දේශාභිමානී ගීතය වූ කලී අති බලසම්පන්න අධ්‍යාත්ම සම්භාෂණ මාධ්‍යයකි. එය කිසියම් දේශයක – ජාතියක අක්මුල් සොයා ගොස් ඒ දේශයේ වෙසෙන්නන්ගේ සම් මස් නහර ඇට විනිවිද ඔවුන්ගේ ප්‍රෞඪ උරුමය මතු කර දී සියලු බාහිර උපද්‍රව වියවුල් වූපසමනය කොට නිවහල් සොඳුරු මාවතකට යොමු කරන්නක් වෙයි. පසුගිය වසරකට ආසන්න කාලයක් ‘මහාමේඝ’ සත්පුරුෂ පාඨක ජනකාය වෙත ඉදිරිපත් කරන ලද දේශභිමානී ගී රසාස්වාදන ලිපි පෙළ මගින් අප අභිප්‍රේත වූ අරමුණ වූයේ බුදු දහම සිය අධ්‍යාත්ම උරුමය කොට ගත් සිංහල ජාතියේ උත්තුංග අභිමානය කරා ඒ සැමගේ සිත් සතන් යොමු කිරීම යි. ඒ අරමුණ වෙත යම් පමණකින් වුව ද සිංහල බෞද්ධ ජනකායගේ අවධානය යොමු වී තිබීම පිළිබඳ ව අප තුළ පවත්නේ නිරාමිෂ සතුටකි.

ජාතිභේදවාදී කළු වලා පහව ගොස් ජනසම්මතවාදයේ අලුත් බලාපොරොත්තුවක අරුණාලෝකය නැඟුණු සමයේ පවත්නා සංහිඳියාව සෞභාග්‍යවත් සාමකාමී අනාගතයක පෙරනිමිත්තක් වෙයි. මේ ලිපිය මගින් ඉදිරිපත් කෙරෙනුයේ සිංහල දේශයේ සදාතනික අභිමානය රැව් පිළිරැව් නංවන දේශාභිමානී ගීතාවලියේ සමාප්ති ගීතයේ රස විමසුම යි. ඒ උදෙසා පසුබිම් කථනයක් ඉදිරිපත් කිරීම උචිත යයි සිතමි.

අදින් වසර දෙසැත්තෑවකට පමණ ඉහත දී බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ශ්‍රී ලංකාව නිදහස ලැබූ වකවානුවේ මුළු දිවයින ම ප්‍රීති ප්‍රමෝදයෙන් ඇලලී ගියේ අවුරුදු හාරසියයකට අධික කාලයක් පැවති බටහිර ධන වැද්දන්ගේ හා කිතුනු මූලධර්මවාදීන්ගේ ග්‍රහණයෙන් අත්මිදී රටවාසීන් අස්වැසිල්ලක් ලද හෙයිනි. වෙනත් දේශයක අදෘෂ්‍යමාන රජ කෙනෙකුට යටත්ව වාසය කිරීම ඉන් පෙර ඉතිහාසයේ කවර ම කලෙකවත් ලංකාවාසීන් මුහුණ නොපෑ අත්දැකීමකි.

දහසය වැනි සියවසට පෙර ගෙවී ගිය දෙදහස් වසරක කාල පරිච්ඡේදය තුළ වරින් වර දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගේ හිංසනයන්ට ලක් වුව ද සිංහල බෞද්ධ සංස්කෘතිය නොනැසී පැවතුණේ ය. ලාංකීය ජනකායගේ අධ්‍යාත්මය සසල කිරීමට ඒ එකද හින්දු පාලකයෙකුවත් සමත් වූයේ නැත. බුදු දහම තාවකාලික ව යටපත් කොට හින්දු සමය නැඟී සිටි කාලිංග මාඝ කාලයේ දී වත් බුදු සසුන් විලෝපනයක යෙදුණු සීතාවක රාජසිංහ කාලයේ දී වත් සිංහල ජනකාය හින්දු දහම වැළඳ ගත්තේ නැත. සිංහලයන් හා ද්‍රවිඩයන් එක ම ජන සංඝයක පිරිසක් ලෙස දීර්ඝ කාලයක සිට සුහදත්වයෙන් යුතුව කල් ගෙවූහ. සිංහල දේශය රුහුණු – මායා – පිහිටි වශයෙන් භෞතික ව වෙන් වශයෙන් හඳුන්වා දෙනු ලැබුව ද රටක් වශයෙන් සියල්ලෝ ම ඒකාත්මික වූහ. ලංකා භූමිය පළාත් නවයකට බෙදා ජාතීන් භේද කොට පෙර පැවති එකමුතුකම වනසන ලද්දේ බටහිරයන් විසිනි.

