ලංකාවේ වියළි කලාපවල දකින්නට ලැබෙන ශාක අතරින් තල් ගස ඉතා ප්‍රයෝජනවත් ගසකි. තාල වර්ගයට අයත් තල් ශාකය ලාංකීය ජනයා තම ජීවිත පැවැත්ම උදෙසා විවිධ ආකාරයෙන් භාවිතා කරයි. උතුරු හා නැගෙනහිර පළාත්වල සංචාරය කරන අයට තල් අතුවලින් සාදන ලද වැටවල් සුලබව දකින්නට ලැබේ.

මේ ගස වියළි කලාපයට සීමා වීම නිසා ඒ ප්‍රදේශවල ජීවත් වන ජනයා අතර තල්ගෙඩි ආශ්‍රිත විවිධ ආහාරපාන බහුල වශයෙන් භාවිතයට ගනු දකින්නට ලැබේ. ඉතින් නොදන්න කෙනෙකුට වුනත් තල් ගෙඩියකින් සෑදිය හැකි රසවත් කෑමක් ගැන අද අපි ඉගෙන ගනිමු.

තල් ගෙඩියක වර්ණය සාමාන්‍යයෙන් කළු – දුඹුරු හෝ තැඹිලි – කහ අතර පැහැයක් ගනී. ඉදුනු තල්ගෙඩි අතින් ඇල්ලූ විට එබෙන ස්වභාවයක් ගනී. එයින් ඔබට පහසුවෙන් ම හොඳ තල් ගෙඩියක් තෝරාගත හැක. බොහෝ විට තල් ගෙඩියේ ඇස්සට යටින් පණුවන් සිටිය හැක. එය ද විමසිලිමත්ව බලා තෝරාගත යුතුය. තල් ගෙඩියේ තිත්ත ගතියකින් යුතු කිරි ස්වභාවයක් පවතී. මුලින් ම අප කළයුත්තේ තල් ගෙඩියෙන් එම කිරි ටික ඉවත් කරගැනීම ය.

මේ සඳහා අපි මුලින් ම තල් ගෙඩියේ ඇස්ස පැත්ත ගලවා දැමිය යුතුය. එහිදී මැද තිබෙන නාරටිය ද ඉවත් වන පරිදි සිදුකළ යුතුය. අනතුරුව තිබෙන්නේ තල් ගෙඩිය ගින්දරින් රත් කර ගැනීම යි.

බොහෝ දෙනෙක් ගිනි අඟුරු ගොඩක තල් ගෙඩිය දමා ගින්දර රස්නයෙන් තම්බාගනී. මෙහිදී පිට පොත්ත පිළිස්සී යාමට ඉඩ නොදිය යුතුය. එය පරිස්සමින් අත පුච්චාගන්නේ නැතිව කළයුතුය. නැත්නම් ගෑස් ලිපක් මත කම්බි දැලක් තබා ඇස්ස පැත්ත යටට සිටින සේ ඉතාමත් ලා ගින්දර රස්නයෙන් තම්බාගත යුතුය. පිට පොත්ත පිළිස්සී යාම වළක්වා ගැනීමට වගබලා ගතයුතුය. මෙහිදී ලිපට යටින් තහඩුවක් වැනි දෙයක් තැබිය යුතුය. මන්ද, තල් ගෙඩියේ රත් වූ කිරි ටික පහලට වැටෙන නිසාවෙනි.

මෙසේ පරිස්සමින් කිරි ටික ඉවත් වූ පසු තල් ගෙඩියේ පහල පැත්ත ලී මිටකින් තැන් තුනකට විතර ඇන සිදුරක් සාදාගත යුතුය. ඉන් පසු ඒ පැත්ත ද ලිප මත තබා කිරි ටික ඉවත් කර ගත යුතුය. මෙසේ හරියාකාර ව කිරි ටික ඉවත් කරගත්තේ නැතිනම් තල් ඉස්ම තිත්ත රහ ගනීවි. හොඳින් කිරි ටික ඉවත් වූ පසු තල් ගෙඩියේ රස්නය ඉවත් වෙන තුරු පැත්තකින් තබා ගන්න.

මේ අතරවාරයේ තල් තලපවලට අවශ්‍ය දෑ සපයා ගනිමු.

