් ජල ධාරාවෙන් යුතුව ගලා බස්නා සුදෝසුදු වැලිතලාවෙන් යුතු නදියත් බෙහෙවින් සිත්කලු ය. පිණ්ඩපාතෙ කරගන්න ගමත් මේ ළඟ ම යි.”

අපගේ බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වීමට පෙර ඒ අමා නිවන සොයාගෙන යන ගමනේ දී, උරුවේලාවේ සේනානිගමට පැමිණි මොහොතේ පරිසරය අගය කළේ එපරිද්දෙනි. බුදු වදනින් සිත හික්මවා ගත් අපේ කවියන් රමණීය වන අරණට ඇලුම් කළේ ස්වකීයයන්ට දක්වන සෙනෙහසට නොදෙවෙනි වන සේ ය.

“දෙවට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිළිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එළිය
මිහිරි මව්කිරි වගේ පොවන්නෙමි නුඹලාට”

දලු ලා ලියලන ගස්වැලින් හා වන සියොතුන්ගෙන් ගැවසී ගත් වනපෙත තම ආදරණීයයන්-දරුවන් වෙසෙන නිවහන සේ කවියා සලකයි. එහි වෙසෙන දරුවන්ට අල්පමාත්‍ර වූ පීඩාවක් නොදී පෝෂණය කිරීමට පෙළඹීම මුළු පරිසරය සිසාරා මානව භක්තිය පතළ කර හැරීමක් වෙයි. ‘ලෝකය පෝෂණය වූයේ හිරු එළියෙනුත්, මව් කිරිවලිනුත් ය’ යන රුවන් වැකිය කවියාගේ පරිකල්පනයට බඳුන් වූ අයුරු අගනේ ය.

“රමණීය වන පෙතෙහි මොණරුන්ට පිල් වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැහි වතුර ඉහිනවා නම් ඔවුන් විහිළුවට
කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට”

කවියා අප්‍රමාණ සෙනෙහසින් යුතුව පරිසරයට ආසක්ත වන ආකාරය, එහි සැරිසරන සියොතුන් ආදරයෙන් සුරතල් කරන අපූරුව කියන මේ පද්‍ය අපට සිහිපත් කරවන්නේ බුද්ධකාලීන යුගයෙහි වනයේ බවුන් වැඩූ චූළක තෙරුන් වහන්සේගේ ‘නදන්ති මෝරා සුසිඛා සුපේඛුණා සුනීලගීවා සුමුඛා සුගජ්ජිනෝ’ යන ථේර ගාථාවත්, චිත්තක තෙරුන් වහන්සේගේ ‘නීලා සුගීවා සිඛිනෝ මෝරා කාරංවියං අභිනදන්ති’ යන ථේර ගාථාවත් ය.

පද්‍ය සතකින් යුතු මේ අපූර්ව පද්‍ය නිර්මාණය, ‘වස්සානය’ අවසන් වන්නේ ජීවිතය හා පරිසරය පිළිබඳ සනාතනික ධර්මතාවයක් කුළුගන්වමිනි.

“ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරය කියා හැර යා යුතු ද ජීවිතය
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස”

නියඟයෙන් දැඩි ලෙස පීඩා විඳින පරිසරයක ස්වභාවය ඉහත පද්‍යයේ මුල් පාදයෙන් ධ්වන්ත වෙයි. ‘කෘශව – ගිලන් වී ඉකිගැසුව’ යන යෙදුම් වලින් නියඟයේ කටුකත්වය පෙන්වයි. වියළී ගිය ගඟක් නැවත පිරිපුන් වන්නේ මහ වර්ෂා ඇද හැළීමෙනි. ස්වභාවධර්මයේ එකී නියතිය ජීවිතයට ද අදාළ ය. මෙම ධර්මතාව ජනකවියන් ද ‘හැම දා නියං එකදා වැහි වලාවේ’ , ‘කලක දි වහලු කලක දි රස වෙනවාලු’ යනාදී වශයෙන් දක්වා තිබේ. ජීවිතය ජය ගත හැක්කේ දුෂ්කරතා අවබෝධ කොටගෙන ඉන් මිදෙන මඟක් සොයා ගැනීමෙනි. කටු පොකුරක මලක් විය හැක්කේ එවිට ය.

-දයාපාල ජයනෙත්ති-