සිංහල ද්‍රවිඩ ජාතීන් අතර භේද ඇතිවන්ට පටන් ගත්තේ එහි ඵල වශයෙනි. භාරතීය හා ලංකේය සාහිත්යික හා පුරාවිද්‍යාත්මක සාධකවලින් සිංහල දේශයේ ඓතිහාසිකත්වය පැහැදිලිව අනාවරණය ව තිබිය දී ලක්දිව උතුරු ප්‍රදේශය සිය නිජබිම් වශයෙන් පළ කරන්ටත්, පනහට පනහ අයිතිවාසිකම් ඉල්ලන්ටත් ද්‍රවිඩ බෙදුම්වාදීන් පෙලඹුණේ බටහිරයන් විසින් අවුළුවන ලද ජාති භේදවාදය නිසා ය. නිර්මල බෞද්ධ සංස්කෘතියකට උරුමකම් කියන සිංහල ජාතිය භේද භින්න කිරීම සඳහා කිතුනු දහම හඳුන්වා දී ඒ ආගම වැළඳ ගත්තවුනට පමණක් තාන්න මාන්න දී බෞද්ධාගමික වෙහෙර විහාර වනසා දමා ඒ මත කිතුනු පල්ලි ඉදි කිරීම ඇරඹුවේ 1505 දී මෙරටට ගොඩබට ප්‍රතිකාලුන් ය. අනතුරුව පැමිණි ලන්දේසීහු බි්‍රතාන්‍යයෙන් ඒ පිළිවෙත තහවුරු කළහ.

මෙසේ සාමාජික ආගමික සංස්කෘතික වශයෙන් හැම අතින් ම පීඩනයට පත් කළ ආධිපත්‍යයකින් අත්මිදීම නිසා ඇති වන්නා වූ ප්‍රීති ප්‍රමෝදය කවර කලකට වුව ද සාධාරණ ය. දේශපාලනමය හෝ සමාජමය හෝ හේතූන් නිසා උකටලීව සිටින ජාතියක් නඟා සිටුවීම සඳහා දේශාභිමානය ඔවුන් සිත් තුළ ඇති කරවන සාහිත්‍ය සෞන්දර්ය කලා රටකට අවශ්‍ය වෙයි. අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස් වීම අරමුණු කොට විසිවැනි සියවසේ මුල් භාගයේ අප රට විසූ සාහිත්‍යධරයන්, නාට්‍යවේදීන් හා සංගීතඥයින් දේශාභිමානය දැනවීම සඳහා සිය නිර්මාණ ඉදිරිපත් කළ බව ප්‍රකට කරුණකි. මෑත කාලයේ ජනතාවගේ අධ්‍යාත්මය හා රටේ උන්නතිය ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වූ ඇතැම් පාලකයන් තම පෞද්ගලික අභිලාශයන් මුදුන්පත් කර ගැනීම සඳහා කුලල් කෑමක යෙදී සිටි අයුරු පසුගිය අවුරුදු විසි පහ – තිහ තුළ අප රට සිදු වූ ව්‍යසනවලින් හෙළිවෙයි.

මේ කාලය ඇතුළත නැගෙනහිර හා අග්නිදිග මුහුදුබඩ ප්‍රදේශ ද්‍රවිඩ මුස්ලිම් අත්තවාදීන්ගේ ගොදුරු බිම් බවට පත් විය. අවුරුදු දෙදහසක් පැරණි බෞද්ධ සිද්ධස්ථානයක් වන කල්ලාරු ගුරු කන්ද පුදබිමේ හින්දු කෝවිලක් අටවාගත් ද්‍රවිඩ අන්තවාදීහු එම විහාරයේ අපවත් වූ හිමිනමකගේ දේහය එහි ආදාහනය කිරීමට විරුද්ධව නැඟී සිටියහ. ඊට එවක සිටි දේශපාලකයෝ කිසිදු පියවරක් නොගත්හ. පොතුවිල් මුහුදු මහා විහාරයට මෑතක දී ගිය අපට දක්නට ලැබුණේ මුස්ලිම් අන්තවාදීන්ගෙන් එම විහාර පුදබිමට හා එහි වැසි ස්වාමීන් වහන්සේලාට සිදුවන හිරිහැර හා ගැහැට ය. අග්නිදිග නාවික විධානයේ දරුවන් නොසිටින්ට උන්වහන්සේලාට දානය පවා නොලැබෙන පසුබිමක් ය එහි පවත්නේ.