1. පොල් ගෙඩියක ප්‍රමාණයේ මිටිකිරි හා දියකිරි
2. හාල් පිටි හෝ කුරක්කන් පිටි ග්‍රෑම් 200ක් පමණ
3. සීනි ග්‍රෑම් 100ක් පමණ අවශ්‍ය පරිදි අඩු වැඩි කරගත හැක.
4. ලුණු රස පදමට

අපි පිළියෙල කරගත් තල් ගෙඩිය ගෙන එහි පිට පොත්ත සෙමින් ගලවා ගත යුතුය. ඉන් පසු තල් ගෙඩිය අතින් ම දෙපලු කරගත යුතුය. එවිට පහසුවෙන් ම වෙන්වෙන කොහු ගතිය ඇති කහ පැහැති බීජ තුනක් පමණ සාමාන්‍යයෙන් දැකිය හැක. දැන් එම කොහු සහිත බීජය ගෙන මිටිකිරි භාජනයට දමා හොඳින් මිරිකමින් තල් ඉස්ම ටික කිරිවල දියකරගන්න. පිළිවෙළින් අනෙක් බීජ ද ගෙන හොඳින් මිරිකා ඉස්ම ටික ගන්න. දෙවනුව කලින් මිරිකාගත් තල් බීජ නැවත දියකිරිවල දමා දියකරගන්න. එවිට කොහු ලා කහ පැහැයට සුදුවට හුරු වේ.

මෙසේ දියකරගත් තල් යුෂ මිශ්‍ර පොල් කිරි ටික වෙනත් භාජනයකට පෙරාගත යුතු වේ. දියකිරි හා මිටිකිරි දෙක ම පෙරාගෙන එකම භාජනයකට දමාගන්න. ඉවත් වූ තල් බීජ වැලිවල දමා සිටුවාගන්න. මාස දෙකක පමණ කාලයකින් තල් අල සමඟ පැළවී ඇති ආකාරය දැකගත හැක.

තල් අල තම්බා ආහාරයට ගත හැක. සීනි පාලනයට ඉතාමත් ගුණදායක කෑමකි.

අපගේ තල්කිරි මිශ්‍රණය රත් කර හොඳින් පැහැණු විට අවශ්‍ය පමණට සීනි හා ලුණු මිශ්‍ර කර රසවත් තල් කිරි පානයක් සාදාගත හැක.

නමුත් අප තල් තලප සාදන විට තල්කිරි මිශ්‍රණය අපි ගත්ත හාල් පිටි හෝ කුරක්කන් පිටි ප්‍රමාණය ගෙන හොඳින් දියකරගත යුතුය. ඉන් පසු ලිප මත තබා මධ්‍යම ගින්දරේ හැඳිගාමින් රත්කර ගත යුතුය. ඒ අතරවාරයේ සීනි ටික එකතු කරන්න. එහිදී ඔබගේ රස ප්‍රමාණයේ හැටියට සීනි එක් කළ හැක. ලුණු ටිකක් ද දමා රස වැඩි කරගන්න. හොඳින් පොල්කිරි ටික ඉදුනු පසු අපගේ තල් තලප සදා අවසන් වේ. කෑමට ගන්නේ නම් රස්නේ අඩුවෙන කම් වෙනත් තැටියකට හෝ භාජනයක දමා තබන්න. මඳ රස්නෙන් යුතුව ඉතාමත් රසවත් අතුරුපසකි. අවශ්‍ය නම් ශීතකරණයේ දමා සිසිල් කර ද ගත හැකිය.

තල් තලප ඇඟේ තිබෙන දාහය නිවීමට ඉස්තරම් කෑමකි. ඒ වගේම ඉතාමත් රසවත්, කන්න කන්න ආස හිතෙන එකකි. පෝෂ්‍ය ගුණයෙන් ඉහළ මේ මිහිරි අතුරුපස ඔබත් සාදා රස විඳින්න. අන් අයට ද සාදා දෙන්න. දානයක් දෙන්න අවස්ථාව ලැබුණොත් පූජා කරලා පින් රැස්කරගන්න.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං

තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං

මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.
ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!

ඔබේ හිතාදර

අෂාන් ඉමල්ක