නිවිති යනු ඉතාමත් රසවත් මෙන් ම ගුණවත් පලා වර්ගයක් බව අප කොයි කවුරුත් දන්නා නොරහසකි. ශරීරයේ උෂ්ණය අඩු කිරීම මෙන්ම ශරීරයට අත්‍යාවශ්‍ය යකඩ ලබා ගැනීමට ද නිවිති බොහෝ උපකාරී වේ.

අද අපි කියා දෙන්න යන්නේ නිවිතිවලින් ලෙහෙසියෙන්ම සාදා ගත හැකි ආහාරයක් ගැනයි. උදෑසන ආහාර වේලට වගේම හීල දානයටත් සකසා පූජා කළ හැකි නිවිති රොටි හදන්නේ කොහොමද කියලා දැන් අපි බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • හාල්පිටි ග්‍රෑම් 250
  • නිවිති කොළ මිටක් පමණ
  • ලුණු ස්වල්පයක්

මෙම ප්‍රමාණයෙන් යුතු ද්‍රව්‍යවලින් රොටී 20 ක් පමණ හදන්න පුළුවන්.

මුලින්ම නිවිති කොළ ටික හොඳින් සෝදා බ්ලෙන්ඩරයකට දමා බිලෙන්ඩර් කර ගන්න. අවශ්‍ය පමණට වතුර ද ස්වල්පයක් එක් කර ගන්න.

ඉන්පසු එම මිශ්‍රණයට හාල් පිටි එක්කරමින් නැවතත් බ්ලෙන්ඩර් කර ගන්න. ලුණු ස්වල්පයක් ද ඒ සමඟ එක් කරන්න. කැමති නම් බිත්තර ද එක්කර ගත හැක. මෙසේ සාදා ගන්නා ලද රොටී මිශ්‍රණය පසෙකින් තබා ගන්න.

රොටී තැටියක් ගෙන ලිප මත තබා රත් වීමෙන් පසු තෙල් තේ හැන්දක් පමණ දමා තැටියේ තවරා ගන්න. රොටි සෑදීමේදී රොටි මිශ්‍රණය තැටියේ ඇලීම වළක්වා ගැනීම පිණිස බීළුෑණු ගෙඩියක් ගෙන මුල පැත්ත මඳක් පිහියකින් කපා එම මුල පැත්තෙන් රත් වූ තැටියේ පිසදා ගන්න.

ඒ වගේම තවත් ක්‍රමයක් ඇත. රොටී තැටියේ තෙල් රත් වූ පසු බිත්තරයක කහ මදය පමණක් ගෙන තැටියට දමා බැදගන්න. එසේ බැදගන්නා ලද බිත්තර කහමදය රොටී තැටියේ ම තෙල් සමග තවරා ගන්න. එවිට මිශ්‍රණය තැටියේ ඇලවෙන්නේ නැත.

මෙසේ සකසා ගන්නා ලද රොටි තැටිය මතට නිවිති රොටි මිශ්‍රණය අවශ්‍ය පමණට දමා තුනී කරගන්න. මෙහිදී රොටී මිශ්‍රණය උකු විය යුතු අතර තැටියට වක්කිරීමට හැකි පරිදි යාන්තමට දියාරු විය යුතුය. තුනී කරන ලද මිශ්‍රණය පියනකින් වසා හොඳින් පුළුස්සා ගන්න. හොඳින් පිස ගන්නා ලද රොටිය අනෙක් පැත්ත දමා ඒ පැත්තත් පුළුස්සා ගන්න. මෙසේ රොටි මිශ්‍රණය වක්කර රොටී එක එක සාදාගන්න.

ඒ අතර රොටි මිශ්‍රණය තැටියේ ඇලවෙන්න ගත්විට නැවතත් ළුෑණු ගෙඩිය හෝ බිත්තර කහමදය තවරා තැටිය පදම් කර ගන්න.

මේ ආකාරයෙන් රසවත් ප්‍රණීත රොටී සාදා ගත හැකි අතර අවශ්‍ය නම් කුරක්කන් පිටි, ආටාපිටි ද භාවිතා කර රොටී සාදා ගත හැකිය. කැමති නම් මිශ්‍රණයට පොල් ස්වල්පයක් ද එකතු කරගත හැක.

මෙසේ සාදාගත් නිවිති රොටී ලුණු මිරිස් හෝ ඔබ කැමති වෙනත් ව්‍යංජනයක් සමඟ රස විඳින්න. ඒ වගේම මහ සඟරුවනට ද සකසා පූජා කොට පිං රැස්කරගන්න.

සටහන – අෂාන් ඉමල්ක