ලොකු පොඩි කවුරුත් හොඳින් දන්නා මාළු වර්ගයක් තමයි හාල්මැස්සෝ කියන්නේ. වෙළඳපොලේ අපිට හාල්මැස්සෝ දෙවිදියකට ගන්න පුළුවන්. අමු හාල්මැස්සෝ විදිය වගේම කරවල කරන ලද හාල්මැස්සන් ද ලබාගත හැක. කැල්සියම් අධික ආහාරයක් ලෙස සලකන හාල්මැස්සෝ ඉතාම රසවත් වගේම ගුණවත් කෑමකි.

කරවල කරන ලද හාල්මැස්සන් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් තිබේ. සාමාන්‍යයෙන් ලංකාවේ වෙළදපොලේ හාල්මැස්සන් ඩුබායි හාල්මැස්සෝ තායි හාල්මැස්සෝ ආදිය වගේම ලංකා හාල්මැස්සෝ කියා විකිණීමට ඇත. මේ අතරින් ලංකා හාල්මැස්සෝ අනිත් ඒවාට සාපේක්ෂව මිල ටිකක් අධික වේ. ඩුබායි හා තායි හාල්මැස්සන්ගේ තිබෙන ප්‍රමිතිය බාල නිසා අඩු මුදලට ජනතාවට ලබාදෙයි. මේ හාල්මැස්සන්ගෙන් ආහාර පිසූ විට බාල වූ රසයක් වගේම කුඩු වී යන ස්වභාවයක් ද ඇත. ඒ නිසා සුළු ලාභය නොබලා ලංකා හාල්මැස්සන් ම මිලදී ගැනීමට උත්සුක වන්න. එය ඔබට වගේම ඔබගේ පවුලේ සෞඛ්‍යයටත් හිතකර වේ.

අද අපි ලංකා හාල්මැස්සන් යොදාගෙන රසවත් කරවල හොද්දක් හදාගන්නේ කොහොමද කියලා බලමු. ඒ සඳහා,

  • වියළි හාල්මැස්සන් 250ට
  • කරපිංචා කොළ ඉත්තක්
  • රම්පේ කොළයක්
  • අමු මිරිස් කරල් 4ක්
  • බීළුෑණු ගෙඩියක්
  • තක්කාලි ගෙඩි 4ක්
  • සුදු ළුෑණු ගෙඩි ½
  • උළු හාල් තේ හැඳි ½
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • මිරිස් කුඩු පුරවාගත් තේ හැඳි 2
  • අමු තුනපහ කුඩු තේ හැඳි 1 ½
  • කහ කුඩු තේ හැඳි ½
  • පොල් ගෙඩි බෑයක මිටිකිරි හා දියකිරි
  • පොල්තෙල්

මුලින්ම හාල්මැස්සන්ගේ හිස හා යටි බඩ ප්‍රදේශයේ බඩවැල් ඉවත් කර ගන්න. ඉන්පසු හොඳින් වැලි ආදිය ඉවත් වන ලෙස ජලයෙන් සෝදා ගන්න. අවශ්‍ය නම් දෙහි ඉස්ම මඟින් හාල්මැස්සන්ගේ පිලීගඳ ඉවත්කර ගත හැක. මෙසේ සෝදාගත් හාල්මැස්සන් පසෙකින් තබන්න.

කරපිංචා, රම්පේ, අමු මිරිස්, සුදුළුෑණු, තක්කාලි ආදිය ජලයෙන් පිරිසුදු කර අවශ්‍ය පමණට කපාගන්න.

පිසීම සඳහා මැටි හට්ටියක් යොදාගන්නේ නම් හොද්ද තවත් රස වනු ඇත. ලිප දල්වා ලිප මත සෝදාගත් මැටි හට්ටියක් තබන්න. ජලය ඉවත්ව ගිය පසු පොල්තෙල් දමා රත්වන තුරු තබන්න. පොල්තෙල් රත් වූ පසු මුලින් ම උළුහාල් දමන්න. හොඳ සුවඳක් සමඟ උළු හාල් බැදුනු පසු කරපිංචා රම්පේ එක් කරන්න. ඉන්පසු අමු මිරිස් කරල් දමන්න. මඳක් මිශ්‍රණය බැදුනු පසු කපාගත් බීළුණු එක් කරන්න. බීළුෑණු බැදෙන තුරු සාමාන්‍ය ගින්නේ පිස ගන්න. බීළුෑණු ටික බැදුණු පසු මිරිස් කුඩු හා අමු තුනපහ කුඩු එක්කර මිශ්‍රණය මඳක් තෙම්පරාදු කරන්න. ඉන්පසු කපාගත් තක්කාලි ටික මිශ්‍ර කරන්න. තක්කාලි ටික හොඳින් තෙම්පරාදු වූ පසු හාල්මැස්සෝ ටික එක්කරන්න. සුදු ළුෑණු හා කහ කුඩු ද එක්කරන්න. මිශ්‍රණය හොඳින් කලවම් කර මඳක් තෙම්පරාදු වීමට ඉඩ හැර සාදාගත් දියකිරි ටික දමන්න. කරමූඩියකින් හට්ටිය වසා හොඳින් මිශ්‍රණය තැම්බෙන්න හරින්න. සාමාන්‍ය ගින්දරක් ලිපෙහි තබන්න.

හාල්මැස්සෝ ටික හොඳින් තැම්බුනු පසු මිටිකිරි ටික එක්කරන්න. මිටිකිරි කැටි ගැසීම වළක්වා ගැනීම පිණිස හොඳින් හැඳි ගාන්න. හොද්ද හොඳින් රත් වූ පසු ගින්දර අඩුකර මඳ ගින්නේ විනාඩි 10 ක් 15 ක් පමණ පිසගන්න. අවශ්‍ය නම් ලුණු එක්කරන්න.

මෙසේ හොද්ද ලිප මත ඇතිවිට රතු පැහැති තෙල් මතුවේ. එය රසවත් කරවල හොද්දක ලකුණකි. හොඳ උකු ගතියකින් යුත් සකසාගත් හාල්මැස්සෝ හොද්ද උදෑසන ඉඳිආප්ප සමඟ ඉතාම රසවත්ය. ඒ වගේම දහවල් ආහාර වේලට ද කියාපු ව්‍යංජනයකි. ඔබත් රසවත් හාල් මැස්සෝ හොද්දක රස විඳින්න. සංඝයා උදෙසා දානයට ද සකසා පූජා කර පිං රැස් කරගන්න.

සටහන – අෂාන් ඉමල්ක