පසුගිය පාලනය වෙනස් වී නව රාජ්‍ය නායකත්වයක් බිහි වීමත් සමඟ ම වෙනත් කාලවල සිදු වූ පෙරළි වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතියක ලකුණු පහළ වෙමින් පවත්නා අයුරු පෙනී යයි. පෙර නිරතුරුව පැවති උද්ඝෝෂණ රැලි වැඩ වැරුම් නොසන්සුන්කම් දැන් දක්නට නැත. කැලිකසලින් අසුන්දරව පැවති මංමාවත් එළි පෙහෙලි-වෙමින් තිබේ. දැන්වීම් පෝස්ටර් ආදියෙන් අපවිත්‍රව පැවති තාප්ප පැතිබැමි පාලම් ආදිය විවිධ සිත්තම්වලින් අලංකාරණය වෙමින් පවති. ඒ සියල්ල මනරංජන දර්ශනීය දිවයිනක් බිහි වීමේ ලකුණු ය. මේ නවෝදය කලකට පෙර මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ වදනකින් අනුප්‍රාණය ලබන අයුරු කෙතරම් අපූරු ද?

“අපේ චිත්‍රකාරයන්ගේ සිත්තම් බැලීමෙන් ආස්වාදයක් ලැබීමට අප උගත යුතු ය; පුරුදු විය යුතු ය. එය ජාතික ප්‍රබෝධයට බලවත් උදව්වක් ද වෙයි. ජාතියකගේ අදීනත්වය සම්පූර්ණ වන්නේ ඒ ජාතියෙහි කලාකාරයන්ගෙන් ලැබිය යුතු සේවය ද ලැබීමෙනි.” (අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිණාමය – 238 පිටුව)

1948 දී බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස ලැබීමෙන් අප රට ජනයා තුළ පැවති ප්‍රීති ප්‍රමෝදය වසර ගණනාවක් යන තුරු ලංකාවාසී ජනතාව තුළ පැවතිණ. නිදහස ලබා අවුරුදු හතරකට පසු, එනම් 1952 පෙබරවාරි 4 වැනිදා පැවති ජාතික නිදහස් දින උළෙලේ දී ගායනා කරන ලද ‘නමෝ නමෝ මාතා’ නම් වූ ජාතික ගීයේ නිර්මාතෘවරයා වූයේ එවක විශිෂ්ටතම සිංහල සංගීතවේදියාණන් ව සිටි ආනන්ද සමරකෝන් සූරීන් ය.

1948 දී නිදහස ලැබීමේ ප්‍රීතිය ලංකාවේ සෑම කලා ක්ෂේත්‍රයක් කරා ද විහිද ගිය අතර ඒ සමයේ තිරගත වුණ චිත්‍රපට තුළ පවා එම ප්‍රබෝධය දක්නට ලැබිණ. 1952 දී නිෂ්පාදනය කරන ලද ‘සුජාතා’ නම් වූ චිත්‍රපටය වෙනුවෙන් ආනන්ද සමරකෝන් සූරීන් විසින් ම පබැඳු ‘මනරංජන දර්ශනීය ලංකා’ නම් වූ ගීතය නිදහස ලැබීමෙන් ප්‍රීතියට පත් වූ ජනකායක් නඟන ප්‍රමෝදනීය නින්නාදයක් වැන්න.

