අපේ ගම්වල බොහෝ අයගේ කුස පුරවන බත්ගස ගැන ලංකාවේ නොදන්නා කෙනෙකු නැති තරම් ය. කොස්, පොළොස් වනාහී බත් වෙනුවට ආදේශ කළ හැකි ඉතා පෝෂ්‍යදායී ආහාරයකි. සෑම කොස් ගසක ම සෑදෙන ඵලයන්හි රස එක සමාන නැත. එනිසා තැම්බීමට සුදුසු මෙන්ම මැල්ලුමට හෝ ගැටපොළොස් මාළුවට සුදුසු ගස් තෝරා බේරාගත් අය සිටිති. රසවත් ඵල ලබාදෙන එවන් කොස් ගසක් නිවසකට සම්පතකි.

එනමුදු නගරයේ එළවළු කඩේට එන්නේ හොඳින් තෝරා බේරා නොගත් කොස් පොළොස් ය. ඇත්තෙන් ම තම වාසනාව මත කෙනෙකුට හොඳ කොස් ගෙඩියක්, ගැටපොළොස් ආදිය මිලට ගත හැකි වේ. ගැටපොළොස් ශරීරයේ රුධිරගත සීනි පාලනය කරයි. පෝෂ්‍ය ගුණය ලබාදෙයි. අමතක නොවන ප්‍රණීත රසයකින් යුතු වූ ව්‍යංජනයක් සපයයි. කටට රහට පොළොස් ඇඹුලක් සාදාගැනීමට නම් තරමක කැපවීමක් උවමනා ය.

දැන් අපි රසවත් පොළොස් ඇඹුලක් පිසින ආකාරය දැනගනිමු.

අවශ්‍ය ද්‍රව්‍ය:-
■ ගැටපොළොස් මාළුවට සුදුසු කි.ග්‍රෑ. 2 පමණ පොළොස් ගැට
■ අමු මිරිස් කරල් කිහිපයක්
■ සුදුළුෑණු ගෙඩි 2ක්
■ රතුළුෑණු ග්‍රෑම් 500
■ බැදපු මිරිස් කුඩු මේස හැඳි 3
■ ගම්මිරිස් කුඩු මේස හැඳි 2½
■ ගොරකා ග්‍රෑම් 100
■ අමු ඉඟුරු කැබැල්ලක්
■ කුරුඳු පොතු ස්වල්පයක්
■ අබ මේස හැඳි 1
■ උළුහාල් තේ හැඳි 1
■ පොල්තෙල් මේස හැඳි 4ක්
■ පොල් ගෙඩි 2ක්
■ රම්පේ සහ කරපිංචා
■ ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය:-

පළමුව මාළුවට සුදුසු පොළොස් ගැටය කපා පොතු හැරගෙන බඳුනකට දමන්න. ඒ බඳුන කලින් ම වතුර දමා කහ සහ ලුණු දියකොට සකසා ගන්න. එසේ කරනු ලබන්නේ පොළොස් කැබලිවල කහට නොපිපෙන ලෙස ය. පොළොස් කැබලි කැපීමේදී තරමක් ලොකු වූවාට කම් නැත.

ඉන් පසු බෑයක පොල් ගාගෙන කබලක දමන්න. එයට රම්පේ, කරපිංචා, අබ හා කුරුඳු පොතු ද එක්කරගන්න. දුඹුරු පාට වනතුරු කබලේ බැද බ්ලෙන්ඩරයකින් අඹරා ගන්න.

අනතුරුව ඔබ පොතු හැර පිරිසිදු කරගත් රතුළුෑණු, සුදුළුෑණු හා අමුමිරිස් ද වෙන වෙන ම පොල්තෙලෙන් බැදගන්න. ඒ සඳහා තෙල් ස්වල්පයක් වැඩිවිය හැකිය. ඉඟුරු පෙති කිහිපය ද එසේ බැදගත්තාට කම් නැත. මේවා ද බ්ලෙන්ඩරයෙන් හොඳින් අඹරා පේස්ට් එකක් සකසා ගන්න. ගොරකා ද වේලාසනින් වතුරේ පොඟවා ඇට තිබේ නම් ඉවත් කොට හොඳින් අඹරා ගන්න. ඉතිරි පොල් ගෙඩි 1½ න් ගොරෝසුවට ලොකු කිරි කෝප්පයක් සාදාගන්න.

දැන් සෝදා කහට ඉවත් කරගත් පොළොස් කැබලි වතුර බේරා බඳුනකට දමාගෙන තබන්න. එයට ලුණු, ගොරකා සහ බැදපු මිරිස් කුඩු, බැදපු තුනපහකුඩු මෙන්ම අඹරාගත් සියල්ල එකතු කොට හොඳින් කවලම් කරගන්න.

ඊළඟට භාජනයක් ලිප මත තබා පොල්තෙල් දමා රත් වූ පසු අබ ස්වල්පයක් උළුහාල් ස්වල්පයක් දමන්න. හොඳින් අබ පුපුරන විට පොළොස් ඇඹුල් මිශ්‍රණය දමන්න. සාමාන්‍ය ගින්දරෙන් ලාවට කවලම් කරමින් බැදගන්න. දැන් එයට කිරි මිශ්‍ර කරගන්න. හොඳින් නටවන්න. ඉන් පසු ලිපේ ගින්දර අඩුකොට රොස් නොවන පරිදි එහි ම තබන්න.

මෙය කරනු ලබන්නේ රාත්‍රී කාලයක නම් අඩු ගණනේ දෙපැයක්වත් තිබ්බ යුතුය. ඉන් පසු වසා තබන්න. පසුවදා උදේ නැවත ලිප මත තබා මඳ ගින්නේ දියර ගතිය සිඳීමට සලසන්න. ලුණු ඇඹුල් පදමත් බලන්න.

දැන් මේ ප්‍රණීත පොළොස් ඇඹුල ඔබට රස විඳිය හැකිය. පාන්, ඉඳිආප්ප, ආප්ප මෙන් ම කැකුළු බත් සමග ද අමතක නොවන රසවත් ආහාරයක් භුක්ති විඳිය හැකිය. සංඝයා උදෙසා ද ප්‍රණීත දානයක් ලෙසින් පිදිය හැකිය. වන්දනා ගමන් මෙන් ම විනෝද චාරිකා සඳහා ද ගෙනයාමට කදිම ය.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං
තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං
මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!
ඔබේ හිතාදර
අෂාන් ඉමල්ක