මනරංජන දර්ශනීය ලංකා
මාතා අති රමණී …//
කිත් පැසසුම් ලැබ දස දෙස පූජිත
සුන්දර අප සිරි ලක් මෑණී
සැරදේ … සැරදේ …
සැරදේ ලක් මවුනී
වැජඹේවා සව් සිරිනී
මනරංජන දර්ශනීය ලංකා

ශුද්ධ නගර අනුරාධපුරේ සහ පොළොන්නරුව පැරණී
සීගිරිය ද සිහිපත් කරවයි පෙර බැබලුණු දීප්තිය දස අතිනී
සැරදේ … සැරදේ …
සැරදේ ලක් මවුනී
වැජඹේවා සව් සිරිනී
මනරංජන දර්ශනීය ලංකා

පුරාතනේ විසු රජ දරුවෝ
ගාමිණි මහසෙන් පැරකුම්බා
නිම කළ මහ වැව් පොකුණු ද දාගැබ්
අද දින ඇත නොනැසී සෝබා
සැරදේ … සැරදේ …
සැරදේ ලක් මවුනී
වැජඹේවා සව් සිරිනී
මනරංජන දර්ශනීය ලංකා

පෙම්බර ලක් මව අද දින නිදහස් සුවයෙන් නැළවෙන්නී
සුවඳැති මල් පිබිදේ කෙත් ගොයමින
බරවී සුළඟේ රඟදෙන්නී
සැරදේ … සැරදේ …
සැරදේ ලක් මවුනී
වැජඹේවා සව් සිරිනී
මනරංජන දර්ශනීය ලංකා

ශ්‍රී විභූතියෙන් සපිරුණු මේ මව්බිම සුන්දර අති රමණී //
සව් සිරියෙන් සරු කරනට අපි සැම
ඉදිරිව යමු යමු හද බැතිනී //
මනරංජන දර්ශනීය ලංකා

නන්විධ විසිතුරු රටා මවන මල් වෙඩිල්ලක සෙයින් විසිර යන වදන් කැටි නඟන අසිරිය මේ ගීතය පුරා ම දැක්ක හැකි ය. මෙබඳු අසිරිමත් ගී පබැඳුම් අප ගීත සාහිත්‍යයේ හමුවන්නේ කලාතුරකිනි.

මේ අගනා ගීතය පිළිබඳ රස විමසුමක් කිරීමට උචිත වාතාවරණයක් වර්තමානයේ ද නිර්මාණය වී තිබේ. පෙර කී ලෙස ම ජාති භේදවාදී කළු වලා පහව ගොස් ජන සම්මතවාදයේ අලුත් බලාපොරොත්තුවක අරුණලු නැඟී පවතියි. සාමකාමී සන්සුන් වාතාවරණයක් සමාජයේ සෑම අංශයක් කරා පැතිර පවතිනු දැක්ක හැකි ය. මනරංජනීය ලංකා භූමියක් බිහිවනු දැක්ම සියල්ලන්ගේ ම බලාපොරොත්තුව යි.

අතීත සමෘද්ධිමත් යුගයක් කරා රසික ජනතාවගේ අවධානය යොමු කරවන අන්තර් ගී ඛණ්ඩයන්ගෙන් යුතු ගීතයේ සෑම වදනකින් ම ධ්වනිත කෙරෙනුයේ ජාතිකාභිමානය යි. මින් සියවස් දෙදහසකට හා ඊට ආසන්න යුගයකට පෙර අපේ වීර මී මුතුන් ඉදි කළ රාජධානිවල ශ්‍රී විභූතිය සිහිපත් කරවන ස්මාරක අද ද දැක්ක හැකි ය. එදවස රට පාලනය කළ ගාමිණී- මහසෙන් – පැරකුම්බා ආදී වීර රජුන් – නිම කළ මහවැව් පොකුණු ද දා ගැබ් අද දින ඇත නොනැසී සෝබා යනාදි මියුරු වදනින් අද යුගයේ පාලකයන්ට ද අඟවන්නේ රටට පිරිමහින අතීත යුගයක් දක්වා නොනැසී පැවතිය යුතු නිර්මාණ සම්පත් ජාතියට උරුම කර දෙන ලෙස යි. සුවඳැති මල් පිබිදෙන, කෙත්වතු සරුසාර වී ගොයමින් බරවන, ශ්‍රී විභූතියෙන් සපිරුණ දේශයක් අප හැම එකාවන් ව බිහි කළ කල්හි අපගේ මව් බිම අතිරමණී සුන්දර දේශයක් වනු ඇත.

සටහන – දයාපාල ජයනෙත්ති